ජනතා විශ්වාසය ශක්තිය වුණා

168

උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතා දිවයින හිටපු ප‍්‍රධාන කර්තෘවරු වන උපාලි තෙන්නකෝන්, මෙරිල් පෙරේරා දිවයින හිටපු ප‍්‍රධාන උප කර්තෘ දේශප‍්‍රිය දිසානායක දිවයින පත‍්‍රයේ පළමුවන ක‍්‍රීඩා කර්තෘ හා සම කර්තෘවරයකු වූ අසෝක ගුණතිලක දිවයින වත්මන් ප‍්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්වන ශාන් විජේතුංග හා විමලසේන ඉහළගම අසෝක ලියූ පොතක් එළිදැක්වූ මොහොතකදී…………

දිනපතා ‘දිවයින’ පුවත්පතට වසර හතළිහක් සම්පූර්ණ වෙයි. මෙය දීර්ඝ කාලයකි. ඒත් එහි ආරම්භය ඇතුළු සියලූ කටයුතු අද ඊයේ සිදුවූවාක් ලෙස මට හොඳටම මතකය. මුලින්ම අප සියලූම දෙනා සම්බන්ධ වුණේ දිවයින ඉරිදා සංග‍්‍රහය පුවත්පතටය. පසුව දිනපතා පුවත්පත ආරම්භ වීමත් සමග සමහරු ඊට සම්බන්ධ වූහ. මාද එවැන්නෙකි.

දිනපතා පුවත්පත ආරම්භ වීමට ප‍්‍රථම හිටපු සියලූම දෙනාට රැස්වීමක් පැවැත්වුණා මට මතකය. ඒ රැස්වීම තිබ්බේ එඩ්මන්ඩ් රණසිංහ මහතා විසිනි. එදා ඔහු ඉතා වැදගත් ප‍්‍රකාශයක් කළා. මට මතකය. පැයකටත් වඩා කාලයක් පැවති එම රැස්වීම මා පේළි කීපයකින් සඳහන් කිරීමටයි උත්සාහය.

ජනතා විශ්වාසය ශක්තිය වුණා

මේ රණසිංහ මහතාගේම වචනයි. ‘‘අපි දැන් දිනපතා දිවයින පටන්ගන්න යන්නෙ. ඒකට අලූතෙන් අය ගන්නවා. හැබැයි එතන දක්ෂයෝ මේ අය පසු කරගෙන ගියොත්, අපි මුලින් ආව අය කියලා මට දොස් කියන්න එපා. මට ඒ දක්ෂයෝ අමතක කරන්න බැහැ. ඒක නිසා මේ අය ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි.’’

මෙවැන්නක් කවුරුත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එහෙත් එදා රණසිංහ මහතා එසේ ප‍්‍රකාශ කළේය. ඒ ඔහු ඉදිරිය දුටු හෙයිනි. නමුත් සමහරු එදා රණසිංහ මහතා ප‍්‍රකාශ කළ දේම පසුව සඳහන් කළ බව නම් ඉතා පැහැදිලියි.

දිනපතා දිවයින පුවත්පත ආරම්භයත් සමග විශාල පිරිසක් ඊට සම්බන්ධ වූහ. එමෙන්ම එහි ඉතා දක්ෂයින් විශාල පිරිසක් සිටියහ. කිසි දිනක ඒ දක්ෂයින්ට රණසිංහ මහතා අතින් වරදක් සිදුවූයේ නැත. ඒ නිසාම පැරණි සමහරුන් නොරිස්සුණු තැන් තිබුණා විය හැකිය.

ජනතා විශ්වාසය ශක්තිය වුණා

මා දිනපතා ‘දිවයින’ට සම්බන්ධ වූයේ වාර්තාකරුවකු වශයෙනි. අනෙක් වාර්තාකරු වූයේ ධර්මරත්න විජේසුන්දර මහතාය. නමුත් මා එහි සේවය කළේ ඉතාම කෙටි කාලයකි. එය දින ගණනක් වූවායි කීවොත් නිවැරදිය. මා ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘවරයා ලෙස පත් විය. පුවත්පතේ දෙවැනි ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘවරයා වූයේ මායි.

ඒ ‘දිවයින’ පත‍්‍රයේ මා තැබූ තවත් වාර්තාවක් නම්, එහි දෙවැනි කර්තෘවරයා වීමයි. එහි කර්තෘවරයා ලෙස වසර දහයක් පමණ කාලයක් මම සේවය කළෙමි.

‘දිවයින’ තුළ සිටියදී වාර්තා කීපයක් තැබීමට මට අවස්ථාව උදා විය. එයින් අවස්ථා දෙකක් ගැන සඳහන් කළෙමි.

ජනතා විශ්වාසය ශක්තිය වුණා
දිවයින පුවත්පතක් එළිදැක්වූ මොහොතක එදා එක්වූ උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනි ලක්මණි ආර්. වෙල්ගම මැතිනිය අධ්‍යක්‍ෂක ලහිරු ගුණසේකර මහතාද පසෙක වෙති

මෙම අවස්ථා දෙකම ‘දිවයින’ තැබූ විශිෂ්ට වාර්තාවක් ලෙස මම දකිමි. ඒ එවකට ප‍්‍රධාන කර්තෘ ධුරය දැරූ එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ දක්ෂතාවය මතම සිදුවූ ජයග‍්‍රහණයන්ය. මට තවත් කර්තෘවරු කීපදෙනකු සමග වැඩ කරන්න ලේක්හවුස් ආයතනයේදී අවස්ථාව උදා විය. රණසිංහ මහතා සමග බොහෝ කලක් සේවය කර තිබූ මට එය තරමක් දුෂ්කර අවස්ථාවක් විය. වරක් ‘දිණමිණ’ කර්තෘ ධුරය දැරූ ඇස්. සුබසිංහ මහතා එක් කර්තෘවරයෙකි. අනෙක් කර්තෘවරයා වූයේ වැ. බැ. මෙත්තානන්ද මහතාය. මොවුන් දෙදෙනාම රණසිංහ මහතා සමග සන්සන්දනය කරන විට බොහෝ පැතිවලින් වෙනස්ය. නමුත් එය අපට හුරුවන්න ටික කාලයක් ගත විය.

ඇස්. සුබසිංහ මහතා වරක් ‘සිළුමිණ’ පත‍්‍රයේ කර්තෘවරයා වූයේය. එවකට ‘සිළුමිණ’ පත‍්‍රයේ අලෙවිය ලක්ෂ හතර ඉක්ම විය. එවිට ‘සිළුමිණ’ පත‍්‍රයට ‘අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත’ යන සටහන ඇතුළු විය. එදා ‘සිළුමිණ’ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූවා පමණක් නොව හැම ගෙදරකටම නැතිවම බැරි පුවත්පතක් වුණා.

ජනතා විශ්වාසය ශක්තිය වුණා
දිවයින මංගල කලාපය

සුබසිංහ මහතා නිහඬ පුද්ගලයෙකි. ඒත් ඔහු සමග තර්ක කරනවාට කැමැති නැත. මගේ ප‍්‍රවෘත්තියක් සමග ඇති වූ කතාවකදී සුබසිංහ මහතා සමග මම තර්ක කළෙමි. මා සඳහන් කළේ ඔහු වැරදි බව කියමින්ය. එදා ඔහුට මා සමග කේන්ති ගියේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දින ගණනාවක් ඔහු මා සමග කතා නොකර සිටියේය. එදා මට සිහි වූයේ අප රණසිංහ මහතා සමග තර්ක විතර්ක කළ ආකාරයට හැමදාම කතා නොකර ඉන්න තිබුණාය කියාය. නමුත් ඔහු ඒවායින් තවත් ශක්තිමත් විය. එවැනි තර්ක විතර්ක කිරීම ඔහුට පෙනුණේ වෙනස් ආකාරයකටය. එවැනි අයට තව තවත් වගකීම් භාරදීම් ද ඔහුගේ සිරිතය. එපමණක් නොව එම තර්කය නිවැරදි නම් එය පිළිගැනීමට ද නිහතමානි වූයේය.

එඩ්මන්ඩ් රණසිංහ මහතා සමග නිතර නිතර තර්ක විතර්ක කළ අයෙකු ලෙස හඳුන්වාදිය හැකි මාධ්‍යවේදියකු වූයේ ගයිරික පේරුසිංහ මහතාය. එදා ඔහු කනිෂ්ඨ මාධ්‍යවේදියෙක් විය. අද ප‍්‍රවීණ මාධ්‍යවේදියකි. ඔහු නිතර නිතර රණසිංහ මහතා සමග වාද විවාදවලට ගිය අවස්ථා මටත් මතකය. එමෙන්ම එවකට රටේ සිටි ඉතාම ප‍්‍රබල දේශපාලනඥයන්් වූ ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන මහත්වරු සමග ද ඔවුන්ගේ සාකච්ඡුාවලදී ඉතා දැඩි ප‍්‍රශ්න මතු කරමින් විවාදවලට පේරුසිංහ මහතා මුහුණ දුන්නේය. වරක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ මහතා මට කතා කළේය. ඔහු මට කතාකළේ ඔහුගේ පුවත්පත් සාකච්ඡුාවේදී ගයිරික පේරුසිංහ මහතා නැගූ ප‍්‍රශ්න නිසා එම පුවත්පත් සාකච්ඡුාව අවුල් වූ බව කීමටය.

ජනතා විශ්වාසය ශක්තිය වුණා
එඩ්මන්ඩ් රණසිංහ දිවයින සමාරම්භක ප‍්‍රධාන කර්තෘ හා ප‍්‍රථම කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ

එවකට මා ‘දිවයින’ ප‍්‍රවෘත්ති කර්තෘවරයා විය. කල්පගේ මහතාගේ ඉල්ලීම වූයේ පේරුසිංහ මහතාට එසේ නොකරන ලෙස දැනුම් දීමයි. කෙසේ වෙතත් මා ඒ කාරණා ගැන පේරුසිංහ මහතාගෙන් විමසූ විට ඔහු ප‍්‍රකාශ කළේ කල්පගේ මහතාගේ බොහෝ කාරණා නිවැරදි නොවන බවයි. එතනින් එහාට මට කිසිවක් ප‍්‍රකාශ කළ නොහැක. එවකට ඔහුගේ සේවය පුවත්පතට ඉතා දැඩි ලෙස උවමනා වූ බව ප‍්‍රවෘත්ති කර්තෘවරයා හැටියට මම දැනගෙන සිටියෙමි. ඔහු සේවය කළේ පුවත්පතටය. ඔහු නිසා ‘දිවයින’ පුවත්පත බැබළුනා මිස ‘දිවයින’ නිසා ඔහු බැබළුණු කෙනෙක් නොවීය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණු දෙකක් වෙයි.

ජනතා විශ්වාසය ශක්තිය වුණා
දිවයින, දි අයිලන්ඩ් කෘතහස්ත කාටුන් ශිල්පී ඩබ්ලිව් ආර් විජේසෝමයන්  එදා රට දුටු මොහොතක්

මොහු මේ සියලූ දෙනාගේම පුවත්පත් සාකච්ඡුාවලට ගියේ ඉතා හොඳින් ඒ ගැන අධ්‍යයනය කරමින්ය. ඒ නිසාම බොරුව මොකක්දැයි හරියටම ඔහු දැනගෙන සිටියේය. කරුණු එසේ දැනගෙන සිටි හෙයින් ඒ ගැන විමසීමට කිසිවිටක ඔහු භිය වූයේ නැත. අන්තිමට කල්පගේ මහතාගේ සතිපතා පුවත්පත් සාකච්ඡුාව නතර විය.

වරක් ගයිරික පේරුසිංහ මහතාගෙන් මෙම නොබියව ප‍්‍රශ්න කිරීමේ හැකියාව ඇති වූයේ කෙසේදැයි ප‍්‍රශ්න කර තිබුණි. එයට ඔහු දුන් පිළිතුරු වූයේ එඩ්මන්ඩ් රණසිංහ මහතා සමග තර්ක විතර්ක කිරීමෙන් එම පුහුණුව ලැබුණු බවකි. මෙසේ රණසිංහ මහතා අතින් පුහුණුව ලැබූ තවත් පිරිසක් ‘දිවයින’ තුළ සිටියහ. ඒ සියල්ලන් ගැනම මෙහිදී සඳහන් කළ නොහැක. ඒත් මේ අවස්ථාවේ තවත් එක් අයෙකු ගැන සඳහන් කළ යුතුය. එසේ නැත්නම් ‘දිවයින’ හතළිස්වැනි සංවත්සරය සර්ව සම්පූර්ණ වන්නේ නැත.

ඒ ධර්මරත්න විජේසුන්දර මහතායි. ඔහු ජීවිතය ද පරදුවට තබා ‘දිවයින’ට සේවය කළ තවත් ඉතා ප‍්‍රවීණ මාධ්‍යවේදියෙකි. අද ඔහු ජීවතුන් අතර නැත. ඒත් එතුමන්ලා වැනි විශාල පිරිසක් කිසිම ඇගයුමකට ලක් වූවා දැයි මට සැක සහිතය. නමුත් මේ සියලූම දෙනා ‘දිවයින’ පාඨකයින්ගේ ඇගයුමටත් ප‍්‍රණාමයටත් ලක් වූ බවට නම් කිසිම සැකයක් නැත.

ජීවිතය පරදුවට තබා ඔහු කළ සංචාර එමටය. ඒවා මෙහි එකින් එක සඳහන් කළ නොහැක. කාර්යාලයේ වාහන සහ වෙනත් පහසුකම් ඔහු බලාගෙන සිටියේ නැත. ඔහුගේ පෞද්ගලික මෝටර් සයිකලයේ ගිය සංචාර එමටය. ඔවුන්ට විශ්වාසය තිබුණෙත් ‘දිවයින’ ගැන පමණි. ඔවුන්ට සහනයක් වූයේ රණසිංහ මහතා වැනි නියමුවෙකු සිටීම පමණි.

ධර්මරත්න විජේසුන්දර මහතා ගැන කෙටියෙන්ම සඳහන් කරනවා නම් හිත හොඳ අවංක නිර්භීත මාධ්‍යවේදියෙකි. වරදක් ඔහු ළඟ තිබුණා නම් ඒ කුකුල් කේන්තිකාරයෙක් වීම පමණයි. ඒත් පසුව ඒ ගැන පසුතැවිලි වූ අවස්ථා එමටය. ඒ සියල්ලට හේතුවත් ඔහුගේ අවංකකම අනිත් අය තුළ නැති වීමයි. ඔහු නැති වුවද මගේ දෙනෙතට කඳුළක් ආවේ මේ සියල්ල මෙනෙහි කරමින්ය.

එමෙන්ම මෙරිල් පෙරේරා මහතා ද හැබෑම දක්ෂයෙකි. ඔහුගේ ශිර්ෂ පාඨයක් තුළින් කියවෙන දහසක් දේ තිබුණි.

ජනතා විශ්වාසය ශක්තිය වුණා

පාඨකයන්ගේ ඇස ‘දිවයින’ කෙරෙහි ඉතා තදින් බැඳුනේ ඒ නිසාමය. පිටු සැකසුමට මෙන්ම මුල් පිටුවේ අලූත් හැඩයක් හැමදාම නිර්මාර්ණය වූයේය. මෙරිල් පෙරේරා මහතාගේ මා දකින ගුණාංග අතරින් වඩාත්ම කැපී පෙනුණේ ඔහුගේ ඉක්මන්කමයි. පත‍්‍ර පිටු සියල්ල සකස්කොට මුද්‍රණයට යන්න ඔන්න මෙන්න කියා තිබියදී අලූත් දෙයක් සිදු වුවහොත් ඒ සියල්ල නැවත අලූත් පිටුවලින් සකසා කිසිම ප‍්‍රමාදයක් නැතුව නියමිත වෙලාවටම පත‍්‍රය මුද්‍රණයට යැව්වේය. ඒ ඔහුගේ උපන් හැකියාව ලෙස මම දකිමි. එසේ සිදු වූ අවස්ථා එකක් දෙකක් නොව එමටය. මට එවැනි අවස්ථා රැසක් එකින් එක සිහිගැන්වෙයි.

‘දිවයින’ පළමු පත‍්‍රයේ පිටපත් 35,000ක් මුද්‍රණය වූ බව මට මතකය. ඒ මීට වසර හතළිහකට පෙර පෙබරවාරි 4 වැනිදාය. නමුත් දිනෙන් දින මෙය වර්ධනය වන බවක් නොපෙනිණිි. සංඛ්‍යාව ක‍්‍රමයෙන් පහතට යන්නට විය.

ඒ නිසාම රණසිංහ මහතා රැස්වීමක් කැඳවා තිබුණි. එදා ඔහු ඒ පිරිසට ප‍්‍රකාශ කළේ ඉතා දැඩි ප‍්‍රකාශයකි. එය හැකි තරමින්ම ඒ අයුරින්ම මෙහි සඳහන් කිරීමට මම උත්සාහ කරමි.

‘‘පත‍්‍රයේ අලෙවිය පහළට යනවා. මෙහෙම වෙන්න බැහැ. මේක වැඩි කරන්න ඕනෑ. ඒක මේ සේරමගේ වගකීමයි. මින් ඉදිරියට කිසියම් දෙයක් සිදුවූවොත් ඒකේ සියලූම පැති වාර්තා කරන්න වග බලාගන්න. පසුවදාට කිසිම පාඨකයකුට කිසිම ප‍්‍රශ්නයක් අහන්න ඉඩ තියන්න එපා. පිටු එකක් බැරි නම් දෙකක් හරි තවත් පිටු අරගෙන හරි කතා සහ පිංතූර පළකරන්න. පිංතූර වරද්දන්න එපා. කතාවක් ජීවමාන වෙන්නේ පිංතූරවලින්. ඉන්න සේරම කැමරාමන්ලා හරි යවලා පිංතූර ගන්න.’’

පැයක පමණ වූ එම රැස්වීම මම එක ෙඡ්දයකට කැටි කළෙමි.

අපි සියලූම දෙනා එකට අත්වැල් බැඳ ගතිමු. තනි තනිව නොව එක කණ්ඩායමක් හැටියට වැඩ කළෙමු. වැඩි දවසක් ගියේ නැත. පත‍්‍රයේ අලෙවිය වැඩි වූයේය. පාඨකයින් අතර අලූතෙන් කතාවක් පට බැඳුනේය. ඕනෑම සිද්ධියක් ඇති වුවොත් පාඨකයෝ ප‍්‍රකාශ කළේ ‘හෙට’ දිවයින බලන්න. සේරම ඒකේ තියෙයි කියාය.

මේ සියල්ල අතර ‘දිවයින’ට තර්ජන ගර්ජන ආවේ වරක් දෙවරක් නොවේ. රණසිංහ මහතාට ප‍්‍රසිද්ධ වේදිකාවේ තර්ජනය කළ අවස්ථා එමටය. ඔහුගේ ගෙදරට බෝම්බ ප‍්‍රහාරයක් ද එල්ල වූයේය. එයින් ඔහුගේ ජීවිතය බේරුණේ අනූනවයෙනි. ඒත් ඔහු බිය වූයේ නැත. පසුදින උදේ සුපුරුදු පරිදි නියමිත වෙලාවටම කාර්යාලයට පැමිණියේය. වැඩ නිම කොට සුපුරුදු පරිදි ආපසු

ගියේය. බොහෝ අය බොහෝ ආරක්ෂක ක‍්‍රම යෝජනා කළේය. ඒත් ඔහු සුපුරුදු පරිදි සිය කටයුතු කළේය. රට හැර ගියේ නැත. කතාවට පමණක් නොව ඔහු නිර්භය බව ප‍්‍රායෝගිකවම ඔප්පු කර පෙන්වූයේය. එය හැබෑ නිර්භයකමයි.

තවත් වරක ගේට්ටුව කඩාගෙන විජේවීරගේ මස්සිනා සිය ජීප් රථයෙන් කාර්යාලයට පැමිණියේය. ගේට්ටුව වැසූ විට එය කඩාගෙන එන්න තරම් ඔහු කලහකාරී විය. එමෙන්ම මැරවරයින් පිරිසක් සමග මර්වින් සිල්වා මන්තී‍්‍රවරයා ‘දිවයින’ට පැමිණ ලොකු ඝෝෂාවක් ඇති කළේය.

මෙවැනි ගල් මෙන්ම මල් ද ‘දිවයින’ට එල්ල වූ අවස්ථා බොහෝය. සියල්ල දැන් ඉතිහාසයට ගොස් ඇත. ඒ සියල්ල ඉතිහාසයත් සමග මැකී යන්න නොදී මෙසේ හෝ කෙටියෙන් සටහනක් තැබීම වටියි. එය වසර හතළිහක අත්දැකීමකි.

මම මුලින් සඳහන් කළ පරිදි මගේ දෙවැනි කතාව මෙහි සටහන් කරමින් සංවත්සර ලිපිය අවසන් කරමි.

ඒ සිද්ධියක් වාර්තා කරන්නට විදේශ රටකට ගිය අවස්ථාවකි. එය ‘දිවයින’ට අලූත්ම අත්දැකීමකි. එමෙන්ම කාටත් අලූත් අත්දැකීමකි.

උතුරේ යුද්ධය පැවති සමයයි. ඒ 1990 ජූලි 12 වැනිදාය. මුත්තූර් කට්ටපරිච්චාන් ප‍්‍රදේශයේ විශේෂ මෙහෙයුමකට සම්බන්ධ වූ කොමාන්ඩෝ සෙබළුන් සිය ගණනක් විය. ඔවුන්ට කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ බලාපොරොත්තු නොවූ ප‍්‍රහාරයක් සමගම සී සී කඩ ඔවුහු විසුරුණහ. බොහෝ අය මිය යන්නට ඇත. තවත් විශාල පිරිසක් තුවාල ලබන්නට ඇත. අතුරුදන් වූවන් ද සිටින බව වාර්තා විය.

මෙයින් දින 45කට පමණ පසුව ‘දිවයින’ට ප‍්‍රවෘත්තියක් ලැබුණි. ඒ මෙම මෙහෙයුමට සම්බන්ධ වූ කොමාන්ඩෝ සෙබළුන් හතර දෙනෙකු තායිලන්තයට ගොඩගසා ඇති බවය.

පසුදින උදේ රණසිංහ මහතා කාර්යාලයට පැමිණ ඔහුගේ කාමරයට මට කතා කළේය. මා එවකට ‘දිවයින’ ප‍්‍රවෘත්ති කර්තෘවරයා විය.

‘‘උපාලි….අපි තායිලන්තයට කෙනෙක් යවලා සෙබළුන්ව ඉන්ටර්විව් කරමු. ඒකට ලෑස්ති වෙන්න….’’ යනුවෙන් ඔහු ප‍්‍රකාශ කළේය. අනතුරුව ඔහුගේ කාමරයෙන් ඔහු පිටතට යනවා මම දුටුවෙමි.

ඒත් මට මෙය හරියට පැහැදිලි නැත. යවන්නේ කවුද? යවන්නේ කොහොමද යන්න පැහැදිලි නැත. ඒත් අවශ්‍ය විස්තර මම එකතු කර ගත්තෙමි. එයට අවශ්‍ය අනෙකුත් දේ සටහන් කර ගත්තෙමි.

තවත් ටික වේලාවකින් රණසිංහ මහතා පැමිණියේය. ඒ ගමනට අවශ්‍ය සියල්ල සූදානම් කරගෙනය. එයින් මම විමතියට පත් වූයෙමි.

‘‘උපාලි…. එහෙනම් ඔයා යන්න. සේරම ලෑස්ති කරගන්න. පාස්පෝට් එක දැන්ම ගේන්න වීසා ගන්න. හෙට උදේ යන්න පළමු පංතියේ ටිකට් අරන් තියනවා.’’ රණසිංහ මහතා කීවේ එපමණකි.

පසුදිනම යන්න වූ හෙයින් ඉතිරිව තිබුණේ පළමු පංතියේ ටිකක් පමණි. මම සියල්ල සූදානම් කර ගතිමි. තායිලන්තයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට කතා කොට එහි තානාපතිවරයාට ද මගේ පැමිණීම දැනුම් දුන්නේය. ඒ මට උපකාරයක් ලබාගත හැකි ස්ථානයක් වූයේ තානාපති කාර්යාලය පමණක් වූ හෙයිනි.

පසුදින පිටත්ව තායිලන්තයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට කෙළින්ම මම ගියෙමි. ඒ යන විට එහි උසස් නිලධාරීන් දෙදෙනෙක් වූහ. ඔවුන් මුලින්ම කළේ මට නවතින්න හෝටලයක් ඒ අසලින්ම සූදානම් කිරීමය. පසුව මගේ මෙහෙයුම ආරම්භ කළෙමි.

ඒ වනවිට ඔවුන් සිටියේ බැංකොක් නුවර අනාථ සරණාගතයින් සිරකරන තබන ස්ථානයකය. එය දැඩි ආරක්ෂක රැකවල් ඇති ස්ථානයකි. එමෙන්ම ඔවුන් බැලීමට කිසිවෙකුට අවසර දෙන්නේ නැත. ඒ සඳහා අපගේ තානාපති නිලධාරීන්ට ද කළ හැකි උපකාරයක් නොවූයේය. රජයේ නියෝජිතයින් ලෙස ඔවුන් මුණගැසී තිබුණත් ඔවුන්ට මට උපකාරි කළ හැකි තත්ත්වයක් නොතිබුණි. ඔවුන් ඊට උත්සාහ කළද එය නිෂ්ඵල විය.

හෝටල් කාමරයේ සිට මා උත්සාහයක් දරන්න සිතා ගත්තේ වෙනත් කිසිම මාර්ගයක් නොතිබූ හෙයිනි. මගේ ගමන නිෂ්ඵල ගමනක් වේදෝ සැකයක් ද මට ඇති වන්නට විය. එය ඒ තරමටම දුෂ්කර කාරියක් විය.

එහි පොලිසියට කතා කළෙමි. සංක‍්‍රමණීකයින් භාරව සිටින අංශ කීපයකට කතා කළෙමි. ඒත් ඒ කිසිවකින් ප‍්‍රතිඵලයක් නැති බව හැඟී ගියේය. පසුව එහි පුවත්පත් කීපයක කර්තෘවරුන්ගේ මාර්ගයෙන් උත්සාහයක් දැරුවෙමි. ඒත් එහි ප‍්‍රතිඵලයක් නැති බව පෙනී ගියේය. එයට හේතු වූයේ මෙම සිද්ධිය ඔවුන්ට එතරම් විශාල ප‍්‍රවෘත්තියක් නොවීමත් සංක‍්‍රමණීකයන් භාරව තිබෙන එම සිරකුටිය ඉතාම ආරක්ෂාකාරී ස්ථානයක් වීමත්ය. ඔවුන් සියලූම දෙනාගේ උපදෙස් වූයේ නිල වශයෙන් අවසරයක් නොමැතිව එහි සිටින කිසිවෙකු හමුවිය නොහැකි බවය.

මටද තත්ත්වය වැටහෙන්නේ දැන්ය. මෙය ඉතා දුෂ්කර කාර්යක් බව මට වැටහුණි. ඒත් මෙය අත්හැර දැමිය හැක්කක් නොවෙයි. මා පැමිණියේම මේ සඳහාය. මගේ උත්සාහය වූයේ කෙසේ හෝ මොවුන් හමුවිය යුතුය යන්නයි.

හෝටල් කාමරයේ සිට කිසිවක් කළ නොහැකි බව මම තේරුම් ගතිමි. තානාපති කාර්යාලයට ගියත් එතරම් සතුටුදායක තත්ත්වයක් නැති බව මම දනිමි. ඔවුන්ගේ ද උත්සාහය නිෂ්ඵල බව මම දනිමි. ඒත් මම තානාපති කාර්යාලයට ගියෙමි.

මා එහි යන විට තානාපතිවරයාගේ කාරය සෝදමින් එහි රියැදුරා සිටියේය. ඔහු තායිලන්ත ජාතිකයෙකි. ඔහු ඒ තැන ද හොඳට දනියි. ඒ පසුගිය දින කීපය තුළම තානාපති නිලධාරීන් එතනට ආ ගිය බැවිනි.

මම ඔහු සමග කතා කළෙමි. ඔහුට මගේ උවමනාව විස්තර කළෙමි. ඔහු කීප දෙනකු දන්නා බවත් හමුවන්න උත්සාහ කරමු යැයි කීවේය. පසුව අපි දෙදෙනාම තී‍්‍රවිලයකින් එතනට ගියෙමු. පසුව ඔහු ගොස් නිලධාරීන්ට කතා කළේය. මට විනාඩි කීපයකට අවසරයක් ලැබුණි.

මම පඩි පෙළක් නැගගෙන එතනට ගියෙමි. එකම කාමරයක කොටු කර විශාල පිරිසක් වූහ. මම ඒ දැල් අතරින් කතා කළෙමි. එතන ඒ සිවු දෙනාම වූහ. ඔවුන් පසුදින ලංකාවට පැමිණෙන්නට සූදානම් කර තිබුණි. ඒ නිසාම මා ඔවුන් හමුවන්නට පැමිණ ඇතැයි සැක කළා විය හැක.

ඔවුන්ගේ කතාව එක දිගට කියාගෙන ගියහ. මට ලියා ගන්නට විදිහක් නැත. සියල්ල සිතේය.

ඔවුන් අතරමං වී ගොඩබිම දින ගණනක් සැඟවෙමින් සිටි අයුරුත් දවල්ට වළවල් හාරාගෙන ඒවායේ නිදාගෙන කුණුරොඩුවලින් වසාගෙන සිටි ආකාරයත් විස්තර කළහ.

අවසානයේ මුහුදු වෙරළකට පැමිණ බෝට්ටුවකින් ලයිට් පෙනෙන ප‍්‍රදේශයකට හබල් ගහගෙන යන්නට තීරණය කළ බවත් පැවසූහ. හය දෙනකු බෝට්ටුවට ගොඩවූ ආකාරයත් එයට කුරුම්බා පොල් වැනි දේත් දමාගත් අයුරුත් විස්තර කළහ.

අවසානයේ මොහොතකට මහන්සියට නින්ද යෑමත් සමග බෝට්ටුව දියේ පාවී ගොස් කිසිම දෙයක් නොපෙනෙන තරමට මහ සයුරේ අතරමං වීම විස්තර කළහ. මෙසේ දින 45ක් මුත‍්‍රා බොමින් අතට පැමිණි කැස්බෑ මස් කමින් ජීවත්වූ ත‍්‍රාසජනක කතාව විස්තර කළහ.

මේ අතර දෙදෙනකු මියයාමත් ඔවුන්ගේ සිරුරු දින කීපයක් තියාගෙන සිට පසුව මුහුදට දැමූ ආකාරයත් ඔවුන් විස්තර කළේ බලවත් දුකකිනි.

අවසානයේ තායිලන්ත මාළු ට්‍රෝලරයක් මුණගැසීමත් එයින් ජීවිත බේරාගෙන සිරකඳවුරට පැමිණීම සහනයක් වූ බවත් සඳහන් කළහ.

සම්පූර්ණ කතාවට සවන් දී ගෙන සිටි මා පසුව මාධ්‍යවේදියෙක් බව ප‍්‍රකාශ කළෙමි. ඔවුන් මහත් භීතියට පත් විය. ඔවුන් මුලින්ම සිතුවේ මා රජයේ නියෝජිතයෙක් කියාය. කතාව සම්පූර්ණයෙන්ම කීවේ එහෙයිනි. නමුත් ඔවුන්ට කිසිම අසාධාරණයක් නොවන පරිදි වාර්තා කරන බවත් බිය නොවන ලෙසත් පවසමින් මම ඔවුන්ගෙන් සමුගතිමි.

හෝටල් කාමරයට පැමිණි මම කාර්යාලයට කතා කළෙමි. කතාව ලියා ගත්තේ දයා ලංකාපුර මහතාය. කතාව දුන්නායින් පසුව මම එයින් නිදහස් වුණෙමි.

පසුව ඔවුන් පිටත් වන ගුවන් යානයේම පැමිණීමට මමත් සූදානම් වුණෙමි. පසුදින මම ඔවුන් සමගම ලංකාවට පැමිණියෙමි. කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන්ව කිසිවෙකුට හමුවීමට ඉඩ තැබුවේ නැත. හමුදාව ඔවුන් භාරගෙන එතනින් පිටත් වූයේය.

මම එළියට එනවිට ලංකාපුර මහතා එතන සිටියේය. ඔහු අතේ දිවයින පත‍්‍රයක් ද තිබුණි. මගේ කතාව ශිර්ෂ පාඨයේ තිබුණි. ලංකාපුර මහතාට මගේ කැමරාවත් දී තවත් විස්තරත් සඳහන් කොට මම ගෙදර පැමිණියෙමි.

ඔවුන් ලංකාවට ගොඩබසින විට ඔවුන්ගේ කතාව සම්පූර්ණයෙන්ම පළවී තිබුණි. තවත් කිසිවෙකුට ලියන්නට කිසිවක් ඉතිරිකර තිබුණේ නැත. පසු දින පිංතූර ද පළවී තිබිණි. නමුත් කිසිම පත‍්‍රයකට පසුදින ද කතාවක් තිබුණේ නැත.

‘දිවයින’ එදා එහෙමය.

උපාලි තෙන්නකෝන්
දිවයින හිටපු ප‍්‍රධාන කර්තෘ

advertistmentadvertistment
advertistmentadvertistment