ජනපතිගේ සාකච්ඡාවට අමුතු අමුත්තෙක්

586

පසුගිය සතිය සුවිශේෂී සතියක් විය. ඒ සුවිශේෂී බවට තුඩුදුන් විශේෂ කාරණා දෙකක්ම තිබිණි. එකක් පසුගියදා පැවති අරගලවල දී වත්මන් ආණ්ඩුවේ වඩාත්ම කතාබහට ලක්වූ පුද්ගලයා වන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු දේශපාලනයට ආයුබෝවන් කීමයි. දෙවෙනි විශේෂ කාරණාව වූයේ මේ රටේ විදුලිබල උත්පාදනය සඳහා වූ එක්තරා බලවත් බාධකයක් බිඳ දමන්නට පාර්ලිමේන්තුව තීන්දුවක් ගැනීමයි. මෙම කාරණා දෙක වටා ගොනු වූ හා පසුබිම් වූ කරුණු කාරණා රැසක් පසුගිය සතියේ අපේ දේශපාලන කතිකාවේ සාකච්ඡාවට බඳුන් විය.

ඉහත කී කාරණා දෙක පසුගිය සතියේ අපේ රටේ දේශපාලනයේ මොන මොන කතා ඇති කළත් පසුගිය සතියේදි සුපුරුදු ලෙස අපේ දේශපාලන කතිකාවේ වඩාත්ම බැනුම් ඇසූ සහ අපවාදයට ලක් වූ පුද්ගලයා වූයේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. රනිල් වික්‍රමසිංහ සමහර දේශපාලන කල්ලි කණ්ඩායම්වලට තඩි බාන්නට හොඳ “මුවහමක්” වුවත් රනිල්ගේ පැත්තෙන් බලනවිට පෙන්නුම් කළ කාරණාව වූයේ රනිල් තලන්නට තලන්නට පන්නරය ලබන යකඩයක තත්ත්වයට දේශපාලනය තුළ හැඩගැසී ඇති බවකි.

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. රනිල් මේ සතියේ පාර්ලිමේන්තුවට එන්නට පෙර විදේශීය මාධ්‍ය කීපයකටම දේශපාලන සාකච්ඡා ලබා දෙන්නට කල්පනා කළේ රට මුහුණ පා තිබෙන අර්බුදවල ඇත්ත ඇති සැටි ලෝකයට වටහා දෙන්නට හොඳ සූදානමක් ඇතිව ය. ඔහුගේ අරමුණ වූයේ ලෝකයට රට මුහුණ පා ඇති සැබෑ තත්ත්වය පැහැදිලි කර දී ඔවුන්ගේ අවධානය දිනා ගත යුතු බවය. එහිදී ඔහුට විදේශ මාධ්‍යවේදීන්ගේ අසීරු හරස් ප්‍රශ්න රාශියකට ද මුහුණ දෙන්නට සිදු විය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළ ද ඔහුට පසුගිය සතියේ සිදු වූයේ හුදෙකලා සටනක් කරන්නට ය. තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහාය නොමැතිව, විපක්ෂයේ කිසිදු සහයක් නොමැතිව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ කිසිදු සහයක් නොමැතිව ආණ්ඩු පක්ෂයේත් ඇතැම් බලවේගවල විවිධ විවේචන මැද ජනාධිපති තනතුර සහ ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම ඔහුට පහසු වූයේ නැත. ඇතැම් කාටුන් ශිල්පීන් මෙය උපමා කර තිබුණේ කුණාටු සුළි සුළං මැදින් ගිලෙන්නට ඔනන මෙන්න තිබෙන යාත්‍රාවක් මහා බර කන්දරාවක් ද සමගින් අසීරුවෙන් ගොඩබිමක් කරා යාත්‍රා කරවන යාත්‍රිකයෙකුගේ විලාසයකටය.

සඳුදා පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි අගමැතිවරයා ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කළ අතර පසුදින පාර්ලිමේන්තුවේදී කරන කතාව සම්බන්ධයෙන් වැඩි වේලාවක් වෙන් කර තිබුණි. ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සමරතුංග ගේ ද සහාය ලබා ගත්තේය.

එදිනම කැබිනට් මණ්ඩල රැස්වීම යෙදී තිබුණ අතර අගමැතිවරයා ඊට පෙර නීතිපතිවරයා හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මුණ ගැසුනේ 21 වෙනි සංශෝධනය ගැන සාකච්ඡා කිරීමටය.

“විපක්ෂය ඉදිරිපත් කර ඇති 21 වෙනි සංශෝධන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතේ තත්ත්වය මොකක්ද” අගමැති විමසා සිටියේය.

“ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය තවම විභාග වෙනවා. එහි තීන්දුව ලද පසුව අපට ආණ්ඩුවේ පනත ගැන ඉදිරි කටයුතු කරන්න පුළුවන්.” නීතිවේදියෙකු කීවේය.

“එම තීන්දුව ගැන මාව දැනුවත් කරන්න.” අගමැතිවරයා නීති නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අගමැතිවරයා අධිකරණ ඇමැතිවරයාට දැනුම් දුන්නේ ඇමැති මණ්ඩලයට 21 වෙනි සංශෝධනයේ කෙටුම්පතක් ලබා දෙන ලෙසය. එය අධ්‍යයනය කොට ඊළඟ සතියේ ඇමැති මණ්ඩලයේදි සාකච්ඡා කළ හැකි බව අගමැතිවරයා එහිදී දන්වා සිටියේය. ඒ අනුව 21 වෙනි සංශෝධනයේ පිටපතක් හා රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් වූ අතර ඇමැති මණ්ඩලය එය අනුමත කරන ලදී.

හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් කොවිඩ් සමයේදී හා ආර්ථික අර්බුදයේදි බිඳ වැටුනු සංචාරක කර්මාන්තයේ සිටින ව්‍යාපාරිකයන්ගේ බැංකු ණය වෙනුවෙන් සහනයක් ලබා දෙන ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිවිණි. අගමැතිවරයා විසින් ඇමැතිවරුන් වසරක කාලයක් ඇමැති වැටුප් නොගෙන වැඩ කිරීමට ඉදිරිපත් කළ යෝජනාව ද ඇමැතිවරු ඒකමතිකව පිළිගත්හ.

කැබිනට් රැස්වීමේදී රැකියා සඳහා විදේශගත වීමේ වයස අවුරුදු 25 සිට 18 දක්වා අඩු කිරීමට යෝජනාවක් ඉදිරිපත් විය. එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරය.

එහෙත් ඇමැති දිනේෂ් ගුණවර්ධන ඊට එරෙහි විය.

“අපේ රටේ ළමයි පාසල් ජීවිතය හමාර කරන්නේ, අවුරුදු 18න්. මේ නිසා මේ ළමයි වගේම විශේෂයෙන් ගැහැනු ළමයි ඒ වගේ වයසකදී විදේශ රැකියා සඳහා යැවිය යුතු නෑ” දිනේෂ් එසේ කියද්දී අගමැති රනිල් වික්‍රමසිංහද අදහස් දැක්විය.

“ඒක හරි, අවුරුදු 18 කියන්නේ ළමා වයස අවසන් වුණා විතරයි. කමිටුවක් දාල අපි ඒ ගැන තව සොයා බලමු” දිනේෂ් යළි කතා කළේය.

“ළමාරක්ෂක පනත අනුව තියෙන ළමයින් සඳහා නිර්වචනයත් අපි සලකා බලන්න ඕනේ”

ඒ වගේම යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ පසුගිය සතියේ සිය යෝජනා ඉදිරිපත් කළේය.

“ජනමත විචාරණයකින් හෝ පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ නොකළ යුතුය, යන එක අපේ එක යෝජනාවක්, හැම මන්ත්‍රීවරයෙකුට ම පාලනයට එන්න පුළුවන් වෙන්න යළි විධායක කාරක සභා ක්‍රමය ඇති කළ යුතුයි.”

අදාළ සාකච්ඡාවේදී දිනේෂ් ප්‍රකාශ කළ අතර, “පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයකින් ම 21 වන සංශෝධනයට අදහස් ගත යුතුයි” යනුවෙන්ද පැවසීය. අගමැති ඉවත් කිරීමේ බලයත් ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට තිබිය යුතුය යනුවෙන් හා විපක්ෂ නායක ධුරය ගැන ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයක් හා පත්වන ආකාරය ගැන නිශ්චිත විධිවිධාන ඇතුළත් කළ යුතුය යනුවෙන්ද එම යෝජනාවලට ඇතුළත්ය.

ඇමති මණ්ඩල රැස්වීමෙන් පසුව අගමැතිවරයා නැවත සිය ආර්ථික උපදේශක සමරතුංග ඇතුළු කණ්ඩායම මුණ ගැසී අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී කරන කතාව සකස් කරන්නට විය. පසුදින පාර්ලිමේන්තුවේදී ඔහු ආර්ථික තත්ත්වය ගැන කතා කළ අතර කතාව අවසානයේ කළ වින්සන්ට් චර්චිල්ගේ ප්‍රකාශය ගැන මන්ත්‍රීවරු බොහෝමයක් අගමැතිවරයා මුණ ගැසී ඒ ගැන විමසන්නට වූහ. අගමැතිවරයාද කිසිදු ලෝබකමකින් තොරව එම කතාව කියා සිටියේ සතුටිනි.

අගමැතිවරයා පාර්ලිමේන්තු සතියේ වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටි අතර අගමැති කාර්යාලයේදී සේම පාර්ලිමේන්තු ලොබියේදී ද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අගමැතිවරයා මුණ ගැසී පවතින ආර්ථික තත්ත්වය විමසන්නට වූහ.

“ආර්ථික තත්ත්වය එන්න එන්නම අමාරු වෙනවා. මොකද කරන්නේ.” පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහෝමයකගේ පැනය එය විය.

“අපි උත්සාහ කරනවා. සැලසුම් සකස් කරනවා. ජනවාරි වෙනකම් අමාරුවෙන් තමයි යන්න වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණ ගමන් අපට ඉස්සරහට යන්න පුළුවන්.” අග්‍රාමාත්‍යවරයා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හමුවේ කීවේ එකම කතාවකි.

● ප්‍රසන්නගේ තීන්දුවට මැතිසබේ තහනම්ද?

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට යහපාලන සමයේ පවරන ලද නඩු බොහෝය. නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගටද එවන් නඩුවක් තිබිණි. මහාධිකරණය හමුවේ පවරා තිබූ එම නඩුවේ චෝදනා 15ක් ඉදිරිපත් කර තිබූ අතර චෝදනා 14 කින්ම මොහු නිදහස් වූවත් එක් චෝදනාවකින් වරදකරු බව අධිකරණය ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ඔහුට ලබා දුන්නේ වසර දෙකකින් අත්හිටුවනු ලැබූ සිරදඬුවමකි.

සඳුදා සවස තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට මහින්දානන්ද, නිමල් ලාන්සා, නලින් ප්‍රනාන්දු, සහන් ප්‍රදීප් වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පැමිණ සිටියහ. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණි ප්‍රසන්නට මුල්ම ඇමතුම ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙනි.

මොකක්ද ප්‍රසන්න වෙලා තියෙන්නෙ..? නඩු තීන්දුව පැහැදිලි කළ ප්‍රසන්න තමන් එදින කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව කීවේය.

“සර් මම තාම ඇපිල් කළේ නෑ.. ඇපිල් කරනකන් මම කැබිනට් රැස්වීමට එන එක සදාචාර සම්පන්න නෑ. ඒ නිසා අද කැබිනට් රැස්වීමට මම එන්නෙ නෑ ..” ප්‍රසන්න කීවේය.

“ඔව් ඒක හොඳයි ප්‍රසන්න” ජනාධිපතිවරයා උත්තර දුන්නේය.

මේ අතර ප්‍රසන්නගේ තීන්දුව පිළිබඳව රට තුළ විවිධ අර්ථකථන මතු කරන්නට විපක්ෂය කටයුතු කරමින් තිබිණි. ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කීවේ ප්‍රසන්න ඇමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවය. පැෆරල් සංවිධානයත් මේ බව ප්‍රකාශ කර තිබිණි.

මෙය දැනගත් ප්‍රසන්න ද මේ පිළිබඳව නීතිමය තත්ත්වය පැහැදිලි කර ගන්නට කටයුතු කළේය. ඇමැතිවරයාට හිතවත් නීතිඥ වේදියෙකු මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ද විමසුවේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කීවේ නඩු තීන්දුව හේතුවෙන් ප්‍රසන්නගේ මන්ත්‍රී ධුරය අහෝසි නොවන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තිය අනුව මාස 6ක කාලයක් බන්ධනාගාර ගත වූවොත් පමණක් මන්ත්‍රීධුරය අහෝසි වන බව මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කළේය.

කැබිනට් රැස්වීමට සහභාගි නොවුණ ද ප්‍රසන්න එදින (6) සවස ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූයේය. රැස්වීමට ගිය ප්‍රසන්න වටකරගත් මන්ත්‍රීවරු නඩු තීන්දුව ගැන ඇසුවේය.

“ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මගේ බිරිඳට ලැබිය යුතු මුදලක් ලබා ගැනීමට ස්වාමිපුරුෂයා ලෙස මැදිහත්වීම පමණයි මම කළේ. මම මේ ගැන ඇපීල් කරනවා” තමන් සිදුකළ බව කියන වරද මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළ ප්‍රසන්න ව්‍යාපාරිකයාගෙන් කප්පමක් ගත් බවට නැගෙන චෝදනා වැරදි බව ද කීවේය. මේ වන විට තවදුරටත් අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බැවින් තමන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුනොකරන බවද කීවේය.

● අරගලයට සහායෙන්ව රායට බර පාඩුවක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සති අන්තයේත් වැඩ රාජකාරි රැසක් සමඟ සිටියේය. ඒ අතර උත්සවද කීපයක් විය. නැගෙනහිර හා වයඹ විශ්වවිද්‍යාලවලට කුලපති හා උපකුලපතිවරු පත් කිරීම, විදේශ රටවල හිඟ පාඩුව තිබූ තානාපති පත්වීම් කීපයක් කිරීම ආදී උත්සව කීපයකි.

ඒ අතර ජනාධිපතිවරයා පසුගිය නම වැනිදා උදේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ විශේෂ ප්‍රගතිය සමාලෝචන රැස්වීමක් කැඳෙව්වේ ප්‍රගති සමාලෝචනය සඳහාම පමණක් නොව, වර්තමානයේ මතු වී ඇති වෙනත් ප්‍රශ්න කිහිපයකට ද විසඳුම් සෙවීම සඳහාය. ඒ වනවිට නතර කරවාගෙන සිටි රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය ද ඒ අතර විය. බොහෝ දෙනකු අර්ථ දක්වා තිබුණේ මෙය අහක යන කුණු ගොඩක් ඇඟේ දමා ගැනීමක් හැටියටය. එහෙත් එය අහක යන කුණු ගොඩක් නොව, රජය අපහසුතාවට හෙළීමේ තවත් එක් කුමන්ත්‍රණයක පැතිකඩක් ලෙස මේ සිදුවීම නිරීක්ෂණය කරන පිරිසක් ද සිටියහ.

උදේ දහයට ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම රැස්වීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, අමාත්‍යංශ ලේකම්, වරාය සභාපති ආචාර්ය ප්‍රසන්න, ගුවන්තොටුපළ හා සිවිල් ගුවන් සේවා ආයතනයේ සභාපති විශ්‍රාමලත් හමුදා ජනරාල් වී. ඒ. චන්ද්‍රසිරි ඇතුළු අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ. මෙහිදී මුලින්ම අරමුණු පැහැදිලි කළේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ය.

“පහුගිය නම වෙනිදා අරගලකරුවන්ගේ සහයෝගයට වරාය කම්කරුවෝත් එකතුවෙලා වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. වරායේ බඩු බාන්න ආපු නෞකා විශාල ප්‍රමාණයක් හරවලා ඇරියා. එකෙන් දැනට ගණන් බලපු විදිහට අපිට සිද්ධ වුණු පාඩුව ඇමරිකන් ඩොලර් මිලියන 1.2 ක් විතර. සාමාන්‍යයෙන් ලොකු නැව්වල කන්ටේනර් හා බඩු ගෙනත් ඒවා පොඩි පොඩි නැව්වලට පටවලා ඉන්දියාවට පකිස්තානෙට අවට රටවල්වලට යවන්නෙ කොළඹ වරායෙන්. ඒක අපිට තියෙන ලොකු ආදායමක්. එදා සිද්ධ වෙච්ච ඒ කලබැගෑනිය නිසා දැන් සමහර නැව් ලංකාවට එන්නත් බෑ කියනවා. එහෙම කරාම නැති වෙන්නේ ලංකාවට ඩොලර් වශයෙන් එන්න තියන මුදල්.” ඇමැති නිමල් කීවේය.

“රටට ඩොලර් එන එක නවත්තන්න ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා” නිලධාරීන් කීහ.

“එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ මේ වෘත්තිය සමිති එක්ක කතා කරන්න. උඹලා මේ විදිහට නැති කර ගන්නේ තමන්ගෙම තියෙන ආදායම් මාර්ග ටිකයි කියලා එයාලට පැහැදිලි කරලා දෙන්න. සමහර අය හිතන්නේ ඔය වගේ දේවල් කළාම පාඩු වෙන්නේ රජයට විතරයි කියලා. ඒ පාඩුව එයාලටත් බලපානවා කියලා පැහැදිලි කරන්න.” ජනාධිපති කීවේය.

ඉන්පසුව සාකච්ඡා කළේ චයිනා හාබර් සහ ඇක්සස් ලංකා ආයතන දෙක එක්ව ඉදිකිරීම් කරන වරායේ නැගෙනහිර ජැටිය ඉදිකිරීම් ගැනය. ඩොලර් හිඟය ඩීසල් හිඟය හා මතුව ඇති දුෂ්කරතා ගණනාවක් නිසා එහි වැඩකටයුතු අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා විය.

“වරාය සේවකයෝ අකුරටම ඒගොල්ලන්ගෙ දීමනා ගැන හොයනවා. බෝනස් ඉල්ලන්න එනකොට දේශපාලන මතිමතාන්තර නිසා විරසක වෘත්තිය සමිතිත් හරිම සමගියි. හැබැයි ආදායම් එන එක වර්ධනය කරන්න සහයෝගය දෙන්නේ නෑ” වරාය ලොක්කෙක් කරුණු කියන්නට විය.

“වරායට ඔරොත්තු නොදෙන තරම් විශාල සේවක සංඛ්‍යාවක් ඇතුළේ ඉන්නවා. 2015 – 19 කාලේ ඒ තිබුණු ආණ්ඩුව 1500ක් වරායට රිංගෙව්වා. අනවශ්‍ය බරක්. උදාහරණයක් හැටියට මෙහෙයුම් කරන අලිටග් යාත්‍රාවක ඉන්න ඕන සේවකයෝ 15 දෙනයි. නමුත් දැන් 56 ක් ඉන්නවා. හරිම ප්‍රශ්නයක්. අපේ කාලේ අපි ගත්තෙ අත්‍යවශ්‍යම තාක්ෂණික සේවකයෝ විතරයි.” ඇමැතිවරයා වරායේ වියදම් වැඩිවීම සම්බන්ධයෙන් ඇති ප්‍රායෝගික ප්‍රශ්නයක් කතා කළේය. ඒ අතර වරාය සේවකයන් නොමිලේ ලබාගන්නා ආහාර පාන පහසුකම් හා වරප්‍රසාද ගැන නිලධාරියෙක් හෙළිදරව් කළේ ඒවාට රජය වැයකරන වියදම ද පෙන්වා දෙමිනි.

“ආදායම වැඩි කරගන්න පුළුවන් මාර්ග මොනවද” …ජනාධිපති විමසීය.

“අපි දැනට මේ තරම් පහසුකම් තියාගෙනත් වරායෙන් කරන්නේ ප්‍රතිඅපනයන කටයුතු 3%යි. මේක 25% දක්වා වර්ධනය කළ හැකියි. ලෝකෙ තියෙන හොඳම නැව් සමාගම් 11ක් අපේ වරායට එනවා. තේරුමක් නැති වෘත්තීය ක්‍රියාමාර්ග ඒකට ලොකු බාධාවක්” සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කතා කළහ.

ත්‍රිකුණාමලය වරාය දැනට ප්‍රීමා සමාගමට භාර දී සුදු අලියෙක් වී ඇති බව මෙහිදී කතාබහට ලක්විය. ගාලු වරාය දියුණු කිරීමට ඇති බාධා ගැනද කතාබහ විය.

මේ අතර දැනට වරායට බරක් වී ඇති අතිරේක කාර්ය මණ්ඩලවලට කුමක් කරන්නේද කියා ඇතිවූ සාකච්ඡාවේදී ජනාධිපති උපදෙස් දුන්නේ ඔවුන්ව අයින් නොකර වෘත්තීය හා තාක්ෂණික පුහුණුවක් ලබාදී රට රැකියාවන්ට හා වෙනත් රැකියාවන්ට යොමු කරන්නට උත්සාහයක් ගන්නා ලෙසය.

ජනාදිපතිතුමනි… ගුවන්තොටුපළේ ප්‍රශ්න තියෙනවා. ටර්මිනල් 2 ප්‍රොජෙක්ට් එක අඩුපාඩු රැසක් සහිතයි. ඒ ගැන කිව්වට එතන ඉන්න සමහර බලධාරීන් ඒව කනකට ගන්නේ නෑ. ඒ ගැන වෙනම සාකච්ඡාවක් ඕන.” ඇමති නිමල් පැහැදිලි කළේය. ඉන්පසුව කතාබහ වූයේ මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළවල ඉදිරි කටයුතු ගැනය.

ඉන් පසුව ජනාධිපතිවරයා පසුගියදා ආන්දෝලනයට ලක්වූ රුසියානු ගුවන් යානය ගැන කතා කළේය.

“මේ ගුවන් සමාගම ගුවන් ගමන් නතර කළොත් එක අපිට ලොකු පාඩුවක්. ගුවන් යානය නිදහස් කරන්න සාකච්ඡා කරන අතරතුරේ ගුවන් සමාගම එක්කත් සාකච්ඡා පටන් ගන්න. මේ සම්බන්ධතා අපි නැති කර ගත යුතු නෑ…”

“ඊයේ දවසටම සංචාරකයෝ ලංකාවට ඇවිත් තියෙන්නෙ 600යි. මේ ගුවන් සමාගම විතරක් එක ගමනකදී මගීන් 500ක් අරන් එනවා. සතියට ඒ වගේ ගමන් හතරක් එනවා. මේ කරපු හානිය බරපතළ වරදක්.” ගුවන්තොටුපළ සභාපති කීවේය.

“දැන් මේවා සම්බන්ධයෙන් කටයුතු කරන වගකිවයුතු ආයතන පවා දේශපාලනය මුල් කරගෙන තීන්දු ගන්න පටන් අරන්. රට ගැන හිතලා වගකීමකින් වැඩ කරන එක වගකිවයුතු අයත් පැහැර හරිනවා. ඒ නිසයි මේ වගේ බරපතළ අත්වැරදීම් වෙන්නේ…” ජනාධිපති විස්තර කළේය.

මෙහිදී ගුවන් යානයට අදාළ වාණිජ අධිකරණයේ නඩුව හා ඊට අදාළව නීතිඥවරුන්ගේ අධිකරණයේ හා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන ජනාධිපතිවරයා පිරිස අතර තවත් විනාඩි කිහිපයක කරුණු පැහැදිලි කර ගැනීමක් විය. ඉන් අනතුරුව 11.35 ට පමණ සභාවේ වැඩ කටයුතු අවසන් විය.

● ප්‍රවාහන දියුණුවට බන්දුලගෙනුත් අදහසක්…

ඉන්පසුව හවස ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ද ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඇමැති බන්දුල පැමිණීමට තරමක් ප්‍රමාද වූ බැවින් රැස්වීම පටන් ගත්තේ තරමක් ප්‍රමාද වී හයයි තිහට පමණ ය.

“ලංගමය මේ වෙලාවේ ලොකු සේවයක් කරනවා. නමුත් එතන වැටුප් වාෂමතාවක් තියෙනවා. 2018 හිටපු ආණ්ඩුවෙන් සේවකයන් පිරිසගේ පඩි වැඩි කළා. තවත් පිරිසකට ඒ වැඩිවීම හමුවුණේ නැහැ. දැන් ඒ අය ඒක ඉල්ලනවා. මේක සාධාරණ ඉල්ලීමක්.” ඇමති බන්දුල කියද්දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ සාධාරණ ඉල්ලීමක් නමුත් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනවිත් එය ඉටු කර දීම යුතුකමක් බවයි.

ඉන්පසුව සාකච්ඡාව ඇතිවූයේ පුද්ගලිකව ගමන් බිමන් මේ අවස්ථාවේ දුෂ්කරව ඇති බැවින් පොදු ප්‍රවාහන සේවාවන් දියුණු කිරීමේ ඇති වැදගත්කම ගැනය. ඇමැතිවරයා මේ ගැන යෝජනා කරද්දී ජනාධිපති කතා කළේය.

“ඕක මම හැමදාම කියනවා. ඕනම දියුණු රටක පොදු ප්‍රවාහනය තමයි දියුණු. ඕක අපි කියවලා වැඩක් නෑ පොදු ප්‍රවාහන සේවාවන් දියුණු කරන්නෙ නැතුව. මිනිස්සුන්ට තමන්ගේ පුද්ගලික රථය පාක් එකක දාල නගරයට ඇවිල්ල රස්සාව කරන්න පොදු ප්‍රවාහන පද්ධතියක් හැදෙන්න ඕන. පාක් ඇන්ඩ් ඩ්‍රයිව් හඳුන්වලා දෙන කොට අපි ඒක හැමෝටම ගැළපෙන විදිහට කරන්න ඕනේ. තමන්ගෙ කාරෙක මාකුඹුරේ හරි කොහේ හරි දාලා බස් එකේ හරි කෝච්චියෙ හරි නැගලා හිර වෙලා ඇවිල්ලා දාඩිය පෙරාගෙන රස්තියාදු වෙලා කාර්යාලයට එන්න කවුරුවත් කැමති නෑ. ඒකට අපි පහසුකම් පද්ධතිය දියුණු කරන්න ඕන.” ජනාධිපති උදාහරණ දක්වමින් ලොකු විස්තරයක් කළේය.

“කොට්ටාවේ මාකුඹුරේ තියෙන තැන වුණත් ච්රනසබට ජය්රටැි වැඩියි. රුපියල් 400ට තියන ටිකට් එක රුපියල් 100ට ගන්න ඕන. එතකොටයි මිනිස්සු පෙලඹෙන්නේ.” බන්දුල කීවේය. කඩවත හා රත්මලාන තවත් මධ්‍යස්ථාන බිහිකරන්නට කතාබහ විය. ඒ අතර දුම්රිය ප්‍රවාහනය සඳහා ඇති වී තිබෙන දැඩි ඉල්ලුම ගැන ද සාකච්ඡා විය.

මෙහිදී දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා දුම්රිය සම්බන්ධයෙන් තිබෙන අඩුපාඩු හා දුෂ්කරතා පෙන්වා දුන්නේය.

පාසල් ළමුන් ප්‍රවාහනයට ඇති දුෂ්කරතා ගැන ද සාකච්ඡාවක් ඇති විය.

“ලංකා ලේලන්ඩ් එකෙන් ගෙනාපු බස් පන්සියයක් විතර තවමත් ගාල් කරලා තියෙනවා පාවිච්චියට ගන්නැතුව. ඒවත් අපි ඉදිරියේදී ප්‍රවාහනයට යොදවනවා.” ලංගම සභාපති කීවේය.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ බස් රථ සඳහා අමතර කොටස් හා ටයර් ලබාගැනීමට ඇති දුෂ්කරතා ගැන ය. අමතර කොටස් ලබාගැනීමේදී ආයතනයේ අනුමත මිල හා දැන් තිබෙන මිල අතර පරතරය පියවා ගැනීමේදී නිලධාරීන් වංචාවලට අසු වේ යැයි බියක් ඇති බව සාකච්ඡා විය.

“බස් විශාල ප්‍රමාණයක් අපි ටයර් හා අමතර කොටස් නැතිව අයින් කරල දාල තියෙනවා”

ජනාධිපති ඒ සම්බන්ධයෙන් තම කාර්ය මණ්ඩල ප්‍රධානියාට උපදෙසක් දුන්නේය.

ඒ අතර ජනාධිපතිවරයා උපදෙසක් දුන්නේ දේශපාලන පත්වීම් ලැබ පැමිණ ආයතන වල නිකරුනේ වැටුප් ලබමින් සිටින අතිරික්ත සේවකයන් කම්කරුවන් ලෙසම තබා නොගෙන ශිල්පීන් ලෙස පුහුණු කර ඵලදායක යමකට යොමු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

උඩරට මාර්ගයේ දුම්රිය සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාව ගැන ද අදහස් හුවමාරු කරගත්හ. දැනට වරායේ ගෙන්වා ඔහේ දමා තිබෙන දුම්රිය මැදිරි ප්‍රයෝජනයට ගෙන වැඩි වෙන ඉල්ලුම සපුරා ගන්නා ආකාරය ගැනද කතාබහ ඇති විය. ඒ අතරතුර මෙතෙක් වේලා නිහඬව සිටි තවත් සුවිශේෂී පුද්ගලයෙක් කටහඬ අවදි කළේය.

● ගැමුණුගෙන් ජනපතිට කල්පවතින උත්තරයක්

“මේ සාකච්ඡාවට අපිටත් එන්න කියලා තියෙනවා. මන් දන්නෑ මොනවටද කතා කළේ කියලා. ඒ වුණාට දුම්රියට වඩා මේ රටේ මගී ප්‍රවාහනයට කැපවෙලා අදටත් වැඩි සේවයක් කරන්නේ පුද්ගලික බස් රථ. ඒවාටයි මේ දවස්වල වැඩිපුර ප්‍රශ්න තියෙන්නේ.” එසේ කතා කළේ බස් ගැමුණු ය.

මොනවද ප්‍රශ්න තියෙන්නෙ… කියන්න.

“අපට අද තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඉන්ධන ලබා ගැනීම…”

“ඇයි ඔයාලට දැන් ලංගමෙන් ඉන්ධන දෙනව නේ…?”

“ඒ දෙන තැන්වල හතරහමාරට පහට වහල දානවා. ආයෙ අරින්නේ පහුවදාට. දුර ගමන් සේවා ගිහිල්ලා එන්නේ හවස් වෙලා. ඒවට ඉන්ධන ලබා ගන්නැතුව පහුවදා දුර දුවන්න බෑ. දවස් තුන හතර පෝලිමේ ඉඳල පිටින් පුරවගෙන මේ වැඩේ කරන්න බෑ.”

“ඇයි මෙයාලට රාත්‍රී කාලේ ඉන්ධන දෙන්න බැරි…”

“සේවකයන්ට අතිකාල මුදල් ගෙවීම ප්‍රශ්නයක්…” නිලධාරීන් කීහ.

“ඒ තැන්වල වැඩ කරන අයට අතිකාල සඳහා යම් මුදල් ප්‍රමාණයක් අපි දෙන්නම්. අපිට ඒක පෝලිමේ දවස් තුන හතර ඉන්නවට වඩා ලාබයි… මොකද අපිට මේක කර්මාන්තයක් හැටියට රැකගන්න ඕන. අපේ බස් 19,000ක් දිව්වා. කොරෝනා නිසා බස් 7000ක් කර්මානතය අතඇරියා. අරගල කාරයෝ බස්රථ සීයකට වඩා කුඩු කරලා පුච්චලා විනාශ කළා.” බස් ගැමුණු උත්තරයක් දුන්නේය.

“මේ ගොල්ලන්ගේ අදහස් වටිනවා. මේවා සැලකිල්ලට අරගෙන සාකච්ඡා කරලා අපි එකතුවෙලා මේ වැඩේ කරමු. කොහොමද අපි පුද්ගලික බස් සමග එකට කටයුතු කරන්නේ…

“ඒකාබද්ධ ගමන්වාර වැඩිදියුණු කරන්න ඕන. ඒකට අපේ විධිමත් කාල සටහනක් හදන්ඩ ඕන.” ගැමුණු තවදුරටත් කීවේය.

එක් අතකින් මෙය සුහද කතාබහක් විය. තවත් පැත්තකින් තිබෙන ප්‍රශ්න ගණනාවකට උත්තර ලැබුණු සාකච්ඡාවක් ද විය. හවස හතයි තිහට පමණ සාකච්ඡාව අවසන් වී සුහදව කතා බහ කර සියල්ලෝම විසිර ගියේ තේ පානයෙන් ද පසුවය.

● බැසිල්ගේ අරමුණු දෙකම ඉටු වුණා ලු

පසුගිය සතියේ විසි එක් වන සංශෝධනය පිළිබඳව ලොකු කතාබහක් සමාජයේ ඇතිවිය. පුනර්ජනනීය බලශක්තිය බිහිකිරීම සඳහා අවශ්‍ය බාධක ඉවත් කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිතව තිබුණේද මෙම සතියේය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිවලින් මේ යෝජනාවට දැඩි විරෝධතා එල්ල වන්නට විය. අමාත්‍ය කංචන විජේසේකර ඒ විවේචන හා අභියෝග සම්බන්ධයෙන් නොසැලී කටයුතු කිරීම විශේෂත්වයක් විය.

අවසානයේ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉංජිනේරු සමිති සමාගම්වල දැඩි විරෝධතා හා තර්ජන මත වුව එය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගන්නට කංචන සමත් විය. ඉංජිනේරු ඩීසල් මාෆියාවේ අවස්ථාවාදී අවශ්‍යතාවය කුමක් දැයි මුළු රටේම ජනතාවට දැනුවත් වෙන්නට මෙය කදිම අවස්ථාවක් විය.

ඒ අතරතුර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වී ඔහු වෙනුවට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට ඒමට නියමිත බවටද සමාජයේ කතාවක් පැතිර ගියේය.

එම ආරංචිය හුදු කතාවකටම සීමා වූයේ නැත. බැසිල් පසුගිය බ්‍රහස්පතින්දා උදේ පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේය. ඉන් පසුව හිතවතුන් හා කතා බහ කර ඉතා කෙටි සමුගැනීමකින් අනතුරුව ඔහු කෙලින්ම ආවේ නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයටය. එහි ඒ වන විට පුවත්පත් සාකච්ඡාවක් සංවිධානය වී තිබිණි.

සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, රංජිත් බණ්ඩාර වැනි මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බැසිල් පිළිගන්නට පැමිණ සිටියහ.

පුවත්පත් සාකච්ඡාව සඳහා වෙනදාට වඩා වැඩි පිරිසක් දක්නට ලැබුණේ ඇතැම් යූ ටියුබ් නාලිකාවලින්ද පැමිණ සිටි නිසාය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment