ජනතාව අන්දමන්ද කරන ඡන්ද කතන්දර!

390

මේ වසරේ (2024) සැප්තැම්බර් හා ඔක්තෝබර් අතර ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි සමාජ, දේශපාලන හා මාධ්‍ය ක්‍ෂේත්‍රවල පමණක් නොව බහුතර ජනතාවගේ ද විශ්වාසය වී තිබේ. අප මෙහිදී ‘විශ්වාසය’ යන වදන යෙදුවේ එය එසේ සිදු වන්නේ ද යන නියත නැතහොත් ස්ථාවර අදහසක් නැති නිසාය. මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතුන් පමණක් නොව, වෙනත් විවිධ සමාජ කොටස්වල පුද්ගලයන් විසින් ද අර්ථ දැක්වීම සාමාන්‍ය දෙයක් වුවද එය බරපතළ සමාජ අර්බුදයකට තුඩු දෙන්නකි. විශේෂයෙන් දේශපාලන බලය ඩැහැගැනීමට වංක ලෙස කල්පනා කරන දේශපාලන චරිත මෙන්ම, ඒවා සුපෝෂණය කර ජනගත කරන මූග්ධ පිරිස් ද මේ රටේ සිටිති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ඕනෑම රටක සියලු පුරවැසියන් විසින් ගරු කරනු ලබන්නා වූද, රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව පැහැදිලි කරන්නා වූද ලියවිල්ල ලෙස පොදුවේ හැඳින්විය හැකිය. නූතන ලෝකයේ හැම රටකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙන අතර, එය උත්තරීතර නීතිය ලෙස ද පිළිගනු ලැබේ. කිසියම් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති නම් කූට පාලකයන්ට ජනතාව රවටා සියලු බලතල පවරාගෙන අත්තනෝමතික ලෙස කටයුතු කළ හැකිය. එනිසා ජනතාව සතු අයිතීන්, හිමිකම් යම් ප්‍රමාණයකට හෝ රැක ගැනීමේ මාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේ.

අපගේ මෙම අදහස් දැක්වීමට හේතු වූයේ මේ වනවිට සමාජ, දේශපාලන මෙන්ම සිවිල් සංවිධානවල ද වෙනත් නීති වෘත්තිකයන් අතර ද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැක්වෙන අදහස්, අර්ථ දැක්වීම්, ප්‍රකාශන ආදියයි. 2024 දී ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන විවාදය දෙස බලන ප්‍රබුද්ධ පුරවැසියන්ට නම් ඇතිවන්නේ සංවේගයකි. සමස්තයක් ලෙස මෙරටේ නීතිගරුක ජනතාවක් සිටිති යි කිව හැකිය. එහෙත් මෙරටේ නීතිගරුක පාලකයන් මෙන්ම නිලධාරීන් හා ආයතන සම්බන්ධයෙන් එසේ කිව හැකි ද? අප කාටත් නිසැකවම කිව හැක්කේ මෙරටේ විශිෂ්ට අධිකරණයක් තිබෙන බවය. ජනතා අභිමතයට එරෙහිව ක්‍රියා කරන කිසිවකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභයදානයක් හිමි නොවීම, අපට තිබෙන නොබිඳිය හැකි, නොසෙල්විය හැකි ශක්තිය බව පමණක් සඳහන් කළ යුතුය.

ජනතාව අන්දමන්ද කරන ඡන්ද කතන්දර!

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී දෙන ලද ඓතිහාසික තීන්දු කීපය වුව ද ඒ විශිෂ්ටත්වයට නිදසුන් කළ හැකිය. ජනාධිපති බලය අනීතික ලෙස යොදාගත් දේශපාලනඥයන්ට මෙන්ම වංචනිකව මහජන නියෝජිතයන් ලෙස වරප්‍රසාද භුක්ති විඳිමින් සිටි අයට ද එරෙහිව නීතිය බලාත්මක වූ ආකාරය රටම දනී. එහෙත් දැන් සෑහෙන කාලයක් මුළුල්ලේ මෙරටේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ව්‍යාකූලත්වයත්, ඒ පිළිබඳව සිදුවන වාද විවාද හා සංවාදත් ඉමක් කොනක් නැතිව සමාජගත වෙමින් තිබේ. ස.ජ.බ. හා ජා.ජ.බ. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ද අරඹා තිබේ. එහෙත් පාලන බලය හිමි ජනාධිපති රනිල් මෙන්ම ඔහුට සහාය දක්වන පොදුජන පෙරමුණ ද එම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දක්වන ගුප්ත හා අපැහැදිලි ප්‍රතිචාර මේ ව්‍යාකූලත්වයට හේතුව වී තිබේ.

ජනාධිපති රනිල්, එම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදු කරන්නේ “වහෙන් ඔරෝ” ආකාරයේ ප්‍රකාශ වුවද ඔහු වෙනුවෙන් ද මැතිවරණ මෙහෙයුමක් සිදු වනු පෙනේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වන තෙක් තම අපේක්ෂකයා සඟවා සිටින බව අඟවන පොහොට්ටු පක්ෂය කරන්නේ ද දේශපාලන හැංගිමුත්තමකි. මේ සම්බන්ධයෙන් ජනතාව මුළා නොකිරීමේ වගකීම ඇත්තේ ජනාධිපති රනිල්ට ය. ඔහුගේ පාර්ශ්වය පුන පුනා කියන්නේ රනිල් පොදු අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. ඔහුගේ සමීපතමයන් පමණක් නොව පොහොට්ටුවේ සෑහෙන මන්ත්‍රීවරුන් පිරිසක්ද, පුන පුනා පවසන්නේ ජනාධිපතිවරණයට එකම සුදුස්සා රනිල් බවය. ශ්‍රී ලනිපයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ මහින්ද අමරවීර පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළේත්, පොහොට්ටුවේ සියයට 10කට වඩා රාජපක්ෂවරුන් සමග නැති බවය. ඔහු ඍජුව නොකීවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ රනිල්ට බව ඔහුගේ අදහස් දැක්වීමේදී අඟවා තිබේ. එසේම ඇස්. බී. දිසානායකගේ අදහස පොහොට්ටුවේ සහාය ලබාගෙන රනිල් ජනාධිපතිවරණයට තරග කළ යුතු බවය. එසේ නොවුවහොත් රනිල්ට අත්විය හැක්කේ තෙවන හෝ සිව්වන ස්ථානය බවය.

ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණ සටනින් ඔහු සජබයට හෝ ජාජබයට නැතහොත් සජිත්ට හෝ අනුර කුමාරට පරාජය වීමට සූදානම් නැත. ඔහු අපේක්ෂා කරන ජයග්‍රහණය ස්ථීරව තහවුරුව ලැබේ නම් විනා ඔහු එම තරගයට ඉදිරිත් නොවීමට වැඩි ඉඩක් ඇති බව අපට ද පෙනේ. එහෙත් ඔහු ජනාධිපතිවරණයෙන් බැහැර වීමට අදහස් නොකරයි. ඔහු විසින් විවිධ අවස්ථාවල සිදු කරන ලද දේශපාලන, ආර්ථික විමසුම් දෙස බලන විට ද එය පැහැදිලි වේ. මේ රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගත් ආකාරය මෙන්ම පුද්ගලයන්ට වඩා ප්‍රතිපත්ති මත පදනම්ව තීරණ ගත යුතු බවත් ඔහු පවසයි. එසේම මේ ආර්ථික සැලසුම් වෙනස් වීම රටේ අනාගතයට අහිතකර බව ද ඔහු ඒ හැම අවස්ථාවකදීම අවධාරණය කරයි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඔහුගේ ආර්ථීක සැලසුම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හරස් කිරීමට ඔහු නැඹුරුවීමය.

රාජපක්ෂවරුන්ට එරෙහිව නැඟුණු ජනතා විරෝධතාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල්ට මෙන්ම ඔහුත්, රාජපක්ෂවරුනුත් අයත් ප්‍රභූතන්ත්‍රවාදී දේශපාලන කඳවුරට නිවැරදි තක්සේරුවක් නැත. ඒ සියල්ල ඔවුන්ට අනුව බිහිසුණූ හා විනාශකාරී ක්‍රියාදාමයකි. ඒ විරෝධතාව පවතින සම්ප්‍රදායී ප්‍රභූතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙස පිළිගැනීමට ඔවූහු සූදානම් නොවෙති. ගෙවල් ගිනි තැබීම්, ප්‍රචණ්ඩ සිදුවීම්, මහජන නියෝජිතයන් මහ පාරේ ඝාතනය කිරීම් පමණක් නොව පාර්ලිමේන්තුව ගිනි තැබීමක් දක්වා ඇදීගිය දුෂ්ට මෙහෙයුමක් හෝ කුමන්ත්‍රණයක් (ගෝඨාභයට අනුව) ලෙස ඔවූහු ඒ විරෝධය දකිති. එපමණක් නොව එම විනාශයේ මුළු බර ජ.වි.පෙ. මත පැටවීමට ද ඔවූහු පසුබට නොවූහ. මෙම විරෝධයට තුඩුදුන් දේශපාලන කියැවීමක් ඒ විවේචන තුළ නැත. එහිදී පාර්ලිමේන්තුවේ 225 ටම විරුද්ධව චෝදනා පත්‍ර ද ඉදිරිපත් විය. මේ සම්බන්ධයෙන් අපට විවේචනාත්මක එකඟතා මෙන්ම ප්‍රචණ්ඩත්වයට එරෙහිව පිළිකුලක් ද තිබේ. ඒ සියල්ලට අමතරව හැත්තෑව දශකයේ සිට මේ දක්වා ඇදී ආ දේශපාලනයේ පරිහානිය මෙන්ම ඒ ඒ වකවානුවල සිදුවූ දූෂණ, වංචා, හොර මැරකම් ආදිය ගැන ද දැඩි විවේචනයක් ඇත.

අප තවමත් කල්පනා කරන්නේ අදත් ඒ දේශපාලන ප්‍රභූතන්ත්‍රය තමන් වෙතින් ගිලිහී යන බලය රැකගැනීම සඳහාම දුර්දාන්ත මෙහෙයුම් වෙත යොමුව සිටින බවය. සජිත් හා අනුර අතර දේශපාලන විවාදයක් සිදු නොවූයේ ද එබඳු දේශපාලන විවාද සංස්කෘතියකට මේ ක්‍රමය තුළ ඉඩක් නැති නිසාය. අප දන්නා පරිදි මෙරටේ දේශපාලනය තුළ ප්‍රතිවාදියා දෙස බලන්නේ සතුරකු ලෙසය. ඒ මැතිවරණ සිරිත නොබිඳ බලය ලබාගැනීමට දරන ප්‍රයත්නය අදත් අපි දකිමු. රාජපක්ෂවරුන්ට මෙන්ම එ.ජා.ප. නායක රනිල්ගේ පාර්ශ්වයට ද ජනතා ප්‍රසාදයක් නැත. එනිසා රනිල් හා රාජපක්ෂවරුන් අතර එකඟතාවකින් යුතුව ඉදිරියට යා යුතු බව වටහා ගත් අය එ.ජා.පයේ මෙන්ම පොහොට්ටුවේද සිටිති. එළැඹෙන කවර මැතිවරණයකදී වුව ද මේ පාර්ශ්ව දෙකට ශක්තිමත් තරගයක් දීමට යම් ප්‍රමාණයක හෝ ඉඩක් ඇත්තේ එබඳු එකතුවීමකින්, සන්ධානගතවීමකින් පමණි. පොදුජන පෙරමුණ දියවී යෑමේ අර්බුදයකට මැදිව සිටියි. ඔවුන් සමග සිටි අය වෙන වෙනම සන්ධානගත වෙමින් ද සිටිති. මෙහිදී සමහරුන් පවසන්නේ රාජපක්ෂවරුන් හැර අන් අය එකතු කරගත යුතු බවය.

පසුගියදා රාජපක්ෂ බලකොටුවේ හම්බන්තොට ශ්‍රී ල.නි.පය මුල්වී (නිමල් සිරිපාල පිල) ගොඩනැඟූ සන්ධානය රාජපක්ෂලාට එරෙහි වූ රනිල්ට පක්ෂපාතී එකකි. විමල්, උදය, වාසුලා සමග එක්ව සිටින දිලිත් ද අයත් සර්වජන බලය ද රාජපක්ෂ දේශපාලනයට එකඟ නැත. රාජපක්ෂවරුන් දෙදෙනකුම බලයට පත්කළ ඒ කණ්ඩායම අද මේ ආණ්ඩුවට ද එරෙහිව ඒ කඳවුරම පරාජයට පත්කළ යුතු බව කියති. (ඊයේ 18දා ඔවුන්ගේ මංගල ජනහමුව ද නුගේගොඩදී පැවැත්විණි) ජනබලය ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් බව ද ඔවූහු කියති. අපට මතු දිනක ඒ පිළිබඳව කතා කළ හැකිය.

වෙනම දේශපාලන සංවිධානයක් ලෙස පෙනී සිටින ස.ජ.බ., එ.ජා.පයෙන් බිඳී ආවකි. ඉකුත් මැතිවරණයේදී (2020) රනිල් ප්‍රමුඛ එ.ජා.පයට දැවැන්ත පරාජයක් හිමිකර දුන් සජබය අද රනිල්වාදී දේශපාලනයට ද මහා අභියෝගයක් කරන පක්ෂයකි. සජිත්ගේ අභියෝගය එ.ජා.පයේ ගමනට විශාල බාධකයකි. මේ වනවිට සජබයේ කීපදෙනකු දිනා ගැනීමට රනිල් පාර්ශ්වයට හැකි වුවත්, මේ පක්ෂ දෙක එක්වනු ඇතැයි සිතිය නොහැකිය. හරින් හා මනුෂ යන දෙදෙනා රනිල්ගේ ඇමැතිවරුය. රාජිත සේනාරත්න ද රනිල්ගේ භූමිකාව අගයන අයෙකි. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ද සජබය සමග විරසකව සිටියි. ඒ අතර ස.ජ.බයෙන් තවත් කීපදෙනකු හෝ කඩා ගැනීමට රනිල් පාර්ශ්වය දක්වන උනන්දුව සැඟවිය නොහැක. එ.ජා.පයේ ඡන්ද පදනම තමන් වෙතට ලබාගත් සජිත් අද එ.ජා.ප. නායකත්වය ද දේශපාලනිකව විවේචනයට ලක් කරයි. ඒ සමගම රාජපක්‍ෂ පිලට ද ප්‍රහාර එල්ල කරයි. සජිත්ගේ මෙම ප්‍රතිචාරය නිසා රනිල්ගේ ජයග්‍රහණය දැඩි පසුබෑමකට ලක්වන බව දන්නා අය මේ දෙදෙනා එකතු කිරීමට ද දැඩි ප්‍රයත්නයක් දරති. එහෙත් එය මෙතෙක් සාර්ථකව නැත.

මේ හැර රනිල් පාර්ශ්වයට තිබෙන අනෙක් උභතෝකෝටිකය ජා.ජ.බය හා අනුර කුමාරය. අනුර කුමාර නියෝජනය කරන ජා.ජ.බය හෙවත් මාලිමාව අති බිහිසුණු ප්‍රචණ්ඩ ව්‍යාපාරයක වෙස්මුහුණක් බව රනිල් හා රාජපක්ෂ කඳවුරු පවසති. 88-89 භීෂණය යළිත් මේ රට තුළ ක්‍රියාත්මක වන බව හැම වේදිකාවකම පැවසීම හැර වෙනත් විවේචනයක් ඒ පාර්ශ්වලට නැත. පොලිසියේ උසස් විශ්‍රාමික නිලධාරීන් වෙන වෙනම ස.ජ.බයට ද ජා.ජ.බයට ද පක්ෂව අදහස් දක්වන බව ප්‍රකට රහසකි. අද ජා.ජ.බයට එල්ල වන්නේ දේශපාලන විවේචනයක් නොව අතීත භීෂණ මෙහෙයුම් සම්බන්ධ චෝදනා පත්‍රයකි. 88-89 භීෂණය මතක් කිරීමට අද පොලිසියේ විශ්‍රාමිකයන්ගේ සහාය ද ලබාගෙන ඇත. අපි කිසිසේත් භීෂණය හා ඝාතනය අනුමත නොකරමු. එහෙත් ඒ භීෂණය සමග ක්‍රියාත්මක වූ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ද මෙරටේ තරුණ ජීවිත විනාශ වූ අයුරු අපට ද මතකය. භීෂණය, ඝාතනය සමග ප්‍රජාතන්ත්‍රවාදයට ගමනක් නැති බව අද හැම දේශපාලන ව්‍යාපාරයක්ම වටහාගෙන සිටියි.

අද ජනතාව පෙළගැසෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමටත්, දේශපාලනය සමග බැඳී සිටින චෞර වළල්ල විසින් රටට කළ විනාශයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමටත්ය. කවුරු කෙසේ කීවත් අද ජනතාව ගොනාට ඇන්දවීමට කිසිදු පක්ෂයකට නොහැකිය. කැලණි ගඟෙන් නයි ආවත්, මෝල්ගහේ පොහොට්ටු පිපී ඇති බව කීවත් ඒවාට රැවටෙන ඡන්ද දායකයෝ ද නොවෙති. සියල්ල කිරා, මැන බලන ප්‍රායෝගික ඥානයක් ඔවූහු ලබා සිටිති. රාජපක්ෂ පාලනයේ හොඳ නරක මෙන්ම රනිල්ගේ සම්ප්‍රාප්තියේ ලාභ අලාභ ද කිරා, මැන බැලීමට ඔවූහු සමත්ව සිටිති. දේශපාලන වන්දිභට්ටයන්ගේ ප්‍රශස්ති මෙන්ම තමන් විසින් පත්කරන ලද ජනතා නියෝජිතයන්ගේ ක්‍රියාකාරකම් ද ඔවූහු ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම වටහාගෙන සිටිති. රටේ බලය ඉල්ලන අයගේ සැබෑ චිත්‍රය කුමක්දැයි ඔවුන්ට අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

ජනාධිපති රනිල්, තමන් වටකර ගත් අනුගාමිකයන් කුමක් පැවැසුවත් මේ දේශපාලන භූමියෙහි ස්වරූපය හොඳින් වටහා ගැනීමේ සමත් නායකයෙකි. ඔහු තවමත් ජනාධිපතිවරණයට තරග වදින බවක් නොකියන්නේ ද එනිසාය. එහෙත් මේ බලය අතහැර යෑමට ඔහු සූදානම් නැති බව ද ඔහුගේ දේශපාලන භාවිතය හා ශෛලිය තුළින් ගම්‍ය වේ. ජනතා ප්‍රසාදයෙන් බලය රැකගත නොහැකි නම් ඔහු හැරෙන්නේ නීතිය දෙසටය. එය එදා ජේ. ආර්. ජයවර්ධන විසින් දෙන ලද පූර්වාදර්ශය ද වේ. ජයවර්ධන ජනමත විචාරණය කැඳවූ අයුරු මෙන්ම සිය දේශපාලන ප්‍රතිවාදීන් මෙල්ල කළ ආකාරය ද රනිල් දනී. අද ඒ සියල්ල ඒ ආකාරයෙන්ම කළ නොහැකි බව ද ජනාධිපති රනිල් දනියි. එහෙත් ඔහු ඉදිරියට පැමිණ ජනතාවට ප්‍රකාශ කරන්නේ වෙනම කතාවකි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගය ද වගකීම් ද ඔහු පෙන්වා දෙයි. ජනතාවට අලුත් ජීවිතයක් ලබාදිය යුතු බව ද ඔහු කියයි. ඔහු රටේ ආර්ථිකය ගැන පවසද්දී ඔහුගේ අනුගාමිකයන් පවසන්නේ, මේ රට ගොඩනැංවීමේ යතුර තිබෙන්නේ ඔහුගේ අතෙහි බවය. එනිසා ඔහුට තව වසරක් දෙකක්වත් ලබාදිය යුතු බවය. සියලුදෙනාම එක්ව පාර්ලිමේන්තුවේ එකඟතාවකින් ඔහුගේ දේශපාලන ගමනට ඉඩ ප්‍රස්තාව ලබා දිය යුතු බවය.

කෙසේ හෝ මේ වනවිට ජනාධිපති රනිල් තවදුරටත් එම ධුරයෙහි තබා ගැනීමට නම් මහජන වරමක් ලබාගත යුතුය යන අදහස සමාජගත වී තිබේ. එහෙත් ජා.ජ.බය හා ස.ජ.බය සමග ඒ සඳහා තරග වදින්නට ඔහු සූදානම් නැති බව ද හැඟේ. ඉහත කී ලෙස දේශපාලන උපක්‍රමයකින් මැතිවරණය කල් දැමීමට ඔහුගේ පාර්ශ්වය යෝජනා කරමින් සිටියි. එහෙත් එය ප්‍රශ්නකාරී වී තිබේ.

මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ජනාධිපතිවරණ දිනය නිවේදනය කිරීමට ඇත්තේ ද දින 30ක් වැනි කාලයකි. විපක්ෂ ඇතුළු සිවිල් සංවිධාන ජනතාවට සිහිපත් කරන්නේ ද මේ මැතිවරණය කල් දැමිය නොහැකි බවය. එහෙත් පළාත් පාලන ඡන්දයට මේ ආණ්ඩුව විසින් අදින ලද අංචිය දන්නා ඔවුන්ට තවමත් ජනාධිපතිවරණය ගැන නිශ්චිත අදහසක් නැත.

19 වන සංශෝධනය ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමයට දායක වූ ජයම්පති වික්‍රමරත්න ඉඳුරා පවසන්නේ, ව්‍යවස්ථාවේ 83 වගන්තිය අනුව කිසිසේත් ජනමත විචාරණයකින් විනා රනිල්ගේ කාලය දික්කළ නොහැකි බවය. එසේම ඔහු අවධාරණය කරන්නේ මෙරටේ ජනතාව සිය පරමාධිපත්‍ය අනුව ජනාධිපතිවරයෙක් හා පාර්ලිමේන්තුවක් තෝරා තිබෙන්නේ වසර පහකට පමණක් බවය. එසේම වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට සිය කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් දීර්ඝ කර ගැනීමට ද නොහැකි බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගේ අදහස වන්නේ ද රනිල් ජනතාවගේ ඡන්දයකින් ඍජුව එම ධුරයට පත් නොවූ නිසා, එබඳු ආකාරයකින් තවදුරටත් එම පදවිය හෙබවිය නොහැකි බවය. සැකෙවින් කිවහොත් ජනාධිපති රනිල්, ජනාධිපතිවරණයකට නොයන්නේ නම් ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධාන අනුව ජනමත විචාරණයකින් එම අවස්ථාව ලබාගත යුතු බවය. මේ අනුව නීතියට මෙන්ම සදාචාරයට ද පිටුපාමින්, ජනාධිපති රනිල් එබඳු දෙයක් කරනු ඇතැයි ද සිතිය නොහැකිය. එසේම භින්න වී තිබෙන පාර්ලිමේන්තු බලයත්, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල විරෝධයත් නොතකා එබඳු දේශපාලන අත්හදාබැලීමකට ඔහු යොමු නොවන බව ද අපගේ අදහසය. පසුගිය දිනක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීටර් බෲවර් සඳහන් කළේත්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බාධා නොකළ යුතු බවය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment