ජනපති අනුරගේ පොහොර සහනාධාරය අත්හිටුවන්න එපා

304

හිටපු ඇමැති අමරවීර මැ.කො.ගෙන් ඉල්ලයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ පොහොර සහනාධාරය අත්හිටුවීම සිදු නොකරන ලෙස හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

ඒ මහතා මෙම ඉල්ලීම කළේ ඊයේ (02දා) මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවෙමිනි.

මෙතෙක් රුපියල් 15,000ක්ව පැවැති පොහොර සහනාධාරය මෙවර මහ කන්නයේදී රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ජනාධිපතිවරණයෙන් පසුව නව ජනාධිපතිවරයා විසින් එම පියවර ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය. මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා මැතිවරණ නීතිය යටතේ එම පොහොර සහනාධාරය මහ මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මෙම පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබා නොදුනහොත් ලබන මහ කන්නයේ වී අස්වනු පහළ ගොස් සහල් හිඟයක් පවා ඇති විය හැකි යැයිද මහින්ද අමරවීර මහතා කීවේය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න හා හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුද සහභාගි වූහ.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment