ජනවාරි 7 ලස්සන හැන්දෑවක් නිර්මාණය කරනවා – කාංචනමාලා රණසිංහ

230

සියල්ලෝ, සියල්ලට දක්ෂ වන්නෝ නොවෙති. එනමුත් ඇය, ඇය තෝරාගත් වෛද්‍ය ක්ෂේත්‍රයට මෙන්ම තම මවගෙන් සහ පියාගෙන් උරුම වූ රංගනයට, ගායනයට ආදී සියල්ලට සමත්කම් ඇත්තියකි. කාංචනමාලා රණසිංහ වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරියකි. ඇය, දශක තුනකට අධික කාලයක් තම මව වේදිකාව මත පණ දුන් ලාංකීය වේදිකාවේ නොමැකෙන සලකුණ වූ සිංහබාහු වේදිකා නාට්‍යයේ සුප්පාදේවියගේ චරිතය නිරූපණය කරන්නට තරම් වාසනාවන්ත විය. සුමිහිරි හඬ සහ ගායන හැකියාව ඒ වාසනා මහිමයෙන් ඇය ලද තවත් ත්‍යාගයකි. නව වසරේ පළමු මස 7 වැනිදාට යෙදෙන “සඳ පහන් රෑ’ කාංචනමාලා රණසිංහගේ සුමියුරු හඬින් හැඩවන ප්‍රථම සංගීත සැන්දෑවයි.

● ඔබ කලාවට යොමුවුණේ කවර කාලයකදී ද?

ජනවාරි 7 ලස්සන හැන්දෑවක් නිර්මාණය කරනවා - කාංචනමාලා රණසිංහ

මම පුංචි කාලේ ඉඳන් නාට්‍යවලට සංගීතයට ගොඩක් ආසයි. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අවධියේදීත් කලා කටයුතු වලට සම්බන්ධ වුණා. සමුද්‍රදේවි නාට්‍යයේ රඟපෑම් වෙනුවෙන් සමස්ත ලංකා ජාතික පාසල් නාට්‍ය තරඟාවලියේ දිවයිනේ හොඳම නිළිය සම්මානය මට ලැබුණා.

● ඔබ වෘත්තියෙන් වෛද්‍යවරියක් ?

වෛද්‍ය වෘත්තීය නිසා ජීවිතය වෙනම මාර්ගයක ගලාගෙන ගියත් කලාවට තිබුණු ආසාව හැමදාම හදවතේ තිබුණා. 2017 දී පළමු වතාවට නයනසේන වන්නිනායක ප්‍රවීණ ගීත පද රචකයා මට ආරාධනා කළා ගව්ගණන් දුර කියන ගීතය ගායනා කරන්න. එහි සංගීතය දර්ශන වික්‍රමතුංගගේ.

ජනවාරි 7 ලස්සන හැන්දෑවක් නිර්මාණය කරනවා - කාංචනමාලා රණසිංහ

● ඔබේ මව මාලිනි රණසිංහයන් ලාංකීය වේදිකාවේ සුවිශේෂී චරිතයක් ?

ඔව්. ඇය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍යයේ සුප්පාදේවි චරිතය වසර 31ක් තිස්සේ නිරූපණය කළා. මගේ තාත්තා එහි පොතේගුරු ලෙස නාට්‍යයට සම්බන්ධ වුණා. ඔවුන් නොකඩවා දර්ශන වාර 5000 ට වැඩිය ප්‍රමාණයක් රඟපාමින් දීර්ඝතම කාලයක් එකම චරිතය රඟපෑ යුවළ ලෙස ඉතිහාසගත වෙනවා. ඉතිං මගේ හිතෙත් තිබ්බ කාටවත් නොකියපු ලොකු හීනයක් තමයි අම්මා කළ ඒ චරිතය වේදිකාවේ නිරූපණය කරන එක. 2019 වසරේදී පළමු වතාවට මගේ ඒ හීනය හැබෑ වෙනවා. සුප්පා දේවියගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබීමත් සමග. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ මගේ පළමු දර්ශනය ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගේ ආශිර්වාදය ඇතුව එවර මා සහභාගී වෙද්දී ඇය මා වෙනුවෙන් බොහෝ සේ මහන්සි වුණා. ඒ නිසාම 2019 ඉඳන් දර්ශන වාර කිහිපයකදීම සුප්පාදේවි චරිතය රඟපාන්න මට වාසනාව උදාවුණා. නමුත් කොරෝනා තත්ත්වයත් සමග එය මගහැරී ගියත් දැන් ආයෙත් ආසාවෙන් බලාගෙන ඉන්නවා නාට්‍යයට සම්බන්ධ වෙන්න.

ජනවාරි 7 ලස්සන හැන්දෑවක් නිර්මාණය කරනවා - කාංචනමාලා රණසිංහ

● ඔබ මේ වෙද්දී වෙනත් රටක පදිංචිකාරිණියක් ?

මම උසස් පෙළින් පස්සේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඉගෙන ගෙන වෛද්‍යවරියක් හැටියට මහනුවර රෝහලේ සේවය කළා. ඒ වගේම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් හැටියට සේවය කළා. ඒ අතර 2005 වසරේදී ඔස්ටේ්‍රලියාවට යන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. මෙහිදී විශේෂඥ වෛද්‍ය උපාධි 3 ක් සඳහා මම ඉගෙන ගත්තා. ඒ නිසා විශේෂඥ වෛද්‍ය උපාධි තුනක් දැන් මට තියෙනවා. ඊට අමතරව දර්ශන උපාධියක් තියෙනවා. ඉතිං දැනට මම හදිසි ප්‍රතිකාර සහ පවුල් වෛද්‍ය විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් විදිහට කටයුතු කරනවා වගේම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කරනවා.

●“සඳ පහන් රෑ” ඔබේ ගීත ප්‍රසංගය ගැන කතා කළොත් ?

කොරෝනා කාලයේ නව ගීත 17 ක් පමණ එකතුවෙලා තිබුණා. ඒවායේ තනු නිර්මාණය කරලා අපි බලාගෙන හිටියා ආපහු රෙකෝඩ් කරන්න පුළුවන් වෙනකන්. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ ලංකාවට ඇවිල්ලා මං ඒ සියලුම ගීත රෙකෝඩ් කළා. එතැනදී ඒ වටා හිටපු ශිල්පීන්ගේ අදහසක් අනුව තමයි මේ සංගීත සැන්දෑව නිර්මාණය වෙන්නේ. සඳ පහන් රෑ නාලක අංජන කුමාරත් මමත් ගායනා කරන යුග ගීතයක්. මේ ගීතය ලිව්වෙත් ප්‍රසංගයට මේ නම දැම්මෙත් ප්‍රවීණ ගී පද රචක සුනිල් ආර්. ගමගේ. ලූෂන් බුලත්සිංහල, බන්දුල නානායක්කාරවසම්, රත්න ශ්‍රී විජේසිංහ, යමුනා මාලිනි, නාරද විජේසූරිය, සුජිත් ප්‍රසංග, නයනසේන වන්නිනායක, ජයමාලි චරිකා, තුෂාරි බෝඹුවල ගීත රචනයෙන් සහ සංගීතයෙන් දර්ශන වික්‍රමතුංග, සමන්ත පෙරේරා, නාලක අංජන කුමාර සහ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන්. කථනය සඳහා විශේෂයෙන් ජර්මනියේ සිට පැමිණෙනවා නාරද විජේසූරිය. මට ප්‍රසංගයට එන්න වෙන්නේ අන්තිම මොහොතේ වුණත් ජූඩ් ශ්‍රීමාල් මහතා පුදුමාකාර මහන්සියක් අරගෙන ප්‍රසංගයේ වැඩකටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඒ වගේම ප්‍රසන්නජිත් අබේසූරිය, අමිත්ත වීරසිංහ, බුද්ධදාස ගලප්පත්ති, නාරද අමරතුංග, උදේනි අල්විස්, උපුල් මහානාම, සංජය හේමසිරි, තුෂාර, දිනන්ජ, සුමේද, සුමුදු මේ හැමෝම විශාල වෙහෙසක් දරනවා ප්‍රසංගය සඳහා. මහින්ද බණ්ඩාර, නිහාල් පෙරේරා, ධනංජ සෝමසිරි වගේ ප්‍රවීණයන්ගෙන් සමන්විත 15 දෙනෙකුගෙන් සමන්විත වාදක මඬුල්ලක් සංගීත දායකත්වය ලබාදෙනවා. නර්තන නිර්මාණයේ යෙදෙන්නේ මගේ පන්තියේ මාත් එක්ක ඉගෙන ගත්ත ස්වර්ණමාලි සහ ඇගේ සැමියා ගීත් ප්‍රේමචන්ද්‍ර. ඔවුන් චිත්‍රසේන නැටුම් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන්. අපි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා ජනවාරි 7 දා ලස්සන සැන්දෑවක් නිර්මාණය කරන්න. ඉතිං එදා හවස 7 වෙද්දී ලයනල් වෙන්ඩ්ට් රඟහලට හැමෝටම ආරාධනා කරනවා මගේ මේ කුළුඳුල් ගීත ඉදිරිපත් කිරීම සඳහා.

● යුගන්ති යශෝදරා


advertistmentadvertistment