ජනපති විපක්ෂයට යයි

293

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. සතිය පුරාම පාර්ලිමේන්තුවේ විවිධ වාද විවාද පැවැත්විණි. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරු ඒවාට මහත් උද්යෝගයෙන් සහභාගි වන බව පෙනෙන්නට තිබිණි. මේ අතර වඩාත්ම උද්යෝගයෙන් හා සතුටෙන් සිටි පුද්ගලයා ලෙස පසුගිය සතියේ කැපී පෙනුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

ශ්‍රී ලංකාව ස්ථායිකරණය කිරීම වෙනුවෙන් පිරිනැමෙන ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ලබා දීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසාන වරට සාකච්ඡා කළේ පසුගිය සඳුදා රාත්‍රියේ ය. මේ ණය මුදල ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් හෝ බාධාවක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන සිටියේය. ඒ නිසා පසුගිය 20 වෙනි සඳුදා උදේ පටන් ජනාධිපතිවරයා මහත් සතුටින් හා නිදහසින් කල්ගත කළේය.

ජනාධිපතිවරයා තම හිතෛෂිවන්ත නිලධාරීන් කිහිප දෙනකු පසුගිය සඳුදා තම කාර්යාලයට ගෙන්වා මූල්‍ය අරමුදල ඒ ණය මුදල අනුමත වීමෙන් පසු පළමුව කළ යුතු වැඩකටයුතු ගැන සාකච්ඡා කරමින් සිටියේය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කරුණාරත්න, පරිමණ්ඩල ප්‍රදානය සාගල රත්නායක ඇතුළු කීප දෙනෙක් මෙතන සිටියහ. ජනාධිපතිවරයා ණය මුදල අනුමත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතන්නට අවශ්‍ය බව කියමින් ඒ සඳහා විශේෂ නිවේදනයක් සකස් කරන්නට උපදෙස් දුන්නේය.

“සර් මේක ලැබිච්ච ගමන් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ගත්ත තීරණය හොඳයි. සර් ඒක බදාදා කරන්න හිතන් ඉන්නව නම් ඊට කලින් ජනතාව අමතන එක හොඳ නැද්ද”…

දිනිත් චින්තක එම යෝජනාව කරද්දී ජනාධිපතිවරයා එය අනුමත කරමින් කීවේ .. “එහෙනම් අඟහරුවාදා හවස ජනතාව අමතා කෙටි ප්‍රකාශයක් කරමු..” කියාය.

එදින හවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වූ මොහොතේ ද ඔහු මේ පිළිබඳව අමාත්‍යවරුන් දැනුවත් කරමින් කතා කළේය. ඇමැතිවරුන් මේස වලට තට්ටු කරමින් සිය සතුට ප්‍රකාශ කළහ. සමහරු නැගිට ඒ මොහොතේම ජනාධිපතිවරයාට සුබ පැතූහ. විපක්ෂයේ විවේචන අභියෝග අපහාස කිරීම් හා විවිධ අන්දමේ විරෝධතා මැද මෙය ජනාධිපතිවරයා තනිව කර ජයගත් සටනක් බව සමහර ඇමැතිවරු කීහ…

“නෑ නෑ.. මේ වෙලාවේ මට හයියට හිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම. ඔයගොල්ලෝ ඔක්කොම මන් වෙනුවෙන් කැප වුණා. මේ ජයග්‍රහණය රටේ. සමහරු ඒක පිළිගන්න එකක් නෑ.

අනිත් එක මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. මීට පෙර අපි 16 වතාවක් අයි එම් එෆ් එකට ගිහින් තියෙනවා. මේ ගියේ 17 වැනි වතාවට. මීළඟට අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරන්න ඕන නැවත ණය ගන්නේ නැති රාජ්‍යයක් බිහි කිරීමේ විසිපස් වසරක සැලැස්ම ක්‍රියාත්මක කරන්න. දේශපාලනය පැත්තක තියලා අපි ඔක්කොම ඒකට කැපවෙමු..”

සඳුදා රාත්‍රියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ලබා දෙන විස්තීරණ ණය පහසුකම නිල වශයෙන් අනුමත කර තිබිණි. ඒ බැව් නිල වශයෙන් ජනාධිපතිවරයාටත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාටත් මහ බැංකු අධිපතිවරයාට නොපමාව දැනුම් දී තිබිණි.

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සමන් අතාවුදහෙට්ටි විසින් ලියා අඟහරුවාදා උදෙන්ම ජනාධිපතිවරයා අතට පත් කර තිබිණි. එය කියවා සතුටට පත් ජනාධිපතිවරයා එහි අදාළ සංශෝධන හා අලුතෙන් එකතු විය යුතු කරුණු ජනාධිපති ලේකම් සමඟ සාකච්ඡා කළේය.

අඟහරුවාදා දිනය තුළ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ රැස්වීමක්ද අරලියගහ මන්දිරයේ පැවැත්විණි. ඒ අතර පාර්ලිමේන්තුවේ සභා නායක ප්‍රසන්න රණතුංගට කතා කළ ජනාධිපතිවරයා ඔහුට විශේෂ පණිවිඩයක් කිව්වේය…

“අයි එම් එෆ් ණය පහසුකම ගැන විපක්ෂය ඉක්මන් විවාදයක් ඉල්ලන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ අවස්ථාව දෙන්න. මම ඒ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයකුත් කරනවා.”

කෙසේ වෙතත් මේ සතියේ පාර්ලිමේන්තුවේ වැඩි වැඩක් යොදාගෙන තිබුණේ නැත. අණ පනත් දෙක තුනක් පමණක් සැලකිල්ලට ගෙන තිබිණි. ජනාධිපති කීවේ එම අණ පනත් ඉක්මනින් සම්මත කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැන සාකච්ඡා කරන්නට කාලය හා ඉඩකඩ පාදා ගන්නා ලෙසයි.

● ගණඳුරු මැදියම දකිනෙමි අරුණලු…

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු විභාග සියලු ඉගැන්වීමේ කටයුතු ඉංග්‍රීසියෙන් පමණක් කිරීමට යෝජනාව ගෙනාවේ 2020 වසරේ දිනකය. එනම් ගෝඨාභය ආණ්ඩුව සමයේ ය. නීති අධ්‍යයන සභාව විසින් සකස් කොට ගෙන ආ මෙම යෝජනාව එදා සිටි අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැම්මේ නැත. එහෙත් නීති විද්‍යාලයේ කටයුතු සඳහා එය ක්‍රියාත්මක විය.

මෙම පනත මඟින් අපේ රටේ අඩු පහසුකම් සහිතව අසීරුවෙන් ඉගෙන ගන්නා ගම්බද ලක්ෂ සංඛ්‍යාත පිරිසකට නීති ක්ෂේත්‍රයට පිවිසීමට ඇති දොර කඩ අවහිර වන බව පෙන්වමින් විවිධ දේශප්‍රේමී පාර්ශ්ව මෙම යෝජනාවට විරෝධය පෑවත් පලක් නොවීය. එය ක්‍රියාත්මක විය.

පසුගිය සතියේ දී මෙම යෝජනාව අධිකරණ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සැලකිල්ලට බඳුන් විය. එහිදී සාමාජිකයන් වැඩි දෙනකුගේ විරෝධයට ලක්වූ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ කාර්යස්ථ කටයුතු පිළිබඳ අමාත්‍ය විජයදාස රාජපක්ෂට සිදුවිය.

පනත පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ තවත් එක් රජයේ පනතක් විදිහටයි. කෙසේ වෙතත් මෙය පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විරෝධයට ලක් විය.

යම් හෙයකින් මේ පනත පාර්ලිමේන්තුවේ පරාජයට පත්වූවොත් එය රජයට හොඳ නැති බැවින් රජය මුලින්ම බැලුවේ එම පනත වෙනත් කරුණක් නිසා හෙමින් ඉල්ලා අස් කර ගැනීමටයි. මෙය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට දැමිය යුතු බව කියමින් ඉවත් කරන්නට සූදානම් වුවත් විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට ඉඩ හැරියේ නැත.

කෙසේ වෙතත් මෙම පනත සම්බන්ධයෙන් ලොකු බෙදීමක් තිබිණි. අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ආණ්ඩුවේ බොහෝ දෙනෙක්ද පනතට විරුද්ධව සිටියහ. පනතට පක්ෂව ආණ්ඩුවේ පිරිස ඡන්දය විමසන වෙලාවෙහි උපක්‍රමිකව සභා ගැබෙන් ඉවත්ව සිටියහ.

අවසානයේ පනතට විරුද්ධව ඡන්ද 113 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ එකම එක ඡන්දයකි. එයද ආණ්ඩුවේ ඡන්දයක් නොවූ චන්දිම වීරක්කොඩිගේය. ආණ්ඩුවේ නායකයා වන අගමැතිවරයාගේ ඡන්දය ද එදා ලැබුණේ පනතට විරුද්ධව වීම විශේෂත්වයකි.

මෙම පනතට විරුද්ධව මුල පටන්ම හේතු කාරණා සහිතව තාර්කිකව විරෝධය පළ කළේ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාය. පනත පරාජය කිරීම සම්බන්ධයෙන් ඔහු

අගමැති දිනේෂ් ගුණවර්ධනටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් එක සේ ස්තුති කළේය.

මෙහිදී සජිත් විරුද්ධ වූයේ අන් අය විරුද්ධ වූ හේතුව නිසා නම් නොවේ. ඔහු කීවේ… “මම මේ පනතට පක්ෂයි. ලංකාවේ නීතිඥයෝ ඉංග්‍රීසියෙන් වැඩ කළ යුතුයි. නමුත් මේ වෙලාවේ ඒ සඳහා පරිවර්තනීය කාලයක් දීල නෑ. ඒ නිසා මම මේ පාර විරුද්ධයි” කියාය.

කෙසේ වෙතත් මේ තත්ත්වය පිළිබඳව අපූරු විග්‍රහයක්ද මන්ත්‍රීවරුන් අතර වූහ. සිදුවූ දේ හරියට “ගණඳුරු මැදියම දකිනෙම් අරුණලු” වගේ යැයි ඉන් කියැවිණි.

● රනිල්ට පාර වැරදී විපක්ෂයේ ලොබියේ….

බදාදා පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා ඔහුගේ විශේෂ ප්‍රකාශය සිදු කළේය. ණය මුදල අනුමත වීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මහත් ප්‍රහර්ශයට කරුණක් විය. එහෙත් පොදු විපක්ෂය නම් එය ඒ තරම් සතුටින් පිළිගත් කාරණාවක් නොවීය.

ජනාධිපතිවරයා කීවා සේම ඔවුන් මෙහිදී ඒ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටියේය. විවාදය සඳහා දින තුනක්ම ලැබී තිබිණි.

තම විශේෂ ප්‍රකාශය කිරීමෙන් අනතුරුව එළියට පැමිණෙද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රොත්තක්ම ජනාධිපතිවරයා සමග ආහ. ජනාධිපතිවරයා ඇවිදින ගමන් මන්ත්‍රීවරුන් සමග කතාබහ කරමින් විහිළු තහළු කළ අතර මන්ත්‍රීවරුන් ද ඔහු සමඟ කතා බස් කරමින් ඉදිරියට ගියහ.

“ඔබතුමා අද විපක්ෂයේ එවුන්ට කට උත්තර නැති කළා. දැන් ඔය ඔක්කොම එවුන් ඉන්නේ ගලඋඩ පහරපු මොකුන්ද එවුන් වගේ.” මන්ත්‍රීවරයෙක් කීවේය.

“මම නම් කියන්නේ ඔබතුමා හොඳ වැඩක් කළා. දැන්වත් අපි පරණ කතා අමතක කරලා ඔක්කොම එක්ක එකට එකතු වෙලා රට ගොඩගන්න වැඩ කරමු කියලා ඔබතුමා විපක්ෂයටත් ආරාධනා කරපු එක වටිනවා. හැබැයි ඉතින් ඕකුන්ට තියෙන්නේ බලලෝභය මිසක් රට හදන්න තිබිය යුතු අවංක වුවමනාව නම් නෙවෙයි…” චාමර සම්පත් කීවේය.

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද එතැනට පැමිණ ජනාධිපතිවරයාට සුබපතමින් කතා කළහ.

“ඔන්න මම කියපු විදිහටම ඕගොල්ලන්ට ගිවිසුමත් දුන්නා විවාදයත් දුන්නා…” ජනාධිපති කීවේය.

“කෝ අපට තවම පිටපතක්වත් ලැබුණේ නැහැනේ…” කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරු මැසිවිලි කියද්දී ජනාධිපති ආශු මාරසිංහට කීවේ පිටපත් මුද්‍රණය කර හැමෝටම බෙදා දෙන ලෙසයි.

“මේ ගිවිසුම කලින්ම දීලා තිබුණ නම් අපට පැහැදිලි වෙනවා. එහෙම නම් මෙච්චර ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ…”

“එහෙම බැහැනේ… ණය අනුමත වනතුරු ගිවිසුම ප්‍රසිද්ධ කරන්න එපා කියලා අයි එම් එෆ් එකෙන් රෙගුලාසියක් දාලා තිබ්බනේ…” රනිල් කීවේය.

“දැන් කවද්ද ඔබතුමා අපිට පාටියක් දෙන්නේ” ජනාධිපතිවරයා ඇසුවේ මරික්කාර්ගෙනි.

“මොන පාටියක්ද සර්” අන්දමන්ද වූ මරික්කාර් ඇසීය.

“ඇයි මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් අයින්කරපු එකේ පාටිය” ජනාධිපතිවරයා කී දෙයට විපක්ෂ නායකවරයා ඇතුළු සියල්ලෝම කොක්හඬ ලෑහ.

“අයි.එම්.එෆ්. එකේ වැඩපිළිවෙළට ඔබතුමන්ලත් සහය දෙන්න. මේකෙ වටිනාකම ඔයාල දන්නවනේ.” ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායක සජිත් සිනාසුණා මිස මේ කතාවට හවුල් නොවීය.

මෙසේ මන්ත්‍රීවරුන් සමග කතාබස් කරමින් ජනාධිපතිවරයා ගොස් තිබුණේ විපක්ෂයේ ලොබිය පැත්තටය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එහි සිටියේය.

“දැන් ඉතින් ඔක්කොම හරිනේ… දැන් ඔයාලට තියෙන්නේ මට උදව් කරන්න. මෙතන විපක්ෂ නායකතුමා ඉන්නවා. විවාදයේදී අවශ්‍ය කරුණු ටික ගෙනල්ලා අපේ වැරදි තියෙනවනම් පෙන්නලා දෙන්න. ඉන් පස්සෙ අපි වැඩ කරමු…” කියමින් ජනාධිපතිවරයා විපක්ෂයේ ලොබියෙන් සමුගෙන එන්නට ආවේය.

● පැසසුම් මැද අගමැති උමාඔයේ පතුල සිඹියි..!

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට මේ රටේ බොහෝ බහුජන සංවිධානවල නායකයෝ මෙන්ම දේශප්‍රේමී ස්වාමීන් වහන්සේලා කතා කරමින් සුබ පතන්නට වූහ. ඊට හේතුව නීති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හා විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කරනවාට විරුද්ධව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් ගෙන ගිය සටනට දිනේෂ් ද නායකයකු ලෙස එකතු වීමයි…

ඔහු එහිදී කටයුතු කර තිබුණේ වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස නොව, අපි පැරණි වීදි සටන්කරුවා වන දිනේෂ් ගුණවර්ධන බව ස්වාමීන් වහන්සේලා කීහ.

මේ හේතුව නිසා ගමේ ගොඩේ බයියන්ගේ දරුවන්ටත් නීති ක්ෂේත්‍රයට පිවිසෙන්නට තිබුණු බාධකය ඉවත් වූ බව මේ නායකයෝ ප්‍රකාශ කළහ.

“හැබැයි ඉතින් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. ඉංග්‍රීසි හොඳට දැනගෙන සිංහල භාෂා අයිතියත් රැක ගැනීම තමයි අපි කළ යුත්තේ….” දිනේෂ් සිටියේ එබඳු මතයක ය.

මේ අතර උමා ඔය ව්‍යාපෘතියෙන් නිරීක්ෂණ චාරිකාවකට අගමැතිවරයා පසුගිය සතියේ මැද සහභාගි විය. වැලිමඩ පුහුල්ඔය ප්‍රදේශයේ සිට වැල්ලවාය ප්‍රදේශයට ජලය ගෙන එන උමගේ වැඩකටයුතු මේ වන විට තිබුණේ අවසාන අදියරේ ය. උමග ඇතුළටම ගොස් වැඩ කටයුතු නිරීක්ෂණය කරන්නට අගමැතිවරයාට අවශ්‍ය විය…

“ඒකට නම් අපි වී අයි පී ලට ඉඩ දෙන්නේ නැහැ සර්… ඒ මොකද උමගේ වැඩකටයුතු තවම ඉවර නෑ. උමග ඇතුළට ඔක්සිජන් සපයන්නේ නළ මගින්. යම් හදිසි බිඳවැටීමක් වුණොත් ඇතුළෙ ඉන්න අයගේ ආරක්ෂාවට ප්‍රශ්නයක්. මේ ගමන අවදානම්..”

“ඔය අවදානම ඉතිං වැඩ කරන අයටත් තියෙනවනේ. ඒක නිසා මං හිතන්නේ අපි ඒ අවදානමට මුහුණ දුන්නට කමක් නෑ…” දිනේෂ් කීවේ සුපුරුදු ඉවසිලිවන්ත ස්වරයෙනි. එහෙයින් නිලධාරීන්ට ඊට අවසර නොදී සිටින්නට බැරි විය. ඒ අනුව දැඩි ආරක්ෂාකාරී පියවර මත උමග ඇතුළට ගිය අගමැතිවරයා ඇතුළු පිරිස විනාඩි තිහකටත් වඩා වැඩි වේලාවක් උමඟ අවසන් අදියරේ වැඩකටයුතු නිරීක්ෂණය කරමින් හිටියහ.

මේ අතර පසුගිය සතියේ අගමැතිවරයා උත්සව ගණනාවකට ද සහභාගි විය. එකක් ඉන්දියාවේ පුවාසි භාරතී සම්මානයෙන් පිදුම් ලැබූ කුමාර් නඩේෂන් මහතාට උපහාර පිදීමේ උළෙලකි. අනෙක් උළෙල පැවැත්වුණේ සාහිත්‍ය ශූරි සුනිල් සරත් පෙරේරා මහතා විසින් රචනා කළ මතක නිම්නය ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙනි. උළෙල පසුගිය විසි වැනිදා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මේ රටේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ ඉතිහාසය හොඳින් දන්නා කියන අයෙකි. බොහෝ දෙනා ඇසුරු කළ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකි. ගුවන් විදුලියේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ හා සාහිත්‍ය ශූරි සුනිල් සරත් පෙරේරා දෙමස්සිනෝ බව බොහෝ දෙනකු දැන සිටියේ නැත. සුනිල් සරත් පෙරේරා මැතිඳුන් ගේ නැඟණිය විවාහ වී සිටින්නේ හඩ්සන් සමරසිංහ සමගය. එහෙත් කලක පටන් මේ දෙමස්සිනෝ දෙදෙනා කිසිදු ඇයි හොඳයියක් නැත….

“දෙමස්සිනාලා දෙන්නගේ තරහ තවමත් ඉවරයක් නෑ වගේ” දිනේෂ්ගේ කටින් ඒ වදන් ඉබේටම වාගේ පිටවුණේ උත්සවය පුරාම ඒ දෙදෙනාගේ හැසිරීම් රටාව හා ඇවතුම් පැවතුම් ගැන ඔහු තුළ වූ සියුම් නිරීක්ෂණ ශක්තිය නිසා ය.

ගුවන් විදුලියේ සභාපති ලෙස හඩ්සන් කළ කතාවේ කොතැනකවත් සුනිල් සරත් පෙරේරා හෝ ඔහුගේ කෘතිය වූ මතක නිම්නය ගැන කිසිදු සඳහනක් නොවීය. එසේම සුනිල් සරත් පෙරේරාගේ කතාබහක ත් සඳහනකවත් කිසිම තැනක හඩ්සන් කෙනෙක් හිටියේද නැත…

“දෙන්නගෙ වළිය තවම ඉවර නෑ” දිනේෂ් දන්නා ඉතිහාසය තුළ මේ ගැන තව තවත් රස කතා තිබෙන්නට ඇති බව අවට සිටි බොහෝ අයට වැටහී ගියත් කිසිවකුත් ඔහුගෙන් ඒ ගැන විමසන්නට ගියේද නැත.

මේ අතර පසුගිය සතියේ සමාජ මාධ්‍ය පුරා එක්තරා වීඩියෝ පටයක් හා හඬපටයක් හුවමාරු වන්නට විය. ඇතැම් මාධ්‍යවල වීඩියෝව තිබිණි. ඇතැම් මාධ්‍යවල ඡායාරූපයක් සහ එම අවස්ථාවට අයත් හඬ පටය තිබිණි. හඬ පටය තුළ තිබුණේ එක්තරා අන්දමක දෙබසකි. දෙබස එක්තරා රණ්ඩුවකි… මෙම සිද්ධියට අදාළ රැස්වීම පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ විසින් නෙළුම් මාවත කාර්යාලයේ පවත්වනු ලැබුවේ ඉදිරියේදී පවත්වන්නට නියමිත මැයි දින උත්සවය ගැන කතාබහ කරගන්නටය. ප්‍රධාන මේසය මැද බැසිල් සිටි අතර දෙපැත්තෙන් සිටියේ ජොන්ස්ටන් හා රෝහිත අබේගුණවර්ධනය. සිද්ධියට අදාළ වූයේ මැයි දිනයට සෙනඟ ගෙන ඒමට සම්බන්ධ කතාබහකි. සෙනඟ සහභාගි කරවීම සම්බන්ධ ප්‍රශ්නයේදී මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු තම නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසකට කළ බැණ වැදීමක් නිසා ආරවුල හටගත් බව පැහැදිලිය.

මෙහිදී බැසිල් සමන්ලාල්ට එක්තරා බරපතළ චෝදනාවක් කළේය…

“පහුගිය කාලේ ඕගොල්ල කරපු වැඩ හින්දා තමයි අපි දැන් දිගින් දිගටම බැණුම් අහන්නේ…”

මෙහිදී සමන්ලාල් ද දිගින් දිගටම තර්ක කරමින් බැසිල්ගෙන් ගේම ඉල්ලීම අතහැරියේම නැත…”

“ඕගොල්ලො තමයි ආණ්ඩුව අමාරුවෙ දැම්මෙ. මම එපාම කියද්දී ඕගොල්ලො අරලියගහ මන්දිරයට සෙනඟ ගෙනල්ලා මහා රැස්වීමක් තියලා සෙනඟ අරන් ගෝල්ෆේස් පිට්ටනියට ගිහිල්ලා කලබලයක් කරලා මහා විනාශයක් කළා. ඒකෙන් පස්සෙ මිනිස්සුන්ව බේරේ වැවේ ගිල්ලෙව්වා. පහර දුන්නා. රට පුරාම අපේ මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. කවුද මේවට වගකියන්නෙ. ඔයගොල්ලෝ කරපු වැඩ නිසා තමයි එහෙම වුණේ…”

දෙබස සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ටික වේලාවකින් දෙපැත්තම නිහඬ විය. කෙසේ වෙතත් සමන්ලාල් එතනින් පිටත්ව ගියේ තරහින් පුපුරමින් හැමෝටම බැණ වදිමිනි…

“එදා ඒ ගෝල්ෆේස් පිට්ටනියට ජනතාව ඇදගෙන ගියේ කවුද කියලා රටම දන්නවා. ඒ වගකිව යුතු අය දෙපැත්තෙන් තියාගෙන තමයි බැසිල් අපට ගොරවන්නේ..” සමන්ලාල් එසේ කියමින් තරහෙන් පුපුරණු එතන සිටි තවත් හිටපු මන්ත්‍රීවරයෙක් දැක තිබිණි.

● මහින්දගෙන් පළමුවරට ජනපති රනිල්ට සුබපැතුම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බ්‍රහස්පතින්දා උදේ පාර්ලිමේන්තුවට එන විට වෙනදා මෙන් ඔහුව පිළිගන්නට මන්ත්‍රීවරු රොත්තක්ම පෙර මත සිටියහ. එය පුරුද්දකි. සම්පත් අතුකෝරාල, සංජීව එදිරිමාන්න, ගුණතිලක රාජපක්ෂ, රංජිත් බණ්ඩාර, සුමිත් උඩුකුඹුර ඇතුළු පිරිසක් එතන සිටියහ…

“ඔබතුමා අද වෙනදටත් වඩා සතුටින්.. සුබපැතුවේ නැද්ද අපේ ජනාධිපතිතුමාට…”

“මොකද නැත්තෙ… මම නේ කවදත් එයාට මුලින්ම සුබ පතන්නේ. දැන් අවුරුදු බර ගාණක් තිස්සේ….” මහින්ද කිව්වේය.

“ජනාධිපති වුණාට පස්සේ මේක පළමු සුභ පැතීම වෙන්නැති..”

“හරියට හරි… මීට කලින් මෙච්චර කලක් අපි සුබපතලා තියෙන්නේ වැඩිපුරම විපක්ෂ නායකට. නැත්නම් අගමැතිට නේ…

ඇවිදිමින් ඉදිරියට ගෙන ගමන් දිගටම කතාව ගියේය…

“සෝෂල් මීඩියා එකේ නම් ජනාධිපතිතුමාට සුබ පතනවාට වඩා තියෙන්නේ අපහාස… හැබැයි ප්‍රසිද්ධ මාධ්‍යවලින් රාජ්‍ය නායකයන්ට මේ වගේ අපහාස කරනවට ඉන්දියාවේ නම් දැඩි දඬුවම් දෙනවා” සංජීව එදිරිමාන්න කීවේය.

“ඔව්… අන්න මෝදිට අපහාස කළාය කියලා රාහුල් ගාන්ධිවත් හිරේට දාන්න නියම කරලා” මාධ්‍යවේදියකු වන ප්‍රසාද් මංජු එතැන සිට කීවේය.

“ඒ ඉතිං ඉන්දියාවේ… මෙහේ නම් මුන් සංවිධානය වෙලා අපට අපහාස කරන විදිහට හිරේ දාන්න පටන් ගත්තොත් අපිට අලුතෙන් හිර ගෙවල් හදන්න වෙයි… නැද්ද …” තට්ටුවක් දමා මාධ්‍යවේදියාට ද කතා කළ හිටපු ජනපති විදුලි සෝපානයට ගොඩවිය.

පසුගිය සතියේ දිනක නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට දුරකථන ඇමතුමක් නොදන්නා කෙනෙක් ගෙන් ලැබිණි. කතා කළේ ඒ. පී. ඒ. ගුණසේකර කියා අයෙකි.

ඇමතුම ගන්නට හේතුව ගුණසේකර මහත්මා විසින් පසුගියදා ලියා පළකර තිබූ “හොරොව්පතානේ පළවෙනි ඩී ආර් ඕ” නම් පොතකි. එදා රාජ්‍ය සේවයේ වැදගත්කම අද සමාජයට අසිරිමත් පාඩමක් ලෙස ගනිමින් ගුණසේකර මහතා මෙම පොත හරි අපූරුවට ලියා තිබිණි. ඒ පොත කියවූ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ඒ පිළිබඳ එක්තරා පුවත්පතකට ලියූ අනගි විවේචනයක් කියවූ පොතේ කර්තෘට මෙසේ නියෝජ්‍ය කථානායකට ස්තුති නොකර බැරි විය.

“මම මේ රටේ රාජ්‍ය සේවය ගැන කියවපු අනර්ඝම පොත…” අජිත් තවත් සහතිකයක් දුන්නේය.

මම රාජ්‍ය සේවයේ ගොඩක් වැඩ කරල තියනවා. ඩීයාරෝ වෙලා ගොඩක් තැන් වල ඉඳලා අමාත්‍යංශවලත් වැඩ කළා. රජයෙන් ලොකු තනතුරු දැරුවා. පළමු වතාවට තමයි මේ විදිහට පත්තරේකින් දේශපාලනඥයකු මාව අගේ කළේ. ස්තුතියි. ඔබතුමාල වගේ අයගේ අත්දැකීම් හා හිතන පතන විදිය තවදුරටත් අපිට අවශ්‍යයි… එන්න අපි එක්වෙලා වැඩ කරමු…” කථානායකවරයා සුහද ආරාධනයක් ද කළේය.

● සමාජ මාධ්‍යවලින් තෝරන පොලිස්පති…

පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පොලිස්පති පත්කිරීම ගැන කතාවක් ඇතිවිය.

“පොලිස්පතිතුමාගේ සේවා කාලය දීර්ඝ කරන්න යනව කියල කතාවක් යනවා. මැයි 9 වැනිදා අපේ ගෙවල් ගිනි තියද්ද හිටියේ මේ පොලිස්පතිතුමා. කරන්නාගොඩ වාර්තාවෙන් එදා මෙතුමාගේ ක්‍රියා කලාපය ගැන ප්‍රශ්න කරනවා. මොනම හේතුවක් නිසාවත් මෙතුමගෙ කාලය දික් කිරීමට අපි විරුද්ධයි. ඔබතුමා සුදුසු කෙනෙක් පත් කරන්න.” චින්තක මායාදුන්න ජනාධිපතිවරයාට කෙලින්ම කීය.

“දැන් පොලිස්පති තෝරන්නේ ෆේස්බුක් එකෙන්. දේශබන්ධු තෙන්නකෝන්ට 2000 වසරේ ඉඳල චෝදනා තියෙනව. ඒ වගේ කෙනෙක් පත් කරනවද? චෝදනා නැති කෙනෙක් පත්කරනවද කියල හිතල බලන්න” මධුර විතානගේද පැවසීය.

“පොලිස්පතිවරයා විතරක් නෙමෙයි ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙනුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුකාරවරුන් බොහෝමයක් වැඩ කරන්නේ ආණ්ඩුවට නෙමෙයි. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අපිට ඒව නිදහසේ කරන්න බැහැ.” චින්තක මායාදුන්න යළි කීය.

“දැන් පළාත් පාලන ආයතන නැහැ. බලය තියෙන්නේ ආණ්ඩුකාරවරුන්ට. ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය සංවර්ධන සභා කමිටුවලට පවරන්න” මහනුවර මන්ත්‍රී ගුණපාල රාජපක්ෂ කීය.

“වර්තමාන පොලිස්පතිවරයාගේ සේවා කාලය දික් කරනවට මම පුද්ගලිකව විරැද්ධයි. මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඉන්නේ ඒ මතයේ” මහින්දානන්ද අලුත්ගමගේ දැඩිව කීය.

සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මේ ගැන දැඩිව අදහස් දැක්වීය. මේ ගාලගෝට්ටිය දුරදිග යනු දුටු ඇමැති ප්‍රසන්න රණතුංග එය නවත්වන්නට ඉදිරිපත් විය.

“ජනාධිපතිතුමනි, වත්මන් පොලිස්පතිතුමාගේ ක්‍රියාකලාපය ගැන වගේම ආණ්ඩුකාරවරු ගැනත් අපේ මැති ඇමැතිවරුන්ගේ විරෝධයක් තියෙනවා. ඒ ගැන සලකල බලන්න.” ඇමැති ප්‍රසන්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

“ශවේන්ද්‍ර ගැනත් වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. පොලිස්පතිවරයා ගැනත් ඒ වාර්තාවේ කියවෙනවා. මේව හරිම සංකීර්ණ ප්‍රශ්න. විපක්ෂයට මාතෘකාවක් හැදෙන විදියට වැඩ කරන්න බැහැ. අයි.එම්.එෆ් එකෙන් ලැබෙන ණය නවත්වන්න විපක්ෂය කරන්න පුළුවන් හැමදේම කළා. ඒ නිසා අපි හරිම සීරුවෙන් මේ ප්‍රශ්න හැඬල් කරන්න ඕන.” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

“මම තව මාස තුනකින් අලුත් වැඩපිළිවෙළක් හදනවා. ඒ ගැන මම ඔබතුමන්ලව දැනුවත් කරන්නම්.” ජනාධිපතිවරයා යළි කීවේය.

ඒ කතාව ඇසූ මැති ඇමැතිවරුන් මුහුණට මුහුණ බලන්නට විය.

“නෑ… මන්ත්‍රීවරුන්ට ගමට ගිහින් කරන්න වැඩ තියෙනවා. ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රශ්න ගැන හොයන්න මම වජිර අබේවර්ධන මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරල තියෙනවා. ඊට අමතරව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත්කර තියෙනවා. ඒ කමිටුවෙන් ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළත් වෙනවා. ඒකෙන් ගමට වැඩ කරන්නේ කොහොමද කියල අපි බලනවා. ඔබතුමන්ලගේ යෝජනා ඒ කමිටුවලට කියන්න. මම ඒ දේවල් කරන්නම්” ජනාධිපතිවරයා කීය.

● සජබයේ පාඨලීටත් අවුරුදු තෑග්ගක්?

පසුගිය සතියේදී ක්‍රම හා විධි විශේෂ කාරක සභාවේ සභාපති ලෙස ආණ්ඩු පක්ෂයේ යෝජනා ස්ථිරත්වයෙන් පාඨලී චම්පික රණවක මහතා පත් කෙරුණි.

විශේෂත්වයකි. මන්ත්‍රී පාඨලීගේ නම රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යෝජනා කළ අතර එය ස්ථීර කළේ මන්ත්‍රී සංජීව එදිරිමාන්න විසිනි.

නුදුරු දිනකදීම කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව තතුදත් ආරංචි මාර්ත ස්ථීර කර ඇති පසුබිමක මේ පත්කිරීමත් සමඟ විපක්ෂය යම් සලිතවීමකට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට එක්වන විපක්ෂයේ ප්‍රබලයන් අතර මන්ත්‍රී චම්පිකගේ නම ද කලක පටන්ම කියවෙයි. සමඟි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment