2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම යෙදී තිබුණු පසුගිය සතිය අපේ දේශපාලන පක්ෂවලට විවේකයක් ඇත්තේම නැති දින කීපයක් ලෙස ගෙවී ගියේය. කුඩා කුඩා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඒ මේ අත හුවමාරු වූයේ පසුගිය සතියේය. නාමයෝජනා භාර දෙන්නට කලින් එබඳු එකතුවීම් හා වෙන් වීම් සිදුකර හමාර කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. දේශපාලන කරළියේ ප්‍රධාන ප්‍රවාහයන් දෙක ලෙස කැපී පෙනෙන ජනාධිපති රනිල්ගේ නව සන්ධානයද සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අනෙකුත් පක්ෂවල සමගි ජන සන්ධානයද පසුගිය සතිය මේ ආකාරයේ පැමිණීම් පිළිගැනීම් හමුවීම් ආදී කාරණා නිසා අතිශයින්ම කාර්යබහුල වූහ.
ඒ හැරුණු විට කාර්යබහුල අනෙකුත් කණ්ඩායම් දෙක වූයේ ජාතික ජනබලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ පැමිණියත් මන්ත්‍රීවරු විශාල පිරිසක් සිටියේ පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ යුතුයි යන මතයේය. එසේම ප්‍රසිද්ධියේ මත පළ කළ බොහෝ දෙනකුට ජනාධිපති රනිල්ගේ පාර්ශ්වයෙන් ආරාධනාවක් හා ඉඩකඩක් වෙන් වූ නිසා ඔවුහු දෙවරක් කල්පනා කළේ නැත. පසුගිය සතියේ යා යුතු ඒ සියලුම දෙනා ජනාධිපති රනිල් සමීපයට ගොස් පොහොට්ටුව පාවාදෙමින් රනිල්ගේ ගුණ වයමින් රනිල් ජනාධිපති කරවීමේ මෙහෙයුමට සම්බන්ධ වූහ.
මහින්දගේ සැලොන් දොර රනිල් හයි කරගෙන…
පසුගිය සතිය වන විට පොහොට්ටුවට ඉතිරිව සිටියේ මන්ත්‍රීවරු තිස් ගණනක කණ්ඩායමකි. එහෙත් ඒ ගණන ඉදිරියටත් නිශ්චිත නැති බව ප්‍රකාශ කරමින් පොහොට්ටුවේ නිලධාරියකු හරි අපූරු කතාවක් පසුගිය දිනෙක කීවේය…
“පක්ෂයක් හැටියට පහුගිය දවස්වල අපට විවිධ චෝදනා තිබුණේ සමහර පුද්ගලයන්ගේ වැරදි නිසා. දැන් ඒ අය ඔක්කොම අර පැත්තට ගියා. හරියට කුණු ගෑවිලා තිබුණු සුදු රෙද්දක් හෝදලා පිරිසිදු කරගත්ත වගේ දෙයක් දැන් පක්ෂයට වුණා…”
ඒ අතර පසුගිය සතිය සජිත්ටත් ඉවසුම් නැති සතියක් ලෙස ගෙවී ගියේය. බොහෝ දෙනකු කළ සමීක්ෂණවල ප්‍රතිඵල අනුව ජඩාධිපතිවරණයේ වැඩි වාසි සැලසී තිබුණේ සජිත් ගේ කණ්ඩායමට බව රහසක් නොවීය. එබැවින් පහුගිය සතියේ කොළඹ ක්‍රේම්බි්‍රජ් පෙදෙසේ අංක 30 දරන තැන පිහිටි විපක්ෂ නායක කාර්යාලය සිය ගණනින් දේශපාලනඥයෝ ඇදී එමින් සිටියහ.
කෙසේ වෙතත් සජිත් සමාජයට එක පණිවුඩයක් දුන්නේය. පොහොට්ටුවෙන් ඉවත් වෙන දූෂිතයෝ විතරක් මගේ ළඟට එන්න එපා. මගේ ළඟ දූෂිතයන්ට ඉඩක් නෑ. මෙතනට එනවා නම් පිරිසුදු චරිතවත් මිනිස්සු විතරක් එන්න…
සජිත්ගේ මේ ප්‍රකාශය නිසා සමහර පිරිස් පොහොට්ටුවට එන්නට නොව, ඒ ගැන කතා කරන්නටත් බියව සිටියහ.
සජිත් යම් යම් වියතිරේක දැම්මත් සමාජයේ යම් යම් පුද්ගලයන් ගැන තිබෙන විවිධ චෝදනා කාලයත් සමග ජනතාවට අමතක වන බව රනිල් හොඳින් දැන සිටියේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සැලොන් දොර දැන් ඇත්තේ රනිල් ළඟය. ඒ සැලොන් දොර අරගෙන එන්නට පොහොට්ටුවේ සිටින කිසිවකුටත් බාධාවක් නොවීය. මන්ත්‍රීවරුන්ම සියයකට ආසන්න සංඛ්‍යාවක් දැනටත් ඒ සැලොන් දොර ඇරගෙන ජනාධිපති රනිල් ළඟට ගොස් අවසන්ය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ කන්ද උඩරට ප්‍රදේශය බලා පිටත්ව ගියේය. පළමුවෙන්ම ගියේ මහනුවරටය. මහනුවර ජනාධිපති මන්දිරයේ ලොකු රැස්වීමක් තිබිණි. ඒ සඳහා රනිල්ට උදව් කරන මහනුවර ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ට අමතරව මහනුවර වෙළෙඳ සංගමයේ නියෝජිතයන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
වෙළෙඳ සංගම් නියෝජිතයන් මෙහිදී ජනාධිපතිවරයා මැදිහත්ව මේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර වෙළෙඳාම් පිළිබඳව අනාගත විශ්වාසයක් තමන් තුළ ඇති කිරීම ගැන ස්තුතිය පළ කර සිටියහ.
වර්තමානයේ ක්‍රියාත්මක වන බදු අය කිරීමේ ප්‍රතිපත්තිය ගැන නියෝජිතයන්ට ප්‍රශ්න තිබිණි. ඔවුන් ඒ පිළිබඳව ජනාධිපතිවරයා හා සාකච්ඡා කළහ. ඒ අතර මහනුවර වෙළෙඳ සංගමයේ ලොකු කොටසක් සිටියේ වාහන ආනයනය හා විකිණීමට සම්බන්ධ ව්‍යාපාරිකයෝ බැවින් ඔවුන්ට බරපතළ ප්‍රශ්න රැසක් තිබිණ.
“වාහන ආනයනය රැඳිලා තියෙන්නෙ බදු ප්‍රතිපත්තිය මත. අපි 2025 වෙනකොට මේ බදු ප්‍රතිපත්තිය තරමක් ලිහිල් කරලා වාහන ගෙන්වන්න සහනයක් දෙන්න පුළුවන්ද කියලා බලනවා… එතෙක් විශ්වාසය නැති කරගන්න එපා..”
මහනුවර තවත් හමු කීපයක් තිබුණු අතර ජනාධිපතිවරයා ඒවාට සහභාගි වී හැටන් නගරයට ගියේ වඩිවෙල් සුරේෂ් සංවිධානය කළ ව්‍යාපාරික හා වතු ප්‍රජාවන්හි රැස්වීමකට සහභාගි වන්නටය. හැටන් නගරයේම කේ. කේ. පියදාස සංවිධානය කළ රැස්වීමක් ද තිබිණි. කේ. කේ. පියදාස යනු හැටන් නුවරඑළිය ප්‍රදේශයේ සිටින පැරැණිම එක්සත් ජාතික පක්ෂ ජන නායකයාය. ජනාධිපති රනිල්ගේ හොඳ විශ්වාසයක් ඔහු කෙරෙහි ඇත. කේ. කේ. පියදාසගේ රැස්වීම්වලින් අනතුරුව ජනාධිපති රනිල් නුවරඑළියට ගියේ මදක් විවේක ගන්නටය.
සඳුදා උදෙන්ම කොළඹ පැමිණි රනිල් වැඩිපුර රැඳී සිටියේ කොළඹ මල් පාරේ පිහිටි තම දේශපාලන කාර්යාලයේ කටයුතුවලය. ඒ හැරුණු විට හවස ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ද සහභාගි විය.
ආදි රාජකීයයින් රනිල්ට ද! සජිත්ට ද
එදින හවස කොළඹ රාජකීය විද්‍යාලය ආසන්නයේ පිහිටි තවත් විශේෂ නිවසක සංවිධානය කර තිබූ විශේෂ හමුවකට ජනාධිපති රනිල් සහභාගි විය. හමුව සංවිධානය කර තිබුණේ දුමින්ද ආටිගල නම් වූ, උපාලි විජයවර්ධනයන්ට ළඟම ඥාති සම්බන්ධකමක් ඇති ආදි රාජකීයයෙකි. ආදි රාජකීයයින් වන විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරීන් රැසක් හා ප්‍රභූ ව්‍යාපාරිකයන් රැසක් මේ හමුවට සහභාගි වී සිටියහ.
සාකච්ඡාවේ අරමුණ ජනාධිපති වීම සඳහා රනිල් වික්‍රමසිංහට ආදි රාජකීයයන් උදව් කිරීමයි. එහිදී විශ්‍රාමික හමුදා නිලධාරීන් කීප දෙනෙක්ම අදහස් දැක්වූහ. සාකච්ඡාව සම්පූර්ණයෙන්ම පැවැත්වුණේ ඉංග්‍රීසි භාෂාවෙනි.
“ඔබතුමා දන්නවද… මම නිතර අපේ විශ්‍රාමික හමුදා නිලධාරීන් හමුවෙනවා. ඔවුන් සමග කතාබස් කරනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ අද ඒ අය අතරින් සියයට අසූවක් දෙනා ඉන්නේ NPP එකේ අනුර කුමාරත් එක්ක. මේ තත්ත්වයට කේටර් කරන්න මොනවද ඔයාගේ උපායමාර්ග…” එසේ විමසුවේ ගුවන් හමුදාවේ හිටපු ඉහළ නිලධාරියෙකි.
“විශ්‍රාමික නිලධාරීන් අතර නෙවෙයි, ත්‍රිවිධ හමුදාවේම ගත්තත් වර්තමාන සේවකයන් අතර ඉන්න වැඩි දෙනෙක් උදව් කරන්නෙත් මේ පාර මාලිමාවට…” තවත් නිලධාරියෙක් කරුණු දක්වනු ලැබීය…”
“ඇයි ඒ… ඒගොල්ලන්ට ඕන මේ රට හදන්නද එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් පලිගන්නද… බොහොම අමාරුවෙන් ඉහළට ගත්ත මේ රට ඉදිරියට හදන්න ඕන නම් එයාලට කියන්න මගේ ළඟට එන්න කියලා.”
මේ සාකච්ඡාව තවදුරටත් දිගින් දිගට ඇදුනත් ජනාධිපති රනිල් ඒ සම්බන්ධයෙන් ලොකු වගකීමක් ගත්තේ නැත… ඔහු අවසානයේ මෙසේ ඉල්ලීමක් කළේය…
“හරි ඒගොල්ලන්ට කියන්නකෝ… ඒගොල්ලන්ගේ රට හදන ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද කියලා. එහෙම වැඩපිළිවෙළක් ඒගොල්ලන්ට නෑ. ඒ නිසා මේ රටේ බහුතර ජනතාව එයාලට රැවටෙන්නේ නෑ. ඒක නිසා මට එයාල ප්‍රශ්නයක් නෑ…” එහිදී ජනාධිපති විශ්වාසයෙන් යුතුව කියා සිටියේය.
ජනාධිපති කාර්යාලයේ එදින කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙමින් තිබෙන අතරතුර ශාලාවෙන් පිටව ඊළඟ රැස්වීම සඳහා තවත් පිරිසක් ඇතුළු වීමට බලා සිටියහ. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් හා මන්ත්‍රීවරු පිරිසකි…
එළියේ එසේ රැඳී සිටි පිරිස ජනාධිපතිවරයාට මෙවර උදව් කිරීමේදී මතු විය හැකි ගැටලු ගැන කතාබහ කරමින් සිටියහ …
ජනාධිපතිතුමා රටම දන්නේ නව ලිබරල්වාදී මත දරන නායකයෙක් විදියට. හැබැයි අපිත් එක්ක ඉන්න ජනතාවගෙන් බහුතරයක් ජාතිකවාදි මතයක් දරන අය. අපිට තියෙන ප්‍රශ්නෙ තමයි ජාතිකවාදී මතයක් දරන අපේ අය කොහොමද නව ලිබරල්වාදියෙකුට උදව් කරන්නෙ කියන එක…
ඒක ටිකක් මතවාදීව අමාරුයි… හැබැයි ඒක තමයි මේ වෙලාවේ තියෙන හොඳම විකල්පය…
“අභියෝගයක් තියෙනවා. හැබැයි අපි ඒක ජය ගන්න ඕන. ඒකටනේ අපි ඉන්නේ.” මන්ත්‍රීවරයෙක් කීවේය.
ඒ මොහොතේ කැබිනට් මණ්ඩලය අවසන් වී පිටව යන ඇමැතිවරු පිරිසක් එතනින් ගියහ…
අපි මෙහි ජාතිකවාදීන් ලිබරල්වාදීන් ගැන කතා කරනවා. හැබැයි අන්න අරෙහෙ අවස්ථාවාදීන් ගේම දෙනවා.. අවස්ථාවාදියෙක් දැන් ඊළඟ ආණ්ඩුවේ අගමැති වෙන්නත් ඇඳුම් මහගෙන කියලයි කියන්නේ.. අපේ ජනාධිපතිතුමාව අන්න ඒ අවස්ථාවාදීන්ගෙන් ගලව ගන්න එක තමයි අමාරුම වැඩේ… එතන සිටි එක් අයෙක් එසේ ඇඟිල්ල දිග කරමින් කී විට අනෙක් අය හිස හරවා කැබිනට් රැස්වීමෙන් පසු පිටව යන ඇමැතිවරු දෙස බැලූහ…
නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් පිටව යන අයුරු දැකගත හැකි විය…
පුටුවක් කැඩී මතුවූ රනිල්ගේ ගෑස් ටැංකිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි. එහෙත් ඔහුට ඡන්ද ලකුණක් හා පක්ෂයක් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබුණි. ඔහු වටා සිටින බොහෝ දෙනෙක් ඔහුට උදව් කරන්නට ඉදිරිපත් වී සිටියත් මේ ප්‍රශ්නයට විවිධ විසඳුම් ආවා මිස තනි විසඳුමක් ආවේ නැත.
නිමල් ලන්සා සමග සිටි නව සන්ධානයේ උදවිය ඔහුට යෝජනා කළේ රනිල් වටා එකතු වූ කණ්ඩායම් නව සන්ධානය යටතේ ඒකරාශී විය යුතු බවයි. මේ වන විට පොදුජන එක්සත් පෙරමුණේ අයිතිය ඇත්තේ එහි ලේකම් ලසන්ත අලගියවන්න අතේය. ඔවුන්ගේ යෝජනාව වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයක් බිහිකර සියලු පක්ෂ කොටුව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවකි. පක්ෂ නායකයා ලෙස අනුර යාපා, ලේකම් ලෙස ලසන්ත අලගියවන්නත් මේ කටයුතු සඳහා සූදානම් වූයේ පොහොට්ටුවේ සාමාජිකයනුත් ඊට ඈඳාගෙන ලොකු සන්ධානයක් බිහි කරන්නටය. මේ සඳහා පසුගිය 14 වෙනිදා උදේ වරුවේ වෝටර්ස් එජ් හෝටලයේ එක්සත් ජාතික පක්ෂය, නව සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වාමාංශික දේශපාලන පක්ෂ හා පොදුජන එක්සත් පෙරමුණ අතර ලේඛනයක් ද අත්සන් කෙරිණි…
එහෙත් එම ස්ථාවරය යටතේ ප්‍රශ්න මතුවිය. දිනේෂ් ගුණවර්ධනලාට එම සන්ධානය යටතේ ලොකු ඉඩකඩක් ලැබී නොතිබිණි. පොහොට්ටුවෙන් පැමිණි බොහෝ දෙනකුගේ ද අදහස් ඊට වෙනස් වූහ. පුටුව යටතේ මෙම සන්ධානයට ඉදිරියට යා නොහැකි බව බොහෝ අය කීවේ යම් යම් නීතිමය ගැටලු ද ඉදිරියේදී ඇතිවිය හැකි බව කියාපාමිනි.
දිගින් දිගටම මේ සම්බන්ධයෙන් සාකච්ඡා ඇති විය. ඒ අතර මැතිවරණ කොමිසම නියමකර ඇති ආකාරයට නාම යෝජනා ඉදිරිපත් කිරීමද 16 වැනිදා කළ යුතු විය. ජනාධිපති රනිල්ගේ පිලේ සාකච්ඡා තව තවත් වේගවත් විය.
අවසානයේ තවත් යෝජනාවක් පැමිණියේ සියලු දෙනාගේම පුළුල් එකඟතාවය සහිතවය.
ඒ අනුව “ගෑස් සිලින්ඩරය” ලකුණ යටතේ තරග කිරීමට රනිල් වික්‍රමසිංහ නිසි පරිදි 16 වැනිදා නාමයෝජනා භාරදීමටත් රනිල්ට සහයෝගය ලබාදෙන සියලුම පක්ෂ දාහත් වැනිදා උදේ වෙනම ගිවිසුමකට එකඟ වී අත්සන්කර “පුළුවන් ශ්‍රී ලංකා” යන සම්මුතිය යටතේ පුළුල් නව සන්ධානයක් ගොඩනඟා ගැනීමටත් අභ්‍යන්තර එකඟතාවක් ඇතිවිය.
ඒ අනුව නාම යෝජනා භාර දුන් දිනයට පසු දිනයේ එනම් 16 වැනිදා උදේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාල සිල්වා, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, වඩිවෙල් සුරේෂ්, අලි සබ්රි, අනුරා යාපා, වජිර අබේවර්ධන, අතාවුල්ලා, රාජිත, මුසම්මිල් ආදී නායකයන් නියෝජනය කරන පක්ෂ 34ක් එක්ව ගිවිසුමක් අත්සන් කර පොරොන්දු වූහ. දහසය වැනිදා උදේ වෝටර්ස් එජ් හෝටලයේ අත්සන් කළ නව ගිවිසුමට අනුව 14 වැනිදා අත්සන් කළ ගිවිසුම යට ගිය අතර තවමත් නමක් තීරණය වී නැති සන්ධානය වෙනුවෙන් ගෑස් සිලින්ඩරය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වඩ වඩාත් තහවුරු විය. බොහෝ විට ස්වාධීන අපේක්ෂකයා ලෙස ගෑස් සිලින්ඩරය යටතේ රනිල් තරග කරන අතර, ඉන් පසුව එළඹෙන මහ මැතිවරණයකට පුළුල් එකඟතාවයකින් යුතු පක්ෂයක් “පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය” යටතේ ගොඩනඟා ගැනීම සිදුවනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයන් මත පළ කර සිටියහ.
ජීවිතයේ ගොසිප් නිහඬ කළ ප්‍රදීප්
බදාදා හවස දේශපාලනඥයන්ගේ මාධ්‍ය හමු හා සාද කීපයක්ම පැවැත්වුණු දිනයක් විය. පුවත්පත්වල හා මාධ්‍යවල ක්‍රියාකාරී චරිත කීපයක් වෙනුවෙන් මනූෂ නානායක්කාර සංවිධානය කළ එක් මාධ්‍ය හමුවක් කොල්ලුපිටියේ ඇල්ෆෙඩ් ඇවිනිව්හි අවන්හලක පැවැත්වෙමින් තිබිණ.
ඒ සඳහා සහභාගි වන මාධ්‍යවේදීන්ගේ අඩුවක් දක්නට ලැබිණි. පැමිණ සිටි කීප දෙනා අතර ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් අනුර ප්‍රදීප් කුමාර ද සිටියේය. ඔහු පුවත්පත් මාධ්‍යවේදියකු හා කතාබහ කරමින් සිටින අතර පුංචි දෙබසක් ඇති විය…
අයියට කිව්වේ නැද්ද නාමල්ගේ පාටිය… මෙතෙන්ට එන්න ඕන අය වැඩි දෙනෙක් අද කින්ස්බරි හෝටලේ. එතන නාමල් වෙනුවෙන් මාධ්‍ය සාදයක්…
ඒකනම් මට කියලා නෑ නමුත් අපි මෙතන ඉන්නවනේ… වෙනද නම් ඔයත් එතන ඉන්නවා…
ඒක තමයි… මට අද කොහොමත් හරිම අමාරුයි. ගෑස්ට්‍රික් හිරවෙලා වගේ පපුවටත් ගහනවා. මම අද චුට්ටක් වේලාසනින් ගෙදර යනවා.
එසේ කී ප්‍රදීප් එතන සිටි තවත් හිතවතෙකු වූ විජයානන්ද හේරත් සමග අන් අයට රහසින් පිටව ගියේ වෛද්‍යවරයකු හමු වී ගෑස්ට්‍රික්වලට ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාවය ද ඇතිවයි. එහෙත් ඔහුට කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් වන්නට සිදුවිය. ගෑස්ට්‍රික් නොව, හෘදයාබාධයක් බව පෙන්වා දුන් වෛද්‍යවරු ඔහුව හදිසි සැත්කමකට ලක් කළහ.
සැත්කම සාර්ථක විය. එහෙත් ප්‍රදීප් ජීවිතයෙන් පරාජය වූයේ නැවත වරක් හෘදයාබාධයන් නැවතත් ඔහුට අභියෝග කරන්නට වූ නිසාය… අවසානයේ පත්තරවල මෙවන් වගතුග ගොසිප් තීරුවලට අත්‍යවශ්‍යම පුද්ගලයකු වූ ප්‍රදීප් අනුර කුමාර ජීවිතයෙන් සමුගෙන යන්නම ගියේය. ප්‍රසන්න රණතුංග, මනුෂ නානායක්කාර සහ ඔහුගේ හිතවතුන් කොතරම් වෙහෙස වුවත් ඒ ගමන නවත්වා ගන්නට බැරිවිය.
මේ සිද්ධිය සිදුවුණු කාලය අතරතුර කිංග්ස්බරි හෝටලයේ සහ හිල්ටන් හෝටලයේ නාමල් වෙනුවෙන් මාධ්‍ය හමුදෙකක් පැවැත්වෙමින් තිබිණි. ඒ විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත් කර්තෘවරුන් අතරය. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි විය. නාමල් පැමිණ මාධ්‍යවේදීන් හා පුවත්පත් කතුවරුන් සමග කතා බහ කළේය. විශේෂයෙන්ම කතුවරුන් හා මාධ්‍යවේදීන් සිටින තැන් වලටම ගොස් ඔවුන් සමග සුහද කතාබහක නිරත වන්නට නාමල් අමතක නොකළේය.
පහළොස් වැනිදා උදෙන්ම නාමල් සහ ලිමිනි සිය පියාණන් හමුවීමට විජේරාම මාවතේ නිවසට ගොස් සිටියහ.
බුලත් හුරුල්ලක් දී සිය පියාණන්ගෙන් නාම යෝජනා භාරදීම සඳහා අවසර ඉල්ලා සිටියේය…
මෙහිදී හුනස්නෙන් නැඟිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පුතනුවන්ව ආදරයෙන් වැළඳ ගනිමින් ආශිර්වාද කළේ ජෝන්ස්ටන්, චානක, සාගර කාරියවසම් ඇතුළු එතන සිටි අනෙත් අයට ඇසෙන සේ නාමල්ට අවවාද කීපයක් ද කරමිනි.
“දැන් ඉතින් ඕගොල්ලෝ මෙයාව මෙතෙන්ට ගෙනාව වගේම මෙතන ඉඳලා ඉදිරියට ගෙන යන එකත් කරගහලම කරන්න..”
එහෙම නැත්තම් සර් අපි මෙතන ඉන්නේ නෑනේ. ඒ වගකීම කර ඇරලා කී දෙනෙක් මෙතනින් ගියාද… සර් වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඒ අභියෝගය අතහරින්නේ නෑ… එහි සිටි කිහිප දෙනා ඉතා ආඩම්බරයෙන් ඒ උපදේශය පිළිගත්තේ එසේය.
නාම යෝජනා භාරදෙන්නට ප්‍රථම ලිමිනි සමග කෙලින්ම ආවේ ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගැනීමටය. විහාරස්ථානය පැඳපුදාගෙන අස්සජි හිමි හමු වී ආශිර්වාද ලබාගත් පසුව නාමල් නැග්ගේ සිය මාමණ්ඩියට අයත් ඉස්තරම් වර්ගයේ බෙන්ස් රථයකටය. එහි අනිත් පැත්තෙන් මහ ලේකම් සාගර කාරියවසම් වාඩි වුණේය. ඉදිරි අසුනේ ඩීවී චානක වාඩි වුණේය. තිදෙනා මැතිවරණ ලේකම් කාර්යාලය බලා පිටත්ව ගියේ එලෙසිනි.
නාමල් සාගර ඇතුළු කණ්ඩායම මැතිවරණ ලේකම් කාර්යාලයට යන විට බොහෝ අපේක්ෂකයෝ කල්තියා පැමිණ වාඩිගෙන සිටියහ. අපේක්ෂකයන් ගණන හතළිස් දෙනෙකි. පක්ෂ මහලේකම්වරුන්ද ඔවුන්ගේ ආධාරකරුවන්ද සමග සියයකට වැඩි පිරිසක් ඒ මොහොතේ කාර්යාලයේ අසුන්ගෙන සිටියහ…
අන්න මහින්ද ලොක්කත් එනවා කියමින් කවුදෝ කියනු ඇසී හැරී බලද්දී ඒ පැමිණ සිටියේ මහින්ද නොව නාමල්ය…
නාමල් සුදු පැහැති ජාතික ඇඳුම ඇඳ සුපුරුදු රතු පැහැති සාටකය දමා සිටියේය. අපේක්ෂකයෝ බොහෝ දෙනෙක් විවිධ ඇඳුම් ඇඳ සිටියත් සුපුරුදු ආර්ය සිංහල ඇඳුම හැඳ සිටි එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ පමණක් වීම විශේෂත්වයකි…
නාම යෝජනා භාරදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ සිටියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමගය. ජනාධිපති රනිල් අන් හැමෝටමත් වඩා ඉතා සුහදශීලී ලෙස කවුරුත් සමග කතාබහ කරමින් හැසිරෙනු දැකගත හැකි විය…
ඔයගොල්ලෝ දන්නවද… එයා මේ හදන්නේ කවුරුත් එක්කත් අතට අත දීලා කතා කරලා ෆොටෝ ටිකක් ගන්න. පස්සෙ සෝෂල් මීඩියාවල පාවිච්චි කරන්න පුළුවන්නෙ ජනාධිපති සුහදයි කියලා…
එසේ කීවේ අපේක්ෂකයෙක් නොව පක්ෂයක ලේකම්වරයෙකි.
නාම යෝජනාවල රාජකාරී වැඩකටයුතු අවසන් වූ පසුව රනිල් වික්‍රමසිංහ ඡායාරූප ශිල්පීන් පිරිවරාගෙන තැනින් තැනට යමින් අපේක්ෂකයන්ට අත දෙමින් ආචාර කරන්නට විය…
නාමයෝජනා භාර දෙන්නට සජිත් පැමිණ සිටියේ සුපුරුදු පරිදි අතිශයින් චාම් සුපුරුදු ඇඳුම ඇඳගෙනය. රංජිත් මද්දුම බණ්ඩාර ඔහුගේ ළඟින්ම සිටියේය. ජනාධිපති රනිල් ඔහු සිටින තැනට පැමිණ ඔහුට ආචාර කිරීමට අත දිගු කළේය. එහෙත් මේ ආචාර කිරීම ගැන සජිත් කලින් දැන සිටි බැවින් අත දිගු කළේ නැත. ඔහු ඉතා සුහදශීලී ලෙස සිනාවක් පා සුපුරුදු පරිදි ආයුබෝවන් කීවේය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගන්නට බලා සිටි ඉතා අනගිතම ඡායාරූපයක් මගහැරී ගියේ එලෙසිනි.
ඉන් පසුව ජනාධිපතිවරයා සෙව්වේ අනුර කුමාර දිසානායක වුවත් ඔහුද මේ පිළිබඳ දැනුවත්ව සිටි බැවින් රනිල් මූණට මූණ හමුවීම මඟහරින්නට ඒ මේ අතට හැරෙමින් සිටියේය. ඔහු සිටි දෙසට එනු දුටු අනුර අනිත් පැත්තෙන් නාමල් හා සාගර සිටි තැනට ගොස් වෙන කතාවක් ඇදගත්තේය…
එහෙත් ඔහුට පමණක් නොව නාමල්ලාට ද රනිල්ගෙන් ගැලවීමට බැරි විය. එතනටද පැමිණ කතාබස් කළේය…
ඒ අතර ජනාධිපති රනිල් ඉංග්‍රීසියෙන් සාගරගෙන් පොලිස්පති පත් කිරීම ගැන ප්‍රශ්නයක් විමසනු ලැබීය…
සාගර දුන්නේ වචන තුන හතරක උත්තරයක් පමණි. වෙන වෙන සුහද කතා මැද මැතිවරණ ලේකම් කාර්යාලයේ වැඩකටයුතුත් තවදුරටත් දිග්ගැසී ගියේ අපේක්ෂකයන් එකිනෙකා හා කතාබස් කරමින් තවත් ටික වෙලාවක් එහෙම රැඳී සිටි නිසාය.
මැතිවරණ කාර්යාලයේ නාම යෝජනා භාරදී ආපසු එළියට එන අපේක්ෂකයන් පිළිගන්නට ආධාරකරුවෝ විශාල පිරිසක් මැතිවරණ කාර්යාලයෙන් පිට ප්‍රදේශය පුරා රැස්ව සිටියහ. ඒ ඒ පක්ෂවල ආධාරකරුවන් වෙනදාට වඩා වැඩි උණුසුමකින් තම අපේක්ෂකයන් පිළිගත් ආකාරය කාට කාටත් දැක ගත හැකි විය…
බුලිත ප්‍රදීප් කුමාර