වැඩ බැලීමට දේශීය ආදායම් සේවයේ යූ.ඩී.එන්. ජයවීර
සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටි එම්.ජේ. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබේ.
එම්.ජේ. ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටි බවත් ඔහුගේ සේවය අවසන් කිරීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධිකරණ II) වශයෙන් සේවය කරන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී යූ.ඩී.එන්. ජයවීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව ජනමාධ්‍ය ඇමැති හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා ඊයේ (08දා) කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.
නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව රජයේ ප්‍රධානතම ආදායම් එකතු කරන ආයතනයක් වන අතර, එහි කාර්යයන් සහ පාලනය සෘජු ලෙසම රාජ්‍ය ආදායම කෙරෙහි බලපෑම් ඇති කරන බවත් එම දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි අභියෝග සහ අරමුණු සාක්ෂාත් කරගත හැකි නායකත්වයක් එකී දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුව ඇති බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ.
ඇතැම් චෝදනා එල්ලවී ඇති සුරාබදු නිලධාරීන් විදේගත වීමට සුදානම් වන බවට මෙහිදී මාධ්‍යවේදියකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ වරදක් කර නැත්නම් විදේශගත වීමේ අවශ්‍යතාවක් නැති බවයි.
මේ අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර 2024.09.24 දින සිට පුරප්පාඩු වී ඇති බැවින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි එම්.එස්.පී. සූරියප්පෙරුම මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරිමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත