ජනතා පරමාධිපත්‍යය වෙනුවට දේශපාලන පරමාධිපත්‍යයට ඉඩදීම හා දේශපාලන අවිද්‍යාවට යටවීම

194

ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ළං වනවිට රටේ දේශපාලන පක්ෂ සෑම එකක්ම ජනතාව අතරට ගොස්දෙන පොරොන්දු බොහෝය. ඔවුන්ගේ මේ ඇතැම් පොරොන්දු රටේ ජනතාවට දෙන්නේ ඉතා අපැහැදිලි බසකිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් ගැන කතා කරන ඔවුන් බොහෝවිට ඒ කරුණ ගැන අදහස් දක්වන්නේ ඉන් යමක් ජනතාවට තේරුම්ගත නොහැකි අයුරිනි. එයද ජනතාවට විශාල ප්‍රශ්නයකි.

රටේ ප්‍රශ්නවලට මූලික වී ඇති හේතුව ලෙස ජනතාව දකින්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. රටක් ඒකාධිපතිද? නොඑසේනම් ප්‍රජාතන්ත්‍රවාදී ද? යන්න තීරණය කිරීමේදී වැදගත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. රාජ්‍ය පරමාධිකාරි බලය කා සතුද? යන්න මත එය තීරණය වෙයි. රාජ්‍ය පරමාධිකාරි බලය යන්නෙහි අරුත මෙරට පාලකයා වශයෙන් සිටි දේවානම්පියතිස්ස රජුට පැහැදිලි කර දී ඇත්තේ බුදු සසුන පිහිටු වීමට මෙරටට වැඩම කළ මිහිඳු මා හිමි විසිනි. එය මිහිඳු හිමි විසින් මෙරට පාලකයාට පැහැදිලි කර දී තිබුණේ මෙසේය.

“මහරජ! ඔබ මේ රටේ භාරකරු මිස අයිතිකරු නොවේ. මේ රට තුළ වෙසෙන සියලු මිනිසුන්ට මෙන්ම සියලු සතුන්ට ද ජීවත්වීම සඳහා ඇත්තේ එක හා සමාන අයිතියකි.”

එයින් කියැවුණේ ජනතා පරමාධිකාරි බලය යනු රාජ්‍ය පරමාධිකාරි බලයේ න්‍යෂ්ටිය බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පූර්ව කොන්දේසිය වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. ඒ අනුව රාජ්‍ය පරමාධිකාරි බලය ක්‍රියාත්මක විය යුත්තේ එයට යටත්වයි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැබෑ අයිතිකරු ලෙස සැලකෙන්නේ ජනතාවයි. ව්‍යවස්ථාවක් සෑදීමේ කටයුත්ත පුළුල් වූ ජනතා සහභාගිත්වයකින් කළ යුත්තක් ලෙස සැලකෙන්නේ එබැවිනි.

එය සකස් විය යුත්තේ දේශපාලන පක්ෂවල පුද්ගල අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයන්ට නොව, රටේ ජනතා අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයටයි. අගනුවර කාමරයකට රැස්වී පුද්ගලයන් දෙතුන්දෙනකු විසින් සාදනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් නීති ගත කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ මඟක් ලෙස ජනතාව පිළිනොගනී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කළ යුත්තේ ජනමත විචාරණයකිනි. ජනතා බලය ව්‍යවස්ථාවට කාන්දු වන්නේ එවිටය. 1958 වසරේ දී ප්‍රංශය සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කළ ජනාධිපති ඩිගෝල් එය රටේ මූලික නීතිය බවට පත්කළේ ජනමත විචාරණයකිනි. මේ යථාර්ථයට පිටුපා සිදුකරන ව්‍යවස්ථා සංශෝධන මගින් ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීමට සිතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමක් වැනි ක්‍රියාවකි.

1947 සිට මේ දක්වාම ශ්‍රී ලංකාවේ අප පාලනය වන්නේ එංගලන්තයේ ඇති වෙස්ට් මිනිස්ටර් මොඩලයේ පාර්ලිමේන්තු ක්‍රමයකිනි. 1947 නිදහස් ආණ්ඩුක්‍රම පනතින් පිළිගෙන තිබුණේ බි්‍රතාන්‍ය එළිසබත් මහ රැජිනගේ කිරීට පරමාධිකාරි බලයයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස සිදුකරන තෙක්ම මෙරට පාලකයා ලෙස සැලකුණේ ඇයයි. ඇය වෙනුවෙන් ඒ කටයුතු මෙහි ඉටු කළේ ආණ්ඩුකාරවරයා විසිනි. නිදහස ලැබීමෙන් පසු තවත් දශක දෙකක කාලයක් ගෙවී යන තුරුත් මේ රටේ ජනතාවගේ නායිකාව වූයේ එළිසබත් රැජිනය. ඒ අනුව එදා සිටි ලක්වැසියා සැලකුණේ බ්‍රිතාන්‍ය රැජිනගේ වැසියන් ලෙසටය. රටේ අගමැති ඇතුළු ආණ්ඩුව සැලකුණේ රැජිනගේ ආණ්ඩුව ලෙසය.

1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් පසු ජනතාව අපේක්ෂා කළේ ජනතා පරමාධිපත්‍යයට යටත් පාර්ලිමේන්තු ක්‍රමයකි. එදා ආණ්ඩුව විසින් බලය ලබාගත්තේ ජනතා පරමාධිපත්‍යය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ පූර්ව කොන්දේසිය බව ජනතාවට පවසමිනි. එහෙත් බලය ලැබුණු පසු ඔවුන් කියන්ට පටන් ගත්තේ ජනතා පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු පරමාධිපත්‍යය යනු සංකල්ප දෙකක් නොව, එකක් බවයි. ඒ අනුව ඔවුන් කළේ ජනතා පරමාධිකාරි බලය ජනතාව විසින් බලගැන්විය නොහැකි සිද්ධාන්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කිරීමයි. එය ජනතාව විසින් බලගැන්විය හැකි ව්‍යවස්ථාපිත යාන්ත්‍රණයක් ව්‍යවස්ථාවට ඇතුළත් නොකිරීමෙන් ඔවුන් අදහස් කළේ එයයි. ව්‍යවස්ථාවේ සඳහන් කර තිබුණේ පරමාධිකාරි බලය ජනතාව සතුය. එය අන්සතු කළ නොහැකිය යන්න පමණි. ජනතා පරමාධිකාරි බලය ජනතාව සතු බව කියැවුණු එම ව්‍යවස්ථාව යටතේම එම ජනතා අයිතිය එම ව්‍යවස්ථාව යටතේ එම ආණ්ඩුව විසින්ම යටපත් කර දැමූ ආකාරය දැකගැනීමට ජනතාවට එතරම් දිගු කලක් ගතවූයේ නැත.

1970 දී වසර 05 කාලයකට ජනතා වරමක් ලැබ රටේ අගමැති ධුරයට පත් බණ්ඩාරනායක මැතිනිය සිය ධුර කාලයේ අවසන් වූ පසුව යළි මහ මැතිවරණයකට ගොස් ජනතා වරමක් ලබාගනු වෙනුවට කළේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුවේ ආයු කාලය තවත් වසර 02කින් දීර්ඝ කර ගැනීමයි. ආණ්ඩුව කියා සිටියේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යය යනු ජනතා පරමාධිපත්‍යය බවයි. ඉන් පැහැදිලි වන්නේ රාජ්‍ය පාරමාධිකාර බලය ජනතා පරමාධිකාරි බලයක් බවට පත්වනු දැකීමට දේශපාලනඥයා තුළ කැමැත්තක් නැති අයුරුයි. එය එදා දේශපාලනඥයාගේ මෙන්ම මෙදා දේශපාලනඥයාගේත් ගති ස්වාභාවය බව අප විසින් තේරුම් ගතයුතු කරුණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම ගැන අපැහැදිලි බසින් මත පළකරන දේශපාලනඥයන්ගෙන් ජනතාව ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි.

1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට ආවේ ධර්මිෂ්ට පාලන ක්‍රමයක් රට තුළ ඇතිකරන බව පවසමිනි. ඒ අනුව ඔහු කළේ 1972 ව්‍යවස්ථාව අහෝසි කොට විධායක ජනාධිපති ක්‍රමය සහිත වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය බවට පත්කර ගැනීමයි. එම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය බවට පත්කර ගත්තේ ද පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙනි. එයද වෙස්ට්මිනිස්ටර් මොඩලයේ පාර්ලිමේන්තුවක් වීම විශේෂ සිද්ධියකි. අපේ දේශපාලනඥයන් වැඩි දෙනකු කැමැත්ත දක්වන්නේ වෙස්මිනිස්ටර් මොඩලයටයි. එහි ඇති බලය ගැන වරක් ජේ.ආර්. ජයවර්ධන මහතා කියා සිටියේ මෙයයි. එයට ගැහැනියකු මිනිසකු කිරීමත් මිනිසකු ගැහැනියකු කිරීමත් හැර අන් ඕනෑම දෙයක් කළ හැක. එවැනි බලයක් ඊට ඇත්නම් එතැන ඇත්තේ ජනතා පරමාධිකාරි බලයට පටහැනිව කටයුතු කළ හැකි පාර්ලිමේන්තුවකි.

එය එසේ වුවත් පෙර ව්‍යවස්ථාවේ තිබූ පරිදිම මෙම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ද පරමාධිකාරි බලය ජනතාව සතු බවයි. එවැනි බලයක් ජනතාවට නැති බව දන්නේ ජනතාව පමණි. ගතවූ කාලපරාසය තුළ මේ රටේ වැසියාට දක්නට ලැබුණේ බලයට ආ ආණ්ඩුවල නායකයන් රාජ්‍ය නීති අවභාවිත කරමින් ධනය ඉපැයූ අයුරුය. ආණ්ඩු විසින් රාජ්‍ය බලය එලෙස අවභාවිත කරන අවස්ථාවලදී ඊට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට ව්‍යවස්ථාවෙන් ජනතාවට ඉඩ සලසා නොතිබීම විවිධ රාජ්‍ය දූෂණවලට මඟ පෑදූ හේතුව ලෙස දැක්විය හැක. පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් බලයට එන ආණ්ඩුවල නායකයන්ට නොනිසි වරප්‍රසාද හිමකර ගැනීමට මේ තත්ත්වය මහත් රුකුලක් විය. තීරු බදු රහිත අධි මිල සුඛෝපභෝගි වාහන, වැඩි වැටුප්, විශ්‍රාම වැටුප්, අමතර උත්සව දීමනා, සහනදායි මිලට රසමසවුළු ආහාර, එතෙර චාරිකා, රාජ්‍ය නිල නිවාස වැනි මෙකී නොකී වරප්‍රසාද සියල්ල මන්ත්‍රීවරුන්ට ලබාදීමට බලයට ආ ආණ්ඩුවලට හැකිවූයේ පරමාධිකාරි බලය ජනතාව සතු නොවීමය. එය එසේ නම් ඊට ඇති එකම විසඳුම වන්නේ ජනතාව පරමාධිපත්‍යය නිසි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ස්ථාපිත කිරීම බව අමුතුවෙන් කිවයුත්තක් නොවෙයි. මේ යථාර්ථය පිළිගන්නවා වෙනුවට අපේ දේශපාලනඥයන් රටේ ජනතාව රැවටීමට අද උත්සාහ කරමින් සිටින්නේ විධායක ජනපති ක්‍රමය යකෙක් කොට පෙන්වා එය අහෝසි කිරීමට යෝජනා ඉදිරිපත් කරමිනි.

ගතවූ කාලය පුරාම වරින්වර රටේ ජනතාවට දකින්ට ලැබුණේ විවිධ ප්‍රශ්න සම්බන්ධව වෘත්තීය සමිති සහ සරසවි ශිෂ්‍ය සංවිධාන ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාර මර්දනය සඳහා බලය යෙදූ ආකාරයයි. එම උද්ඝෝෂණ ව්‍යාපාරවලදී අපට අසන්න ලැබුණේ ‘නිදහස් අධ්‍යාපනයට අත නොතබනු; රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය නොකරනු; ලංකා භූමිය විදේශිකයන් සතු නොකරනු’ වැනි සටන් පාඨයන්ය. මේවා පුළුල් සංවාදයකට ලක්කළ යුතුව තිබූ කරුණු වුවත් එවැන්නක් සිදුවනු අප දුටුවේ නැත. ඒ වෙනුවට අප දුටුවේ ආණ්ඩුව විසින් බැටන් හා ජල ප්‍රහාර එල්ලකොට එම විරෝධතාකරුවන් පලවා දැමූ අයුරුය.

වෘත්තීය සමිති හා සරසවි ශිෂ්‍ය සංවිධාන ඒ අන්දමින් උද්ඝෝෂණ කරන්ට ඇත්තේ අන් හේතුවක් නිසා නොව, ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති පරිදි ‘රාජ්‍ය පරමාධිකාරි බලය ජනතාව සතුය’ යන වචනවලින් ගම්‍ය වන දෙබිඩි අර්ථය හරිහැටි තේරුම් ගැනීමට ඔවුන් අසමත්වූ නිසා විය හැක. දේශපාලන විද්‍යාවේ දැක්වෙන හැටියටනම් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍යය යනු සංකල්ප එකක් නොව, දෙකකි. ජනතා පරමාධිපත්‍යය යනු හේතුඵලවාදී ජනතා සංකල්පයකි. එහෙත් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය යනු එවැන්නක් නොවේ. එය මැවුම්වාදය පදනම් කරගත් මානව හිතවාදීත්වය කෙරෙහි පමණක් විශ්වාසය තබාකටයුතු කරන දේව සංකල්පයකි. එංගලන්තයේ පවතින රාජාණ්ඩු ක්‍රමයේ පදනම දේව බලයයි. එහි වැසියන් ‘දෙවියෝ රජු රකී; රජු රට රකී’ යනුවෙන් පවසන්නේ එබැවිනි.

ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන එකදු දේශපාලනඥයෙක්වත් රාජ්‍ය පරමාධිකාරි බලය ගැන වචනයකුදු කතා නොකරයි. රාජ්‍ය පරමාධිකාරි බලය ජනතාව සතු අයිතියක් ලෙස පිළිගැනීමට ඔවුන් දක්වන්නේ පුදුම මැලිබවකි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු පරමාධිපත්‍යය යන සංකල්ප දෙකම සැලකෙන්නේ එක හා සමාන අරුත් ඇති තනි එක් සංකල්පයක් ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය වන්නේ මෙවැනි වැරදි නිවැරදි කිරීමටය. පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍යයට යටත්ව කටයුතු කිරීම ජනතාවගේ අවශ්‍යතාවය වුණ අතර දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ ජනතාව පාර්ලිමේන්තු පරමාධිපත්‍යයට යටත්ව තබාගැනීමටය. මේ රටේ හැමදාමත් සිදුවූයේ ජනතා ඇසට වැලි ගසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සෑදීමකි. එය ඉදිරියේ සිදු නොවිය යුත්තකි.

ප්‍රජාතන්ත්‍රවාදය මේ රට තුළ ස්ථාපිත කළ යුත්තේ පාර්ලිමේන්තුව අගමැති හෝ ජනපති විසින් යටපත් කළ නොහැකි ආකාරයට ඍජු සංවරණ හා තුලන (Direct Checks and Balances) යොදා එහි පූර්ව කොන්දේසිය වූ ජනතා පරමාධිපත්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ස්ථාපිත කිරීමෙන් පමණි. එසේම මහජන නියෝජිතයන් තෝරා පත්කරගනු ලබන්නේ රටේ ඡන්ද දායකයා විසින්නම් එම මහජන නියෝජිතයන්ගේ වැටුප් ද ඡන්ද දායකයා විසින්ම තීරණය කළයුතු වෙයි. එමෙන්ම මහජන නියෝජිතයකු, දූෂිතයකු ලෙස කටයුතු කරයි නම් යළිත් මහා මැතිවරණයක් එන තෙක් බලා නොසිට ඕනෑම අවස්ථාවක ඔහු/ ඇය ඉවත් කළ හැකිවන පරිද්දෙන් නීතිය සකස් වියයුතු බවද වැදගත් වෙයි. මේ ක්‍රමය බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ නියෝජිතාවර්තනය (Recall) නමිනි. මහා බ්‍රිතාන්‍යය මෑතකදී නියෝජිතාවර්තන පනත (Recall Act 2015) නමින් පනතක් නීතිගත කර ඇත්තේ දූෂිතයන් පලවා හැරීමේ මඟක් වශයෙනි. එවැනි නීති රීතිවලට විරුද්ධ වන්නේ දේශපාලනය තුළට රිංගා සිටින හොරුන් පමණි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතා පරමාධිපත්‍යයට යටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති රටක් ලෙස අපට හැඳින්විය හැක්කේ ස්විට්සර්ලන්තයයි. එහි ඇති ෆෙඩරල් ක්‍රමය අපට ගැළපෙන බවක් මින් නොකිය වේ. එහි ව්‍යවස්ථාව අනුව එරට පාර්ලිමේන්තුවට අමතරව අවශ්‍යවිටදී රට වැසියාට ද රටේ ව්‍යවස්ථා සම්පාදනයට ඍජුව සහභාගි වීමේ අයිතිය හිමිව තිබීම එහි ඇති විශේෂත්වයයි. එම ක්‍රමය හැඳින්වෙන්නේ ජනප්‍රාරම්භනය සහ ජනමත විචාරණ ක්‍රමය (Popular Initiative and Referendum) ලෙසිනි. ඒ අනුව ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුව කටයුතු කළ යුත්තේ ජනතා පරමාධිපත්‍යයට යටත්වයි. මහජන නියෝජිතයන් රටේ ජනතාවගේ ශුභසිද්ධිය සඳහා අවශ්‍ය නීතිරීති සම්මත කිරීම පැහැර හරින ඕනෑම අවස්ථාවක ජනප්‍රාරම්භනය සහ ජනමත විචාරණ ක්‍රමය මගින් එම නීති සම්මත කිරීමට එරට වැසියාට පුළුවන.

ජනතාව සතු මෙම අයිතිය ස්විට්සර්ලන්තය තුළ ක්‍රියාත්මකව පවතින්නේ 1891 වසරේ සිටය. වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන මට්ටමට වඩා අඩු මට්ටමක අධ්‍යාපනයක් පැවැති එදා ස්විට්සර්ලන්තය තුළ ඒ ක්‍රමය ඉතා සාර්ථක පාලන ක්‍රමයක් ලෙස මුල්අල්ලා තිබීම ශ්‍රී ලංකාවේ අප විසින් ඇස් ඇර බැලිය යුතු කරුණකි. රටවැසියා යුතුකම් හරිහැටි ඉටු කළ හැකි පුද්ගලයකු කිරීමේදී ඉතාමත්ම වැදගත් වන්නේ අධ්‍යාපනයයි. එවැනි රටවැසියන් රට තුළ බිහිවනු දැකීමට අපේ පාලකයන් දක්වන්නේ දැඩි බියකි. වරක් ආණ්ඩුව විසින් ප්‍රජාචාරය විෂයය පාසල් විෂය මාලාවෙන් කපා ඉවත් කෙරුණේ ද ඒ නිසාය. ගතවූ දශක පහමාරක පමණ කාලය තුළ අපේ දරුවන්ට සමාජ අධ්‍යයනය නමින් ඉගැන්වූයේ දේශපාලන අවිද්‍යාවය. ඒ තත්ත්වය තවමත් නිවැරදි වී නැත. මෙය දැන්වත් අප විසින් තේරුම් ගතයුතු කරුණකි. දේශපාලන විද්‍යා විශාරදයකු වූ මහාචාර්ය සී. අප්පදොරේ මහතා ඔහු විසින් ලියා ඇති දේශපාලන විද්‍යාවේ සාරය නමැති ග්‍රන්ථයේ මේ කරුණ පැහැදිලි කර දී ඇත්තේ මෙසේයි!

“පුරවැසියා යුතුකම් හරිහැටි ඉටු කළ හැකි පුද්ගලයකු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරය පිළිබඳ හරි දැනුමක් ලබාදීම වැදගත්ය. අනිවාර්ය නිදහස් අධ්‍යාපනය දීම පමණක්ම නොසෑහේ. එය කළ හැක්කේ මහජන කටයුතු පිළිබඳව බුද්ධිමත්ව හිතමින් ආණ්ඩුව විවේචනය කළ හැක්කාවූද තමන්ගේ මතයට වෙනස් වූ අන්‍ය මත ඉවසිය හැක්කාවූ ද දූෂිත ලෙස ජනතා වරම පුද්ගල අභිවෘද්ධිය සඳහා යොදා නොගන්නාවූ ද ගැහැනුන් සහ මිනිසුන් බිහි කිරීමෙනි.” අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් එවැනි රටවැසියන් බිහිවන බවක් තවම අපට දක්නට නැති බව කිවයුතුව ඇති කරුණකි.

රටේ ජනතාව අතර දේශපාලන අවිද්‍යාව පතුරුවා එය තුළින් මෙතෙක් කරගෙන ආ ආකාරයටම සිය දේශපාලන පක්ෂ වුවමනාවන්ට ගැළපෙන සේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුක්‍රම සෑදීමේ කූට දේශපාලන උපාය මාර්ගවලට හසු නොවී කටයුතු කිරීමට දැන්වත් අසා වගා බලා ගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළ යුත්තේ ඒ පිළිබඳව ජනතාවට පුළුල් අවබෝධයක් දීමෙන් පසුවය.

● සිසිල් අතුකෝරළ

advertistmentadvertistment
advertistmentadvertistment