ජනතාවට සාමකාමීව හා ඉවසීමෙන් කටයුතු කරන්න මගපෙන්වන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලනවා

35

අගමැතිගේ නිවසට ගිනි තැබීම අරගලයේ ජයග්‍රහණයට  කළු පැල්ලමක් එක්කළ ඛේදවාචකයක්
 
 රාජපක්‍ෂ පාලනය වෙනස් කළ යුත්තේ  ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළයි
 
 සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර
 

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස යම් පිරිසක් ගිනිතබා විනාශ කිරීම පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් සියලු ජනතාව පක්‍ෂ, පාට, ආගම් බේද වලින් තොරව එක්වූයේ සාමකාමී අරගලයකට මිස ප්‍රචණ්ඩත්වය තුළින් විසඳුම් සෙවීමට නොවන බවත් සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

 එවැනි සිදුවීම් තුළින් අරගලයේ ජයග්‍රහණයට කළු පැල්ලමක් එක්වීම බරපතළ ඛේදවාචකයකැයි ද ඒ මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

 සිදුව ඇති මෙම ම්ලේච්ඡ සිදුවීම පිළිබඳව වහාම පොලිසිය විසින් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනඒමට කටයුතු කළ යුතු බව අපි දැඩිව අවධාරණය කරමු. මෙය සංවිධානාත්මක පිරිසක් විසින් යම්කිසි සැඟවුණු අරමුණක් සඳහා ක්‍රියාවට නංවන්නක් බව ඉතාමත් පැහැදිලිය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම යහපත් සාරධර්ම සහ නීතියේ ආධිපත්‍යය සුරක්‍ෂිත වීමට නම් මෙම සිදුවීම පිළිබඳව වහාම ක්‍රියාත්මක වී සත්‍ය පැහැදිලි කිරීම සහ හෙළි කිරීමට කටයුතු කිරීම ආරක්‍ෂක අංශවල, බුද්ධි අංශවල පූර්ණ වගකීම බව සිහිපත් කරමු.

 අපගේ මාතෘ භූමිය දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුදයකට පත්ව ඇති මොහොතේ ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථානුකූල විසඳුම් ලබා ගැනීමට පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන මේ මොහොතේදී ඉතාම ඉවසිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කරන මෙන් සියලුම පාර්ශ්වවලින් ඉල්ලා සිටිමු. මේ තීරණාත්මක හෝරාව තුළ අපගේ ක්‍රියාකාරකම් රටේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය සඳහා දැඩි බලපෑමක් එල්ල කරන බැව් සිහිපත් කරමු. සියලු ආගමික නායක උතුමන් මෙන්ම බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්වයන් රටේ ජනතාවට සාමකාමීව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට මඟපෙන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment