ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීමේ විධායක නියෝගයට නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙරේදා (20) ධවල මන්දිරයේදී අත්සන් තබා ඇත.
“ඕ එය විශාල පියවරක්” යනුවෙන් පවසමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමේ ලියවිල්ලට සිය අත්සන යොදා ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙරේදා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණ අත්සන් තැබූ විධායක නියෝග අතරින් එකක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමරිකාව ඉවත් කරගැනීමේ තීන්දුව ගැනීමට මුල් වූ හේතුන් වී ඇත්තේ කොරෝනා වසංගත සමයේදී එම සංවිධානය වැරදි අයුරින් එම වසංගතය හා වෙනත් ගෝලීය සෞඛ්‍ය අර්බුද පාලනය කිරීමේ කටයුතු මෙහෙයවීම, ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසංගත සමයේ සිදු කළ යුතුවම තිබූ හදිසි ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට අපොහොසත් වීම හා සංවිධානයේ සාමාජික රටවලින් එල්ල වන දේශපාලන බලපෑම්වලින් නිදහස් වීමට නොහැකි වීම යන කරුණු බව අදාළ තීන්දුව ඇතුළත් ලියවිල්ලේ දැක්වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන අරමුදල්වලින් පහෙන් තුනක් සපයන ඇමරිකා එක්සත් ජනපදය ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ එම සංවිධානයෙන් ඉවත් වීමට යන්නේ දෙවැනි වරට වන අතර මෙයට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාල සීමාවේ ද ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට පියවර ගෙන තිබිණි. එවර ජනාධිපති ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ල කර තිබූ චෝදනාව වූයේ චීන ගැතිභාවය බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
කෙසේ වුවද 2020 වසරේදී ජනාධිපති ධුරයට පත් ජෝ බයිඩන් විසින් ඇමරිකාවට නැවත සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට පියවර ගෙන තිබිණි. මෙවර සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමරිකාව ඉවත් කරගැනීමේ ලියකියවිල්ලට අත්සන් තැබීමෙන් පසු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අප නැවත සාමාජිකත්වයට පත්කර ගැනීමට ඉතාමත් අවශ්‍යයි. අපි බලමු කුමක්ද වෙන්නේ කියා” යනුවෙනි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් අත්සන් තැබූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත් කරගැනීමේ නියෝගය ඇමරිකාව විසින් එම සංවිධානයට ගෙවනු ලැබූ අසාධාරණ දීමනාවල ප්‍රතිඵලයක් බවද එම ලියවිල්ලෙහි දැක්වේ.
මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමේ නියෝගයකට අත්සන් තැබීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇතැම් ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥයන් පවසා ඇත්තේ එම පියවර ගෝලීය සෞඛ්‍ය පද්ධතියට දරුණු තුවාලයක් ඇති කර ඇති අතර එය ඇමරිකානු සෞඛ්‍ය පද්ධතියේ හටගත් ගැඹුරු තුවාලයක් බවයි.
ඒමන්ති මාරඹේ