පහුගිය කාලයට සාපේක්ෂව මේ දිනවල යම් තරමකට බඩු මිලෙහි අඩුවීමක් දක්නට ඇත. පහුගිය කාලයේ විවෘත වෙළඳපොළේ රුපියල් 800ක් 900ක් පමණ වූ බී ලූනු කිලෝව දැන් ඇත්තේ රුපියල් 200ක් පමණ වූ මිලකටය. කොළඹ නගරයේ ඇතැම් තැන්වල ගොඩ ගසා රුපියල් සීයටත් අඩු මිලකට බී ලුනු විකුණනවා දැක ගත හැකි විය.

බීලූනු පමණක් නොව, බොහෝ එළවළු පලතුරු ද්‍රව්‍යවල මිල ගණන් ද දැන් සතුටුදායක අඩුවීමක් දක්නට ඇත. උදා වෙමින් තිබුණේ සාමාන්‍ය පොදු ජනතාවට ජීවත්වීම පහසු කරවන කාලපරිච්ඡේදයකි. මේ තත්ත්වය ඇතැම් නිරීක්ෂකයෝ විග්‍රහ කළේ ළඟ ළඟම මැතිවරණයක් ඒමට නියමිතව ඇති බවය. සැබැවින්ම අපේ රටේ දේශපාලන කරළියේ පහුගිය සතිවල කතා බහට ලක් වූයේ ඉදිරියේදී ඒමට නියමිත ජාතික මැතිවරණය ගැනය.

මීළඟට ළඟ එන ජාතික මැතිවරණය ජනාධිපතිවරණයක් බව දැන් වන විට දේශපාලන කරළියේ තහවුරු වී හමාරය. දැනටමත් ඒ සඳහා තරග වදින්නට ප්‍රධාන පක්ෂ දෙකකින් අපේක්ෂකයෝ ඉදිරිපත්ව සිටිති. තවමත් ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පැහැදිලි නැත. එක්කෝ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අනෙකුත් සහායක පක්ෂත් එකතු වී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද, නැතිනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහම ඉදිරිපත් කරනවාද කියා තවමත් එකඟතාවයක් ඇත්තේ නැත. ඒ පිළිබඳ අවසන් තීරණයක් මැයි මස අන්තිමේදී හෝ ජූනි මාසයේදී ලබාදීමට හැකි වෙතැයි දැනට දෙපාර්ශ්වයම විශ්වාසය පළ කර තිබේ. ඒ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙකු ලෙස ධම්මික පෙරේරා වනු ඇද්ද…. නැතිනම් ජනාධිපති රනිල් වනු ඇද්ද…? ඒත් නැතිනම් නාමල් රාජපක්ෂ වන් තරුණ මුහුණකට අවස්ථාව ලැබෙන ඇත්ද යන කතාබහ මේ දිනවල සමාජයේ ප්‍රචලිතය.

ඔන්න ඔය අල්ලපනල්ලේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මීට සතියකට ඉහතදී පක්ෂයේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පටන් ගත්තේ නෙළුම් මාවතේ සිය කාර්යාලයට ආසන්නම තවත් තැනක විශාල ගොඩනැගිල්ලක් යොදාගෙනය. පොහොට්ටුව හෙවත් පොදු ජන පෙරමුණ මේ නෙළුම් මාවතේ මෙහෙයුම් කාර්යාලය පටන් ගැනීමට ලොකු මුදලක් වියදම් කර ඇති බව පෙනෙන්නට විය. එය එසේ නම් ඉදිරියේදී එන කුමක් හෝ මැතිවරණයට ඔවුන් ද සූදානම් බවට සැකයක් නැත. උත්සවයට පැමිණි මන්ත්‍රීවරු අතර වූ කතාබහෙන් හෙළිදරව් වූයේ ජනාධිපතිවරණයක් සඳහා තවමත් අපේක්ෂකයෙක් නම් කර නොතිබුණත් තමන් තුළ ඒ සඳහා ඇති සූදානමෙහි අඩුවක් නොමැති බවය. ඕනෑම මොහොතක ඒ සඳහා ඉදිරිපත් වන්නට හොඳ තුරුම්පුවක් පොදුජන පෙරමුණ සතුව සිටියහ. ඒ වූ කලී ව්‍යාපාරික ධම්මික පෙරේරාය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ සූදානම ගැන මේ සතියේද විවිධ තැන්වල විවිධ අන්දමේ කතාබස් ඇතිවිය. පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස් වූයේ සඳුදා හා අඟහරුවාදා දින දෙක පමණි. ඒ දින දෙක තුළ පාර්ලිමේන්තුවේ තැන් තැන්වල දේශපාලනයේ අනාගතය ගැන හා ඉදිරි මැතිවරණ ගැන විවිධ සාකච්ඡා ඇතිවිය…

ඒ අතර සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් දක්නට ලැබුණේ සාකච්ඡාවක් හෝ වාද විවාදයක් නොව, එය පැහැදිලිවම ගැටුමකි. දෙපාර්ශවය අතර මේ රටේ ආර්ථිකයේ අනාගතය පිළිබඳ රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයක් පවත්වන්නට කතාබහ කරමින් සිටියත් ඒ විවාදය කවදා කොතන සිදුවේදැයි තීන්දුවක් නොවීය. කලින් සිදු වූයේ ජාතික ජන බලවේගය ඊට එතරම් අනුකූලතාවයක් නොදැක්වීමයි. එහෙත් දැන් ජාතික ජන බලවේගය ඊට සූදානම්ය. ඒ සඳහා සමගි ජන බලවේගය කැමති ඕනෑම දිනක තමන් සූදානම් බව මාලිමාවේ ප්‍රකාශකයෝ දන්වා තිබුණත් දැන් දක්නට ලැබෙන්නේ සමගි ජන බලවේගයේ ප්‍රමාදයයි. නලින්ද ජයතිස්ස පසුගිය සතියේ ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියේ සමගි ජන බලවේගය වාදය සඳහා කැමති ඕනෑම දිනයක් නම් කරන ලෙසයි. නොකරන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියයි කියන්නාක් සේ තවමත් ඒ ගැන දෙපාර්ශ්වය අතර එකඟතාවයක් නම් නොවීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්න වෙච්චිදෙයක්…

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තේ පසුගිය සතියේ තවත් අලකලංචියක් දක්නට ලැබිණි. ඒ වූ කලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සිය තනතුරුවලින් ඉල්ලා අස්වී පක්ෂයේ සභාපති තනතුර අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට භාර කිරීමයි. සිද්ධිය වූයේ පසුගිය සෙනසුරාදා පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමකදීය. එහිදී හිටපු නායක මෛත්‍රිපාල සිරිසේන සභාපති තනතුරෙන් ඉල්ලා අස්වූ අතර සභාවේ සිටි අයෙක් ඒ වෙනුවට විජයදාස රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළේය. වෙනත් යෝජනා නොතිබුණ බැවින් විජයදාස රාජපක්ෂගේ නම සභාපති තනතුර සඳහා ස්ථිර විය. ඒ අතර පක්ෂයේ ලේකම් තනතුර සඳහාද ඒ වනවිට දුෂ්මන්ත මිත්‍රපාලට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන තිබූ බැවින් වැඩ බලන ලේකම්වරයෙකු ද පත් කරන්නට අවශ්‍ය විය. ඒ සඳහා පත් කළේ කැස්බෑව සංවිධායක කීර්ති උඩවත්තයි. මෙවර මෛත්‍රී පාර්ශ්වය එම පත් කිරීම් වලින් පසු ඒ පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාර දෙන්නට ද අමතක කළේ නැත.

එහෙත් කාට කාටත් ප්‍රශ්නයක් තිබුණේ මේ තීන්දුව සම්බන්ධයෙන් අමරවීර පාර්ශ්වය හෝ නිමල් සිරිපාල පාර්ශ්වය කුමක් කරනු ඇත්දැයි කියාය. නිසැකවම මේ පත් කිරීම අවලංගු කරන්නැයි කියා මේ පාර්ශ්ව එකතු වී උසාවි යනු ඇතැයි විජයදාස රාජපක්ෂ විශ්වාස කළේය.

ඊට පෙර විජයදාසගේ පාර්ශවය පසුවදාම කඩුවෙල උසාවියට ගොස් වාරණ නියෝගයක් ලබාගත්තේය. තමන් නීත්‍යානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කිසිදු බාධාවකින් තොරව පත්වී ඇති බැවින් එහි නිල කටයුතුවලට බාධාකාරී වන අයුරින් කිසිවක් නොකරන්නැයි කියා වාරණ නියෝගය ඉල්ලා තිබුණි. ඒ අනුව කඩුවෙල උසාවිය විසින් දෙනු ලැබුවේ විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යෑමට බාධාවන කිසිවක් නොකරන්නැයි කියාය.

එහෙත් දුමින්ද දිසානායක මැදිහත් වී පසුවදාම කොළඹ දිසා අධිකරණයට ගොස් රාජපක්ෂගේ පත්වීමට එරෙහිව වාරණ නියෝගයක් ගන්නට පෙත්සමක් ඉදිරිපත් කළේය. එහෙත් එය ප්‍රතික්ෂේප විය. ප්‍රතික්ෂේප වූයේ ඉල්ලූ කාරණාව සම්බන්ධයෙන් වූ ගැටලුවක් නිසා නොව, ඉල්ලුම්කරුවන්ගේ ලිපින සම්බන්ධයෙන් දක්වා තිබූ තාක්ෂණික කාරණයක් නිසාය. වාරණය ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය පෙන්වා දුන්නේ අවශ්‍ය නම් තාක්ෂණික අඩුපාඩු මඟහරවාගෙන නැවතත් වාරණ නියෝගයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකුත් පාර්ශවයට හැකියාවක් ඇති බවකි.

පසුගිය සතිය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තත්ත්වය එයයි. මේ හේතුවෙන් අද වන විට ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට දෙපාර්ශ්වයම ගොඩ වදින්නේ නැත. එය වසා දමා ඇත. එහෙත් එම කාර්යාලය පිටිපස්සේ ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය විවෘත කර එහි සිට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ වැඩකටයුතු තමන්ට හැකි අයුරින් ඉදිරියට පවත්වාගෙන යන්නට වෙහෙසෙන දෙදෙනෙකුද සිටී. ඒ තිලංග සුමතිපාල හා දයාසිරි ජයසේකරයි.

ජාතික විශ්වවිද්‍යාල ගැන රනිල් ඉන්න ස්ථාවරය…

මේ අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සති අන්තයේ සිය ආරක්ෂක අංශවලටත් නොදන්වා කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැති එක්තරා මංගල උත්සවයකට සහභාගී වන්නට ගියේය. මංගල උත්සවය ප්‍රකට ව්‍යාපාරික ශම්මි මුතුමාලගේ පුතණුවන්ගේය. ශම්මි මුතුමාල යනු සුනිල් ටේ්‍රඩර්ස් අධිපති සුනිල් මුතුමාලගේ බාල සහෝදරයාය. ජනාධිපතිවරයා මෙම උත්සවයට සහභාගි වන බව දැන සිටියේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තක කරුණාරත්නත්, ව්‍යාපාරික ශම්මි මුතුමාලත් පමණි.

ජනාධිපතිවරයා ඇතුල් වෙද්දී එම උත්සවයට පැමිණි සුවිශේෂී අමුත්තන් ඒ දෙස බැලුවේ එවන් රාජතාන්ත්‍රිකයෙක් පැමිණෙන බවට කිසිදු සූදානමක් එය ඇතුලේ නොවූ නිසාය….

“මම එනවා කියලා කල්තියා දැනුම් දුන්නේ නෑ. එහෙම දැනුම් දුන්න නම් ආරක්ෂක අංශ වලින් මේ ආරාධිතයිනට මොනතරම් හිරිහැරයක් වෙනවාද කියලා මම දන්නවා…” ජනාධිපතිවරයා එසේ කියමින් ම උත්සව ශාලාවේ අසුන් ගනිද්දී ඒ කතාව ඇසුණු ආරාධිතයෝ අත්පොළසන් දෙමින් සතුට පළ කළහ.

ජනාධිපති වාඩි වූයේ අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාගවන්, ජයන්ත කැටගොඩ, දිනිත් චින්තක කරුණාරත්න, පී. හැරිසන් හා ශම්මි මුතුමාල වාඩි වී සිටි මේසයේ ය.

සතුටු සාමීචියේ කතාබස් කරන අතරතුර මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය හා පුද්ගලික විශ්වවිද්‍යාල ගැන කතා බහක් ඇති විය. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බලගැන්විය යුතු වුවත් ඒවායේ ශිෂ්‍යයෝ විවිධ දේශපාලනික උසිගැන්වීම් මත දේශපාලන අරගල වලට සහභාගි වෙද්දී විදේශීය විශ්වවිද්‍යාලවල අය කාලය කා නොදමා අධ්‍යාපනයේ අමිල පල ප්‍රයෝජන නෙළා ගන්නා බව කතාබහට ලක්විය.

ඒකනෙ අද ගොඩක් අය පුද්ගලික විශ්වවිද්‍යාල හොය හොයා යන්නේ. සල්ලි තියෙන අය ඒවා කරනවා. ඉස්සර අපේ අය ඒ සඳහා පිටරට ගියා. මම උසස් අධ්‍යාපනයට එද්දි මටත් පිටරට විශ්වවිද්‍යාලයකට යන්න කියලා සමහරු බල කළා. හැබැයි මම තීන්දු කළේ මේ රටේ විශ්වවිද්‍යාලයකට යන්න. මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුල්වෙලා නීතිය ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකයි මට අදටත් දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය නගාහිටුවන්න හැඟීමක් තියෙන්නේ. අපි අපේ දේ දියුණු කරගත යුතුයි…”

“ඔව් ජනාධිපතිතුමා… ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධිවලට අද ලෝකයේ ඕනම රටක පිළිගැනීමක් තියෙනවා…” දිනිත් කීවේය…

ලංකාවේ දරුවන් අධ්‍යාපනය ලබන්නට පිටරට යෑම හා එමඟින් ලංකාවේ ඩොලර් පිටරටට ඇදී යෑම ගැනත් බොහෝ කරුණු මෙහි දී සාකච්ඡාවට ලක් වූහ. ඒ මුදල් රටේ ඉතුරු කරගන්න නම් පුද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ද ශක්තිමත් කර යුතු බව උසස් අධ්‍යාපන ඇමැති රාගවන් ගණන් හිලව් ඇතුව පෙන්වා දුන්නේය.

ගෙවිඳුගේ සංඛ්‍යා දත්ත මහාචාර්ය ජී. එල්. ලියාගෙන…

පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ අධ්‍යයන කටයුත්තක නිරතව සිටි මහාචාර්ය ජී. එල්. පීරිස්ට අහම්බෙන් මෙන් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා හමුවිය. තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු කීපදෙනෙක් ඒ අහල පහලය…

“මොකක්ද ඔබතුමා අර විදුලි පාරිභෝගිකයන් ගැන ගණන් හිලව් වගයක් කිව්වා. මට ඒ ගණන් හිලව් ටික පොඩ්ඩක් දෙනවද…” මහාචාර්ය ජී. එල්. ගෙවිඳුට කීවේ පසුගිය දිනක විවාදයේදී මතුවූ සංඛ්‍යාලේඛන කීපයක් සටහන් කර ගැනීමේ සූදානම ඇතිවය.

“ඔය විවාදයේදී තමයි විදුලි බල ඇමැති කංචන කිව්වේ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමාව මොනවට පාර්ලිමේන්තු ගත්තද දන්නෑ කියලා. එයාට එහෙම කියන්න පුළුවන්ද…” තවත් මන්ත්‍රීවරයෙකු එසේ ප්‍රශ්නයක් මතු කළත් ගෙවිඳුට ඊට පසුබිම් වූ සිද්ධිය පැහැදිලි කරන්නට සිදුවිය….

මම ඇහුවනේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කීපයක් විදුලි බල ඇමැතිතුමාගෙන්. එක ප්‍රශ්නයක් තමයි 2011 ඉඳලා 2020 වනතුරු රතු බිල් බිල්පත් කොපමණ සංඛ්‍යාවක් නිකුත් කරල තියෙනවද කියලා. ඒ කාලේ නව සම්බන්ධතා කොච්චරද කියලත් ඇහුවා. ඒ කාලය තුළ බිල් නොගෙවීම නිසා විදුලිය කපා හැරීම් කීයක්ද කියලත් ඇහුවා. ඒත් එක්කම ඇහුවා කංචන ඇමතිතුමා විදුලි බල ඇමතිවෙලා ඉඳිද්දි රතු නිවේදන කීයක් නිකුත් කරල තියෙනවද කියලත් ඇහුවා. ඒකට උත්තරේ මිලියන 28යි. ඒ අතරින් කීදෙනෙකුගේ විදුලිය විසන්ධි කරල තියෙනවද කියලා ඇහුවාම කිව්වා මිලියනයයි කියලා. හැබැයි ඔය වෙනකොට ලංකාවේ සියලුම විදුලි පාරිභෝගිකයෝ ගාන මිලියන 7යි. ඉතින් බලන්න. බිල් නොගෙවීම නිසා මිලියන හතෙන් මිලියන එකක් විදුලිය විසන්ධි කරලා.

ලංකාවේ ජනගහනය මිලියන 22යි. ඉන් විදුලි පාරිභෝගිකයෝ මිලියන 7යි. ඒගොල්ලන්ට රතු නිවේදන යවලා තියෙනවා ලංකාවේ ජනගහනයටත් වඩා. ඒ කිව්වේ මිලියන 28ක්. විදුලිය කපලා තියෙනවා මිලියනයක්.

දැන් ඒ මිනිස්සුන්ට විදුලිය ආපහු ගන්නත් අමතර ගාස්තුවක් ගෙවන්න සිදුවෙලා. මං ඇහුවේ වෙන මොනවත් නෙමෙයි. පහුගිය අවුරුද්දේ හොඳටම වහින වෙලාවේ ජලාශ ඔක්කොම පිරිලා තියෙන වෙලාවක විදුලි බිල අඩු කළ යුතු වෙලාවේ තමයි අසාමාන්‍ය විදිහට විදුලි බිල වැඩි කලේ. මම ඇහුවේ එහෙමත් විදුලි බල මණ්ඩලය හම්බ කරලා තියෙන වෙලාවේ කපා හැරපු විදුලි පාරිභෝගිකයන්ට නැවත විදුලිය දෙන්න අය කරන ගාස්තුව නිදහස් කරන්න බැරි ඇයි කියලයි. ඒකට නං ඇමතිතුමා සලකා බලන්නං කිව්වා. හැබැයි ඉතින් ඊට පස්සේ අලුත් පනතට ගෙන ආපු ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක ගැන කතා කරද්දි තමයි කේන්ති ගිහිල්ලා එතුමා මට අරම කිව්වේ…” ගෙවිඳු දිගු පැහැදිලි කිරීමක් කළේ එසේය. ඒ අතර මහාචාර්ය ජී. එල්. ගෙවිඳු විසින් මතු කළ කාරණා හා සංඛ්‍යාලේඛන ගැන වෙනම සටහනක් තබා ගත්තේය.

නිමල්ලා අනුරලා දුමීලා රජුන් තනන්න එක්වෙලා…

ඉදිරියේ පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා නව සන්ධානයේ ප්‍රධානත්වයෙන් බිහිවන පුළුල්ම දේශපාලන බලවේගය ඇති කිරීම සඳහා වන පළමු සාකච්ඡාව පසුගිය අඟහරුවාදා ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.

මේ අවාස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 ක් පමණ සහභාගී වූහ.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත්, මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර, සුරේෂ් රාඝවන්, එස්. වියාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, පියංකර ජයරත්න, දුමින්ද දිසානායක, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, ජගත් පියංකර, එම්. එම්. හාරිස්, ඉශාක් රහුමාන්, එම. මුශාරෆ් ඇතුළු මන්ත්‍රී පිරිසක්ද හිටපු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක සහ සිරිපාල අමරසිංහ යන අයද මේ සඳහා එක්ව සිටියහ.

උදේ ආහාරයත් සමග සූදානම් කර තිබූ මෙම හමුව සඳහා කල්වේලා ඇතුවම ජගත් පියංකර සහ කිරිඳිගොඩ මන්ත්‍රීවරුන් හෝටලයට පැමිණියේය

ඊට මිනිත්තු කිහිපයකට පසුව ලන්සාද පැමිණියේ මේ සදහා පැමිණෙන සියලු දෙනා පිළිගැනීම සඳහාය.

සියලුදෙනා පෙර දැනුම් දුන් වේලාවටම පැමිණ සිටි අතර මහින්ද අමරවීර ඇමැතිවරයා පමණක් ජනාධිපතිවරයා මුණ ගැසීමට යන බැවින් ප්‍රමාද වන බව දැනුම් දී තිබිණ.

ඒ අනුව නිමල් සිරිපාල සහ නව සන්ධානයේ මෙහෙයුම් නායක අනුර යාපා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හමුවේ කටයුතු ආරම්භ කෙරිණි.

අනුර යාපාගේ පිළිගැනීමේ කතාවෙන් පසුව මන්ත්‍රීවරුන් අදහස් දක්වන්නට පටන් ගත්තේය.

“ඔක්තෝම්බර් මුල සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා අපි කරන සාකච්ඡා සියල්ල ජූලි 15 වගේ වෙනකොට අවසන් කරන්න වෙනවා” සුසිල් කීවේය.

“අපේ පක්ෂයේ තියන අර්බුද ටිකත් අපි ඉක්මනින් විසඳා ගන්නවා. අපි හැමෝම එක මතයක ඉඳලා ඉදිරි මැතිවරණ වලදි රටේ තීරණාත්මක බලවේගය අපේ මේ කණ්ඩායම වෙන්න ඕනෑ දැනටමත් ඒක වෙලා තියනවා” දුමින්ද දිසානායක කිවේය.

“ඔව් ඔව් දුමී කිව්ව කතාව හරි ඉදිරියේදී රජුන් තනන කණ්ඩායම අපි වෙන්න ඔනෑ” නිමල් සිරිපාල පිරිස දෙස බලමින් කියන්නට විය

“ අපි විසිවැනි සංශෝධනයට අත ඉස්සුවා හැබැයි ඒ නායකයෝ අපිව අමතක කළා අන්තිමට අපි 7 දෙනාව බලාගත්තෙ ලන්සා ඇමැතිතුමා ඒ නිසා එතුමා කියන දේකට අපි එකඟයි” මුෂාරෆ් කීවේය.

“ අපේ රාවුෆ් හකීම්, රිෂාඩ්, අතාවුල්ලා, මනෝ වගේ අය එක්කත් මේ ගැන කතා කරමු” හරීස් කීවේය.

“ඔව් ඔව් ඒක හොඳයි අපි ටී එන් ඒ, විග්නේෂ්වරන් මන්ත්‍රීවරු එක්කත් ඉක්මනින්ම කතා කරමු” වියාලේන්ද්‍රන් යෝජනා කළේය.

අනතුරුව පිරිසගේ අවධානය යොමු වූයේ ලබන මස 8 වැනිදා නව සන්ධානයේ ප්‍රධාන ප්‍රචාරක රැලිය හම්බන්තොටින් ආරම්භ කිරීම ගැනය

“ ඒ වැඩේ සාර්ථක කරගන්න ඕනෑ වගේම වැඩි ජනතා ආකර්ෂණයක් දිනා ගන්න ඕනෑ” ජගත් පුෂ්ප කුමාර කීවේය.

“ ඔව් අපි ඒ රැලියට කලින් අපිත් එක්ක එන්න කැමති විපක්ෂයේ මන්ත්‍රීවරු ටික එකතු කරගන්න ඕනෑ”ලන්සා කීවේ පිරිසකේ සතුටු සිනා මැදය.

“ මේ අතරවාරයේ අපි ජනාධිපතිතුමා එක්කත් සෘජු සාකච්ඡා පටන් ගන්න වෙනවා” පියංකර ජයරත්න යෝජනා කළේය.

හමුව අවසානයේ සියලු දෙනා වෙනුවෙන් දේශීය ආහාර වේලක් සූදානම් කර තිබුණි. අවසානයේ මාධ්‍යට අදහස් දැක්වීම අනුර යාපාට සහ දිමින්ද දිසානායකට භාර වූහ

නඩු අහන අය ගැන රෝහිණී කියපු කතාව…

සමගි ජන බලවේගයට අයත් අනුබද්ධිත සංවිධාන ගණනාවක් පසුගිය සතියේ පක්ෂ මූලස්ථානයට රැස් වූයේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගෙන සිය සංවිධාන ශක්තිය වැඩිදියුණු කිරීම ගැන කතාබස් කරගන්නටය. එම අවස්ථාවට මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වී සිටියහ.

“මොකක්ද මහ ලේකම්තුමා අර ඩයනා ගමගේ මහත්මියගේ මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කියන කතාවෙ තේරුම..” නලින් බණ්ඩාර විමසා සිටියේය.

“ඒ ගැන මැතිවරණ කොමිසම කරුණු පැහැදිලි කරලා තිබුණනේ. ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම්වරයා මම. නායකයා සජිත් ප්‍රේමදාස. සමගි ජන බලවේගය කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් කියලයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ..” රංජිත් මද්දුම බණ්ඩාර කරුණු පැහැදිලි කළේය.

“ඒ ගැන ගැටලුවක් නෑ කියලා කොමිසමේ සභාපතිවරයා පහුගිය දවස්වල මාධ්‍යයට ප්‍රකාශයක් කළා. ඒ වගේම සමහර අය කියනවානේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වෙලා නැවත පාර්ලිමේන්තුවට මම ආපු එකෙනුත් විශාල බලපෑමක් අනිත් අපේක්ෂකයන්ට වුණා කියලා. මම හොයලා බැලුවා. එහෙම කිසිදු ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී බන්දුල ගුණවර්ධන කිව්වා පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කරන්න අවශ්‍ය පියවර ගන්න සාකච්ඡා කරන්න අගමැතිවරයාට භාර දුන්නා කියලාත්…” මුජිබර් රහුමන් කීවේය.

“ඔය හදන්නේ ජනාධිපතිවරයා යෝජනා කරලා තිබෙන ප්‍රජා සංවර්ධන කමිටු පිහිටුවලා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් ඒවාට රිංගවල ඡන්දයට බිම් මට්ටමේ බලපෑමක් කරන්න පරිසරය හදාගන්න..” රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.

“ එහෙම කළොත් ඉතින් අපි නීතිය හමුවට යන්න ඕන…” රෝහිනී විජයරත්න මන්ත්‍රීවරිය කීවාය.

“දැන් බිම් මට්ටමේ විශාල වෙනසක් තියෙනවා. ඔබතුමාගේ මොණරාගල පවත්වපු රැස්වීම්වලට ගියාම අපි ලබපු ප්‍රගතිය පේනවා. ” මුජිබර් රහුමාන් එසේ කීවේ රංජිත් මද්දුම බණ්ඩාරගේ සංවිධාන ශක්තිය වර්ණනාවට ලක් කරමිනි.

“ලාල් කාන්ත තමන්ගේ සාමාජිකයන්ට පොලිස් බලයයි නඩු අහන බලයයි දෙනවා කිව්වම ගමේ මිනිස්සු කැළඹිලා. කටේ බ්‍රේක් නැති සමහර නායකයෝ කියන කතා නිසා ගම්වල ජේ වී පී කාරයන්ට ගමේ ඉන්න බෑ කියලයි වැලිගම පැත්තේ ඉන්න මට හිතවත් ජේ වී පී සාමාජිකයෝ කියන්නේ.. ” වැලිගම හිටපු නගරාධිපති රෝහණ ජයවික්‍රම කීවේය.

“එක් කෙනෙක් කියනවා ඒගොල්ලෝ තෝර තෝරා මැරුවේ ස්ත්‍රී දූෂකයොයි කසිප්පු කාරයොයි ගම්වල ඉන්න හොරු තක්කඩි කියලා… එතකොට කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ පොහොද්දරමුල්ලේ හේමාලෝක හාමුදුරුවෝ වැල්ලෙතොට පඤ්ඤාදස්සි හාමුදුරුවෝ කසිප්පු කාරයෝද. ජනමාධ්‍යවේදීන් කලාකරුවෝ මහාචාර්යවරු අමු අමුව මරා දැම්මා. ඒ අය ස්ත්‍රී දූෂකයෝද. ” රෝහිනී විජේරත්න මන්ත්‍රීවරිය එසේ ඉතා ආවේගයෙන් කීවේ තමන්ගේ පියතුමා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුට සිදු වූ අසාධාරණයක් ගැන ද මතක් කරමිනි. තමන්ගේ ගම්වල ජනතාව මාලිමාවේ අය නඩු අහන්න ගමට එනතුරු බලා ඉන්නවා බවද ඇය කීවාය.

“බය වෙන්න දෙයක් නෑ. ඒගොල්ල කරපු දේවල් ගැන ඡන්දයක් ආවම ජනතාව නඩු අහලා නිවැරදි තීන්දුවක් දේවි…” දිගින් දිගටම ඇදී ගිය ඒ සාකච්ඡාවේදී අවසාන වශයෙන් එසේ කීවේ අජිත් මානප්පෙරුම මන්ත්‍රීවරයාය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment