ජනපති බර්ලින් ග්ලෝබල් සමුළුව අමතයි

172

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එසේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙන බවත් මෙයින් ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය අද (28) සිදු කරමිනි. එම දේශනයෙන් අනතුරුව පැවති ප්‍රධාන සංවාදයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය කෘතවේදීව සිහිපත් කරන බවයි. වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද ආරම්භ කෙරුණු අතර ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් , බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ , කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් , යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වී සිටියහ. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද එක්ව සිටියහ. සමුළුව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය මම දකින විදිහට පසුගිය දශක දෙක පුරාවටම ගෝලීය ආර්ථිකය බොහෝ අභියෝග වලට ලක්වී තිබෙනවා. 2008 දී යුරෝපීය ණය අර්බුදයට මුහුණ දීමට සිදුවුණා. ඉන් පසුව අපිට COVID-19 වසංගතය සහ එයින් ඇති වූ ආර්ථික අභියෝග, දේශගුණික විපර්යාස සඳහා අරමුදල් සොයා ගැනීමේ ගැටලුව සහ ස්වෛරී ණය අර්බුදය වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. නූතන ඉතිහාසයේ වෙනත් කිසිදු යුගයක මෙවැනි අර්බුදයකට අපට මුහුණ දීමට සිදුවී නැහැ. මෙම සෑම අවස්ථාවකදීම, දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ ගෝලීය දකුණේ රටවලුයි. දියුණු ආර්ථිකයන් තුළ දැඩි ලෙස උද්ධමනය ඉහළ යාම, තෙල් මිල බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාම සහ ගෝලීය මහ බැංකු විසින් සිදු කෙරෙන මුල්‍යමය සිර කිරීමකට අප දැන් මුහුණ දී සිටිනවා. ශ්‍රී ලංකාව යුරෝපයට සිදු කරන අපනයන, මේ වසරේ මේ දක්වා කිසිදු වැඩිවීමක් සිදුවී නොතිබීම එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙන බව මේ අනුව පෙනී යනවා. ගෝලීය දකුණේ රටවල් ලෙස අප, ඉහළ යන ආනයන වියදම්, ආහාර, බලශක්ති, අනාරක්ෂිතභාවය සහ අපනයන යන ක්ෂේත්‍ර වල ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගෙවුම් ශේෂ නිසා මුහුණදීමට සිදුවන ආතතිය, අප සියලු රටවල් දුර්වල ආර්ථිකයන් බවට පරිවර්තනය කරනවා. දියුණු ආර්ථිකයන් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙනස වන්නේ, මෙවැනි ආර්ථික අභියෝග සමඟ කටයුතු කිරීමට දියුණු රටවල් සියලු ආකාරයේ ස්වආරක්ෂක විධි සහ මූල්‍ය සංචිත පවත්වාගෙන යාමයි. නමුත් අපට එවැනි සංචිත නැහැ. ස්වෛරීත්ව ණය අර්බුදය ආරම්භ වූයේ මෙතැන් සිටයි. මේ තත්ත්වය හමුවේ, වහාම ආර්ථිකය නිවැරදි මාවතකට යොමු කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් ලෝකය තවත් අර්බුදයක පැටලිය හැකියි. සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් අද විශාල ණය බරකින් පෙළෙනවා.උදාහරණයක් ලෙස, මෙම නව තත්ත්වයට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ද යාන්ත්‍රණයක් නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළ අවස්ථාවේදී අපට ලැබෙන විදේශ අරමුදල් සියල්ල නතර වුණා. එය රටතුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා. ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා. මෙය ඉතා අයහපත් තත්ත්වයක් බව කිව යුතුයි. බංකොලොත්භාවය ප්‍රකාශ කරන ඕනෑම රටකට උපකාර කළ හැකි විධිමත් ක්‍රමවේදයක් නැහැ. නමුත් මෙම අවස්ථාවේ දී, විශේෂයෙන්, හරිත දේශගුණික අරමුදලේ විශාලතම දායකත්වය දරන රට ලෙස ජර්මනිය සිය කාර්යභාරය ඉටු කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ ණය ප්‍රශස්තරකරණය යන කරුණු දෙකම අපට මුහුණ දීමට තිබෙන අභියෝග වන අතර, ඒ සඳහා අප සතුව පවතින අරමුදල් අවම ලෙස භාවිතා කිරීමට සිදුව තිබෙනවා. අප සතුව ඇති අරමුදල්, අපට මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ප්‍රමාණවත් නොවීම කණගාටුවට කරුණක් බව කිවයුතුයි. නමුත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) බිලියන 100ක් තිබෙනවා. කිසි දෙයක් නැහැ කියනවට වඩා එම බිලියන 100 න් අපේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. ඒ වගේම ඉතිරි කොටස ලබා ගැනීම පිළිබඳව ද අප කටයුතු කළයුතුයි. මොකද ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරන විට අප්‍රිකානු මහද්වීපයේ අඩු ආදායම්ලාභී රටවල අවශ්‍යතා අපට වඩා බෙහෙවින් වැඩි බව පැවසිය යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment