ජනපති මැඳුර අල්ලාගත් අරගලකරුවන්ට නඩු

1664

ඔබ නොදත් ජනපති මැඳුරේ ඉතිහාසය

පසුගිය 09 වැනිදා රාජපක්‍ෂ දුර්දාන්ත පාලනය අවසන් කිරීම සඳහා පැවැති ‘ආදරයේ අරගලය’ නමින් හැඳින්වූ ඒ මහා ඓතිහාසික අරගලයේ දී අරගලකරුවන් විසින් අත්පත් කරගත් ස්ථාන අතර ප්‍රධාන තැනක් ගත්තේ ජනාධිපති නිල නිවසයි. එහෙමත් නැත්නම් රජ ගෙදරයි. ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පොලිස් හමුදා මුරකාවල් බිඳ දමමින් නොබියව අත්පත් කරගත් මේ දේශපාලන මර්මස්ථානය දැක බලාගැනීමට මේ වනවිට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඇදී එමින් පවතී. මේ වනවිට ජනාධිපති මන්දිරය නැරඹීමට ඇදී එන ජනයා කිලෝ මීටර් ගණනක් දිග පෝලීම්වල රැඳී සිටී. මේ වනවිට මෙය නැරඹීමට එන ජනයා අතින් හෝ අරගලකරුවන් අතින් මේ වටිනා දේපළට හානි රැසක් සිදුව ඇති බවට ද වාර්තා වේ. මේ තරම් ජනතාව ඇදී එන කුමක්ද මේ ජනාධිපති මන්දිරයේ වගතුග. පහතින් පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ තොරතුරු බිඳකි.

● ජනාධිපති මන්දිරයේ ඉතිහාසය

ජනාධිපති නිල නිවස නැතිනම් රජගෙදර පෘතුගීසි පාලන සමය තෙක් මෙහි ඉතිහාසය ඇදී යයි. පෘතුගීසි පාලන සමයේදී මෙය දේවස්ථානයකි. 1505 දී පෘතුගීසින් ලංකාවට පැමිණ ශාන්ත ප්‍රැන්සිස් දේවස්ථානය ඉදිකළ අතර ඊට යාබදව පූජකාරාමයක් සහ මෘත ශරීර තැන්පත් කරන සොහොන් බිමක්ද මෙහි විය.

පෘතුගීසින්ගෙන් පසුව ලන්දේසි ආණ්ඩුකාර එංගල් බීක් විසින් මෙය දෙමහල් මන්දිරයක් ලෙස අලංකාරවත්ව ඉදිකළේය. ඉංග්‍රීසින් විසින් කොළඹ කොටුව යටත්

කරගන්නා විටත් එංගල් ආණ්ඩුකාරවරයා මෙම නිවස අතහැර යෑමට අකැමැති විය. ඔහුගෙන් පසුව මෙහි අයිතිය ඔහුගේ මිනිබිරිය වූ ජකොමිනාට හිමිවූ අතර ඇය විවාහ වී සිටියේ ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් නිලධාරියකු වූ ජෝර්ජ් මෙල්වින් සමග ය. ඔහු ප්‍රධාන ආදායම් නිලධාරි ධුරය දැරූ අතර ගිණුම් කටයුතු පියවීමේදී සිදුවූ පවුම් දසදහසක මුදල් අක්‍රමිකතාවක් නිසා ජකොමිනා විසින් තම සැමියා වූ ජෝර්ජ් මෙල්වින් බේරා ගැනීම සඳහා මෙම මන්දිරය ඉංග්‍රීසි රජයට පවරා දීම සිදුවිය. එකල මෙය තක්සේරු කර තිබුණේ පවුම් 35000කටයි. ඒ 1804 ජනවාරි 17 වැනි දිනය.

එයින් පසුව මෙහි වාසයට ෆ්‍රෙඩික් නෝර්ත් ආණ්ඩුකාරයා පැමිණි අතර ඔහුගෙන් පසුව තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා මෙය නිල නිවස බවට පත්කර ගත්තේය. ඒ කාලයේ මෙයට කිංග්ස් හවුස් යන නමත් එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ (1837-1901) පාලන සමය තුළ මෙම මන්දිරය ක්වීන්ස් හවුස් නමිනුත් හැඳින්විය. ජෝර්ජ් රජ සමයේ මෙය රජ ගෙදර නමින් නම්වූ අතර එළිසබෙත් රැජිනගේ පාලනය තුළ යළිත් ක්වීන්ස් හවුස් බවට පත්විය. 1972 මැයි 22 ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග එදා පටන් මෙය ජනාධිපති මන්දිරය නමින් හැඳින්වේ.

● මෙරට ජනපතිවරු

ජනපති මැඳුර අල්ලාගත් අරගලකරුවන්ට නඩු

මෙහි පදිංචියට පැමිණි මුල්ම ජනපති වූයේ විලියම් ගොපල්ලව මහතායි. ඔහු 1972 සිට 1978 දක්වා මෙහි වාසය කළ අතර ඔහුගෙන් පසුව ජනපති වූ ජේ. ආර්. ජයවර්ධන මහතා මෙහි වාසයට පැමිණියේ නැත. නමුත් ඔහු නිල කටයුතු සඳහා පමණක් මෙය භාවිත කළේය. රණසිංහ ප්‍රේමදාස මහතාත් මෙහි වාසයට නොපැමිණි අතර නිල කටයුතු සඳහා පමණක් භාවිත කළේය. එයින් පසු බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත්, මහින්ද රාජපක්‍ෂ මහතාත් මෙය තම නිල නිවස ලෙස භාවිතයට ගත් අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදය දැඩිව තිබූ නිසා මෙහි භූගත බංකරයක් පවා ඉදිකළේය. මෛත්‍රිපාල සිරිසේන මහතාද මෙහි වාසයට නොපැමිණි අතර ගෝඨාභය රාජපක්‍ෂ නිල නිවස කර ගත්තේ මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසයි. නමුත් මිරිහානේදී ජනපතිවරයාට එල්ල වූ විරෝධයත් සමග ධුරයෙන් ඉවත් වනතෙක් නිල නිවස බවට පත්කර ගත්තේ ජනාධිපති මන්දිරයයි.

● ඓතිහාසික හා පෞරාණික වටිනාකම

මෙහි පහත මාලය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකර ඇති අතර ඉහළ මාලය තුළින් බි්‍රතාන්‍යය අංග ලක්‍ෂණ පෙන්නුම් කළේය. මේ තුළ බි්‍රතාන්‍ය යුගයට අයත් චිත්‍ර සහ ගෘහ භාණ්ඩ රැසක්ද රාජ්‍ය නායකයන් විසින් පරිත්‍යාග කළ සමරු භාණ්ඩ රැසක්ද වේ. ආරුක්කු සහිත බිත්තිවලින් සමන්විත මෙහි සොල්දරය නිමවා ඇත්තේ දැවවලිනි. ඊට අමතරව බි්‍රතාන්‍යයෙන් ආනයනය කරන ලද විදුලි උපකරණ මෙන්ම ගෘහ භාණ්ඩ ද වේ. මේවායේ ආර්ථික වටිනාකමටත් වඩා ඓතිහාසික හා පෞරාණික වටිනාකම වැඩිය.

● අද වනවිට තත්ත්වය

අද වනවිට මෙතරම් වටිනා වස්තුවක් කාගේ හෝ නොහික්මුණුකම් නිසා කෝළම් මඩුවක් බවට පත්ව තිබේ. ආණ්ඩුකාරවරු 30 දෙනකුට මෙරට ජනපතිවරු හත් දෙනකුට සෙවණ දුන් මෙය රජය සතු අගනා වස්තුවකි. මෙය මහින්ද රාජපක්‍ෂගේ හෝ ගෝඨාභය රාජපක්‍ෂගේ පුද්ගලික දේපළක් නොව, මේ රටේ ජනතා බදු මුලින් නඩත්තු කරන සම්පතකි. එවන් වටිනා වස්තුවක් අරගලකරුවන් හෝ මෙය නැරඹීමට පැමිණෙන්නන් විනාශ කරයි නම් එයට කිසිසේත් ඉඩදිය නොහැක. ඒ තුළ සිටිමින් මත්පැන් බොමින්ද ගෘහ භාණ්ඩ විනාශ කරමින්ද දේපළ සොරා ගනිමින් මෙන්ම ඒ තුළ ඇති රහස් කාමර ආදිය මුළු ලොවට ම ප්‍රදර්ශනය කරමින් තැන තැන මළ මුත්‍රා කරමින් මේ විනාශ කරන්නේ අනාගත ජනාධිපතිවරුන්ගේ නිල නිවසයි. මේවා නැවත ප්‍රතිසංස්කරණය කිරීමට වැය වන්නේද මහජන මුදල්ය. මහින්ද අමරවීර ඇමැතිවරයා පසුගියදා පැවසුවේ ගෑස් නැව් 5ක් ගැනීමට තරම් වටිනා චිත්‍රයක් මෙහි තිබූ බවත් එය තවමත් ඇතැයි කියා තමන් ප්‍රාර්ථනා කරන බවත්ය.

මේ වනවිට අරගලකරුවන් විසින් ඔවුන් විසින් අත්පත් කරගෙන සිටි ස්ථාන අතරින් ජනාධිපති ලේකම් කාර්යාලය හැර සෙසු සියලු ස්ථාන ඔවුන් අතහැර දමා ඇති අතර එලෙස අතහරින විටත් ජනාධිපති මන්දිරයේ ඉහළ මහලට දැඩි හානි සිදුව තිබිණි. පුරා විiා නිලධාරීන් පැමිණ සියලු ස්ථාන නිරීක්‍ෂණය කළ අතර මේ වනවිට තීරණය කර ඇත්තේ මෙය නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව සංස්කෘතික කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යා යුතු බවය.

● අරගලකරුවන්ගේ වගකීම

අරගලය ආරම්භ කළ මෙන්ම මේ මොහොත වනවිටත් අරගලයට සම්බන්ධවී සිටින නායකයන්ගේ යුතුකම හා වගකීම වන්නේ සියලු දෙනාට ම ඔවුන් අත්පත් කරගන්නා දේපළ රටවැසියා සතු දේපළක් බව අවබෝධ කරදී එයට අබමල් රේණුවක තරම්වත් හානියක් සිදුනොවන තැනට කටයුතු කිරීමය. නැතිනම් ආදරයේ අරගලයේ නමට සිදුවන කැළල කිසිදා නොමැකෙනු ඇත. එසේම උගත් බුද්ධිමත් කිසිදු අයෙකුගෙන් මින් ඉදිරියට අරගල සඳහා සහාය නොලැබෙනු ඇත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment