මංගල රැලිය අමතා ජනපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේදී අසයි
ගෑස් විදුලිය සහ ඉන්ධන නැති අඳුරු යුගය අමතක කරන්න එපා
තනි මන්ත්‍රී ජනපති වුණානම් රනිල් නැවත ජනපති වීම ගැන කතා දෙකක් නෑ
එස්. එම්. චන්ද්‍රසේන
රට අරාජික බවින් මුදාගත් රනිල්ගේ ජයග්‍රහණය විජයග්රහණයක් කරමු
අගමැති දිනේෂ් ගුණවර්ධන
සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම අද රනිල් වටා පෙළ ගැහිලා
දුමින්ද දිසානායක
ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ඳ කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සජිත් සහ අනුර සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට වහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී පෙරේදා (17 දා) අභියෝගයක් කළේය.
රට සහ ජනතාව අමාරුවේ වැටී සිටි මොහොතේ අභියෝගය බාර නොගෙන පලා ගියේ මන්දැයි යන ප්‍රශ්නයට සජිත් සහ අනුර පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙන්නට අසමත් නම් තම වේදිකාවට පැමිණ මගේ දෙපසින් වාඩි වී සිටින්නැයි ඔවුන්ට පවසන බවද සඳහන් කළේය.
ඉන්ධන, ගෑස්, විදුලිය යන ප්‍රශ්නවලට තමා මේ වනවිට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බවද ජනාධිපතිවරයා කීය.
අද කටින් වැඩ පෙන්වන නායකයන්ට එදා ජනතාවගේ දුක තේරුණා නම් ආණ්ඩු බලය ගෙන ඒ ප්‍රශ්න විසඳන්න තිබූ බව කී ජනාධිපතිවරයා තිබෙන ආණ්ඩුව ඉවත් වුණොත් එය භාරගන්නට විපක්ෂ නායකට මෙන්ම විපක්ෂයේ සෙසු නායකයන්ට යුතුකමක් තිබෙන බවද සඳහන් කළේය.
රට ආර්ථික අතින් අන්තයටම ඇදවැටුණු මොහොතේ සජිත් අනුර ඇතුළු විපක්ෂයේ සෙසු නායකයන් සිටියේ කොහේද යන ප්‍රශ්නයට වහා පිළිතුරු දිය යුතුව ඇතැයි කී ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙන්නට බැරි නම් ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ජනපතිවරණ මංගල ජන රැලිය අමතමිනි.
අනුරාධපුරයට ඇදහැලුණු මහ වැසි නොතකමින් ජනතාව සල්ගාදු පිටියට ඒකරාශී වී සිටිනු දැකගත හැකි විය.
හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම සඳහා එක්වීම විශේෂත්වයක් විය.
ජනාධිපතිවරයා මංගල රැලිය අමතමින් මෙසේද පැවසීය.
“මෙතන රැස්වී සිටින්නේ පක්ෂ සමග ගැටෙන ඡන්ද සටනකට නොවේ. පක්ෂ එකතු වී ඔබේ අනාගතය තහවුරු කිරීම සඳහායි. ඒ නිසා තමයි අපට මල් වස්සක් ලැබුණේ. මෙතන බෙදෙන තැනක් නෙමෙයි. මේ තුන් සිංහලය එකතු වෙන තැනක්. ඒ මේ රට රකින්නයි. පක්ෂ භේදයෙන් තොරව ස්වාධීනව ගෑස් සිලින්ඩරය සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඒ නිසයි.
අනෙක් අය බැහැ කියා පැන ගියා. මෙතනට පුළුවන් කියූ අය එක්වී තිබෙනවා.මෙතන හැමපාටම අය ඉන්නවා. හැම පක්ෂයක්ම ඉන්නවා.
මේ ඡන්ද ව්‍යාපාරය ඔබ සියලු දෙනා එකතු කරගෙන ඉදිරියට ගිහින් ඔබේ අනාගතය තහවුරු කරමු. මේක මගේ හෝ අගමැතිතුමාගේ හෝ වෙන කාගේවත් අනාගතය නොවේ. ඒ කාලය අමතක කරන්න එපා. විදුලි බලය තිබුණේ නැහැ. අඳුරේ ජීවිත් වන්නට සිදුවුණා. ඉන්ධන තිබුණේ නැහැ. ගෑස් තිබුණේ නැහැ. තිබුනේ හිස් සිලින්ඩර පමණයි. තිබුණ සිලින්ඩරත් පිපිරුවා. බෙහෙත් තිබුණේ නැහැ. ජනතාවට පෝලිම්වල මිය යෑමට සිදුවුණා. ජනතාවගේ අනාගතය කැඩී ගියා.
මිනිසුන්, කර්මාන්ත ශාලා බංකොලොත් වුණා. මා ඇතුළු සියලුදෙනා මේ රජය භාර ගත්තේ එවැනි අවස්ථාවකයි. ඒ අභියෝගය භාර ගන්න වෙන කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ.
හිටපු ජනාධිපති, අගමැති ඉල්ලා අස්වුණා. විපක්ෂ නායකතුමා ඔලිම්පික් එකේ වගේ දිව්වා. අනුර හොයා ගන්නත් බැරි වුණා. ඩොලර් එකට රුපියල් 377ක් ගෙවන්නට සිදුවුණා.
ලිට්රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 4901යි. ලාෆ්ස් සිලින්ඩරය 6859යි. පෙට්‍රල් ලීටරය 470යි. ඔටෝ ඩීසල් ලීටරය 460යි. භූමි තෙල් 375යි. බස් ගාස්තු අවමය හතළිහයි. විදුලි බලය යුනිට් එකක් රුපියල් 8යි. ඒකක තිහේ සිට ඒකක හැට දක්වා ඒකකයකට රුපියල් 20 බැගින් ගෙවන්න වුණා. ඉන්පසුව වැඩිවෙන ඒකකවලට රුපියල් 30 බැගින් ගෙවන්නට සිදුවුණා. මේ ආකාරයට මිනිසුන් දුක් වින්ඳා.
මෙලෙස දුක්වින්ඳ සමයේ සජිත් ප්‍රේමදාස හිටියේ කොහේද? අනුර දිසානායක හිටියේ කොහේද? ජනතාවගේ දුක තේරුණා නම් ඒ අයට එදා ආණ්ඩු බලය ගන්න තිබුණා. ආණ්ඩුව ඉවත් වුණොත් එම ආණ්ඩුව භාරගන්න විපක්ෂ නායකට යුතුකමක් තිබෙනවා. පළමු විපක්ෂය එම වගකීම භාරගන්නේ නැතිනම් දෙවැනි විපක්ෂයට එම වගකීම තිබෙනවා. ඒ කාලේ විපක්ෂය කොහේද හිටියේ.
අද ඔවුන් ජනතාවගේ දුක ගැන කතා කරනවා. ජීවන බර ගැන කතා කරනවා. ගෑස් සිලින්ඩරයේ රුපියල් 6800 ක් වන විට සජිත් – අනුර හිටියේ කොහේද? කරුණාකර ඒ කාරණය හෙළි කරන්න. ප්‍රශ්න විසඳන්නට ක්‍රියාකාරීව මැදිහත් වුණේ නැත්තේ ඇයි? අපේ පරණ වමේ භාෂාවෙන් කියනවා නම් වහා මේවාට උත්තර දියාපියෝ!
මේ වේදිකාවෙන් අප ආරම්භ කොට සිලින්ඩරය වෙනුවෙන් පවත්වන හැම මැතිවරණ වේදිකාවකම අප මේ ප්රශ්නය අසන්නට සූදානම්.
ඔවුන් මේකට පිළිතුරු දිය යුතුයි. පිළිතුරු දෙන්න බැරිනම් ඡන්දෙ ඉල්ලන්න එපා. පිළිතුරු දෙන්න බැරිනම් ඔබතුමාලත් ඇවිත් මේ වේදිකාව දෙපැත්තේ වාඩිවෙන්න. දැන් ලිට්රෝ ගෑස් 3690යි. එය 1220කින් අඩුවී තිබෙනවා. ලාෆ්ස් සිලින්ඩරය 3680යි. 2170කික් එය අඩු වුණා. ඉතින් මට ගෑස් සිලින්ඩරයට වඩා සුදුසු වෙනත් ලකුණක් තිබේද?
අප පෙට්‍රල් රුපියල් 344 දක්වා අඩු කළා. ඔටෝ ඩීසල් 317 දක්වා අඩු කළා. භූමිතෙල් රුපියල් 202 දක්වා අඩුකළා. අවම බස් ගාස්තුව රුපියල් 28 දක්වා අඩු කළා. විදුලි බලය පළමු ඒකක 30ට ඒකකය රුපියල් හය දක්වා අඩුකළා. ඒකක හැට වනතුරු රුපියල් 9යි. ඉන්පසුව රුපියල් 18යි.
මේ ගැන මා සෑහීමකට පත්වෙනවාද? එදා තුන්සිය හැත්තෑවට තිබූ ඩොලරය අද 303යි. මේක ආරම්භයක් පමණයි. තවදුර යෑමට තිබෙනවා. පොහොර රුපියල් 40000 ට නොව කීයටවත් ගන්න තිබුණේ නෑ. මේ ආර්ථිකය හැදුවේ අනුර, සජිත්, හර්ෂ හෝ සුනිල් හඳුන්නෙත්ති නොවේ. අප බලයට පැමිණ පොහොර ලබා දුන්නා. ජනතාව අපට අස්වැන්න ලබා දුන්නා. එමගින් ආර්ථිකය දියුණු වුණා. ඒ නිසා මල්වතු ඔය ජලාශය අප හදනවා. ඔබට ස්තුතියි.
දුක් විඳින රජයේ සේවකයන් අප අමතක කළේ නැහැ. 2024 ජනවාරියේ ඔවුන්ට රුපියල් පන්දහසක් ලබා දුන්නා. අප්‍රේල් මාසයේ රුපියල් දසදහසක් දුන්නා. 2025 වසරේදී ජීවන වියදම් දීමනාව රුපියල් 25000 කරනවා. ඒ සේවකයන්ගේ ආරම්භක වැටුප සියයට 24කින් වැඩිකර ජීවන වියදම් දීමනාව සමග අවම වැටුප රුපියල් පනස් පන්දාහක් බවට පත් කරනවා.
වැඩිහිටියන්ට ආබාධිතයන්ට වකුගඩු රෝග ඇති පුද්ගලයන්ගේ දීමනාව සියයට පනහකින් වැඩි කළා. 2023 රුපියල් බිලියන 11ක සහල් නොමිලේ ලබා දුන්නා. මේ වසරේදී රුපියල් බිලියන 13ක සහල් බෙදා දුන්නා. ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබා දුන්නා. එලෙස සහන ලබා දුන්නේ රට බංකොලොත් වී තිබූ අවස්ථාවකයි. එසේ නම් රට දියුණුවට පත් වූ විට අපට දෙන්නට බැරි මොනවාද?
ඒ විතරක් නෙවේ අප උරුමය වැඩසටහන යටතේ ඉඩම් ලබා දෙනවා. ඔබ මෙතෙක් කල් වගා කළ ඉඩම්වලට සින්නක්කර අයිතිය දෙන්න කිසිවකුත් කැමති වුණේ නැහැ. උරුමය නිසා ඔබට මේ අයිතිය තිබෙනවා. ඡන්දය නිසා තාවකාලිකව මෙය නතර කර තිබෙනවා. එම නීතියට අප විරුද්ධ වන්නේ නැහැ. ඡන්දයෙන් පසුව වෙනම අධිකාරියක් පත්කොට ලක්ෂ විස්සක් සඳහා උරුමය ඔප්පු ලබාදීමේ වැඩසටහන ඔවුන්ට භාර දෙනවා. වසර දෙකක් ඇතුළත එම ඔප්පු ලබා දිය යුතුයි. අවශ්‍ය නම් මා ඊට වෙනම නීති ගෙනෙන්නම්.
එමෙන්ම අප කොළඹ අඩු ආදායම්ලාභීන්ගේ තට්ටු නිවාස වලට අයිතිය ලබා දෙනවා. සහන විතරක් නොව අයිතියත් අප සාමාන්‍ය ජනතාවට මෙලෙස බෙදා දෙනවා.
වතුකරයේ ලයින් කාමර ගම්මාන බවට පත්කරනවා. විප්ලවය වන්නේ අයිතිය බෙදීමයි. මෙම වැඩසටහන් සඳහා මූල්‍ය අරමුදල මෙන්ම රටවල් දහ අටක් අපට ආධාර උපකාර දුන්නා.
මම සජිත් ගෙන් සහ අනුරගෙන් දෙවැනි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ජාත්‍යන්තරය දෙන සහන රැක ගන්නේ කොහොමද? සජිත් අනුර ඇවිත් මේ වැඩපිළිවෙළින් බැහැර වී නැවත තෙල් ගෑස් මිල වැඩි වූ විට ඔවුන් කරන්නේ නැවත දුව ගොස් සැඟවීමයි. රට බේරාගන්නට හැකි එකම කණ්ඩායම මේ වේදිකාවේ සිටිනවා. මම පක්ෂයක් නැතිව මෙහි එන්නේ ඔබේ අනාගතය වෙනුවෙන්.
මෙතැන වසර හතරක් තිස්සේ රැකියා හෝ ආදායම් නැති තරුණ පිරිසක් ඉන්නවා. අප ඒ පිරිස සඳහා රැකියා දිය යුතුයි. අපට හැමදාම දුප්පත්ව ඉන්න බැහැ. අපට රට හදන්නට විශාල වැඩසටහනක් තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම එක් වැඩසටහනක්. අප කෘෂි නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.නිෂ්පාදනය මෙන්ම ආදායම වැඩි කරනවා.
අනුරාධපුර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අපගේ පාලි ත්‍රිපිටකය සහ සංස්කෘතික ත්‍රිපිටකය, චීන, ජපන්, කොරියා, මොංගෝලියා, භූතාන ත්‍රිපිටක සියල්ලම අධ්‍යයනය කරන මහා විහාර විශ්වවිද්‍යාලයක් අනුරාධපුරයේ ස්ථාපිත කරනවා.
අප මෙලෙස සිතා දියුණුවෙමු. නැවතත් රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කරමු.ඉදිරියට යමු.ඔබේ අනාගතයේ අපට භාර දෙන්න.සිලින්ඩරයට ඡන්දය දෙන්නැයි ජනාධිපතිවරයා පැවසීය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා:-
රජරට ජනතාවට ගරු කිරීම සඳහා ජනපති මංගල රැළිය අනුරාධපුරයේ පවත්වන්නට තීරණය කර තිබෙනවා. සල්ගාදු පිටියේ මා දුටු විශාලතම ජන ගංගාව මෙයයි. රජරට ජනතාව යනු තීන්දු ගන්නට පුළුවන් ජනතාවක්.
රටකට ස්ථාවර බවක් අවශ්‍යයි. හිංසාවාදී දේශපාලනය අපි ඉවත් කළ යුතුව තිබෙනවා. රටක් පාලනය කරන්නට නම් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට හැකියාව තිබිය යුතුයි.
මේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ශක්තිය ලබා දීම සඳහා තවදුරටත් ඔබේ ශක්තිය අවශ්‍යව තිබෙනවා.
රට අරාජික බවින් මුදාගෙන ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයට අවතීර්ණ වීම සඳහා ඔබේ ශක්තිය අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් බවට පත් කරමු.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා –
අද අප රැස්වී සිටින්නේ පුද්ගලයෙක් ජනාධිපති කරන්න නොවේ. යුගයේ කාර්යභාරයක් ඉටු කිරීම සඳහායි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි තීන්දුවක් ගෙන තිබෙනවා. මෙරටට යුග මෙහෙවරක් කළ තවදුරටත් ඒ මෙහෙවර කිරීමට බලාපොරොත්තුවෙන් සිටින රනිල් වික්‍රමසිංහ මහතාට අප වරමක් දිය යුතුයි.
මේ වන විට පොරොන්දු දේශපාලනය අවසන් වී තිබෙනවා. යථාර්ථවාදී දේශපාලන වැඩපිළිවෙළක් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මේ වන විට නායකත්වය දෙමින් සිටිනවා. සමහර පවුල්වලට කුමාරයන් කුමාරියන් බිහි කරන්න අපට අවශ්‍ය නෑ. රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ගැන අපට කිසිම චකිතයක් නැහැ. අපට අවශ්‍ය ඒ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීමටයි.
ඇමැති අලි සබ්රි –
එදා අප බලාපොරොත්තු වූ රට නිර්මාණය කරන්නට හැකියාව ලැබුණේ නැහැ. අප මහා බලාපොරොත්තුවෙන් පිහිට වූ හැට නව ලක්ෂයේ බලාපොරොත්තුව අපට ඉටු කරගන්නට බැරිවුණා. රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තේ එවන් අසීරුම යුගයකයි.
කවුරුත් භාර ගන්න බැහැ කියා අතහැර දැමූ රට මේ වන විට නිසි මඟට ගෙන තිබෙනවා. අප කිසි විටෙක වැඩ කර තිබුණේ නැහැ. නමුත් අද අපට පැහැදිලි ශක්තිමත් තීන්දුවක් ගන්නට හැකි වී තිබෙනවා.
මේ රටේ මිනිස්සුන්ට අවශ්‍යම විට ආර්ථිකය ගොඩ ගන්නට බැරි නම් එවන් නායකයන් කුමටද?
ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි –
වසර තිස් දෙකක දේශපාලන ජීවිතයේ ස්වාධීන අපේක්ෂකයෙකුට උදව් කරන්නේ ජීවිතයේ ප්‍රථම වරටයි. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන්නත් ඉදිරිපත් වී සිටින්නේ ප්‍රථම වරටයි. ඒ වගේම මෙතන ඉන්න බහුතරයක් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවන්න ඉදිරිපත් වී ඇත්තේ ප්‍රථම වරටයි. අප සියලුම දෙනා පාට පක්ෂ භේදයෙන් තොරව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහට උදව් කරන්නට පෙළ ගැසී සිටිනවා. දේශපාලන විඥානයක් තිබෙන මොළෙන් වැඩ කරන සියලුම ජනතාව අද රනිල් වික්‍රමසිංහ සමග පෙළ ගැසී සිටිනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා:-
රනිල් වික්‍රමසිංහ රට භාර ගනිද්දී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් තිබුණේ නැහැ. අඩු ගණනේ රටට බත සපයන ගොවියාට පොහොර ටික තිබුණේ නැහැ. මේ වසර දෙකක කාලයේදී රනිල් වික්‍රමසිංහ රට පරිවර්තන යුගයකට ගෙනැවිත් තිබෙනවා.
එදා විපක්ෂය විසින් බෑ කියූ අභියෝගය රනිල් වික්‍රමසිංහ විසින් ඉටුකර තිබෙනවා. අභියෝග හමුවේ පලා ගියේ ආත්ම ශක්තියක් නොතිබූ උදවියයි. එසේ තිබියදී ජනතාව වෙනුවෙන් අභියෝගය භාර ගත්තේ ජනපති පමණයි. අභියෝග හමුවේ පලා ගියේ පුළුවන්කමක් නැති අයයි. ඒ වගේම පුළුවන්කම තියෙන කණ්ඩායම රනිල් වික්‍රමසිංහ සමග සිටියා. මේ රටේ අනාගතය අද සුරක්ෂිතයි.
මා සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට අභියෝගයක් කරනවා. හැකිනම් ඔබ දිනුවොත් ඉදිරිපත් කරන අයවැය යෝජනා ඉලක්කම් සමග වේදිකාවේ ප්‍රකාශ කරන්න.
දුමින්ද දිසානායක –
අනාගතයේ රට හදන එකම වේදිකාව මෙයයි. අනෙක් වේදිකා අඬන දොඩන ආඩපාලි කියන වේදිකා බව කිව යුතුයි. ඔවුන්ට කිසිම වැඩපිළිවෙළක් ඇත්තේ නැහැ. සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට රනිල් වික්‍රමසිංහ වටා පෙළ ගැසී සිටිනවා. ඒ වගේම අනුරාධපුරයේ ජනතාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔබ සමග සිට ගන්නා බව කිව යුතුයි.
එස්. එම්. චන්ද්‍රසේන –
සල්ගාදු පිටියට මේ වගේ ජන ගඟක් ගලපු පළමු අවස්ථාව මෙයයි. මේ ක්‍රීඩාංගණය පිරී මහ පාරේත් ජනතාව සිටිනවා. ජනාධිපතිතුමා අප අන්ත අසරණ වී සිටියදී අපට උදව් කළා. එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල අය ඒකරාශී කරගන්නට එතුමා සමත් වී තිබෙනවා. තනි මන්ත්‍රී ජනාධිපති වුණානම් නැවත ඔබ ජනපති වීම ගැන අමුතුවෙන් අහන්න දෙයක් නැහැ.
පොදුජන පෙරමුණේ එදා අපට ජනතා උවමනාව ඉටු කරන්න බැරි වුණා. ඒ ජනතා අවශ්‍යතා ඉටු කරන්නට හැකි වූයේ රනිල් වික්‍රමසිංහ නායකත්වයට පත් වූ පසුවයි.
රාජිත සේනාරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, පී. හැරිසන්, හරීන් ප්‍රනාන්දු, ඉෂාක් රහුමාන්, මනූෂ නානායක්කාර, ඇමැති ඩග්ලස් දේවානන්දා, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක, එජාප සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ප්රමුඛ එජාප. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මෙම ජන රැලියට සහභාගී වූහ.
චමින්ද සිල්වා, අනුරාධපුර – පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ, නොච්චියාගම – එම්. එම්. පෙරේරා සහ තලාව – වසන්ත බණ්ඩාර
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත