ජනපති කරන්න හදන වෙනස රට විනාශයට ගෙන යෑමක් – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

403

* යහපත් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම විනාශ වෙලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කරන්නේ යැයි කියන වෙනස රට විනාශකාරීත්වය වෙත රැුගෙන යන වෙනසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා 23 වැනිදා රජයට චෝදනා කරමින් කියා සිටියේය.

යහපත් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාවගේ එම බලාපොරොත්තු මුළුමුනින්ම විනාශ වී ඇති බවත් කී හෙතෙම මෙම ආණ්ඩුව අපේ රටේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව හා ගොවි ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටින බවත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පෙරේදා 23 වැනිදා එම අදහස් පළකලේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා ඔහු බලය ගත්තේ වෙනසක් සඳහා කියලා. යහපත සඳහා වෙනස්කම් කළ හැකියි. ඒ වගේම විනාශයක් සඳහා වෙනසක් කළ හැකියි. ජනාධිපතිවරයා කරමින් තිබෙන වෙනස විනාශකාරිත්වයක් සඳහායි. එහි විශාලතම බලපෑම විනාශකාරීම ප‍්‍රවේශය අත්පත් වෙලා තිබෙන්නේ කෘෂිකර්මාන්තයට, ගොවි ජනතාවට සහ රටේ ආහාර සුරක්ෂිතභාවයටයි. ගොවියෝ ගොවිතැන අත්හැර දමලා. පහුගිය දිනවල ගොවි ජනපද වල කන්න රැුස්වීම්වල කළහකාරී තත්වයන් ඇති වුණා. ගොවියෝ දහස් ගණනක් මෙම ප‍්‍රශ්නය කේන්ද්‍රකරගෙන උද්ඝෝෂණ කරමින් ඉන්නවා.

ආණ්ඩුව මේ තීරණය ගන්නකොට කිව්වේ රටට අවශ්‍ය කාබනික පොහොර රට තුළ නිෂ්පාදනය කරනවා කියලයි. මැයි මාසයේ තීරණය කරලා ඔක්තෝබර් වන විට 100%ක් කාබනික වගාවන් සඳහා පොහොර දෙනවා කියන්නේම අසාර්ථක උත්සාහයක්. මොකද රසායනික යෙදවුම්වල සිට කාබනික යෙදවුම් දක්වා වෙනස් වීමේදී සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එය එක කන්නයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි නිතරම කිව්වා.

ඉන්පසුව ආණ්ඩුව තීරණය කළා කාබනික පොහොර ආනයනය කරන්න. රටට කාබනික පොහොර ආනයනය කිරීම තුළින් විනාශකාරී ප‍්‍රතිඵල අත්කර දිය හැකි බව ඒ ක්ෂේත‍්‍රයේ බොහෝ විද්වතුන් පෙන්වා දුන්නා. එහෙත් ආණ්ඩුව සියල්ල වෙනස් කර ප‍්‍රමිති ආයතනයට කාබනික පොහොර ආනයනය සඳහා ප‍්‍රමිතියක් සකස් කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව තමයි පහුගියදා මෙ.ටො. 96,000ක් ආනයනය කිරීම සඳහා චීනයේ කින්ඩාවෝ සමාගමට ඇණවුමක් බාරදුන්නේ.

මෙම චීන පොහොර නෞකාව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා ලෙසත් ඒ අවට නැංගුරම්ලා තබා ගැනීමට ඉඩ නොදෙන ලෙසත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට ඇති බලතල අනුව වරාය සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ඔහුට ස්තුතිය පළකරනවා. වරායේ හාබර් මාස්ටර් ලිඛිතය දැනුම් දී තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම නැව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා බව. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගත් තීන්දුව ආපසු හැරවීම කිසිසේත්ම නොකළ යුතුයි කියලා. මොකද මේ පාලනය විසින් කෘෂිකර්මාන්තයට සහ ගොවි ජනතාවට අත්කර දී ඇති විනාශය හොඳටම ප‍්‍රමාණවත්. විනාශකාරී ක්ෂද්‍ර ජීවීන් අපේ රටට ඇතුල්වීමෙන් අපේ රටේ ජෛව පද්ධතියම කඩාවැටීමකට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා චීන තානාපති කාර්යාලයත් කින්ඩාවෝ සමාගමත් මේ කරන බලපෑම් නතර කළ යුතුයි.

අනතුරුව ආණ්ඩුව තීරණය කළා නැනෝ යූරියා ආනයනය කරන්න. නැනෝ යූරියා ගෙන්වීම විශාල ව්‍යාකූලත්වයක් ඇතිකර තිබෙනවා. එනිසා මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය, ගොවි ජනතාවගේ ආදායම් මාර්ග සහ අපනයන ආදායමෙන් 25%ක ප‍්‍රතිශතයක් දෙන ක්ෂේත‍්‍රයක් සමගයි.

පසුගිය 22වෙනිදා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවට ආවා. මේ තීන්දුව වැරදි බවත් එය ක‍්‍රියාත්මක කළ නොහැකි බවත් විශාල අසීරුතාවයකට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුාවකට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා. කතානායකවරයාත් පවසා තිබෙනවා ඔහුගේ තේ වත්තට අලාභහානි සිදුවෙලා කියලා. විදුර වික‍්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කරනවා මන්ත‍්‍රීවරු අත්සන් කරලා පෙත්සමක් ජනාධිපතිට යවමු කියලා. ඒකයි ඇත්ත තත්වය. ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස හිතුවක්කාරී තක්කඩි තීන්දු ගනිමින් ඉන්නවා. ඒ නිසා මේ විනාශකාරී තීරණය වෙනස් කරන්න ඕනෑ. කාබනික පොහොර වගාවට කවුරුත් අකමැති නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේම සඳහන් වන්නේ ඒ සඳහා අවම වශයෙන් වසර 10ක් ගත වෙන බව. ඒ සියල්ල අත්හැර තමයි ජනාධිපතිවරයා මේ අමනෝඥ මුග්ධ තීරණය අරගෙන තිබෙන්නේ. ඔහු ඇතැම් දේ වෙනස් කරමින් තිබෙනවා. කෘෂිනාශක සහ වල්නාශක ගෙන්වීමට අවසර දෙනවා. ඒ නිසා අපේ රටේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය හා ගොවි ජනතාවගේ ජීවිත ගැන හිතලා මේ ඇති වී තිබෙන අර්බුදයට පිළියම් ලබා දිය යුතුයි. ඒ පිළිබඳව වැඩි අවධානයක් ලබාදිය යුතුයි.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment