ජනතා වගකීම (ගැහැනුන්ට ගරු කරන මිනිසුන් මැතිසබයට යවන්න)

544

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වැනිදාට යෙදී තිබේ. ඊට සමගාමීව අප රටේ ද කාන්තා දිනය වාර්ෂිකව සමරනු ලැබේ. එදිනට නන් දෙසින් කාන්තා අයිතිවාසිකම්, කාන්තා විමුක්තිය පිළිබඳව හඬ නගන දේශන වැඩමුළු රාශියක් රටපුරා දැකීම සුලභ දසුනකි. මේ සියල්ල එසේ සිදු වුවද අප රටේ කාන්තාවන්ට සිදුවන හිංසනවල අඩුවක් නොපෙනේ. ගෘහස්ථ හිංසනයේදී තම සැමියාගෙන් ද, පියාගෙන්ද, ඥාතීන්ගෙන් ද හිංසනයට පත්වන කාන්තාවන් පිළිබඳව දිනපතා ප‍්‍රවෘත්ති වාර්තා වන්නේත් ධර්මද්වීපයක් ලෙස සැලකෙන අප රටෙනි. බහුතර දෙමාපියන් තම දරුවන් මල් සේ, තම පණ සේ බලා ගන්නා බව සැබෑවකි. එහෙත් තම බිරිඳ පවුලේ බර කරට අරන් විදෙස් රැකියාවකට ගිය කල තම දියණිය අඹුකමට ගන්නා කාලකණ්ණි පියවරු සිටින්නේ ද අප රටේ ය.

මල්වන් කුඩා දැරියන් පමණක් නොව කුඩා පිරිමි දරුවන් ද අපහරණය කරන තිරිසනුන් සිටින්නේ ද අප රටේය. මෙම තත්ත්වය හමුවේ අප රටෙන් කාන්තා හිංසනය දුරු කිරීම සඳහා ක‍්‍රමවත්, විධිමත් විද්‍යාත්මක ප‍්‍රවේශයක් සොයා ගත යුතුව ඇත. එසේ නොමැති නම් කාන්තා දිනයට පමණක් කාන්තා හිංසනය පිටුදැකීම ගැන කතා කිරීමෙන් ඵලක් නොමැත.
තත්ත්වය එසේ තිබියදී අපගේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි පසුගිය 23 වැනිදා මන්ත‍්‍රීවරීයක මූලික කරගෙන කළ කතාව මේ මොහොතේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවා වී කාන්තාවන් හිංසනයට ලක්කිරීම කෙතරම් සදාචාර විරෝධී දැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත.

ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය දුන් ආදර්ශය අප රටේ කාන්තා පරපුරටම ආඩම්බරයකි. අදත් අප රටේ ආර්ථිකයේ වැඩි බරක් උසුලනුයේ කාන්තාවන් බව අප අමතක නොකළ යුතුය. ආර්ථිකයේ විවිධ ක්‍ෂේත‍්‍රවල වගකීම් උසුලමින් කාන්තාව අප රටට කරන සේවය විශාලය. පසුගිය කාලයේදී කරලියට ආ එක් කතාවක් වූයේ අපේ රටේ කාන්තාවන්ගෙන් සියයට විසිපහක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවය. අදටත් ප‍්‍රායෝගිකව මෙය සිදු නොවී තිබෙන අවදියකදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් පවා තිස්ස කුට්ටිආරච්චිලා වැන්නවුන්ගෙන් හිංසනයට ලක්වේ නම් අප ඉහතින් සඳහන් කළ ඉලක්ක සහගත පාර්ලිමේන්තු නියෝජනයන් බලාපොරොත්තු වන්නේ කෙසේද?

තිස්ස කුටිට්ආරච්චි මන්ත‍්‍රීවරයා මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය ඉලක්ක කරගෙන එළවළු සහ පලා වර්ග ගැන කියමින් ව්‍යාගාර්ථයෙන් ඇයට හිංසා වන පරිදි කතා කිරීම ගැන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවා කනගාටුව පළකර තිබිණි. ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සභාපතිනි සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවා මෙම අවස්ථාවේදී ප‍්‍රකාශ කර තිබුණේ සෘජුව හෝ ව්‍යංගයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හිංසනයට ලක්වන අයුරින් කතා කිරීම යුක්ති සහගත නොවන බවයි. එහෙත් තිස්ස කුටිට්ආරච්චි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර තිබුණේ තමා එළවළු ගැන පමණක් කතා කළා මිස කාන්තා හිංසනයක් වන අයුරින් කතා නොකළ බවයි. මෙය ඔහුගේ හෘද සාක්‍ෂිය නොවන බව අපි දනිමු. ඔහු මෙලොවට බිහිවූයේ මවක් නිසාවෙනි. ඔහුටත් බිරිඳක් සිටියි. එනිසාම ඔහු කරන ප‍්‍රකාශවල මීට වඩා සංවර බවක් තිබිය යුතුය. විශේෂයෙන් ඔහුව පාර්ලිමේන්තුවට යැවූ ජනතාව වෙනුවෙන් වගකීමක් ඇතිව හැසිරීමට ඔහු වගබලා ගත යුතුය.

මෙහිදී අප ජනතාවට යමක් මතක් කර දීමට කැමැත්තෙමු. ඔබ හොරුන්,
චණ්ඩින්, කතුන්ට ගරහන නීචයන් පාර්ලිමේන්තුවට යැවිය යුතු නැත. ඔබ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මහත්මා දේශපාලනඥයන්ය. බත් පැකැට්ටුවට, අරක්කු වීදුරුවට, රස්සාවට යට වී ඔබ නුසුදුස්සන්, පුස්සන්, පාර්ලිමේන්තුවට යැව්වොත් එහි අයහපත් ප‍්‍රතිඵල භුක්ති විඳින්න වනුයේ ද ඔබටමය.

advertistmentadvertistment
advertistmentadvertistment