ජනපති කඩුව බිම දමයි!

931

මේ වනවිට ආණ්ඩුව සිටින්නේ ඇතුළතත් ගිනි පිටතත් ගිනි තත්ත්වයකය. අගමැති මහින්ද පමණක් නොව, ඇමැති, රාජ්‍ය ඇමැති සියල්ලෝම ආයු පිරිහී ගිය දේවතාවුන්ගේ තත්ත්වයට පත්ව සිටිති. රටේ තත්ත්වය ගැන කිවහොත් ලංකාව පූර්ව බංකොලොත් මට්ටමේ රටක් බව කියති. මේ කිසිම දෙයකට ජනතාව වගකිව යුතු නැති වුව ද අද සමස්ත ජනතාව ම එහි වින්දිතයෝ බවට පත්ව සිටිති. හැටනව ලක්‍ෂයේ හිමිකරුවන්ට පමණක් නොව, එයට දායක නොවූ අයට ද සිදුව ඇත්තේ එකම සන්තෑසියකි. ලෝකෙන් උතුම් රට කට ගාවට ම හිර වී තිබේ. එහෙත් ආණ්ඩුව තවමත් බලය අත්හැරීමට සූදානම් නැත. අගමැති මහින්ද හොඳ දේශපාලන විහිළු දන්නා අයෙකි. එහෙත් ඔහු මේ දිනවල කරන විහිළුවලට කී දෙනකුට සිනාසිය හැකිදැයි නොදනිමු. ආණ්ඩුවේ හිතවතුන් හා පළාත් පාලන නියෝජිතයන් මෙන්ම හිටපු නියෝජිතයන් ද අබියස අගමැතිවරයා පසුගිය දිනක (26 දා) පවසා සිටියේ තමන් අගමැතිකමෙන් ඉල්ලා අස්නොවන බවය.

ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නොවන බවය. එසේම තමන් අස්කළොත් විනා බයේ දුවන්නේ නැති බව ද අගමැතිවරයා කියා තිබිණි. එහෙත් මේවායේ ගත යුතු හරයක් නැත.

අගමැතිවරයා ඉල්ලා අස්නොවන්නේ නම් තමන්ට ද කිසියම් තීන්දුවක් ගැනීමට සිදුවන බවට ආණ්ඩුව ඇතුළෙන් ද අනතුරු ඇඟවීම් සිදුවේ. අගමැති ඇතුළු සමස්ත ඇමැති මණ්ඩලයම ඉල්ලා අස්වී අන්තර් පාලනයකට ඉඩදීම මේ බැරෑරුම් දේශපාලන අර්බුදය සමනය කර ගැනීමේ එකම මඟ බව ආණ්ඩුවේ බහුතරයකගේ ම අදහස බව අරුන්දික ප්‍රනාන්දු පැවසූ බවක් ද වාර්තා විය. ඒ සියලු ප්‍රතිචාරවලින් තහවුරු වන්නේ මේ අවදානම් ගමන වෙනස් කිරීමට ආණ්ඩුවට දැඩි බලපෑමක් පීඩනයක් සිදුකරන බවය. මෙහිදී ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙන කරුණක් ද ඇත. පාර්ලිමේන්තුව තුළ අන්තර්වාර පාලනයක්, සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ආදී ඕනෑම පාලනයක් ගොඩනඟා ගතහැකි වුවත් ඒ හැම එකක්ම රඳාපවතින්නේ ජනාධිපතිවරයා අනුව බවය. ඔහු පෙන්වා දෙන්නේ මේ ජනාධිපතිවරයා විශ්වාස කළ නොහැකි බවය. ජනාධිපතිවරයා මුලදී ශ්‍රීලනිපය සමග අභිනව පාලනයක් පිළිබඳ එකඟතාවකට පැමිණ, ඔවුන්ට කනට ගසන්නාක් මෙන් ශ්‍රීලනිපයේ ශාන්ත බණ්ඩාර හා සුරේන් රාඝවන් ද රහසේම තම පාලනයට එක්කර ගත් ආකාරය ඔහු පෙන්වා දෙයි. ඒ වර්ගයේ ජනාධිපතිවරයකු සමග හදන ආණ්ඩුව කුමක්ද යන අනුර කුමාරගේ ප්‍රශ්නයට අපට ද උත්තර නැත. ඒවායින් අපට එළැඹිය හැකි නිගමනය වන්නේ ද ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සමතුලිත මනසක් නැති බවය. විධායක ජනාධිපති ධුරය කොපමණ බලගතු වුවද රට මෙහෙයවීම සඳහා ආණ්ඩුවට සැලැස්මක් හෝ දැක්මක් නොමැති බව ද බොහෝ විට පෙනී යයි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව නූල ගිලිහී ගිය සරුංගලයක් වැන්න. බොහෝ දේවල් සිදුවන්නේ ආණ්ඩුවේ පාලනයෙන් බැහැරවය. අද වෙළෙඳපොළ ව්‍යාපාරික අභිමතයට යටත් ය. භාණ්ඩ මිල ඉහළ යන්නේ සියයට සියයේ හෝ තුන්සියයේ ප්‍රමිතියකටය. ආණ්ඩුවට කිසිදු මහජන සේවාවක් පවත්වා ගෙන යෑම අසීරුවෙමින් තිබේ. ඩොලර් අර්බුදය, ගෝලීය ආර්ථික ප්‍රවණතාවක් වුවද ආණ්ඩුවේ බල සිඳ බිඳ තිබෙන බව සැබෑවකි. එහෙත් ඇති හැකි අයත් හිඟමනට වැටෙන පසුබිමක නැති බැරි අයගේ ඉරණම කුමක් දැයි දුසිම් ගණනක් සිටින රාජ්‍ය ඇමැතිවරයකුටවත් නොතේරීම පුදුම අවාසනාවකි.

ජනපති කඩුව බිම දමයි!

මේ සියල්ලම රාජපක්‍ෂ පාලන ගිණුමට බැර කළ නොහැක. එහෙත් වර්තමාන පාලකයන් ලෙස යම් ප්‍රමාණයකට හෝ සමාජ – අර්ථික – දේශපාලන ආදී ක්‍ෂේත්‍ර කළමනාකරණයකට ඔවුහු අසමත් වූහ. උපන් හදවියක ආර්ථික හෝ වෙළෙඳ කළමනාකරණයක් නොකළ විශ්‍රාමික ජෙනාරාල්ලාත්, ආණ්ඩුව බලයට ගෙන ආවේ අප යැයි පාරම්බාන වියත් මඟ විශේෂ (ආ) පදයනුත් තවත් ගජ මිතුරු කල්ලිත් මේ රට ‘සෞභාග්‍ය’ කරා ගෙන ගිය ආකාරය කෙබඳු දැයි විස්තර කළයුතු නැත. පරිණත දේශපාලනඥයකු වූද, හිටපු ඇමැතිවරයකු මෙන්ම මේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ද වූ කොමියුනිස්ට් නායක ඩිව් ගුණසේකර සඳහන් කළේ කිසිදු දේශපාලන, ආර්ථික පරිචයක් නැති පිරිසක් රටේ සමාජ ආර්ථිකය සමග සෙල්ලම් කළ බවය. වියත් මඟ ලේබලය ගසා ගෙන රාජ්‍ය ආයතනවලට රිංගා ගත් සමහර වියතුන්ගේ හරක් වැඩ ජනතාව බලා සිටියේ පුදුම ඉවසීමකින්ය. දවසින් දවස උග්‍රවන සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලුවලට සංවේදී නොවූ ඇමැතිවරුන්ගෙන් බහුතරය දේශපාලන පංචස්කන්ධ ලෙස විනා පැජැසර ජනතා නියෝජිතයන් ලෙස හැඳින්විය හැකිද? මුළු රටේ ම බත විපතක් කළ පාරම්පරික ගොවි ජනයාට මුඩුබිම් තනා දුන් ටයි දමාගත් මී හරක් විසින් රටට කළ විනාශය සහගහන අපරාධයකි. පොහොර කඳුළක්වත් ගොවියන්ට ලබානොදී, ඒ පොහොර නැව්වලට ජනතාවගේ මුදලින් මිලියන ගණන් ගෙවීමට දායක වූ සියල්ලෝම මතුයම් දිනකදී හෝ ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවා ඒ මුදල් අයකර ගතයුතු වේ. ඇත්ත වශයෙන්ම මේ රට විසාලා මහනුවරක් වනු ඇතැයි අප සිතුවේ කොවිඩ් වසංගතයට ගොදුරු වීම නිසා ය. එහෙත් ආණ්ඩුව ඒ වසංගතය පරාජය කළ බව කෘතවේදීව කිව යුතුය. (එහිදීත් විවේචන තිබිය හැකිය) එදා කොවිඩ් උවඳුර ජයගත හැකි වුවත් ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යන සැලැස්මක් නොවීය. කොවිඩ් විපතින් වැටුණු හැම රටක් ම ගොඩ ගියත් ලංකාව ඇදී ගියේ අගාධයකටය. ඇතැම් ප්‍රාමාණිකයන්ට අනුව තව මාස කීපයකින් රටට එළැඹෙන විපත් සුලුපටු නොවේ. ආහාර, බේත්, ඉන්ධන, විදුලිය, කිරිපිටි ආදී බොහෝ දේවල් හිඟය. ගෑස්, සිමෙන්ති ආදී සියල්ලේම මිල දෙගුණ තෙගුණ වී තිබේ. කහට කෝප්පයේ පොඟවා ගිලින්නට පාන් කෑල්ලක් නැතිවන තරමට ම අනාථ වූ ජන කොටස් ද සිටති. පාන් ගෙඩිය, කොත්තුව, බනිස් ගෙඩිය, බත් පැකට් එක ආදී සියල්ලේම මිල ඉහළ ගොසින් ය. ත්‍රීවීලරයකට බැරිම හදිස්සියකට ගොඩවන මිනිසාට මිල ගෙවීමෙන් පසු හෘදය වස්තුව නැවතී මැරී වැටීමට සිදුවන තරම් ය. පොදු ප්‍රවාහනය ගැන කතා කිරීම ද ඵලක් නැත. මේ අර්බුද මැද්දේ පසුගියදා රැස් වූ අලුත් කැබිනට් මණ්ඩලය ඒ කිසිම දෙයක් ගැන කතා කළ බවක් වාර්තා වී නැත. එ හෙත් ඔවුන් ඒකමතිකව එකඟ වූ කරුණක් තිබිණි. ඒ වහාම ව්‍යවස්ථා සංශෝධනයක් කරමින් 20 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවය. 21 වැනි සංශෝධනය අප්‍රමාණව සිදු කළ යුතු බවය.

දහසක් ප්‍රශ්න මැද හෙම්බත් වී සිටින ජනතාවට මේ වෙලාවේ එබඳු ව්‍යවස්ථා සංශෝධනයක් අහවල් දේකට දැයි ඇසීම ඉතා සාධාරණය. එහෙත් මේ අලකලංචි අස්සේ වුවද රටේ අනාගත දියුණුවට සුළු හෝ අනුග්‍රහයක් එබඳු පියවරකින් ලැබිය හැකිය. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙරටේ ඇති වූ සංවාද, වාද විවාද බොහෝය. 1978 ව්‍යවස්ථාව අහෝසි කළ යුතු බව, අනූව දසකයේ (90) සිටම ඇසුණි. එහෙත් ඒ කාර්ය සඳහා බලය ලබාගත් එකම නායකයකු හෝ කැප වූයේ නැත. මේ රට දූෂණය, නාස්තිය, අල්ලස, භීෂණය ආදී සියලු අපරාධවලට සරු බිමක් වූයේ 1978 ඇති කළ ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව බව පොදුවේ පිළිගනී. මේ පිළිබඳව වෙනම දීර්ඝ වශයෙන් කරුණු දැක්විය යුතුය. එහෙත් ඉතා සැකෙවින් කිවහොත් ජයවර්ධන මෙන්ම ඉන්පසු බලයට පැමිණි හැම කෙනෙක්ම කර ඇත්තේ ජනතා පරමාධිපත්‍ය මංකොල්ල කෑමකි. ජයවර්ධන ඒ අපරාධය කළ පළමුවැන්නාය. මේ රටේ මහජනතාවගේ ද සහභාගිත්වයෙන් 1972 ක්‍රියාත්මක කළ ව්‍යවස්ථාව සිය හිතු මතයට වෙනස් කළ ජයවර්ධන තමන්ගේ ඇඟේ ප්‍රමාණයට මසා ගන්නා ඇඳුමක් මෙන් තම ගූඪ අරමුණුවලට උචිත පරිදි 1978 ව්‍යවස්ථා සකස් කර බලාත්මක කළේය. පාර්ලිමේන්තුවේ ගෞරවය බින්දුවට දැමූ ඔහු, රටට හඳුන්වා දුන් අලුත් ඡන්ද ක්‍රමය ද තවත් විනාශයක් විය. මනාප ඡන්දවලින් පාර්ලිමේන්තුවට වැඩිපුරම ආවේ උගත් යහපත් පුරවැසියන් නොව, ප්‍රාදේශීය දේශපාලන පොල් කෝම්බ බව පමණක් සඳහන් කිරීම සෑහේ. ඒ පොල් කෝම්බ, කුණු කන්දල් දියවන්නාවේ හිර වී පරිසරයම දුර්ගන්ධයෙන් වසා ගත් අයුරු බොහෝ වාද විවාදවලින් ද පෙනී යයි. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සඳහන් කළේ 1978 ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැළඳගත් ව්‍යවස්ථානුකූල ඒකාධිපතියකු නිර්මාණය කළ බවය. ඒ ව්‍යවස්ථාව 2015 දී යම් යම් සංශෝධනවලට භාජන විය. එහෙත් මෛත්‍රී – රනිල් ගැටුමත්, ඒ ක්‍රියාවලියට දායක වූ ඇතැම් අයගේ පෞද්ගලික න්‍යාය පත්‍රත් රටට ලබා දුන්නේ අපබ්‍රංශ ව්‍යවස්ථාවකි. දේශපාලන කෞටිල්‍යයකු වූ ජයවර්ධන නොඅඩු කූට දේශපාලන බුද්ධියක් ඔහුගේ නෑයකු වන රනිල් වික්‍රමසිංහට තිබීම පුදුමයක් නොවේ.

2020 දී සුවිශාල ජන වරමක් ලබා ගත් පොහොට්ටු පක්‍ෂයෙන් ජනාධිපති වූ ගෝඨාභයට සිය අභිමතය පරිදි මහජන සේවය ඉටුකිරීමට බව පවසමින් 2015 දී සම්මත කරගත් හොඳ දේවල් ද අවලංගු කැර, 20 වැනි සංශෝධනයක් සම්මත වූයේ ඒ පසුබිම තුළය. එහෙත් විස්සට අත ඉස්සූ අයට ද කොකා පෙන්වූ රාජපක්‍ෂ පාලනයේ අර්බුද සියල්ල මතු වූයේ ද ඒ 20 වැනි සංශෝධනය නිසා ය. ජනාධිපති වූ ගෝඨාභය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යොදා ගනිමින් සිය සහෝදරයකු වන ද්විත්ව පුරවැසියකු වූ බැසිල් පාර්ලිමේන්තුවට පත්කර ඔහුට මුදල් ඇමැති ධුරය ද ලබාදීමට නිර්භය විය. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඔහුගේම සහෝදර මහින්ද (අගමැති) චමල්, බැසිල්, මෙන්ම මහින්දගේ පුත් නාමල් ද විය. ශෂීන්‍ද්‍රට ලැබුණේ රාජ්‍ය ඇමැති පදවියකි. රාජපක්‍ෂ පවුල් ගස වර්ධනය වූයේ ඒ අයුරින් ය. (තවත් නෑයන්ට ද මන්ත්‍රීකම් හා වෙනත් ප්‍රදාන හිමිවිය. එහෙත් ගෝඨාභයගේ පාලනය බොහෝ තීන්දු තීරණ ද ප්‍රශ්නකාරී විය. ඔහු ප්‍රායෝගික දේශපාලනඥයකු නොවීම ඊට හේතු විය. කිසිදු දේශපාලන පරිචයක් නොමැති ගෝඨාභය වැනි අයෙක් රටේ ජනාධිපති ධුරයට උචිත නොවන බව වේලාසනින්ම කීවේ මහින්ද අගමැතිගේ සමීපතමයකු මෙන්ම හොඳ ශ්‍රී ලංකාකාරයකු ද වූ කුමාර වෙල්ගම හිටපු ඇමැතිවරයා ය. එදා ඔහු දුටු දේ විමල්, උදය, වාසු ඇතුළු බොහෝ දෙනෙක් තේරුම් ගත් බව නිසැකය. එහෙත් ඒ බව සෘජුව කීමට කුමාර වෙල්ගමට මෙන් නිර්භයකමක් අන් අයට නොවූයේ ද? කුමක් වුවත් අද රාජපක්‍ෂ විරෝධී සටනේ සෙන්පතිවරුන් වී ඇත්තේ ද විමල්, උදය, හා වාසුලා ය. ශ්‍රීලනිපය ද ඔවුන්ට එක්ව සිටියි.

ජනාධිපති පරිශ්‍රය මෙන්ම අරලියගහ මන්දිරය අබියස ද ආණ්ඩු විරෝධී තරුණයන්ගේ අණසකට යටත්ව තිබේ. ගාලු මුවදොර විරෝධතාව මුළු රටම අවදි කළ කාහල නාදයක් විය. දැන් රාජපක්‍ෂ බලය ගිලිහෙමින් පවතී. එයට මුක්කු ගැසීමට කිසිවෙක් ද නොවෙති. මේ වනවිට අගමැතිවරයා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම ඉවත් කර, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂවල නායකයන් සමග සාකච්ඡා කර, සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රතිපත්තිමය තීරණයකට ගෝඨාභය ජනාධිපතිවරයා පැමිණ සිටියි. ත්‍රෛනිකායික නාහිමිවරුන්, අන්‍යාගමික නායකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ කොටස්වලට සවන් දී තමන් මෙම පියවරට එළැඹ සිටින බව ද ඔහු පවසා තිබේ. එහෙත් ජනාධිපතිවරයාට විධායක අට්ටාලයෙන් බිමට බැසීමට සිදුවූයේත්, අගමැති, ඇමැති සැප අතහැරීමට බොහෝ දෙනෙකුට සිදුවන්නේත් ගාලු මුවදොර නිර්පාක්‍ෂික තරුණ අරගලයේ අග්‍රඵලයක් වශයෙන් බව ද අපට හැඟේ. හතර වටින් නැඟුණු හා නැඟෙන රාජපක්‍ෂ විරෝධයේ ප්‍රබලත්වය නිසාම ජනාධිපතිවරයාට කඩුව බිම දැමීමට සිදු වූ බව ද අපගේ අදහසය. මම රත්න ශ්‍රී කිවිඳුන්ට ණය ගැති වෙමින් මෙසේ ලියා තබමි.

‘බිම්බරක් සෙනඟ වටකළ,
ගාලු මුවදොර අරගල දුටුව
ජනපති කඩුව බිම දමයි’

● ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment