● රුපියලේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව මෙන්ම වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන දෛනික විනිමය අනුපාත අගයන් අනුව ද රුපියලේ අගය වේගයෙන් පිරිහෙමින් තිබේ. 2022 මාර්තු 07 වැනිදා රුපියල පා කිරීමට මහ බැංකුව හදිසියේම ගත් තීරණයත් සමග මෙසේ දිගින් දිගටම රුපියල පිරිහෙමින් තිබේ. මේ අනුව පසුගිය මාර්තු 07 වැනිදා රු.203 ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා වන විට රු.340 ක් දක්වා රු.137 කින් පමණ විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගයන් වාර්තා වන්නේ ඊටත් වඩා වැඩි අගයන් ගෙනි. මේ රුපියලේ වේගවත් පිරිහීම තවදුරටත් සිදු වෙමින් ද තිබේ. මෙය කවදා නතර වෙනු ඇති ද යන්න ගැන ඇත්තේ ද තවමත් ඉතා අවිනිශ්චිත තත්ත්වයකි.
● තෙල් මිල
දැන් මේ වැඩිවෙන ඩොලර් අනුපාතය අනුව තෙල් සහ ගෑස් ඇතුළු අපගේ අත්‍යවශ්‍ය ආනයනවල මිල ගණන් ගණනය කළ විට ඒ හැමදෙයක්ම විශාල මිල වැඩි වීමකට ලක් වේ. තෙල් මිල ජනයාට දරාගත නොහැකි අති විශාල අගයන්ගෙන් වැඩි වී ඇත. මෙසේ තෙල් මිල වැඩි වීමෙන් ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් සියලුම භාණ්ඩ හා සේවාවල මිල වැඩි වේ. ඒ අනුව තෙල් මිල දිගින් දිගටම වැඩි වීමෙන් ඒ වැඩිවෙන සෑම වාරයක් පාසාම තවත් වටයකින් භාණ්ඩ මිල වැඩි වීමක් සිදු වේ. එසේම ඩොලර් අනුපාතය ද මේ දිනවල දිනපතාම පාහේ විශාල අගයන්ගෙන් වැඩි වෙමින් පවතින නිසා එම නව ඩොලර් අනුපාතය අනුව ආනයනික භාණ්ඩ මිල ගණන් ද දිනපතාම පාහේ වැඩි වීමකට ලක් වේ. මේ තත්ත්වය හමුවේ භාණ්ඩ මිල අහස උසට යමින් තිබෙන අතර ජනයාගේ ජීවත් වීමේ ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වෙමින් තිබේ.
ආණ්ඩුව අලුත් ඇමැති මණ්ඩලයක් පත් කර එදිනම රාත්‍රියේ අති විශාල ඉන්ධන මිල වැඩි වීමක් කළේය. ආණ්ඩුවේ තෙල් සංස්ථාව 92 පෙට්‍රල් ලීටරයක් රු.84 කින් වැඩි කළේය. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් අද රු.338 කි. එසේම ඩීසල් ලීටරයක මිල රු.75 කින් වැඩි කළේය. ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රු.329 කි. මේවා එකවර දරාගැනීමට අපහසු අති විශාල මිල වැඩි කිරීම්ය. නව ඇමැති මණ්ඩලය පත්කර දිනක්වත් ගත වෙන්නට මත්තෙන් එදිනම රාත්‍රියේ ආණ්ඩුව මේ විශාල තෙල් මිල වැඩි කිරීම සිදු කළේය. ඒ නිසා ජනතාව තවත් කෝපයට පත්ව සිටී.
● ජනතා ප්‍රශ්න
ජනයා කිසිවිටෙකත් අලුත් ඇමැති මණ්ඩලයක් ඉල්ලා සිටියේ නැත. ඇමැති මණ්ඩලයේ සිටි බොහෝ දෙනෙක්ගෙන් වැඩක් නැති බව වෙනම කතාවකි. එහෙත් ජනතාවට අවශ්‍ය වන්නේ ඔවුන් මුහුණ දී සිටින දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ය. එහෙත් මේ ආණ්ඩුව පත් වී වසර දෙකකුත් මාස හතරක් ගත වී තිබුණත් පැවති ප්‍රශ්න වර්ධනය වීමක් මිස ඒවා සමනය වීමක් සිදුව නැත. ඒ ප්‍රශ්න විසඳා ජනයාට සහනයක් ලබා දිය යුතු බවට හැඟීමක් හෝ තිබෙන බවක් අපට දැනුණේ නැත. ඇතැම් ඇමැතිවරු ජනයාගේ ප්‍රශ්න හමුවේ ලොකු දේශපාලන පම්පෝරි කතා කියමින් සිටියේය. ජනාධිපතිවරයා පවා මුල දී කීවේ ‘අපි තමයි හොඳටම කෙරුවෙ’ කියාය. ඒ හොඳටම කෙරිල්ලේ රඟ දැන් පැහැදිලිය. එසේ නම් දැන් ජනාධිපතිවරයා කියන්නේ කුමක් ද? ඔහු පසුගියදා අලුත් ඇමැති මණ්ඩලය පත් කිරීමෙන් පසු කළ කතාවේ දී මෙසේ කීවේය.
‘පසුගිය වර්ෂ දෙකහමාර තුළ අපට විශාල අභියෝග තිබුණා. කොවිඩ් වසංගතය, ඒ වගේම ණය බර වැනි දේවල්. අපෙන් අතපසුවීම් සිදු වුණා. ඒවා නිවැරැදි කර ගන්න ඕන. ඒවා නිවැරැදි කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕන. ජනතාවගේ විශ්වාසය නැවත දිනාගන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් කියලා මම හිතනවා. අපි ඒවා නැවත ලබා දෙන්න ක්‍රියා කර තිබෙනවා. මේ ආර්ථික අර්බුදය නිසා මතු වූ ගැටලු රාශියකින් අද ජනතාව පීඩනයට පත්ව තිබෙනවා. ඒ ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. ජීවන වියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව, අසහනය හා කෝපය ඉතාමත් සාධාරණයි.’
● ජනපතිගේ පාපොච්චාරණය
මේ කතාවේ දී ‘අපෙන් අතපසුවීම් සිදු වුණා. ඒවා නිවැරැදි කර ගන්න ඕන’ බව පැහැදිලිවම ජනාධිපතිවරයා පිළිගෙන ඇත. එහෙත් මේ කියන අතපසුවීම් නිසා සමස්ත ජනයා අද විඳවමින් සිටින බවත් එම තත්ත්වයට සෘජුවම ජනාධිපතිවරයා වගකිව යුතු බවත් කනගාටුවෙන් වුවත් කීමට සිදු වේ. ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බවත් ඔහු පිළිගනී. ඒ නිසාම 69 ලක්ෂයේ ජනවරම ගැන තවදුරටත් කතා කිරීමෙන් දැන් ඵලක් නැත. ඒ ජනතා කැමැත්ත මේ මොහොතේ රජයත් සමග නැති බව ප්‍රමාද වී හෝ තේරුම් ගෙන තිබීම ද හොඳ දෙයකි. මේ ආණ්ඩුවට ඡන්දය දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මේ රජය කෙරෙහි ඉමහත් විශ්වාසය තැබූ ජනයා ද දැන් ඉමහත් පීඩාවට පත්ව මේ රජයට දොස් කියමින් සිටින බව රහසක් නොවේ. මේ නිසා ජනයා මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වය හමුවේ රජයට එරෙහිව රට පුරාම ජනතා විරෝධය වර්ධනය වෙමින් තිබේ. මේ විරෝධතා කරන අය ද තමන් මෙන්ම පීඩාවට පත්ව සිටින අනෙකුත් ජනයා පීඩාවට පත් නොකිරීමට ද වගබලා ගත යුතුය. එසේම රජයට තම විරෝධය පළ කළත් වෙනත් පෞද්ගලික දේපොළ හෝ පොදු දේපොළ විනාශ කිරීමෙන් වැළකී එම විරෝධය පළ කළ යුතු වේ. එසේම පාරවල් වසා විරෝධය පළ කිරීමෙන් වන්නේ ද සෙසු ජනයා පීඩාවට පත් වීමයි. එවැනි ක්‍රියා නිසා වන්නේ තමා මෙන්ම පීඩාවට පත්ව සිටින සෙසු රටවැසියා තවත් පීඩාවට පත් කිරීමයි.
● අයිඑම්එෆ් යාමට ප්‍රමාද වීම
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට මීට පෙර යන්න තිබුණු බව ද දැන් ජනාධිපතිවරයා කියයි. එසේ නම් නිසි කලට වෙලාවට අයිඑම්එෆ් නොගියේ ඇයි? එය වැළැක්වූයේ කවු ද? එම නිලධාරීන් කවු ද? අප නම් විශ්වාස කරනුයේ අප මීට පෙර අයිඑම්එෆ් ගියා නම් සහ විදේශ සංචිතයේ ඩොලර් විකුණමින් අපේ රුපියල රු.203 ක අගයේ මහ බැංකුව විසින් දිගටම තබා ගත්තේ නැත්නම් මේ විදේශ විනිමය අර්බුදය මෙතරම් දුරට නරක තත්ත්වයට වර්ධනය නොවන බවයි. රජය අනුගමනය කළ වැරදි පිළිවෙත් නිසා සිදු වූයේ අවසානයේ ඉතිහාසයේ පළමු වරට ණය ගෙවාගත නොහැකි බංකොලොත් රටක් බව අපටම ලෝකයට ප්‍රකාශ කිරීමට සිදු වීමයි. එසේම බංකොලොත් රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටීමට අපට සිදු වීමයි. මේ නිසාම මූල්‍ය අරමුදලට පවා අපට එක්වරම මූල්‍ය සහාය ලබා දිය නොහැකි තත්ත්වයක් අප විසින් නිර්මාණය කරගෙන තිබේ. මේ නිසා අපට මුලින්ම අපගේ තිරසාර නොවන තත්ත්වයට පත්ව ඇති විදේශ ණය තත්ත්වය තිරසාර තත්ත්වයට පත් කර ගැනීමට සිදුවේ. දැන් රජය හදන්නේ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා එම ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමටය. ඒ සඳහා ද කිසියම් කාලයක් ගත වනු ඇත. අයිඑම්එෆ් නොයා මේ ප්‍රශ්නය සමනය කර ගැනීමට සමත් දේශීය විකල්ප වැඩසටහනක් අපට නොතිබූ අතර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2021 ඔක්තෝබර් 01 වැනිදා ඉදිරිපත් කළ වැඩසටහන සාර්ථක වූයේ ද නැත. මේ නිසා අප ගමන් කරමින් සිටියේ නොකියාම විදේශ ණය පැහැර හැරීමට සිදුවන භයානක තත්ත්වයක් කරාය. එහෙත් මිරිහානේ ජනතා විරෝධතාවට පිංසිදු වෙන්නට ආණ්ඩුවේ බොහෝ වෙනස්කම් සිදු විය. අවසානයේ අගමැතිවරයා සිටියදී මුළු අමාත්‍ය මණ්ඩලයම ඉවත් කෙරිණි. මේ නිසා මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඒ වෙනුවට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කෙරිණි. ඒ සමගම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ද පත් විය. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වී තිබේ.
මේ ආණ්ඩුවේ පාලනය යටතේ මෙතරම් කල් ජනයා දිනෙන් දිනම විශාල පීඩනයකට පත් වෙමින් සිටියත් රජයේ බලධාරීන් ඒවා ගත්තේ සැහැල්ලුවෙනි. එසේම නිසි තීන්දු තීරණ නිසි වෙලාවේ නොගැනීමත්, ගත් ඇතැම් වැරදි තීරණ නිසාත් අද සිදුව ඇත්තේ ඒ ආර්ථික ප්‍රශ්න විශාල දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වීමයි. මේ තුළ රට පුරාම විරෝධතා රැල්ලක් නිර්මාණය වී ඇති අතර එම විරෝධතාවල ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ ‘ගෝ ගෝඨා ගෝ හෝම්’ යන්නයි. මේ වන විට නව මහ බැංකු අධිපතිවරයා පැමිණීමෙන් පසු ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියත් මේ දේශපාලන අර්බුදය කෙසේ විසඳාගත හැකි වේද යන්න පැහැදිලි නැත. නව මහ බැංකු අධිපතිවරයාම කියන පරිදි ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ද දේශපාලන ස්ථාවරත්වය සහ සමාජ ස්ථාවරත්වය අත්‍යවශ්‍ය වේ. මේ නිසා ආර්ථික අගාධයෙන් ගොඩ එනවා ද? එසේ නැතහොත් තවත් ආර්ථික අගාධයේ පතුළට ගමන් කරනවා ද? මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් ආණ්ඩු පක්ෂයට, විපක්ෂයේ දේශපාලන පක්ෂවලට මෙන්ම පොදු මහජනතාවට ද තිබේ. ඒ නිසා මේ සියලු දෙනාම මේ තීරණාත්මක අවස්ථාවේ ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබේ.
● මූල්‍ය අරමුදලේ සාකච්ඡා
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සමග අපගේ මුදල් ඇමැති අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත පිරිස සාකච්ඡා පවත්වා ඇත. එහිදී අපට මූල්‍ය අරමුදලින් සුබදායී ප්‍රතිචාර ලැබී ඇත. එය සතුටුදායක කරුණකි. එසේම අපගේ නියෝජිතයන් ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මිය ද හමු වී සාකච්ඡා පවත්වා ඇත. එහි දී අපගේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඉන්දියාවේ උපරිම සහාය ද අපට ලබාදෙන බවට ඇය සහතික වී ඇත. එසේම ඉන්දියාවේ නියෝජිත පිරිස හමු වූ විට ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට ඉන්දියාව ලබා දෙන සහය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවාගේ ප්‍රසාදය ද ඉන්දියාවට පළ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් අඛණ්ඩව ශ්‍රී ලංකාව සමඟ සක්‍රීයව කටයුතු කරන බව ද ඇය ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියට සහතික විය. ජෝර්ජියේවා මහත්මිය මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වොෂිංටන්හිදී අමාත්‍ය සීතාරාමන් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවේ දී ය. මෑත කාලීන භූ දේශපාලනික වර්ධනයන් මෙන්ම එම වෙනස්කම් ගෝලීය ආර්ථිකයට සිදු කරන බලපෑම සහ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සම්බන්ධ අභියෝගයන් ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත. වොෂිංටනයේ රැස්වීම් සහ සාකච්ඡා අවසන් වූ පසුව ඉන්දියානු මුදල් අමාත්‍ය සීතාරාමන් මහත්මිය අප්‍රේල් 24 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ බලා පිටත්ව යනු ඇති අතර එහිදී ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් මෙන්ම ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ සාකච්ඡාවල නිරත වීමෙන් පසු ඇය අප්‍රේල් 27 වැනි දින නැවතත් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
● අයිඑම්එෆ් මූල්‍ය පහසුකමක් ලැබේද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂිත ණය වැඩසටහනක් පිළිබඳව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා මූලික අදියරේ පවතින අතර ඕනෑම ගනුදෙනුවක් සඳහා දිවයිනේ ණය තිරසාර මාවතකට ගෙන යා හැකි බවට “ප්‍රමාණවත් සහතිකයක්” අවශ්‍ය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. රොයිටර් පුවත් සේවය වෙත විද්‍යුත් තැපෑලෙන් ප්‍රකාශයක් කරමින් මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි පවසා ඇත්තේ අයිඑම්එෆ් කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අඟහරුවාදා (19) ශ්‍රී ලංකා නියෝජිත පිරිසත් සමඟ ණය දීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසාර වර්ධන මාවතකට ආපසු ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු බව ද නොසාකි පවසා ඇත.
● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
|