ජනපතිට මුණගැසුණු පරණ මිතුරා

740

පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ වඩාත් උණුසුමින් කතාබහට ලක්වූයේ දේශපාලන මාතෘකා දෙකකි. එකක් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශයයි. අනික විපක්ෂයේ පක්ෂ කිහිපයක එකමුතුවෙන් සර්වජන බලය නමින් අලුත් දේශපාලන සන්ධානයක් බිහිවීමයි.

මේ සිද්ධීන් දෙකට පෙර අපේ දේශපාලන කරළියේ වඩාත් උණුසුම් මාතෘකාව ලෙස සජිත් හා අනුර අතර පැවැත්වෙන්නට නියමිත විවාදය සම්බන්ධයෙන් වූ කතිකාව පැවතියත් රංගේගේ ප්‍රකාශය නිසා ඒ සියල්ල යටපත් විය. පසුගිය දිනවල කිසිවකුගේත් වැඩි සැලකිල්ලට ලක් නොවූ රංගේ මේ ප්‍රකාශයත් සමගම ආන්දෝලනාත්මක චරිතයක් විය.

රංගෙ බණ්ඩාරගේ යෝජනාව දේශපාලන බෝම්බයක්

ඒත් රංගේ වැඩි දෙයක් කීවේ නැත. ඔහු කීවේ සත්‍යයකි. ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීම යනු රටේ ජනතාවගේ බදු මුදලින් එකතුවන මහා ධනස්කන්ධයක් බලා සිටියදී නැති නාස්ති කර දමන්නකි. පරිසරය සම්බන්ධයෙන් ගත්විට රට පුරාම ලොකු පරිසර විනාශයකට මග පාදන දැවැන්ත ව්‍යාපෘතියකි. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගත්විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා හා එකඟතාවලට යම් විරාම ලකුණක් තබන සංසිද්ධියකි. යම් හෙයකින් රනිල් ඉදිරියේ එන ජනාධිපතිවරණයකින් පරාජය වුවහොත් මෙතෙක් දිනක් ඔහු අරඹා තිබූ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සියල්ල අතරමග කඩා බිඳ දමන්නකි.

පාලිත කීවේ මේ වෙලාවේ රටට අවශ්‍ය ඒ සියලු ව්‍යාපෘති කඩා බිඳ දමා රට අනතුරේ හෙළීම නොව, රට තවදුරටත් මේ මාවතේම ඉදිරියට ගෙන ගොස් ආර්ථිකය හා රටේ අනාගතය ශක්තිමත් කළ යුතු බවයි. ඒ සඳහා ඔහුගේ යෝජනාව වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ මේ රජය වෙනසකට ලක් නොකොට තව අවුරුදු දෙකකට ස්ථාවර කරදිය යුතු බවයි.

ඔවුන්ගේ කෝණයෙන් බලන විට ඒ සියල්ල සත්‍ය වුවත්, වරද සිදු වූයේ එය යෝජනාවක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් එළියට පැමිණීමයි. මේ රටේ දේශපාලන ව්‍යුහයේ වෙනසක් සිදුවිය යුතු යැයි කල්පනා කරන සියලු පාර්ශ්වයන්ට මේ කතාව නයාට අඳු කොළ මෙන් බලපාන්නට විය. රංගෙ බණ්ඩාරගේ කතාවට එරෙහිව සමාජය තුළ මේ තරම් පුළුල් විරෝධයක් නිර්මාණය වූයේ ඒ නිසාය.

විරෝධය නානාවිධ ආකාරවලින් නානාවිධ පාර්ශ්වවලින් එළියට එන්නට පටන් ගත්තේ මෙසේය.

“ඔය යෝජනාව කළේ කවුරු වුණත් ඒ කෙනා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබවල් රේණුවක හැඟීමක් නැති පට්ටපල් මෝඩයෙක්” වත්මන් රජයේ පාර්ලිමේන්තු බලය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කීවේය.

“එහෙම කොහොමද වෙන්නේ? කීය කිව්වත් එහෙම දෙයක් වෙන්න අපි මේ රටේ ඉඩ තියන්නේ නෑ…” දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් කීවේය.

“ලැජ්ජයි, කුජීතයි, අශීලාචාරයි. මේක කරන්න එපා. මේක කළොත් අපි පාරට බහිනවා…” දමිළ ප්‍රගතිශීලී පක්ෂයේ නායක මනෝ ගනේෂන් කීවේය.

“මේ වගේ ලැජ්ජ නැති වැඩක් කළොත් ඊට විරුද්ධව කොහු අරගෙන පාරට බහින්නේ මේ රටේ කාන්තාවෝ. ඕගොල්ලෝ ලෑස්තියි නේද…” ඒ කිව්වේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසේකරය.

මේ සියල්ලටම කලින් පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය නිකුත් කිරීමත් සමගම විරෝධය ආවේ පක්ෂය ඇතුළාන්තයෙන්ය. විශේෂයෙන්ම කලක් මහ ලේකම් සිහින දකිමින් සිට පසුව ඒවා බොඳ කරගත් කීපදෙනකුගෙන්ය. රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම් හා නවීන් දිසානායක ආදීහු එහි පෙරමුණේ සිටියහ. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන නිහඬව සිටියේය.

ඇත්තම කතාව මේ යෝජනාව මීට පෙර යම් යම් තැන්වල එළියට ආවේ ඔහුගෙන් වීමය. එහෙත් ඔහුගේ ප්‍රකාශය වඩාත් නිර්මාණශීලී විය. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මේ රට දැන් නිවැරදි සංවර්ධන මාවතක ගමන් කරමින් සිටින බවත් අතර මැද ඒ ගමනට බාධාවන කිසිවක් විය යුතු නැති බවත් මේ සංවර්ධන ගමන මේ සංවර්ධන මාවත ඔස්සේ තවදුරටත් ඉදිරියට ගියහොත් රට වඩාත් හොඳ ක්ෂේම භූමියකට යනු ඇති බවත් ඔහු කියා තිබිණ. රංගේ බණ්ඩාර එම බැටලය ප්‍රසිද්ධියේ අතට ගත්තේ ඔහුගෙන් පසුවයි.

පසුගිය සෙනසුරාදා (25දා) රංගේ මේ කතාව මුල් වරට කීවත් එය සමාජයට දැණුනේ නැත. එබැවින් ඔහු පසුගිය 28 වැනිදා විශේෂ පුවත්පත් සාකච්ඡාවක් සිරිකොතට කැඳවමින් මේ බැව් අමු අමුවේම කියා දැම්මේය. ජනතාවට පොල්ලෙන් ඔළුවට ගැහුවා මෙන් දැනෙන්නට වූයේ දෙවන වර ඔහු එසේ කී අමුම අමු කතාවයි.

විපක්ෂයේ බොහෝ දෙනා මේ කතාවෙන් කිපී චෝදනා නගන්නට වූයේ රනිල් වික්‍රමසිංහටයි. රනිල් ඡන්දයෙන් දිනන්නට බැරිව ඡන්දය කල් දමන්නට බළල්ලු ලව්වා කොස් ඇට බාවන්නේ යැයි සමහරු කීහ. සමහරු කීවේ රනිල් මුට්ටිය දමා බැලුවා යැයි කියාය. එහෙත් ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකළ රනිල් පසුගිය 29 වැනිදා තරුණ නීතිවේදීන් පිරිසක් සමග ගත කළ හැන්දෑවකදී මෙසේ කියා දැම්මේය…

“ජනාධිපතිවරණයත් කල් දාන්නේ නෑ. ඒක නියමිත වෙලාවට නියමිත පරිදි පවත්වන වගකීම මැතිවරණ කොමිසමට ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ ස්වාධීනව වැඩ කරාවි.”

එහෙත් රනිල් එහිදී ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මේ රටේ යම් යම් සටන්කාමී පක්ෂවල මතය එදාට සාපේක්ෂව අද වෙනස් වී ඇති අන්දම මතක් කළේය…

“ඒගොල්ලොන්ට මහ ලොකු විවේචන තිබුණා. ජනාධිපතිට තියෙන බලය අසීමිතයි, ඒ බලය වැඩියි කියලා විවේචන කළා. ඒගොල්ලෝ එදා එහෙම කිව්වට අද එහෙම වචනයක්වත් කියන්නේ නෑ. ඒ මොකද අද එයාලටත් ඕන වෙලා තියෙන්නේ පූර්ණ බලතල සහිත ජනාධිපති පුටුවක වාඩිවෙන්න…”

කවුරුන් කෙසේ කීවත් ජනාධිපතිවරණය නිසි කලට නිසි වේලාවට පවත්වන්නට මැතිවරණ කොමිසමට කිසිදු බාධාවක් නැතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් මුදල් ප්‍රතිපාදන ද කල් වේලා ඇතිව පහුගිය අයවැයෙන් වෙන් කර ඇති බව මතක් කර දෙමිනි.

ජනාධිපතිවරණයට රනිල් උතුරුකරෙන් වැඩ අරඹයි

පසුගිය සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරුකරයේ සංචාරයක නිරත වීමද ඇතැම් දේශපාලන නිරීක්ෂකයෝ දුටුවේ ජනාධිපතිවරණය සඳහා සූදානම් වීමක් ලෙසයි. එහිදී ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා අභිනවයෙන් ඉදිකළ ගොඩනැඟිල්ලක් විවෘත කිරීමට එක් වූයේය. උත්සවයට පැමිණ සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මේ ගැන අමුතුම කතාවක් කීවේය.

“2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරාද වුණා. සමහර කිව්වා රනිල් පරාද වුණේ උතුරේ ජනතාව ඡන්දය නොදුන්නු නිසාය කියලා. සමහර අය ඒ කතාව පිළිගත්තා. එහෙම වුණත් ජනාධිපති රනිල් ඉන් පස්සෙ අගමැති වෙලාත් ඊටත් පස්සේ ජනාධිපති වෙලාත් උතුරේ ජනතාවට කරන සේවය වැඩි කළා මිස අඩුවක් කළේ නෑ…”

එතන සිටි ජනතාව මෙන්ම දේශපාලනඥයෝ සුමන්තිරන්ගේ කතාව අනුමත කරන බවක් පෙනෙන්නට තිබිණ. උත්සවයට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සිද්ධාර්ථන් හා ඇමැති ඩග්ලස් දේවානන්දා ද එක්ව සිටියහ. එම උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා යාපනයේ තරුණ පිරිසක් සංවිධානය කර තිබූ තරුණ හමුවකට සහභාගි වන්නට ගියේය.

මෙහිදී තරුණ තරුණියන්ගේ රසිකත්වය හා කලා රසාස්වාදය ගැනද අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා ඔවුන් හා අදහස් හුවමාරු කර ගනිද්දී තරුණ පිරිස කැමතිම ගායකයා කවුදැයි විමසා සිටියේය. තරුණ පිරිස ඒ බාලසුබ්‍රමණියම් යැයි එක හඬින් කියා සිටියහ.

“එහෙම නම් ඕගොල්ලන්ට පුළුවන්ද එයාගේ සින්දුවක් ගායනා කරලා පෙන්නන්න…” ජනාධිපතිවරයා එසේ ඉල්ලූ සැණින් තරුණයකු ඉදිරිපත්ව හරි අපූරු ගීයක් ගායනා කළේය.

ජනාධිපතිවරයා මෙහිදී ලබන වසරේ තරුණ තරුණියන්ට ප්‍රතිලාභ රැසක් අත්වන ලෙස යාපනයේදී තරුණ කඳවුරක් පවත්වන බවට පොරොන්දුවක් ලබා දුන්නේය. උත්සවයේදී යාපනයේ තරුණ පිරිස සිංහලෙන් ජාතික ගීය ගායනා කිරීමද ජනාධිපතිවරයාගේ නොමඳ ප්‍රසාදයට හේතුවක් විය.

“ඔයගොල්ලෝ සිංහල ඉගෙන ගන්න ඕන. දකුණේ අය දෙමළ ඉගෙන ගන්න ඕන. ඔයගොල්ලො සිංහලෙන් ජාතික ගීයක් කියන්න දන්නවා වගේ දකුණේ අයත් දෙමළෙන් ජාතික ගීය කියන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න ඉවරයි. එසේ කියමින් ජනාධිපතිවරයා විමසුවේ උත්සවයට දකුණින් සහභාගි වී සිටි තරුණ තරුණියන්ට දෙමළෙන් ජාතික ගීය කියන්නට හැකිදැයි කියාය. එම අවස්ථාවේදී ඉදිරිපත් වූ තරුණ කණ්ඩායමක් දෙමළෙන් ජාතික ගීය ගායනා කළහ.

මෙම තරුණ හමුවෙන් අනතුරුව ඩග්ලස් දේවානන්දා සංවිධානය කර තිබූ උත්සවයකටද ජනාධිපතිවරයා සම්බන්ධ වූයේය. කිලිනොච්චිය රෝහලේ නව ගොඩනැඟිල්ලක් විවෘත කිරීම ඇතුළු උත්සව කීපයක් එහිදී ද සංවිධානය වී තිබුණි. කිලිනොච්චියේ ජනතාවට උරුමය ඔප්පු ප්‍රදානය කිරීම ඒ අතර කැපී පෙනෙන උත්සවයක් විය.

මේ අතර පරණ මිතුරෙකුගේ සුවදුක් විමසා බලන්නට ද ජනාධිපතිවරයා අමතක නොකළේය. මිතුරා සී. වී.

විග්නේෂ්වරන්ය. ඔහු මේ වනවිට සිටින්නේ අසනීප තත්ත්වයෙන් බැවින් යාපනය නල්ලූර් කෝවිල අභියස පිහිටි ඔහුගේ ගෙදරට ගිය ජනාධිපති රනිල් විනාඩි හතළිහක පමණ කාලයක් මිඩංගු කරමින් ඔහු සමග රෝයල් කොලීජියේ හා නීති විද්‍යාලයේ පරණ තොරතුරු මතක් කරමින් කතාබස් කරමින් සිටියේය.

ජනාධිපති රනිල් එහිදී ගුරු පත්වීම් ප්‍රදානයකටද සහභාගි විය. අතීතයේත් බස්නාහිරට පසු හොඳම අධ්‍යාපනයක් පැවැති යාපනය යළිත් ඒ තත්ත්වයට ගෙන ඒම තම බලාපොරොත්තුව බව රනිල් මෙහිදී උතුරේ දේශපාලනඥයන්ට කීවේය.

දකුණට මෙන්ම උතුරට උතුරට මෙන්ම දකුණට

ජනාධිපතිවරයා උතුරේ අධ්‍යාපනය නඟාසිටුවන්නට උතුරට ගොස් කරන මෙහෙවර ගැන පසුගිය දිනවල දකුණේ ද සාකච්ඡාවක් ඇති විය. සාකච්ඡාව තුළ සිටියේ දකුණට මෙන්ම උතුරටත් උතුරට මෙන්ම දකුණටත් සම අයිතිවාසිකම් තිබිය යුතුය කියා පිළිගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකි. ඔවුන්ගේ සාකච්ඡාවේදී වර්තමානයේ ඇතමුන් නොදන්නා කරුණු කීපයක් හෙළිදරව් විය.

විග්නේෂ්වරන් පමණක් නොව, උතුරේ දේශපාලනඥයන් රැසක්ම අද උතුරේ පාසල්වලින් අධ්‍යාපනය ලැබ පැමිණි ප්‍රභූන් ලෙස පෙනී සිටියත්, ඒ අතරින් බොහෝ දෙනෙක් එදා අධ්‍යාපනය ලැබුවේත් ඔවුන්ගේ දරු මුණුබුරන් අද අධ්‍යාපනය ලබන්නේත් කොළඹ රෝයල් කොලීජියේ බව මෙහිදී හෙළි විය. එතන සිටි ගෙවිඳු කුමාරතුංග පෙන්වා දුන්නේ තමන් සමග සුමන්තිරන් ද සමකාලීනව රෝයල් කොලීජියේ ඉගෙන ගත් බවකි. එපමණක් නොව, ඔවුන්ගේ දරු මුණුබුරන්ට අදටත් දෙමළ භාෂාවෙන් පවා ඉගෙන ගන්නට රෝයල් කොලීජියේ සෑම වසරකටම දෙමළ මාධ්‍ය පන්ති දෙකක් වෙන්ව ඇති බව හෙළිදරව් විය. දෙමළ දරුවන්ට දකුණේ ලබා දී ඇති මෙවන් අවස්ථාවන්ට සමගාමීව උතුරේදීත් සිංහල දරුවන්ට සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නට අවස්ථාවන් ලබාදිය යුතු බවට අදහසක් මේ සාකච්ඡාවේ දී මතුවිය.

ඊට අමතරව තවත් වැදගත් කාරණාවක් මෙහිදී ඉස්මතු විය. මෑතකදී උතුරු පළාත් සභාවේ ගුරු පත්වීම් ප්‍රදානය කිරීමට උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබිණි. සිංහල මාධ්‍යයෙන් ගුරු පුරප්පාඩු 18 ක් සඳහාද අයැදුම්පත් කැඳවා තිබිණි. අයැදුම්කරුවා උතුරු පළාතේ පදිංචිකරුවන් විය යුතු විය. එසේම අයැදුම් කරන විෂය ඔහු උපාධියට හදාරා තිබිය යුතුය.

පුරප්පාඩු 18 ක් තිබුණත් සුදුසුකම් සපුරා ඇති පහළොස් දෙනකු පත්වීම් සඳහා ඉල්ලුම් කර තිබිණි. සාමාන්‍යයෙන් තරග විභාග පවත්වන්නේ පුරප්පාඩු ගාණට වඩා ඉල්ලුම්කරුවන්ගේ ප්‍රමාණය වැඩිවිටය. එහෙත් මේ සිංහල අයැදුම්කරුවන් පහළොස් දෙනාට දෙමළ මාධ්‍යයෙන් සාදා සිංහලයට පරිවර්තනය කරන ලද තරග විභාග ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්නට සිදුවිය. අවාසනාව තරග විභාගයෙන් සමත්ව ඇත්තේ තිදෙනෙකි. එයිනුත් දෙදෙනෙක් සම්මුඛ පරීක්ෂණයේදී කපා දමා පත්වීම ලබාදී ඇත්තේ එක් අයකුට පමණි.

දෙමළෙන් නිමවා සිංහලයට පරිවර්තනය කරන ලද ප්‍රශ්න පත්‍රය ගූගල් මාර්ගයෙන් පරිවර්තනය කළ නිසාදෝ බලවත් භාෂා හා පදරුත් දෝෂ රැසක් සහිත එකක් විය. පුරප්පාඩු 18න් මේ නිසා පිරවී ඇත්තේ එකකි. ජනාධිපතිතුමා දකුණට මෙන්ම උතුරටත් උතුරට මෙන්ම දකුණටත් සමාන අයිතිවාසිකම් දීමට උත්සාහ කරද්දී යම් යම් පරිපාලන දුර්වලතා නිසා සිදුවන මෙවන් අකටයුතුකම් රැසක් මන්ත්‍රීවරුන්ගේ මේ සාකච්ඡාවේදී අනාවරණය වූයේ මෙසේය. තවත් එකක් එදා උතුරේ තිබූ සිංහල මාධ්‍ය පාසල් අද නොමැති වීම ගැනය.

“මම මේ ගැන පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කරනවා. ඒ වුණාට ඕගොල්ලෝ කාටවත් මේ ප්‍රශ්නෙ හරියට දැනෙන්නේ නෑ. ඒකයි මට තියෙන ප්‍රශ්නේ…” ගෙවිඳු මෙම කතාබහේදී තම කනගාටුව ප්‍රකාශ කළේ එසේය.

නොකෙරෙන විවාද සහ ගොඩනැගෙන සන්ධාන

ජුනි මස 6 වැනිදා පැවැත්වීමට නියමිත යැයි කියන සජිත් – අනුර විවාදය මේ වනවිට ඇත්තේ නොකෙරෙන තැනකය. සජිත් කියන්නේ තමන් ආරාධනා කළ විවාදය අනුර මග අරින බවකි. අනුර ඒ පිළිබඳ වැඩි කතාබහක් නැත. ඔහුගේ ඇත්තේ ඒ පිළිබඳ තර්ක කීපයකි. එහෙත් ඔහුගේ පාර්ශ්වයේ ප්‍රකාශකයෝ පවසන පරිදි අනුර සමග විවාදයට මේ මගාරින්නේ සජිත් ය.

එබැවින් අද එම විවාදය නොකෙරෙන එකක් බව සමාජයට කිසිත් සැකයක් නැත. ඔවුන් දැන් ඒ ගැන කතා කරනවාත් අඩුය.

ඒ අතර පහුගිය සතියේ වැඩි දෙනාගේ අවධානය දිනාගත් කරුණක් වූයේ පසුගිය 27 වැනිදා විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් හතක් එකතු වී පිහිටුවා ගත් දේශපාලන සන්ධානය ගැනයි. සර්වජන බලය නමින් පෙළ ගැසුණු ඒ සන්ධානය ප්‍රතිපත්තිමය දේශපාලන හා සමාජ කරුණු එකොළහක් ඇතුළත් ගිවිසුමක් ඔස්සේ ඒකරාශි වී තිබිණි.

ගිවිසුම අත්සන් කිරීම හා සන්ධානය එළිදැක්වීම සිදුවූයේ වෙනදා මෙවන් දේශපාලන සාකච්ඡා හා උත්සව පැවැත්වෙන තැන්වලට වඩා වෙනස් තැනක් වූ කොල්ලුපිටියේ මුවන් පික් හෝටලයේය. උත්තර ලංකා සභාගයේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත්, ජාතික නිදහස් පෙරමුණත්, පිවිතුරු හෙළ උරුමයත්, යුතුකම සංවාද කවයත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණත් මෙම සන්ධානයට එක්ව සිටි අතර උත්තර ලංකා සභාගයට පරිබාහිර පක්ෂයක් හා කණ්ඩායමක් වූ දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂයත්, රොෂාන් රණසිංහ සමග සිටින කණ්ඩායමත් මේ සන්ධානයේ හවුල්කාර අනෙකුත් පක්ෂ දෙක විය.

මෙම සන්ධානය පිහිටුවීම සඳහා එකිනෙක කණ්ඩායම් අතර සාකච්ඡා මාස දෙකක පමණ කාලයක සිට ආරම්භ වී තිබීම විශේෂත්වයකි. දිලිත් මේ සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කර තිබිණි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, කොමියුනිස්ට් පක්ෂයේ ජී. වීරසිංහ, දිලිත් ජයවීර, මහාචාර්ය චන්න ජයසුමන, පී.වී.ඩී. තිලකසිරි යන අය ගිවිසුමට අත්සන් කළහ.

ආන්දෝලනාත්මක පසුබිමක ඇමැති ධුරවලින් ඉවත් වී වෙනම දේශපාලන ගමනක් ආරම්භ කළ රොෂාන් රණසිංහ ද මේ සන්ධානයට එක් වන්නට සාකච්ඡා ආරම්භ කර තිබුණේ කලක පටන්ය. ඔහු සමග මහාචාර්ය චන්න ජයසුමන, ලලිත් එල්ලාවල, අම්පාරේ තිලක් රාජපක්ෂ ඇතුළු කීපදෙනෙක්ද කණ්ඩායමක් ලෙස මීට මාස කීපයකට ඉහත පටන් සම්බන්ධ වී සිටියහ. සර්වජන බලයට රොෂාන්ගේ කණ්ඩායම මුල පටන්ම එක්ව සිටියත් රොෂාන් හදිසියේ විදේශගතවී සිටි බැවින් උත්සව අවස්ථාවට සහභාගි වන්නට නොහැකි විය.

කණ්ඩායමේ ඉල්ලීම වූයේ රොෂාන් ලංකාවට එනතුරු සන්ධානය ජනගත කිරීම ප්‍රමාද කරන ලෙසයි. ඒ අනුව දින කීපයක් උත්සවය පස්සට ගන්නට දිලිත්ලා විමල්ලා එකඟව සිටියහ. එහෙත් විසිහත් වැනිදා පැවැති උත්සවයට ද රොෂාන් පැමිණියේ නැත. කණ්ඩායම නියෝජනය කළේ චන්න ජයසුමන, තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල යන තිදෙනාය.

කෙසේ වෙතත් මේ කණ්ඩායම ප්‍රසිද්ධියට පත්වූයේ දිලිත්ගේ පක්ෂය කියාය. පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විමල් වීරවංශ ඒ හැඳින්වීම ප්‍රතික්ෂේප කළේය.

“මේකේ නායකයෙක් නෑ. අපි හැමෝම නායකයෝ. අපි හැමෝම නායකත්ව මණ්ඩලයේ සභිකයෝ. අපි තවම මැතිවරණ ගැන හිතලා නෑ. ඒ ගැන හිතන්න තවම අපිට කල් තියෙනවා. අපිට ඕන මේ සන්ධානය තවත් පුළුල් කරගන්න.” විමල් දිලිත් උදය ඇතුළු කණ්ඩායම තමන්ගේ සන්ධානය ගැන කෙටියෙන් කීවේ එසේය.

එහෙත් පසුගිය සතියේ දේශපාලන කරළියේ බොහෝ දෙනෙක් මේ සන්ධානය ගැන කතා කරන්නට වූහ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය විවිධ මත පළ කරන්නට වූහ. සමහරු චම්පික මෙතන නැත්තේ මන්දැයි විමසූහ. උදය සිටින මේසයක චම්පික සිටින්නේ කෙසේදැයි තවකෙක් තර්ක කළහ. සාකච්ඡාවට මුල පටන් සම්බන්ධ වූ ඩලස්ලා, මහාචාර්ය චරිත හේරත් ලා අවසානයේ නැති වූයේ කෙසේදැයි තව එකෙකු තර්ක කළහ. සන්ධානය වෙනුවෙන් ඊට ලැබුණු උත්තරය එකක්ය.

“ඉස්සරහට බලන්න. අපේ සන්ධානය තව තවත් පුළුල් වෙනවා… විපක්ෂයේ ප්‍රබලම සන්ධානය වෙනවා. ඕනෑම ඡන්දයකදී තීරණාත්මක බලවේගයක් වෙනවා. දැනට ඒ ඇති” ඔවුන්ගේ උත්තරය වූයේ එයයි.

නව සන්ධානයෙන් ඊළඟ හයිය දකුණට

නව සන්ධානයේ මෙහෙයුම් කමිටුව පසුගිය බදාදා පෙරවරුවේ කොළඹ පිහිටි හෝටලයක රැස්ව ලබන 8 වැනිදා හම්බන්තොටදී පැවැත්වෙන රැලියේ සංවිධානය කටයුතු සහ වත්මන් දේශපාලන කරුණු කාරණා ගැන කතාබහ කළහ.

“හම්බන්තොට තිබ්බ සජබ සහ මාලිමාවේ රැස්වීම් ඔක්කොටම ලංකාව හැමතැනින්ම බස් ඇවිල්ල තිබ්බ” මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු කීවේය.

“ඔව් ඔව් අපි මේකෙදි පෙන්නන්න ඕනා අමරවීර ඇමැතිතුමාගෙ දිස්ත්‍රික්කයේ හයිය වගේම අපේ සන්ධානයේ හයිය” සුගීශ්වර කීවේ පිරිස දෙස බලමිනි.

“අපෙන් මොනවද වෙන්න ඕනා කියල බලල ඉක්මනින් කරල දෙන්න” නිමල් ලන්සා මන්ත්‍රීවරයා කීවේ සිරිපාල අමරසිංහ දෙස බලමිනි.

අනතුරුව පිරිසගේ අවධානය යොමු වූයේ පසුගියදා එජාප මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරණය ගැන සිදු කළ ප්‍රකාශය ගැනයි.

“මේ වගේ කතා මොකට කියනවද දන්නෙ නෑ… ඒවගෙන් වෙන්නෙ ජනාධිපතිවරයා අපහසුතාවයන්ට පත්වන එක” අමරසිංහ කීවේය

“නෑ නෑ ඒක එයාගෙ පුද්ගලික මතය මිසක් ජනාධිපතිතුමාගෙවත් රජයේවත් මතය නෙමෙයි. ජනාධිපතිවරණය නියමිත කාල සීමාවේදී අනිවාර්යයෙන් පැවැත්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක්” නිමල් ලන්සා මන්ත්‍රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

“මොනවත් කියන්න දෙයක් නැතුව හිටිය අනුර කුමාරට දැන් මේක සටන් පාඨයක් වුණා” සුගීශ්වර සිනාසෙමින් කීවේය.

ශ්‍රී ල නි ප දෙපැත්තටම බාධා නෙකරන්න නියෝග

පසුගිය 28 දා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක් කොල්ලුපිටියේ එක්තරා ගොඩනැඟිල්ලක පැවැත්වුණේ වැඩබලන සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. සාකච්ඡාවට කැඳවා තිබුණේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් හා සංවිධායකයන්ය. එහෙත් පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය නිසා බොහෝ දිස්ත්‍රික්කවල නායකයන් මේ සාකච්ඡාවට පැමිණ සිටියේ නැත. මෛත්‍රිපාල සිරිසේන වෙනදා මෙන් විහිළුවෙන් තහළුවෙන් විනෝදයෙන් හිතවතුන් හා කතා කතා බස් කරමින් මේ සාකච්ඡාවට පැමිණ සිටියේය.

මෙහිදී සැලකිල්ලට ලක් වූ වඩාත් වැදගත් කරුණ වූයේ පක්ෂය හමුවේ ඇති නීතිමය බාධක හා නඩු හබ අතරින් ඉදිරි වැඩ කටයුතු කරගෙන යන ආකාරය ගැනයි. නඩු පිට නඩු වැටී දෙකට බෙදී අරගලයක තිබෙන පක්ෂය ඉදිරි හදිසි මැතිවරණයකදී කවර ස්ථාවරයක් ගත යුතු දැයි මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ඒ අතර ඉදිරි මැතිවරණ මෙහෙයුම් කටයුතු මෙහෙයවීම සඳහා මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවීම ගැන ද අවධානය යොමු විය.

මේ පසුබිමේ අධිකරණ තීන්දු දෙකක් පක්ෂය වෙනුවෙන් ලැබී තිබිණ. තීන්දු දෙක කොළඹින් හා කඩුවෙලින්ය. පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑම සඳහා වැඩබලන සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂට බාධා නොකරන්නැයි කියා කඩුවෙල උසාවිය තීන්දුවක් ලබා දුන්නේය. එදිනම කොළඹ උසාවියෙන් ලබා දී තිබූ තීන්දුව වෙනත් එකකි. ලසන්ත අලගියවන්නලා පවරා තිබූ නඩුවට අනුව එම තීන්දුව ලැබුණේ දුමින්දලාට ලසන්තලාට අමරවීරලාට බාධා නොකරන්නයි කියාය.

පක්ෂයේ කණ්ඩායම් දෙකේ තරගය ඒ ආකාරයෙන් දේශපාලන කරළියේ කැපී පෙනෙන්නට විය.

මේ අතරවාරයේ තිලංග හා දයාසිරි එක්ව ආරම්භ කළ දේශපාලන ක්‍රියාන්විතය ද තවත් පැත්තක තිබීම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන බොහෝ දෙනකුට තිබුණේ සැක සංකා සහිත කනගාටුවකට වැඩි දෙයක් නම් නොවේ.

ප්‍රසන්නගේ වැඩ ගැන ජනපතිගෙන් සහතිකයක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් රන්පොකුණගම, නුවරඑළිය, හොරණ හා මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රම 04ක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් යොෂිඩා පදනමේ පෙර පාසල් ආරම්භ කර තිබුණේ මීට වසර තිහ හතළිහකට පෙරය. ඒ ජපානයේ ආධාර ඇතිවය. මේ පෙරපාසල් ඉතා හොඳින් පවත්වාගෙන ගියද මෙහි අයිතිය යොෂිඩා පදනමට තිබුණේ නැත. එය මෙම පෙරපාසල් දියුණු කිරීමට බරපතල ප්‍රශ්නයක් වී තිබිණ.

බානගල උපතිස්ස හිමියෝ පසුගිය වසර 30-40 ක කාලය තුළ මෙහි අයිතිය යොෂිඩා පදනමට ගැනීමට නොකළ උත්සාහයක් නැත. රාජ්‍ය නායකයින් හතර දෙනෙකුටත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් පසු විෂයභාරව සිටි ඇමැතිවරු 10කට අධික පිරිසකටත් මේ බව කීහ. වත්මන් විපක්ෂ නායක සජිත් නිවාස ඇමැතිවරයා සමයේ ඔහුට ද කීවේය.

මීට මාස කීපයකට පෙර බානගල හිමියෝ ඇමැති ප්‍රසන්නට ද හමු වූයේය. ප්‍රසන්නට ද මේ දුක්ගැනවිල්ල කීවේය. ඔහු ඒ මොහොතේම වැඩේ භාර දුන්නේ නිවාස අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චිටය.

රජීව් හා නිවාස අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා එක්ව මේ ඔප්පු 04 බානගල උපතිස්ස හිමියන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගත්තේ නීත්‍යානුකූල පදනම මතය. නිවාස සංවර්ධන අධිකාරියේ පනත හරහා ඇති බලතල අනුවය.

පසුගිය බදාදා ඇමැති ප්‍රසන්න ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූයේ මේ ඔප්පු 04 ද අත ඇතිවය.

ඔහු සමග යොෂිඩා පදනමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන, නිවාස අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක යන මහත්වරුද වූහ.

“ඔන්න ජනාධිපතිතුමා අවුරුදු ගාණකට පස්සේ අපේ වැඩේ වුණා” බානගල උපතිස්ස හිමියෝ ජනපති දුටු ගමන් කීහ.

“ප්‍රසන්න ඇමැතිතුමාටනේ වැඩේ භාර දුන්නේ හාමුදුරුවනේ” ජනපති රනිල් පිළිතුරු ලෙස කීවේ ඇමැති ප්‍රසන්න දෙස බලමිනි.

“ප්‍රේමදාස ජනාධිපතිතුමා නිවාස අධිකාරියේ පනත හදනකොටම මේ වගේ සුබසාධක වැඩවලටත් උදව් කරන්න පුළුවන් විදියට තමයි පනත හදලා තියෙන්නේ. අපි ඒක තමයි කළේ.” ඇමැති ප්‍රසන්න කීවේය.

ඇමැති ප්‍රසන්න උද්ඝෝෂකයන්ට මැදිවෙයි

ඇමැති ප්‍රසන්න පසුගිය අඟහරුවාදා නෙලුම් මාවත කාර්යාලයට ගියේය. ඒ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හමුවීමේ අදහසිනි. ඇමැතිවරයා යන විට බැසිල් සිටියේ නැත. නෙලුම් මාවත කාර්යාලයේ සිටි පිරිස් සමග කථාබස් කළ ඇමැති ප්‍රසන්න නෙලුම් මාවත කාර්යාලයෙන් පිටවූයේ ආපසු අමාත්‍යාංශයට ඒමේ අදහසිනි.

පොහොට්ටුව කාර්යාලය අසලදී පොලිසිය ඇමැති ප්‍රසන්න නතර කළේය. ඒ අසලම දහපහළොස් දෙනකු විරෝධතා පුවරු අත තබාගෙන සිටිනු දුටු ප්‍රසන්න පොලිසියෙන් ඇහුවේ “කවුද මේ කට්ටිය” කියාය.

“සර්… මේ සිවිල් සංවිධානවල කට්ටියක්… උද්ඝෝෂණය කරනවා.” පොලිස් නිලධාරියා කීවේය.

මේ විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන නියෝජිතයන් කීප දෙනෙකි. “රට වනසන පනත් පරාජය කරමු” යනුවෙන් තිබූ පුවරු ඔවුන් අත වූහ.

මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ සංජය මහවත්ත, කාමන්ත කුමාර, අජන්ත පෙරේරා ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කීපදෙනෙකි. ඔවුන් පසුගිය කාලයේ දී අරගලයේ නිරත වූ අයයි. සංජය මහවත්ත රංජීවි නමැති කාන්තාවක සමග එක්ව ඇමැති ප්‍රසන්නට දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටි අයෙකි.

ඇමැති ප්‍රසන්න විරෝධතාව නිසා රැඳී සිටිනු දුටු මාධ්‍යවේදීන් ඔහුගේ රථය අසලට පැමිණ ඔහුගෙන් ප්‍රශ්න කළේය.

“මේ උද්ඝෝෂණය ගැන මොනාද කියන්නේ” මාධ්‍යවේදියකු ඇහුවේය.

“මේ රට අරාජික කරන්න හදන කණ්ඩායමක් නේ. කීයක් හරි හොයා ගන්න දඟලනවා. ඉතිං ඔහේ කෑ ගැහුවදෙන්….” ඇමැතිවරයා උත්තර දුන්නේය.

අනික පස් හය දෙනෙක් කෑගැහුවට රටේ බහුතර මතය තියෙන්නේ ආණ්ඩුව එක්ක. මේ ආණ්ඩුව රටේ මිනිසුන්ට ස්ථාවරයක් හදලා දීලා තියෙනවා. ඔතන කෑ ගහන්නේ අරගලයේ හිටපු අය මිසක් පොහොට්ටුවට ඡන්දය දුන්න අය නෙමෙයි. ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා පිටව යද්දී විරෝධතාකරුවෝ ඇමැති ප්‍රසන්නගේ ගමනට බාධා කළේය. එක් අයකු ඇමැතිවරයාගේ රථය අරින්නට ද උත්සාහ කළේය. එහෙත් එය ව්‍යර්ථ විය. අනතුරුව විරෝධතාකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් සඳහන් පොල් ගෙඩි දෙකක් පොළොවේ ගසා විසිර ගියහ. එම ස්ථානයේ හිටපු ඇමැති ප්‍රසන්න කෙළින්ම ආවේ බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයටය. ඒ වන විට ඇමැති ප්‍රසන්නට උද්ඝෝෂණයේ සිටි පිරිසක් පහරදුන් බවට ආරංචියක් රට පුරා පැතිර යමින් තිබිණි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment