ජනතාව අන්දවා රට බින්දුවට බැස්සීම

420

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ, ආර්ථික හා දේශපාලන උභතෝකෝටිකය විසඳා රටත්, ජන ජීවිතයත් යළි ගොඩනැගීමට මේ ආණ්ඩුවට නොහැකි බව ආණ්ඩුවේ විවේචකයන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේද අදහස වී තිබේ. සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රවල ප්‍රාමාණිකයන්, විද්වතුන් පමණක් නොව බොහෝ වෘත්තිකයන් හා පොදු ජනතාවද මෙම අර්බුදය දකින්නේ හුදු ආර්ථිකයට හෝ එක් ක්‍ෂේත්‍රයකට සීමාවුවක් නොව ඒ සියල්ල එක්ව නිර්මාණය වී තිබෙන දැවැන්ත අර්බුදයක් ලෙසය. එහෙත් ආණ්ඩුවේ බලවත් කොටස ලෙස පිළිගත හැකි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් හා එහි නායකයන්ට අනුව මෙහිදී ආර්ථික අර්බුදය පළමුව විසඳාගත යුතු අතර දෙවනුව දේශපාලන ගැටලුව නිරාකරණය කරගත යුතු වේ. එහෙත් නිසැකයෙන්ම අද රට අර්බුදය කරා රැගෙන යනු ලබන්නේ දේශපාලනය කේන්ද්‍රීය වූ ඒ හා බැඳුණු සමාජ, ආර්ථික ප්‍රශ්න එක්වූ දැවැන්ත අර්බුදයක් විසිනි.දේශපාලනයෙහි ප්‍රමාණවත් අත්දැකීම් සහිත ප්‍රබුද්ධ මනසකින් යුත් කවරකුට වුවද මේ අර්බුදය දේශපාලනය හා බැඳුණු එහි අභ්‍යන්තරයට කාවැදුනු එකක් බව පෙනී යනු ඇත. පාර්ලිමේන්තුවේ සිටින 225ටම මෙයට විසඳුම් ලබාදිය නොහැකිය යන අවධාරණය තුළ ඇත්තේද මෙම ජරපත් දේශපාලන කුණපය වීසිකර නොදමන තෙක් රටට ඉදිරි ගමනක් නැතැයි යන ගැඹුරු අදහසය.

ජනතාව අන්දවා රට බින්දුවට බැස්සීම

මේ වනවිට පාර්ලිමේන්තුවේ කෝප්, කෝපා කමිටු ඉදිරියේ අනාවරණය වී තිබෙන්නේ මේ ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවූ බලධාරීන්ගේ පටු හා අධිපතිවාදී තීන්දු තීරණ රටේ ආර්ථික ව්‍යසනයට හේතුවූ ආකාරයයි. ආර්ථිකය හා සම්බන්ධ ප්‍රධාන ආයතනයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාන්විතය පොහොට්ටුවේ දේශපාලනය විසින් මෙහෙයවන ලද්දක්ම බව හෙළිවී තිබේ. පොහොට්ටුවෙන් පත්වූ මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවටත්, එතනින් ආපසු මහ බැංකුවටත් මාරුවෙමින් කර තිබෙන ආර්ථික ඝාතනයෙහි වගකීමෙන් මේ ආණ්ඩුවට නිදහස් විය නොහැක. අද මුළු රටම අක්‍රීය කර ඇත්තේ එතනින් ඇරඹුණු වගකීම් විරහිත ක්‍රියාදාමය බව නිසැකය. ජනාධිපති, අගමැති හා මුදල් ඇමැති යන ප්‍රබල තනතුරු තුනම අයත් කරගත් රාජපක්‍ෂ සහෝදරයන් හා ඔවුන්ගේ සමීප නිලධාරීන් විසින් බෙදාගත යුතු ඒ ආර්ථික විනාශයේ පංගුව අද මුළු රටටම පවරා තිබීම මොනතරම් අසාධාරණද? දේශපාලන පලපුරුදුකමින් වියපත් මහින්ද අගමැතිට මේ ගමන වළක්වා ගැනීමට ඉඩ තිබුණි. නිසැකයෙන්ම ආර්ථික විශේෂඥ උපදෙස් අනුගමනය කළේ නම් අද ඒ අර්බුදය හොඳින් කළමනාකරණය කර ගැනීමට ද හැකිවනු ඇත. එහෙත් එය සිදු නොවීය.

අද අප දකින්නේ දේශපාලන අර්බුදය දෙබෑ කරමින් මතුවී දිනෙන් දින උග්‍රවන සමාජ හා ආර්ථික අර්බුද වලින්ද පීඩාවට පත්වූ ලාංකික සමාජයෙහි ඛේදවාචකය හා කැකෑරෙන ජනතා විරෝධයයි. උතුර – දකුණ වෙනසක් නොමැතිව මුළු රටේම ජනතාවට ඉන්ධන හා ගෑස් පෝලිම්වල දින කීපයක් ගෙවීමට සිදුවන පසුබිමක පුරවැසි ජීවිතය කෙබඳුදැයි විග්‍රහ කළ යුතු නැත. රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවි ලෙස ජනතාවගේ දුෂ්කර පෝලිම් ජීවිතය විදහා දැක්වෙයි. ඇතැම් විටෙක පෝලිම්වල ජනතාව අතර ගැටුම්ය. ඉන්ධන පෝලිම් දෙකක ජනතාව හා පොලිසිය අතර සිදුවූ ගැටුම් රූපවාහිනීවල මෙන්ම මුද්‍රිත මාධ්‍යවලද ඊට අමතරව සමාජ මාධ්‍යවලද සවිස්තරව දක්වා තිබුණි. ජනතාවගේ කෝපය ඉතා සාධාරණය. ඔවුන් නීතිය අතට ගැනීම අනුමත කළ නොහැකිය. එහෙත් අව්ව, වැස්ස, පින්න නොතකා බොහෝවිට ආහාර පවා නොමැතිව ඉන්ධන සලාකය (සලාකයක් ලෙස නොදුන්නත් මුදල් සීමාවක් ඇත) සඳහා හෙම්බත්ව සිටින අයෙකුගේ මානසිකත්වය කොබඳුද? එය ඉවසීමේ සීමාව තුළ රඳා පවතීද? එහෙත් ඒ හෙම්බත් මිනිසා අතරට එන පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම් ඉතාමත් ප්‍රචණ්ඩකාරී වේ. කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේදී පිස්තෝලයක් ලෙළෙවමින් පොලිස් නිලධාරියකු පෝලිමේ සිටි අයෙකුට පහරදුන් ආකාරය රූපවාහිනී නැරඹූ සියල්ලෝම විස්මයට වඩා පිළිකුලකින් යුතුව බලා සිටියහ. නිරායුධ, පීඩනයට පත් පුරවැසියකුට පොලිසියට සුපුරුදු යුක්තිය ඉටුකළ ඒ මුග්ධ පොලිස් නිලධාරියාගේ පිස්තෝලය ක්‍රියාත්මක නොවූයේ ජාතියේම වාසනාවකටයයි කිව යුතුය. ඔහු සමඟ සිටි තවත් පොලිස් නිලධාරියකු විසින් එහි සිටි අයෙක් කමිස කොළරයෙන් අල්ලා ඇදගෙන ගියේ තොට තෙල් දෙන්නම් කියමින් බව ඒ දර්ශන අඩංගු හඬ පටයෙන් ඇසුණි. අපේක්‍ෂාභංගත්වයට පත්ව ආවේගශීලීව හැසිරෙන ජනයාගේ ක්‍රියාකාරකම් මර්දනය පහසු නැත. එහෙත් එය පුහුණු පොලිස් නිලධාරියකු ජයගත යුතු අභියෝගයකි. රඹුක්කනදී සිදුවූ දේ හොඳ පාඩමකි. මාස්පොත ගැටුමේදී තවත් නිලධාරියෙක් එක් අයෙකුගේ ගෙල සිරකර සිටියදී පෝලිමේ සිටි අයෙක් කෑ ගැසුවේ ඔය මිනිහා මැරෙයි යනුවෙනි. පසුව ග්‍රහණය ලිහිල් කර කලහකාරී ලෙස හැසුරුණු අය රැගෙන ගිය අයුරුද දක්නට ලැබුණි.

පොලිසියට තිබෙන වගකීම හා ඔවුන්ට තිබෙන දුෂ්කරතා අපි දනිමු. ඔව්හුද පීඩනයට පත්වූවෝය. නිල බල නැති පොලිස් පොඩ්ඩන්ගෙත් වන සේවය සුළු පටු නොවේ. මෙහිදී සඳහන් කළ යුතු තවත් දෙයක් ඇත. එනම් ප්‍රාදේශීයව සිදුවන දේශපාලන මැරයන්ට පොලිසිය දක්වන ප්‍රතිචාරයයි. මාධ්‍ය වාර්තාවකට අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ මැර දේශපාලනඥයකුගේ සහෝදරයෙක් ඉන්ධන පෝලිමක සිටි අයෙකුට පහර දෙද්දී පොලිසිය අසලකවත් නොවීය. ඒ චණ්ඩියා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. පොහොට්ටුවේ බලයට තවම පොලිසිය කරබාගෙන සිටීම ද අනුමත කළ නොහැක. අතුරුගිරියේදීත් මෙබඳු ගැටුමකින් පොලිසියේ කීප දෙනෙක් තුවාල ලැබූහ. කුමක් වුවත් පොහොට්ටු මැර දේශපාලනය යළි හිස එසවුවහොත් ඇතිවිය හැකි අනතුරු ගැන වගකිවයුත්තේද මේ ආණ්ඩුවමය. අනෙක් අතට මේ වනවිට පොදුවේ දේශපාලනඥයන්ගේ සෙවණ යට වැඩෙන මැරයන් ගැන සමාජය තුළම ඇත්තේ දැඩි විරෝධයකි. එනිසා පොලිසිය භාර ඇමැතිවරයා මේ මැරයන් දමනය කිරීමේ වගකීම භාරගත යුතුය. අපට අනුමත කළ නොහැකි වුවත් පීඩනයට පත් ජනතාවගේ ආවේග පාලනය කළ යුත්තේ බුද්ධියත්, මනුෂ්‍යත්වයත් එක්වූ පොලිසියකට පමණක් බවද කිව යුතුය.

මහජනයාට අද ගෙවීමට සිදුවී තිබෙන සමාජ ජීවිතය මොනතරම් දුක්බරද? මේ වනවිට පෝලිම්වල දී මරණයට පත්වූ අයගේ සංඛ්‍යාව 11 ක් ඉක්මවා තිබේ. ඔවුන්ගේ මරණවලට හේතුව ලෙස කුමක් ලියා තිබුණත් එහි සැබෑ හේතුව මේ පාලනය විසින් ඇතිකරන ලද ආර්ථික සමාජ විපත් ඒවාට හේතුවූ බවය. ජනතාව අද දැඩි පීඩනයකට මැදිව සිටිති. බහුතර ජනතාවක් ජීවත්වන්නේ ගින්දර උඩය. රටම ගිනි කන්දකි. ඒ ගිනිකන්ද පිපිරීමේ අනතුර ගැන ආණ්ඩුව කල්පනා කළ යුතුය. එහෙත් සත්‍යය නම් මේ ඇමැතිවරුන්ගෙන් කී දෙනෙක් ඒ ජන දුකට, ජනතා සුසුමට සංවේදී වෙත්ද යනුයි. සුවඳ බොජුන්, සැප සයනා, තුමුල මාලිගාවල කාමභෝගී ජීවත්වන බොහෝ ඇමැතිවරුන්ට මෙන්ම නිලධාරීන්ටද ඒ විරෝධතා, ඔවුන්ගේ ප්‍රතිචාර වහකදුරු විය හැකිය. එහෙත් කිසි දිනක ඩොලරයක් වංචා නොකළ, අල්ලසක් කොමිස් මුදලක් උපන් හදවියක නොලැබූ ලක්‍ෂ 220 ක ජනතාවක් අද අසරණව හාමත්ව, සිටින බව මේ රට කරවන මහත්වරුන්ට දැනුම් දිය යුතුය. ඒ ජනතාවගෙන් බහුතරය කිසිදු දේශපාලන පක්‍ෂයක අතකොළු හෝ අනුගාමිකයෝ හෝ නොවෙති.

ගෝඨාභය ජනාධිපති පුටුවට ගෙන ආ පක්‍ෂ කීපයක නායකයෝ අද ඔහු හැර ගොස් සිටිති. ඔහුගේ ඇද කුද කියති. නොහැකියාව පෙන්වති. එහෙත් ජනතාවට ඉන් ලැබුණු සෙතක් නැත. ගෝඨාභයට එරෙහිව සිටි එදා ජනතාව විසින්ද ප්‍රතික්‍ෂේප කරන ලද රනිල් ව්‍යවස්ථාවෙහි පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණ අද ගෝඨාභය සමඟ එක්ව සිටියි. ඒ තමා මේ රටේ දේශපාලනය! එහෙත් ඔහු ගැන ප්‍රශස්ති ලියූ අයට මෙන්ම ඔහු කෙරෙහි විශ්වාසයක් තැබූ අයටද අද අගමැති රනිල්ගේ තරමද පසක් වී තිබේ. රටට ඩොලර් ගෙන එනු ඇතැයි විශ්වාස කළ රනිල් අගමැති, මුදල් ඇමැති ලෙස රුපියල් අච්චු ගසමින් සිටියි.

ඉන්දියාවේ ආධාර උපකාර නොවන්නට අද ශ්‍රී ලංකාවට කුමන ඉරණමක් අත්වන්නට තිබුණේ දැයි දන්නේ දෙවියන් වහන්සේ පමණි. ඉන්දියාවේ විදේශ ඇමැති ජයශංකර් අප කෙරෙහි දක්වන කරුණාව පිටාර ගලමින් තිබේ යැයි ඒ උදව් උපකර දෙස උත්ප්‍රාසයෙන් බැලීම සුදුසු නැත. එහෙත් මේ ආණ්ඩුව අපේ සනාතන මිතුරන් ලෙස සිටි රුසියාව, චීනය මෙන්ම ජපානය වෙතට යොමු නොවීමද අපට ප්‍රශ්නයකි. රුසියාව දෙස නොබැලීම ගැන ආණ්ඩුවට විවේචනයක්ද තිබේ.

කෙසේ හෝ දැන් රට වැසීත් නැත. නොවැසීත් නැතැයි කීම නිවැරදිය. කොළඹ පාසල් සතියකට වැසී ඇත. කාර්යාල වැඩ බාගෙටය. සිකුරාදා නිවාඩුය. පොදු ප්‍රවාහනය මාරක සෙල්ලමක් බවට පත්ව තිබේ. ඉන්ධන හා ගෑස් ගැන ඇසෙන කතා බිය දනවයි. ආහාර හිඟය උග්‍රය. දරුවෝ මන්ද පෝෂණයට ලක්වෙමින් සිටිති. පෝෂ්‍යදායී ආහාර සාමාන්‍ය ජනතාවට සිහිනයක් පමණි. ආණ්ඩුවේ සිට ඉවත්වූ ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරුද තවමත් ඒ ඇමැති සැප විඳිතියි වාර්තාවක පළවිය. සමහරුන්ට පෙර ගමන් රථ පවා තිබෙන බවද සඳහන් විය. එහි තේරුම ආණ්ඩුවට රටේ තිබෙන ජනමතය ගැන වගේ වගක් නැති බවද? ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙන වෙනම ඇමැතිවරුන් හා නිලධාරීන් කැඳවා සාකච්ඡා පවත්වන බවද පෙනේ. හිටපු ජනාධිපති මෛත්‍රිපාල පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ආණ්ඩුවේ මෙහෙයුම්කරුවන් මේ වනවිට දෙපසට බෙදෙමින් සිටින බවය. යහපාලන අත්දැකීම්ද තිබෙන මෛත්‍රීට රනිල්ගේ හැසිරීම් තේරුම් ගැනීම නිකං කජු කනවා වගේය. ඔහු එහිදී අවධාරණයෙන් සඳහන් කළේ ගෝඨාභය – රනිල් ආණ්ඩුව ජාත්‍යන්තරව පිළිනොගන්නා බවය. ඔහු තවමත් කියන්නේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ගැනය. ඇමැතිවරුන් 15 ක් හොඳටම ඇති බවය. ස.ජ.බ හර්ෂ කියන්නේද මේ ආණ්ඩුවට ගමනක් නැති බවය. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ඇතිකර මැතිවරණයකට ඉක්මණින්ම යාම හැර වෙනත් විකල්පයක් නැති බවය.

ඇත්ත වශයෙන්ම මෙතෙක් කළ කිසිම දෙයකින් රටට හෝ ජනතාවට වූ යහපතක් නැත. විදුලිබල ඇමැතිවරයාට තෙල් නැවක් ලංකාවට එන දවස හරියටම කිව නොහැක. කෘෂිකර්ම ඇමැතිවරයාට ගොවියන්ගෙන් හූ සංග්‍රහ ලැබෙයි. ඇමැතිවරුන්ගෙන් බහුතරයක් ගල් වූ සෙයකි. තවත් ඇමැතිවරයෙක් පොහොට්ටුවේ දේශපාලනයට දෙහි කපයි. මහින්දලාගේ නිෂ්ඵල ව්‍යාපෘති ගැන චෝදනා නගයි. ඩොලර් හොරා කෑමේ ආදීනව ගැන තවත් අයෙක් කියති. නෙළුම්කුළුණ ඉදිකිරීමේදී කෝටි ගණනින් අතරුදන්වී තිබෙන මුදල් ගැනද හෙළිවී තිබේ. අධිවේගී මාර්ග ව්‍යාපෘති පිළිබඳ හෙළිවී තිබෙන කරුණුද බරපතළය. ලොව රටවල් 178 කින් අපට කැපී පෙනෙන ස්ථානයක් හිමිව ඇත්තේ දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳවය. එහි 102 වන තැන අපටය. මේ දූෂණ දේශපාලනය, රාජ්‍ය සේවය දෙකේම සුසංයෝගයෙන් සිදුවන්නකි. දේශපාලන පවුල්, මන්ත්‍රී පවුල් ගැන මතු යම් දිනක හෝ වාර්තාවක් සැකසුවහොත් අද වහසිබස් දොඩන කී දෙනෙකු වස්ත්‍ර ගැලවී නිර්වස්ත්‍ර වෙත්ද?

පාර්ලිමේන්තුවේ 225ට අමතරව නගර, සුළු නගර හා ප්‍රාදේශීය සභාවලද මන්ත්‍රීවරුන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක්ද කරතබාගෙන ඔවුන්ගේ බරද ඉසිලීමට පොදු ජනතාවට සිදුවී තිබේ. තවමත් දේශපාලන මළ ප්‍රේතයන්ගේ පදවි ලෝභය අඩුවී නැත. එහෙත් මේ ජනතා නියෝජිතයන්ගේ මහජන සේවාවන් ගැන රටම දනිති. බහුතරයක් හොරුය. තවත් පිරිසක් මැරයෝය. තවත් පිරිසක් මත්ද්‍රව්‍ය ඒජන්තලා හෝ ඒවාට සම්බන්ධ වූවෝය. ජනතා සම්පත් මංකොල්ලකරුවෝය. දූෂිත ව්‍යාපාරවලින් රට වනසන්නෝය. සෞභාග්‍ය උන්ටය. අභාග්‍ය පොඩි උන්ටය. හිරගෙවල්, වෙඩි උණ්ඩ, කඳුළු ගෑස්, පොලිස් ප්‍රහාර සියල්ලක්ම උන්ටත් උන් වෙනුවෙන් අරගල කරන උන්ටත්ය. මේ යථාර්ථය බිඳ දැමීමට
ගෝඨාභයට හෝ රනිල්ට හැකිවෙත්ද?

මේ අතර ස.ජ.බ සජිත්, ජ.වි.පෙ අනුර එකහෙළාම පවසන්නේ ගෝඨා, රනිල් දෙදෙනාම ගෙදර යා යුතු බවය. දෙමළ සන්ධානයේ සම්පන්දන්ට අනුවද මේ පාලනය වෙනස් විය යුතු වේ. විකල්පය මහ මැතිවරණයක් බව ඔහු යෝජනා කරයි. කුමක් වුවත් රටේත් ජනතාවගේත් ඉරණම විසඳීමට මේ පාලනය අසමත් බව නම් තහවුරු වෙමින් තිබේ. “පව් නොදී
ගෙදර පලයල්ලා” යි කියන අය මෙන්ම මුන්ට බලය දුන්නාට අපට මෙහෙම වෙලා මදියි තමන්ටම ශාපකර ගන්නා අයද ඉල්ලා සිටින්නේ අලුත් පාලනයකි. එය නිසැකයෙන්ම ගාලුමුවදොර අරගලකරුවන් විසින් නගන ලද විරෝධාතව සමඟද ගැලපෙන්නකි. එනිසා බොහෝ දෙනෙක් අවධාරණය කරන ආකාරයටම ‘යන්ට දැන් නම් කාලෙ වේ’ යැයි අපටද කීමට සිදුව තිබේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment