ජනමතය තුළින් බිහි වූ අරගලය හා ජාතික වැඩපිළිවෙළක නායකත්වයක අවශ්‍යතාවය – ● පෙරඹර

789

පසුගිය මාස කිහිපය පුරාවටම රට ආර්ථික අර්බුදයට යන බවට පක්ෂ විපක්ෂ මෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳව සැලකිලිමත් පාර්ශව ගණනාවක් රජයට පෙන්වා දෙමින් තිබුණද රජයේ උද්ධච්ඡභාවයත්, බලයෙන් උමතුවී සිටීමත් මෙන්ම ජනතාවට කරුණු හැංගීමත් නිසා අද වන විට එම ආර්ථික අර්බුදය තීව්‍ර වී, දේශපාලන අර්බුදයක් දක්වා දික්ගැස්සවී ඇත.

 එහි ප්‍රතිඵලයක් ලෙස රටත්, ජනතාවත් අන්ත අසරණභාවයට පත්ව ඇති අතර මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීම අභියෝගයක්ව පවතියි. මෙම අර්බුදයේ වගකීම වසර 74 ක් පුරාවට මේ රට කරවූ පාලකයින් භාරගත යුතු අතර මෙම තත්ත්වය කළමණාකරණය කරගැනීමට අවශ්‍ය පියවර අවශ්‍ය මොහොතේ නොගැනීමේ වගකීමෙන් වත්මන් රජයට ගැලවීමට නොහැක. මන්ද යත් ජනාධිපතිවරයා විසින්ම මෙම ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ගතයුතු පියවරයන් ගැනීමට ප්‍රමාද වූ බව ප්‍රසිද්ධියේ පිළිගැනීමෙන් එය තහවුරු වේ.

 ඉන් පැහැදිලි වන්නේ කඩා වැටෙමින් තිබූ ආර්ථිකය වර්තමාන රජයේ නොසැලකිල්ල නිසා හදිසි ව්‍යසනයක් දක්වා රැගෙන ගොස් ඇති බවයි. රටේ ආර්ථික අර්බුදයක්, දේශපාලන අර්බුදයක් මෙන්ම සාමාජයීය අර්බුදයක් ඇති බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. එසේ නම් ඊට විසඳුම් දීම වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් වන අතර සමස්ත පාර්ලිමේන්තුවටම එම වගකීමෙන් මිදී සිටීමට නොහැකිය. මෙම මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාර්ලිමේන්තුවට පත්ව ඇත්තේ රට දේශපාලනිකව, ආර්ථික සහ සාමාජයීය වශයෙන් ස්ථාවරව පවත්වා ගෙනයෑම සඳහා පත්වන මහජන නියෝජිතයින් ලෙස බැවිනි. යම් ආණ්ඩුවක් වැරදි ආර්ථික හා දේශපාලනික වැඩපිළිවෙළක රට රැගෙන යමින් තිබේ නම් ඊට විරුද්ධව ජනතාව දැනුවත් කිරීම, ජනතාව පෙළ ගැස්සවීම මෙන්ම, රට ස්ථාවර කරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමද වගකිව යුතු විපක්ෂයක කාර්යභාරය බව දියුණු යැයි සම්මත රටවල් දෙස බැලීමෙන් පෙනී යයි. මේ මොහොතේදී පවතින රජය සම්බන්ධව රට තුළ දැඩි විරෝධයක් පැන නැගී ඇත. එමෙන්ම විපක්ෂය සම්බන්ධයෙන් ද ජනතාවගේ පැහැදීමක් ඇති බව පෙනෙන්නට නැත. ජනතා මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සියලුදෙනාම වැඩක් නැත යන සංකල්පයයි. ඒ තුළ මතු වූ ජනතා පීඩනය පුද්ගල නායකත්වයක් වටා එකතු වෙනවා වෙනුවට යම් තේමාවක් වටා එකතු වෙමින් සමස්ත දේශපාලන ක්‍රියාවලියට සිය විරෝධය දක්වමින් සිටීයි.

 එම සමස්ත රටේ පවතින විරෝධයේ පිළිබිඹුවක් ගෝල්ෆේස් අරගල භූමිය තුළින් ප්‍රදර්ශනය කර ඇත.

 ගෝල්ෆේස් අරගලය ආරම්භ වී මසකට ආසන්න කාලයක් ගත වී ඇත. රටේ ප්‍රධාන පුරවැසියාට සිය කාර්යාලයට යෑමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. නමුත් පවතින දැඩි අර්බුදය හමුවේ පවා රජය හා විපක්ෂය සමස්තයක් ලෙස දේශපාලන ගේම් ගසමින් සිටියි. රජය පවතින විරෝධය මර්දනයෙන් යටපත් කිරීමට වරෙක උත්සහා දරන අතර ඊට හදිසි නීතිය, කඳුළු ගෑස්, වෙඩි උණ්ඩ නිර්ලජ්ජිත ලෙස පාවිච්චි කරන අතර තවත් වරෙක හිටපු කැබිනට්ටුව වෙනුවට තවත් කැබිනට්ටුවක් පත්කර ගැනීම, විවිධ ව්‍යවස්ථා සංශෝධන ගෙන එන බව ප්‍රකාශ කිරීම, තමාගේ දේශපාලන බලය පිළිබඳව පාරම්බාමින් බලය පවත්වා ගැනීම වැනි උප්පරවැට්ටි යොදමින් සිටියි. ඒ අතර විපක්ෂය විකල්ප වැඩපිළිවෙළක් තුළින් රට ස්ථාවර කිරීම සඳහා කටයුතු කරනවා වෙනුවට මැතිවරණ ඉල්ලමින්, පාගමන් යමින්, විශ්වාසභංග ගෙන එන බව පවසමින් හුදු දේශපාලන සූදුවක යෙදෙනවා විනා පවතින අර්බුදයට විසඳුම් දීම සඳහා වැඩපිළිවෙළක් මේ වනතුරුත් යෝජනා කර නැත.

 රට ස්ථාවර කරමින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීම වෙනුවට තමා තමන්ගේ දේශපාලන අනාගතයන් පවත්වා ගෙනයන්නේ කෙසේද යන්න පමණක් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ එකම උවමනාව බවට පත් වී ඇත. මේ සියලුම දේශපාලනඥයින් තේරුම් ගත යුතුව ඇත්තේ ගෝල්ෆේස් අරගල භූමියේ නොසිටිය ද සමස්ත රටේ ජනතාවගේ හැඟීම පවතින දේශපාලන ක්‍රමය තුළ සියලුම දේශපාලනඥයින් රට, රටේ ජනතාව ගැන සිතනවා වෙනුවට තම තමන්ගේ අනාගතය ගැන කටයුතු කරන පිරිසක් බවය.

 ඔවුන් තවදුරටත් මෙම මතය සනාථ කරමින් අරගලය ආරම්භ වී මාසයක් ගතවන මොහොතේ පාර්ලිමේන්තුව කිහිප වරක් රැස් වුවත් රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරභාවයට විසඳුමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම තුළින් පෙන්වා දී ඇත.

 රට පවතින තත්ත්වයෙන් මුදා ගන්නවාට වඩා තම තමන්ගේ දේශපාලන පැවැත්ම වැදගත් බව ඔවුන් යළි යළිත් පසක් කරමින් සිටියි. මේ තත්ත්වය දිගටම පවතින්නේ නම් ජනතාව තුළ පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය නැත්තටම නැති වනු ඇත. එම පාර්ලිමේන්තුව විසින් සාදන නීතිවලට ඔවුන් අවනත නොවුණු ඇත. එවන් තත්ත්වයකදී අර්බුදය කළමනාකරණය කිරීම ඉතාමත් බැරෑරුම් බව සියලුම දේශපාලනඥයින් විසින් තේරුම් ගත යුතු බව අපගේ අදහසයි.

 ජනතා අරගලය තුළින් මතු වී ඇති වර්තමාන පාලකයන් පාලනයෙන් ඉවත් වීම, රට ස්ථාවර කිරීම සඳහා යාන්ත්‍රණයක් ඇති කිරීම නිශ්චිත කාලසීමාවක් තුළ ස්ථාවර වූ රටක ප්‍රජාතන්ත්‍රවාදීව පාලකයින් පත්කර ගැනීම කළ යුතුය. එම අනාගත පාලකයින්ගේ අවම ප්‍රමිතියක්, වගකීම් වගවීම සහිත භාවය, විගණනයට ලක් වීම මෙන්ම වාර්ෂිකව ප්‍රගති සමාලෝචනය මෙන්ම නීතිය ආධිපත්‍ය හා ජාතික සම්පත් සුරක්ෂිත කිරීම සඳහා ව්‍යවස්ථාපිතව පාර්ලිමේන්තුව විසින් අනුමත කළ රෙගුලාසි පද්ධතියක් ඇති කිරීම ජනතා අභිලාෂය වී ඇත. එම අභිලාෂයන් මුදුන් පත්වනතුරු ජනතා අරගලය නොනවතිනු ඇත.

 වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීමට සඳහා තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් රට ආර්ථිකය හා දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වන අතර ඒ සඳහා නායකත්වය දීමට රට පිළිගත් විශ්වසනීය නායකත්වයක් නොමැති වී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි.

 මේ තත්ත්වය නිසා අර්බුදය දික්ගැස්සෙමින් ප්‍රපාතයට යෑම වැලැක්වීමට වර්තමාන පාර්ලිමේන්තුව අසමත්ව තිබේ. එබැවින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා විශ්වසනීය නායකත්වයක් රටට ඕනෑකර තිබේ.

 ජාතික වැඩපිළිවෙළක නායකත්වය තුළින් රට දිනවමු.

ජනමතය තුළින් බිහි වූ අරගලය හා ජාතික වැඩපිළිවෙළක නායකත්වයක අවශ්‍යතාවය - ● පෙරඹර


වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment