ජනබලය වැඞීමේ කලාව

134

සියවසක සටහන් – 36 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැුදීම් සහ වැරැුදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ රතු හමුදාවේ බලය වැඩුණු ආකාරය ගැනයි.

අලූත් හමුදා මූල කඳවුරක් හදාගැනීමේ අරමුණ ඇතිව 1929 ජනවාරි 14 වැනි දා චිං-කං කන්දෙන් පහළට බැස්ස චූ-මා ඕ රතු හමුදාව ඒ වෙනුවෙන් කළ දීර්ඝ ගමන ගැන විස්තර මෙයට පෙර ලිපියෙන් කිව්වා. දවස් 106 ක් තිස්සේ සිදු කෙරුණු ඒ ගමනේ දී කිලෝ මීටර් දාහකට වැඩි දුරක් ගියා කියලා පස්සේ කරපු අධ්‍යයනවලින් අනාවරණය කරලා තියෙනවා. මේ දවස් 106 ක කාලය තුළ රතු හමුදාව කෝරළ 24 ක් හරහා ගමන් කළා. කලින් ලිපියෙන් කියපු විදිහට රුයි-චින් සහ නිං-තූ කෝරළ හරහා තුන් වතාව බැගිනුත් යුං-ෆං කෝරළය හරහා දෙවතාවකුත් යන්න ඒ අයට සිද්දවුණා. ඒ හින්දා මේ අය විසින් පහු කරපු කෝරළ ගණන 29 ක් කියලා කියන්නත් පුළුවන්.


මේ සම්පූර්ණ ක‍්‍රියාදාමය ගමන්කිරීමක් විතරක් නම් නෙවෙයි. අදාළ කාලය තුළ සටන් ගණනාවක් කරන්න රතු හමුදාවට සිද්දවුණා. ඊට අමතරව බලය තහවුරු කරගත්ත ප‍්‍රදේශවල පක්‍ෂ සංවිධාන ගොඩන`ගන්නත්, රතු හමුදාවට තව පිරිස් බඳවාගන්නත් ඒ අය ක‍්‍රියා කළා. මේ වැඩ පහසුවුනේ ජනතාවගේ කැමැත්ත දිනාගැනීම වෙනුවෙන් රතු හමුදාව අනුගමනය කරපු වැඩපිළිවෙළ හින්දා.



යම් ප‍්‍රදේශයක බලය තහවුරු කරගත්ත සැනින් රතු හමුදාව කළේ ඒ ප‍්‍රදේශයේ ඉන්න දුප්පත් අයට උදව් කරන එක. ප‍්‍රදේශයේ බලවතුන් විසින් ගබඩා කරගෙන හිටිය ධන ධාන්‍ය දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න රතු හමුදාව කටයුතු කළා. දුප්පත් මිනිස්සුන්ව පීඩාවට පත්කරපු බලවතුන්ට දඬුවම් කරන්නත් ඒ අය පසුබට වුනේ නෑ. ඒ වගේම, ප‍්‍රාදේශීය බලවතුන්ගේ මහ ඉඩම් කොටස් කරලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන වැඩෙත් ඒ අය කළා. කාලයක් තිස්සේ තමන්ව පීඩාවට පත්කරපු බලවතුන් දණගැස්සවීම, තමන්ගේ මූලික ආර්ථික ගැටලූවලට විසඳුම් ලබාදීම කියන මේ වැඩ හින්දා රතු හමුදාව ගැන මහ ප‍්‍රසාදයක් මිනිස්සුන්ගේ හිත්වල ඇතිවුණා.

රතු හමුදාවේ සෙබළු සාමාන්‍ය මිනිස්සුන්ගේ කිසිම දෙයක් පැහැරගත්තේ නෑ. තමන්ගේ වුවමනාවක් වෙනුවෙන් ගන්න හාල් ඇටයක්, නූල් පොටක් වෙනුවෙන් පවා මිනිස්සුන්ට මුදල් ගෙවන්න ඕන කියන නියමයෙන් ඒ සෙබළු බැඳිලා හිටියා. ඉතින් මේ ගමන අතර කෑමක් බීමක් ගත්තත්, වෙන දෙයක් ගත්තත් ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න රතු හමුදාවේ සෙබළු කටයුතු කළා. අතේ මුදලක් නැති වෙලාවට ගෙවල්වල වැඩ කරලා දුන්නා. දර පැලීම, වතුර ඇදීම, ගෙවල්වල වහළ පිළිසකර කිරීම වගේ ගොඩක් වැඩ ඒ අය කළා. ඉතින් වැඩ කරලා දීලා ඒ වෙනුවෙන් හුවමාරුවට කෑම, බීම ගන්න රතු සෙබළුන්ට පුළුවන් වුණා.

ඒත් හතුරු ප‍්‍රහාර මැද්දේ හදිස්සියේ ඉස්සරහට යද්දි මේ වගේ වැඩ කරන්න ඉඩක් නෑ. එහෙම වෙලාවට රතු හමුදාවේ සෙබළු කළේ පොරොන්දු නෝට්ටුවක් ලියලා දීලා අවශ්‍ය දේවල් ණයට ගන්න එක. හතුරු කරදරය යම් පමණකින් හරි සමහන් වුණාම ඒ පොරොන්දු නෝට්ටුව වෙනුවෙන් මුදල් දෙන්න හරි වැඩ කරලා දෙන්න හරි ඒ අයට පුළුවන් වුණා.

ජනබලය  වැඞීමේ කලාව
රුයි-චින් ප‍්‍රදේශයේ ස්මාරකයක්

මේක හරිම වෙනස් වැඩපිළිවෙළක්. මෙහෙම පිළිවෙතක් මේ දුප්පත් ගැමියෝ කවදාවත් අත්විඳලා තිබුණේ නෑ. මෙහෙම ක‍්‍රමයක් ගැන ඒ අය අහලවත් තිබුණේ නෑ. කලින් වතාවල එක එක හමුදා තමන්ගේ ගම්මාන පහුකරගෙන යද්දි ඒ අය කරපු කොල්ලකෑම් හින්දා දුප්පත් මිනිස්සු පීඩාවට පත්වෙලා හිටියේ. තමන් ගන්න කිසිම දෙයක් වෙනුවෙන් ඒ අය මුදල් ගෙව්වේ නෑ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනකමක් ඒ අයට තිබුණෙත් නෑ. ඒ අය කළේ මහ දවල් මංකොල්ලයක් විතරයි.

ඉතින් මේ අලූත් අත්දැකීමේ ප‍්‍රතිඵලයක් විදිහට දුප්පත් මිනිස්සු රතු හමුදාවත් එක්ක ඉතාමත් තද බැඳීමක්, හිතවත්කමක් ඇති කරගත්තා. ඒ අය කිසිම පැකිළීමක්, අකැමැත්තක් නැතුව තමන්ගේ තරුණ දරුවෝ රතු හමුදාවට දුන්නා. ඉතින් දවසින් දවස චූ – මා ඕ රතු හමුදාවේ පිරිස් බලයත් වැඩිවුණා. විප්ලවවාදීන් කියන්නේ ජනතාව කියන වතුරේ ජීවත්වෙන මාළුවෝ පිරිසක් කියන අදහස මා ඕ ත්ස-තුං විසින් වර්ධනය කරගත්තෙත් මේ වැඩපිළිවෙළ හරහා.

”මාළුවෝ නැතත් ජලය තියෙනවා. ඒත් ජලය නැතුව මාළුන්ට ඉන්න බෑ. ජනතාව කියන්නේ මහ පොළොව වගේ. විප්ලවවාදියා කියන්නේ හොඳ බීජයක්. බීජ පැළ කරන්න නම් හොඳ බිමක් ඕන. ජනතාව තමයි ඒ බිම. ජනතාවගෙන් ආපු අපි ජනතාව අතරම ඉන්න ඕන’’ කියන මේ සම්පූර්ණ අදහස මා ඕ ත්ස-තුං විසින් ඉදිරිපත් කළේ 1946 ඔක්තෝබර් මාසයේ දී.

1929 අවුරුද්දේ මුල් මාස හතරේ කරපු මේ දීර්ඝ ගමනේ දී රතු හමුදාව විසින් තමන්ට අවශ්‍ය ආයුධ සහ මුදල් ලබාගත්තේ හතුරන්ගෙන්. යුද්ධයක් කරලා හතුරෝ පැරැුද්දුවාම තමයි ආයුධ ලැබෙන්නේ. තමන්ට පහර දෙන්න හතුරු හමුදාවක් ඒම මේ අය දැක්කේ ආයුධ ළඟට ගෙනැල්ලා දීමක් විදිහට. තමන්ගේ බලය තහවුරු කරගන්න කරපු පහරදීම්වලිනුත් රතු හමුදාවේ ආයුධ බලය වැඩි වුණා.

අල්ලගත්ත ප‍්‍රදේශවල හිටිය මහ බලවතුන්ගේ භාණ්ඩාගාරවලින් තමයි මුදල් ගත්තේ. ඒ විදිහට ගත්ත මුදල්වලින් කොටසක් ජනතාවට බෙදලා දෙන්නත් රතු හමුදාව කටයුතු කළා. කලින් කියපු විදිහට ජනතාව වෙනුවෙන් කරපු විවිධ වැඩ හරහාත් රතු හමුදාවේ එදිනෙදා වියදම් පිරිමැහුණා.



මුල් කාලයේ දී රතු හමුදාවට විදුලි සංදේශ උපකරණ තිබුණේ නෑ. ඉතින් හැම තීරණයක්ම ගන්න වුණේ ජනතාවගෙන් සහ ප‍්‍රාදේශීය පක්‍ෂ සංවිධාවලින් ලැබෙන තොරතුරු පදනම් කරගෙන. ඊට අමතරව තීරණ ගැනීමට අදාළ තවත් ක‍්‍රමයක් මා ඕ ත්ස-තුං විසින් හඳුනාගෙන තිබුණා. ඒ තමයි පත්තරවල තියෙන විස්තර. යන යන හැම තැනක දී ම, පුළුවන් තරම් පත්තර හොයාගන්න මා ඕ ත්ස-තුං කටයුතු කළා. මේ වුවමනාව ගැන දන්න රතු සෙබළු තමන්ගේ නායකයාට පත්තර හොයලා දෙන්න මහන්සි වුණා. පත්තරවල තිබුණු විස්තර තීක්‍ෂණ විදිහට විග‍්‍රහ කරලා හතුරා හැසිරෙන විදිහ පැහැදිළි කරන්න මා ඕ ත්ස-තුංට පුළුවන් වුණා.

මේ කාලය වෙද්දි කු ඕ-මින්-තං හවුල ඇතුළේ මහා ආරවුලක් මෝරමින් තිබුණේ. ”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුම අවසන් කරලා නාමිකව රට එක්සේසත් කළත් චියං කායි-ෂෙක්ගේ ආධිපත්‍යය පිළිගන්න ඔහුගේ හවුල්කාර හමුදා ලොක්කෝ කැමැතිවුනේ නෑ. චියං කායි-ෂෙක් උත්සාහ කළේ ඒ හමුදා ලොක්කන්ගේ බලය අඩුකරන්න. මධ්‍යම ආණ්ඩුවේ බලය වැඩි කරන්න ඔහු මහන්සි වුණා.

කු ඕ-මින්-තං බලය ගොඩනැ`ගිලා තිබුණේ විවිධ පළාත් පාලනය කරපු මහා හමුදා ලොක්කන්ගේ එකතුවක් විදිහට. මේ ගැන කලින් කියලා තියෙනවා. (මේ ලිපි මාලාවේ 32 වැනි කොටස බලන්න*. චියං කායි-ෂෙක්ගේ මධ්‍යම ආණ්ඩුවේ හමුදා මුළුමනින්ම බලවත් වෙලා හිටියේ ෂං-හයි සහ නන්-චිං ආශ‍්‍රිත ප‍්‍රදේශවල විතරයි. කුවං-ශි, හූ-නන් සහ හූ-පෙයි පළාත් ලී ත්සුන්-රන්ගේ කණ්ඩායම (කුවං-ශි කල්ලිය* පාලනය කළා. ෆං ය්‍යු-ශියංගේ ”ජාතික මහජන හමුදාව’’ විසින් ෂාන්-ශි, හ-නන් පළාත් දෙකත් ෂන්-තුං සහ හ-පෙයි පළාත් දෙකට අයත් ප‍්‍රදේශ ගණනාවකුත් පාලනය කළා. ෂන්-ශි පළාත, පෙයි-පිං නගරය (අගනුවර විදිහට නන්-චිං නගරය නම් කරපු හින්දා පෙයි-චිං නගරයේ නම පෙයි-පිං කියලා වෙනස් කළා* සහ ථියැන්-චින් ප‍්‍රදේශය යන් ශි-ෂන්ගේ අණසක යටතේ පාලනය වුණා.

”උතුරු ප‍්‍රයාණය’’ මෙහෙයුම අවසන් වුණ ගමන්ම වගේ හමුදා වියදම් අඩු කරගැනීමේ රැුස්වීමක් තිබුණා. 1928 අගෝස්තු 8 වැනිදා ඉඳලා සතියක් තිස්සේ පැවැත්වුණු ඒ රැුස්වීමෙන් අපේක්‍ෂිත ප‍්‍රතිඵල ලැබුණේ නෑ. 1929 ජනවාරි 1 වැනි දා ඉඳලා 25 වැනිදා වෙන කල් තවත් රැුස්වීමක් පැවැත්තුවා. ඒත් සිද්දවුණේ බෙදීම් තව තවත් වැඩිවෙන එක විතරයි. 1929 මාර්තු වෙද්දි ලී ත්සුන්-රන්, පැයි ඡුුං-ශී ප‍්‍රධාන කුවං-ශි කල්ලිය චියං කායි-ෂෙක් එක්ක තිබුණු ඇයි හොඳැයිය අත් ඇරලා දැම්මා. මැයි මාසය වෙද්දි ෆං ය්‍යු-ශියංගේ ජාතික මහජන හමුදාවත් චියං කායි-ෂෙක් එක්ක හැප්පෙන්න පටන්ගත්තා.

චියං කායි-ෂෙක්ට විරුද්ධ පෙරමුණක් හැදීමේ අදහස ප‍්‍රකාශ කෙරුණු නිවේදනය ලී ත්සුන්-රන් විසින් නිකුත් කළේ 1929 නොවැම්බර් මාසයේ දී. මේ පෙරමුණට වං චිං-වෙයි සම්බන්ධ කරගන්නත් යෝජනා කෙරුණා. දෙසැම්බර් මාසය වෙද්දි ථං ෂං-චී සහ චං ෆා-කුයි කියන මහා සෙන්පතියෝ දෙන්නත් මේ පෙරමුණට එකතුවුණා. මේ විදිහට හදාගත්ත චියං කායි-ෂෙක් විරෝධි හවුල සංවිධානගත වුනේ පෙයි-පිං (පෙයි-චිං* නගරය මුල් කරගෙනයි. ඒ වෙද්දි පෙයි-පිං නගරය තිබුණේ යන් ශි-ෂන්ගේ අණසක යටතේ.

කු ඕ-මින්-තං ආණ්ඩුවෙන් චියං කායි-ෂෙක් අයින්වෙන්න ඕන කියලා 1930 පෙබරවාරි මාසයේ දී යන් ශි-ෂන් විසින් නිවේදනයක් නිකුත් කළා. මේ ඉල්ලීම චියං කායි-ෂෙක් ප‍්‍රතික්ෂේප කළා. ඉතින් පෙයි-පිං නගරය මුල් කරගෙන අලූත් කු ඕ-මින්-තං ආණ්ඩුවක් පිහිටුවන්න මේ චියං කායි-ෂෙක් විරෝධී හවුල කටයුතු කළා. මේ අලූත් ආණ්ඩුවේ නායකත්වය පැවරුණේ යන් ශි-ෂන්ට.

චීනයේ වයඹදිග පළාත්වල හිටිය මා තිං-රං, මා චුං-යිං, මා ෆූ-ශියං ඇතුළු මුස්ලිම් හමුදා නායකයන්ගේ සහයෝගය ලැබුණේ චියං කායි-ෂෙක්ට. මේ අය කලින් සම්බන්ධ වෙලා හිටියේ ෆං ය්‍යු-ශියංගේ ජාතික මහජන හමුදාවත් එක්ක. ඒත් 1928 අවුරුද්දේ ඇතිවෙච්ච ආරවුලක් මුල් කරගෙන ෆං ය්‍යු-ශියං එක්ක පවත්වපු සම්බන්ධකම් මේ අය නැවැත්තුවා. මේ මුස්ලිම් හමුදාවලට බැඳිලා හිටියේ සටනට ඉතාමත් දක්‍ෂ පිරිසක්. චියං කායි-ෂෙක්ගේ අණදීම යටතේ ක‍්‍රියාත්මක වෙච්ච මධ්‍යම රජයේ හමුදාවේ හිටියෙත් ඉතාමත් විධිමත් විදිහට පුහුණුව ලබපු පිරිසක් කියලා අපි දන්නවා. හුවං-පු හමුදා පාසලේ පුහුණුව ලබපු ඒ අය තමන්ගේ ”විදුහල්පතිතුමා’’ (ඒ කියන්නේ චියං කායි-ෂෙක්* එක්ක දැඩි බැඳීමකින් කටයුතු කළා.

ඊසානදිග පළාත් තුනේ නායකත්වයට පත්වෙච්ච චං ශුවේ-ලියං තවදුරටත් චියං කායි-ෂෙක්ට හිතවත්ව හිටියා. ඒත් ඒ පළාත් තුන හරහා වැටිලා තිබුණු දුම්රිය මාර්ගයක අයිතිය සම්බන්ධයෙන් ඔහු සෝවියට් දේශයත් එක්ක ආරවුලක පැටලිලයි හිටියේ. ඉතින් මුල් දවස්වල ඔහුගෙන් චියං කායි-ෂෙක්ට ලැබුණේ නාමික සහයෝගයක් විතරයි.

කොහොම හරි චීනයේ මැද තැනිතලා ප‍්‍රදේශයේ කෙරෙන මහා යුද්ධයකට මේ පාර්ශ්ව දෙක සූදානම් වෙමින් හිටියා. චියං කායි-ෂෙක්ගේ පාර්ශ්වයේ හමුදා බලය ලක්‍ෂ තුනක භට පිරිසකින් සමන්විත වුණා. ඔහුට විරුද්ධ පෙරමුණට ලක්‍ෂ හතක හමුදා භට පිරිසක් සම්බන්ධ වෙලා හිටියා. මහා පරිමාණයෙන් මේ යුද්ධය ඇවිළුණේ 1930 මැයි මාසයේ ඉඳලා නොවැම්බර් මාසය දක්වා කාලයේ. මේ යුද්ධයේ ප‍්‍රතිඵල ගැන ඉදිරියේ දී කියන්නම්.

කු ඕ-මින්-තං පාර්ශ්වය ඇතුළේ මේ යුද්ධය අනිවාර්යයෙන්ම ඇවිලෙනවා කියලා මා ඕ ත්ස-තුං තේරුම් ඇරගෙන හිටියා. ඔහු මේ අවබෝධය ඇති කරගත්තේ පත්තර වාර්තා විශ්ලේෂණයෙන්. චියං කායි-ෂෙක්ගේත් ඔහුට විරුද්ධ පිරිසේත් චරිත ස්වභාවය, ඔවුන්ගේ අභිමතාර්ථ, ඒ නිසා ඇතිවෙන අර්බුද පත්තර වාර්තා විශ්ලේෂණයෙන් මා ඕ ත්ස-තුං හඳුනාගත්තා. ඉතින් රතු හමුදාවට විරුද්ධ හතුරු ප‍්‍රහාර අඩුවෙන කාලයක් උදාවෙමින් තියෙන බව 1929 අපේ‍්‍රල් මාසය පටන් ගනිද්දිම ඔහු කිව්වා.

කු ඕ-මින්-තං පාර්ශ්වය තුළ ඇතිවෙන මේ ආරවුල් ඇතුළේ රතු හමුදාවේ බලය වර්ධනය කරගන්න පුළුවන් කියලා මා ඕ ත්ස-තුං අනිත් පිරිසට පැහැදිළි කළා. ඉතින් අලූතින් පිහිටුවා ගත්ත රුයි-චින් මූල කඳවුර මුල් කරගෙන තමන්ගේ බලය වර්ධනය කරගන්න රතු හමුදාව පටන්ගත්තා.

චිං-කං කන්දේ මූල කඳවුර රැුකගැනීමේ වගකීම පං ත-හුවයි සෙනෙවියාට භාර දුන්නත් එල්ලවුණු දැවැන්ත හතුරු ප‍්‍රහාර හමුවේ ඒක කරන්න බැරිවුනා. ඉතින් 1929 ජනවාරි 30 වැනි දා වෙද්දි ඒ කඳවුර අත ඇරලා පහුබහින්න පං ත-හුවයි සෙනෙවියාගේ හමුදාවට සිද්දවුනා. චිං-කං කඳු ප‍්‍රදේශය අල්ලාගත්ත හතුරු හමුදාව විසින් රතු හමුදාවේ තුවාලකරුවන්ට අමතරව ගම්වැසියන් විශාල පිරිසකුත් මරලා දැම්මා. ප‍්‍රහාර මැද්දේ දාහක් විතර පිරිසක් එක්ක එකතුවෙලා හතුරු බලය බිඳගෙන එළියට ආපු පං ත-හුවයි සෙනෙවියා 1929 අපේ‍්‍රල් 1 වැනි දා චූ – මා ඕ රතු හමුදාවත් එක්ක එකතුවුණා.

නැවත වතාවත් චිං-කං කන්ද අල්ලාගත යුතු බවත් ඒක කරන්න පුළුවන් බවත් මේ එකතුවෙන් පස්සේ මා ඕ ත්ස-තුං කිව්වා. ඉතින් තමන්ට අවශ්‍ය උදව් සහ උපදෙස් ලබාගත්ත පං ත-හුවයි සෙනෙවියාගේ සේනාව අපේ‍්‍රල් 13 වැනි දා නැවතත් චිං-කං කන්ද බලා පිටත්වුණා. ඒ අපේ‍්‍රල් මාසය අවසන් වෙද්දි නැවත වතාවක් චිං-කං කන්දේ බලය අල්ලගන්න පං ත-හුවයිගේ සේනාවට පුළුවන් වුණා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment