ජන්මය ලබා අදට වසර 110 ක් පිරෙන – හිටපු අගමැති ඩඞ්ලි සේනානායක

173

වර්ෂ 1911 ජුනි මස 19 වැනි දින මීරිගම බෝතලේ සේනානායක වලව්වේදී උපත ලද ඩඞ්ලි සේනානායක මහතා ඞී.එස්. සේනානායක ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයාගේ සහ මොලී දුණුවිල කුමාරිහාමි මැතිනියගේ පවුලේ දෙටු පුත‍්‍ර රත්නය විය. තනතුරු ගරු නම්බු නාම පසුපස නොගිය ඩඞ්ලි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක නායකයකු විය. එංගලන්ත ආණ්ඩුව මගින් පිරිනමනු ලබන මහාමාන්‍ය ගරු නාම සම්මුතිය ඩඞ්ලිට පිරිනමන්නට තීරණය කළ බව දැන් වූ විට, ඩඞ්ලි ඔවුන්ගෙන් ඇසුවේ මේ මහාමාන්‍ය ගරු නාමය පිරිනැමූ විට එය බාර නොගෙන ප‍්‍රතික්ෂේප කළ අයත් සිටිනවාද යනුවෙනි. එවිට එංගලන්තයෙන් ලැබුණු පිළිතුර වූයේ ඔව් එක් අයෙක් පමණක් සිටිනවා. ඔහු ඉන්දීය අගමැති ශ‍්‍රී නේරු බව ද ඩඞ්ලිට දැන්වූයේය. එවිට ඩඞ්ලි දුන් පිළිතුර වූයේ ඔව් මමත් කැමතියි ශ‍්‍රී නේරු අනුගමනය කරන්න. මට මහාමාන්‍ය ගරු නාමය අනවශ්‍ය බව ඩඞ්ලිගේ පිළිතුර විය. එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ මරණයෙන් පසු පක්ෂ නායකත්වය ගැනීමට සිටි සී.පී. ද සිල්වා සභානායකවරයා ද රෝගාතුරව එංගලන්තයේ රෝහලක සිටින විට අගමැති පදවිය හිමි වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකුවත් නොවුණු ගාල්ලේ විජයානන්ද දහනායක මහතා හටය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ පක්ෂයට නායකයෙක් පත් කරගෙන අගමැති පදවිය යළි ලබා ගන්න සුදුසු අය යෝජනා කරගෙන විවිධ පුද්ගලයන් හමුවිය. එක් අයෙකු වූයේ හිටපු අගමැතිවරයෙකු වූ ඩඞ්ලි සේනානායක මහතාය. ඩඞ්ලිව හමු වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බාරගෙන අගමැති පදවිය බාර ගන්නැයි ඩඞ්ලිට ආයාචනා කළහ. එවිට ඩඞ්ලි දේශපාලනයෙන් විශ‍්‍රාමගෙන සිටින කාලයක් විය. නමුත් ඩඞ්ලි එම ඉල්ලීම බාර නොගත්හ.

ඩඞ්ලි සේනානායක මහතා මුලින්ම මැති සබයට පිවිසයේ 1936 වර්ෂයේ පැවැති රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණයෙන් දැදිගම ආසනය දිනා දැදිගම රාජ්‍ය මන්ත‍්‍රීවරයා වශයෙනි. එවිට ඩඞ්ලිගේ වයස අවුරුදු 25 කි. කීර්තිමත් දේශපාලකයෙකු වූ එන්.එච්. කීර්තිරත්න මහතා වැඩි ඡන්ද 8299 කින් පරදවා ඡන්ද 17,045ක් ලබා ගත් ඩඞ්ලි රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ළාබාලතම මන්ත‍්‍රීවරයා විය.

1936 සිට 1970 දක්වා පැවැති, 1955 මහ මැතිවරණය හැර සියලූම මැතිවරණවලට ඉදිරිපත් වූ ඩඞ්ලි අපරාජිත මන්ත‍්‍රීවරයකු විය. ඔහුගේ මැති සභා කාලය වසර 33 කි. මෙම කාලය තුළ සිව් වරක්ම අගමැති ධුරය හෙබවූ ඩඞ්ලි 1960 ජූලි මස සිට 1965 මාර්තු මාසය දක්වා වසර 4 ක් පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයා ද විය.

1947 දී ඞී.එස්.සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ රජයේ ගොවිකම් ඇමැති පදවියට පත් වූ ඩඞ්ලි මෙරට සිය පියා මෙන්ම ගොවිතැනට ආදරය කළේ මවා පෑමකට නොව මුළු හදවතින්මය. ඔහු ගල්ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා නිම කළ අතර, මහවැලිය උතුරට හැරවීමේ මහා සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමට මුළු හදින්ම කැප විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනසම්මතවාදය හා මානුෂික නිදහස අගය කළ ඩඞ්ලි කිසි විටෙක බොරු පොරොන්දු දුන් නායකයෙකු නොවීය. ඔහු ජනතාව රවටා බලය ලබා ගන්නට කිසිවිටෙකත් කැමති නොවුණි. ඩඞ්ලි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ බෞද්ධ නායකයෙකු විය. තම පාලන කටයුතු සඳහා බම්බලපිටියේ වජිරාරාමාධිපති නාරද මා හිමියන්ගෙනුත්, හීනටියන ධම්මාලෝක මාහිමියන්ගෙනුත් නිබඳවම අවවාද අනුශාසනා ලබා ගත්හ. තම පියා මෙන්ම අටසිල් සමාදන් විය. අගමැති පදවිය, ධර්ම සමයේ අරලියගහ මන්දිරයට පිඬු සිඟා වඩින ස්වාමින්වහන්සේට සියතින්ම දානය පිදීමට ගියේ මහා බෞද්ධ උපාසකයකු ලෙසය. ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප‍්‍රධාන දායක සභාවේ සභාපති පදවිය හෙබවූ ඩඞ්ලි, සියම් අමරපුර දෙනිකායේ ගරුතර මහ හිමිවරුන්ගේ ගෞරවයට පාත‍්‍ර විය.

ඩඞ්ලි සේනානායක මහතාගේ අවමඟුල් උත්සවයේදී අමරපුර මහා නිකාය වෙනුවෙන් අනුශාසනාවක් කළ එකල අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර සභාපති පදවිය හෙබවූ අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් මෙසේ අනුශාසනා කර ඇත.

”දිවංගත සේනානායක මහතා මෙරටේ පහළ වූ සත් පුරුෂයන් අතර ශ්‍රේෂ්ඨ වීරයකු බවට පත් වී අවසානය. දුප්පතාගේ බඩගින්න නිවීම සඳහා ජනතාවට නොමිලේ සහල් සේරුවක් ලබා දුන් සේනානායක මහතා කවදාවත් බොරුවෙන් මහජනයා රවටා බලය ලබා ගන්නට උත්සාහ නොගත් නායකයෙකි. පසුගිය මහ මැතිවරණයේදී මහජනතාවට හාල් සේරු 2 ම ලබා දෙන බව ප‍්‍රකාශයට බලය ලබා ගන්නට එතුමාට හැකියාව තිබුණු නමුත් කිසිමදාක මහජනතාව බොරුවෙන් රවටන්න උත්සහ නොකළ නියම ජන නායකයෙකු යැයිද ප‍්‍රකාශ කර ඇති උන්වහන්සේ මෙසේද තවදුරටත් පවසා ඇත.

කිසිවිටකත් පරාජය ගැන කම්පා නොවුණු සේනානායක මහතා කොයිම පක්ෂයකටවත් අයුත්තක් නොකළ අතර කොටස් 20 ට බෙදී තිබුණු අමරපුර නිකාය එකතුකොට එක් මහ නායක කෙනෙකු තෝරා ගැනීමට හැකි වූයේ සේනානායක මහතාගේ බලවත් උත්සාහයක ප‍්‍රතිපලයක් වශයෙන් බවද බලංගොඩ මහා නා හිමියන් සඳහන් කර ඇත.

මුළු දිවියම අවිවාහකව ගත කළ මෙතුමාණන්ගෙන් තම හිතවතුන් හා ඥාතීන් විවාහයක් ගැන කතා කරන විට ඩඞ්ලි පැවසුවේ මා දැදිගම මනාලිය (ආසනය* සමග විවාහ වී සිටින බවයි. ඔහු දැදිගම අපරාජිත මන්ත‍්‍රීවරයා වශයෙන් දැදිගම එක දිගටම නියෝජනය කළ මැතිවරණ කොට්ඨාසය විය. ඩඞ්ලි වරක් රෝගාතුර වී විදේශීය රෝහලක නැවතී සිටියේය. ඔහු නැවතී සිටින වාට්ටුවේ රූපවාහිනී යන්ත‍්‍රයක් සවි කර තිබුණි. විවේක කාලයේ ඔහු රූපවාහිනිය නැරඹුවේ වෙන කළ යුතු දෙයක් නොමැති නිසාය. 1965 දී බලයට පත් වූ ඩඞ්ලිගේ රජයට ජපානයෙන් රූපවාහිනිය ලබා දෙන්නට ඉදිරිපත් විය. මොනවා ලැබුණත් අප රටට රූපවාහිනියක් නම් එපා යැයි ඩඞ්ලි දන්වා යැවූහ. බොහෝ දෙනා ලංකාවට ලැබෙන්න යන රූපවාහිනිය එපා කියන්නේ ඇයි දැයි ඩඞ්ලිගෙන් විමසූහ. ඩඞ්ලි එවිට ඔවුනට කීවේ මා රෝගාතුරව විදේශීය රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන විට එරට රූපවාහිනියෙන් විසුරුවා හරින දර්ශන දුටු විට ලංකාවට නම් රූපවාහිනියක් උවමනා නැති බව මට වැටහුණා. ලංකාවට රූපවාහිනී සේවයක් ලැබුණු දවසට අපේ රටේ සංස්කෘතිය, ජන ජීවිතය, අධ්‍යාපනය, දේශපාලනය, සදාචාරය මේ සියල්ලම විනාශ වී යනවා යැයි ඩඞ්ලි ප‍්‍රකාශ කළහ. අද එය කොතරම් සත්‍යය දැයි අපට වැටහෙනු ඇත.

ඩඞ්ලි විනෝදයට කැමති විය. ඔහු කොහේ ගියත් කරේ එල්ලාගෙන යන කැමරාව ඉවත් කළේ නැත. ඔහු විශාල කුඹුරු යායවල් ද, වන සතුන් ද, පාසල් දරුවන් ද, රුක් ගොමු ද, ගංගා ඇළ දොළ ද, දුප්පත් පොහොසත් දරු පවුල් ද සිය කැමරාවට හසුකර ගත්හ. ඩඞ්ලි මේ රටේ ගොවිකම් ඇමැති වශයෙන් අප රටට අර්තාපල් වගාව හඳුන්වා දුන්නේය. එය හාස්‍යයට ලක් කළේ විපක්ෂය හා ඇත්ත පුවත්පත ”ඩඞ්ලිගේ අලේ ජාතික පොළේ” යනුවෙනි. කන්දඋඩ රටටත් වැලිමඩ බණ්ඩාරවෙල ඇල්ල ආදී ප‍්‍රදේශවලත් ගොවියන් වගා කරනුයේ ඩඞ්ලි හඳුන්වා දුන් අර්තාපල් වගාවය. ඩඞ්ලි මහවැලිය සී.පී.ද සිල්වා සමග එකතුව උතුරට හරවන විට විපක්ෂය පැවසුවේ ලංකාව ලෝක බැංකුවට උකස් කරනවා කියාය. අද මහවැලි ගොවි ජනතාවට එම ආදායමෙන් සතයක් පොලියක් වශයෙන් හෝ කිසිම විදේශයකට නොගෙවන අතර ලැබුණු ආධාරවලට හිලව් වශයෙන් අපේ රටේ කිසිම බිම් අඟලක් වත් කිසිම ජල කඳුළක්වත් විදේශයකට නතු වී නැත. ඩඞ්ලිගේ තිබුණේ නිදහස් නිවහල් දැක්මකි.

1970 දී බොරුවලින් පිරුණු ඡුන්ද පොරොන්දුවලට රැුවටුණ ජනතාව ඩඞ්ලි ඇතුළු ජාතික රජය පරාජය කර දැමුවේ මුලාවේ අග මුල සොයා ගැනීමට නොහැකි වූ නිසාය. වසර දෙකක් ගෙවෙන විට ජනතාවට හතේ හත වැදී තිබුණි. ජනතාව ඩඞ්ලි සේනානායකගේ වුඞ්ලන්ඞ්ස් මන්දිරයටත් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොතටත් දිනපතාම පැමිණෙන්නට විය. ඩඞ්ලි සියලූ දෙනා එකතු කරගෙන නව ගමනකට මුල පිරුවේ ජේ.ආර්. ජයවර්ධන මහතාට විපක්ෂ නායක පදවිය පිරිනමමිනි.

ඩඞ්ලි සේනානායක ශ‍්‍රීමතාණනි අප ඔබගේ නාමයෙන් යළි මේ දේශය තුළ වැව, දාගැබ, ගම, පන්සල මුල් කරගත් ඒ ඉපැරණි සංවර්ධන මාවත යළි එළි පෙහෙළි කොට සියලූ ජාතීන් ආගමිකයන් සමග සුහදව සහයෝගයෙන් බෞද්ධ ආර්ථිකයකින් මේ දේශය ගොඩනගමින් යළි සේනානායක යුගයකට දේශය ගෙන යෑමට ප‍්‍රතිඥා දෙමින් ඔබතුමන්ගේ 110 වන ජන්ම සමරුව මහත් අභිමානයෙන් සිහිපත් කරමි.

වජිර අබේවර්ධන,
සභාපති – එක්සත් ජාතික පක්ෂය.

advertistmentadvertistment
advertistmentadvertistment