ජනාධිපතිතුමනි හාල් උදෙසා වෙනස් වෙමුද?

1096

www.numbeo.com වෙබ් අඩවියේ සඳහන් වන පරිදි සහල් පරිභෝජනය කරන රටවල් අතරින් මේ වසරේ නොවැම්බර් මාසය වන විට පවා ලංකාව ලෝකයේ අඩුම සහල් මිල ඇති රටවල් පහෙන් එකකි. එම ලෝක තත්ත්වය සැලකිල්ලට නොගෙන දැවන්ත මහජන විරෝධයක් රජයට එල්ල වෙමින් පවතින්නේ ඇයි? ඒ අන් කිසිවක් නොව, වී මිල වැඩි කිරීමට සහ සහල් මිල අඩු කිරීමට වාමවාදී දේශපාලන පක්ෂ ඉතිහාසය පුරා කරන ලද බලපෑමේ ප්‍රතිඵලය ලෙස හාල් මිල අඩුවෙන් ඉල්ලන පාරිභෝගිකයන් හා වී මිල වැඩියෙන් ඉල්ලන ගොවීන් සහිත රටක් නිර්මාණ වී තිබීමයි.

සහල් තවදුරටත් ශුද්ධ වූ දේශීය නිෂ්පාදනයක් නොවේ. එයට අවශ්‍ය පොහොර, කෘමිනාශක, වල්නාශක, ප්‍රවාහන කටයුතු, තෙල්, විදුලිය ආදී සමස්ථයට අයත් අංග ලෝකයේ විවිධ රටවල් ගණනාවක් හා අත්‍යවශ්‍ය ලෙසම බැඳී පවතියි. එම නිසා සහල් මේ ලංකා පොළොවේ වැවෙන ගෝලීය නිෂ්පාදනයකි. එම නිසා ‘බත් පිඟානේ සිට කට දක්වා ඇති දුර පරතරය අතර’ මොනවා හෝ වෙනස්කම් කිරීමෙන් හාල් ප්‍රශ්නය විසඳිය නොහැකි බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතුයි. එය එකිනෙකට සම්බන්ධ පද්ධතියක ගැටලුවක් ලෙස තේරුම් ගෙන ආකෘතියේ වෙනස්කම් ඇති කිරීමෙන් විසඳිය යුතු ප්‍රශ්නයකි.

රජය පත්වී මාස තුනක් ගියද සහල් පිළිබඳ දත්ත පද්ධතියක් ගොඩනඟා නැති නිසා වෙළෙඳුන් කියන දේ පිළිගැනීමට ජනාධිපතිවරයාට සිදුව ඇති බව පෙනෙන්නට තිබුණි. ‘මිලදී ගත් වී ප්‍රමාණ සහ අලෙවි කළ සහල් ප්‍රමාණය’ ගැන යාවත්කාලීන වන දත්ත පද්ධතියක් අතැ’තිව ජනාධිපතිවරයාට ඊළඟ මාස පහ අවසානයේදීවත් කතා කිරීමට හැකි විය යුතුයි. රජය ‘එළදෙනගේ’ ඉදිරි පස සේවා සපයන විට ඇගේ පසු භාගය වෙළෙඳුන්ට දෙන්නට සිදුවීම කනගාටු දායක නොවේද?

ඉතාමත් අසීරුවෙන් දත්ත තෝරා-බේරා ගත් විට ‘වී-හාල් ගණන් හිලව්’ මෙසේය. අවසන්වරට වී අස්වැන්න සඳහා වගා කළ බිම් ප්‍රමාණය සහ වී සඳහා පිරිවැය පිළිබඳ ඇති දත්ත මෙසේය. 2022/23 යල කන්නයේ පිළිබඳ රජයේ වාර්තා අනුව (www. doa.gov.lk) මහ කන්නයේදී හෙක්ටයාර් 748,027 ක් ද යල කන්නයේ හෙක්ටයාර් 368,906 ක් ද වශයෙන් කන්න දෙක පුරා හෙක්ටයාර් 1,116,933ක පමණ වී වගා කර ඇත. ‘කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම්, වාරිමාර්ග අමාත්‍යංශයේ’ වෙබ් අඩවියේ 05-09-2022 දින ප්‍රකාශයට පත් කළ දත්ත අනුව එකල නාඩු වී කිලෝ එකක් රු. 120ක් ද සම්බා වී කිලෝ එකක් රු. 120ක් ද කිරී සම්බා වී කිලෝ එකක් රු. 130ක් ද විය.

වී, හාල් කළ පසු ‘හාල් කිලෝවක මිල’ හෙවත් හාල් කිලෝවක් සඳහා වැය වන වී ප්‍රමාණයේ මිල කුමක්ද? 05-09-2022 දින ප්‍රකාශයට පත් කළ දත්ත අනුව නාඩු වී කිලෝ එකක් රු. 120කි. රූපවාහිනි වැඩසටහනකදී ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ, හාල් කිලෝවක් සඳහා වී ග්‍රෑම් 1600ක් අවශ්‍ය බව බවත් මේ වන විට නාඩු හාල් කිලෝවක් සඳහා රුපියල් 206ක වී වැය වන බවත්ය. නමුත් රජයේ තක්සේරුව වී ග්‍රෑම් 1300කින් හාල් කිලෝ එකකි. එම නිසා රජය සහ මෝල්හිමියන් අතර මැද වී ග්‍රෑම් 1500කින් හාල් කිලෝවක් හැදෙන සේ සලකා සහල් නිෂ්පාදන පිරිවැය ගණනය කරමු. මේ නිසාම හාල් නිෂ්පාදනයේ ලාභ සහ පිරිවැය කොටස් හතරකට බෙදා මිල සූත්‍රයක් හැදීමෙන් තොරව හාල් කර්මාන්තය පවත්වාගත නොහැකිය. එනම්,

■ රජයේ දායකත්වය

■ ගොවියාගේ හාල් ගාස්තුව

■ මෝල් වියදම හා ලාභය

■ සිල්ලර වෙළෙඳුන්ගේ වියදම හා ලාභය

ගොවියාගේ හාල් ගාස්තුව

රූපවාහිනි වැඩසටහනකදී ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ, එක කන්නයකට බුසලට වී අස්වැන්න වී කිලෝ 722 කි. වී බුසලක් යනු, අක්කර භාගයකි. මේ නිසා අක්කරයට වී කිලෝ 1444 (722 × 2) කි. එම අස්වැන්න වී කිලෝව රු. 120 බැගින් විකුණාගත හොත් අක්කරයක වී ආදායම රු. 173,280කි. කන්නයක් මාස 6ක් ලෙස සැලකුවහොත් ගොවියකුගේ මාසයක වී ආදායම රු. 28,880 (1444/6)කි. 2022 සැප්. 21 දිනැ’ති බීබීසී සිංහල වෙබ් අඩවියේ ඇති වාර්තාවක් අනුව, අක්කරය හෑමට රු. 18000ක් ද ගොයම් කැපීමට රු. 9000ක් ද කෘමිනාශක රු. 10000ක් ද වල් නාශක රු. 7500ක් ද වැය වන අතර, පොහොර සහනාධාරය රු. 25000ක් ද වන අතර ඉතිරිය ගොවීන් ගෙවිය යුතු බැවින් විශාල නිෂ්පාදන පිරිවැයක් ගොවියන් දරාගත යුතුය. වී කිලෝවට රු. 200ක් දියයුතු බව මාතර ගොවියකු වන අනුර පෙරේරා ප්‍රකාශ කර ඇත. වී වගාවේ ආදායම, වියදම පියවීමට හෝ ප්‍රමාණවත් නැත. පිළියම් කළ යුත්තේ එතනටය. මා ඉදිරිපත් කරන තර්කය වන්නේ, පාරිභෝගිකයාට ගොවියා දඩයම් කර දිය යුතු නැත.

ගොවියාට ස්වශක්තියෙන් වගාව කරගත හැකි මිලක් වී කිලෝවකට දිය යුතුය. එසේ නොමැතිව හාල් කර්මාන්තය පවත්වාගත නොහැකිය.

මේ අයුරින් ගොවිපවුල්වලට ගොවිතැනින් නඩත්තු විය නොහැකි වූ විට, ගොවියන් වරින් වර කොළඹ ඇවිත් කුලී වැඩ කර පවුලේ අමතර වියදම් සපයා දියයුතු වෙයි. සමහර විට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගිනි පොලියට නතුවීමට ද සිදුවෙයි. සෝබන ජීවිත ගෙවන අතිබහුතර නාගරිකයන් වෙනුවෙන් ගොවි පවුල් මේ තරම් හිංසා විඳිය යුතුද? මෙහි ප්‍රතිඵලය ආර්ථික ශක්තියක් නැති ගොවි පවුල් මිලියන එකහමාරකට ගුණාත්මක තත්ත්වයෙන් උසස් වී නිෂ්පාදනය කිරීමට නොහැකි වීමයි. එයද රටට පාරාවළල්ලකි. මේ තත්ත්වය වළක්වා ගැනීමට, ගොවි ජීවිතවලට ස්ථාවර පැවැත්මක් ලැබෙන ලෙස රජය වී මිල තීරණය කිරීමට නිර්භීත තීරණයක් ගත යුතුයි. එබැවින් දැනට වී කිලෝවට ලබා දෙන රු. 120 ප්‍රමාණවත් නැත. මෙතැනින් එහාට යෑමට නම්, වී කිලෝවට රු. 200ක් ලබාදී ගොවිතැනට ස්ථාවර පැවැත්මක් ලබාදිය යුතුය. එවිට වී ග්‍රෑම් 1500ක් සඳහා වැය වන්නේ රු. 300කි. රු. 300ක වී මිලකින් හාල් කිලෝ 01ක් ලබාගත හැකිය.

මෝල් වියදම හා ලාභය සහ සිල්ලර වෙැළඳුන්ගේ වියදම හා ලාභය රූපවාහිණී වැඩසටහනකදී (2024-12-02) සාකච්ඡාවකදී ඩඩ්ලි සිරිසේන සහල්වල ‘වී පංගුව 206’ක් වෙත්දී වෙනත් නිෂ්පාදන වියදම් පිළිබඳ ඇඟ හිරිවැටෙන ගණන් හිලව් වගයක් ඉදිරිපත් කළේය. පැකින්, ගබඩා ගාස්තු, විදුලි බිල, වැටුප්, රක්ෂණ ගාස්තු, ණය පොලිය ආදී නිෂ්පාදන වියදම් සියල්ල එකතු කළ විට (වී කිලෝව රු. 130 බැගින් ගත හොත්) හාල් කිලෝවක් රු. 243ක් පමණ වන බව අවධාරය කරයි. රු. 243 වන හාල් කිලෝවෙන් වී ගාස්තුව (රු. 206) අඩු කළ විට මෝල් ගාස්තුව රු. 36කි. එකී මෝල් ගාස්තුව රු. 36ට ද මෝල්හිමියන්ගේ ලාභය සහ සිල්ලර වෙළෙන්දන්ගේ ලාභය ඇතුළත්ව නැත. නමුත් විදුලි බිල, ඇසුරුම්, සේවක වැටුප් ආදිය සඳහා ඩඩ්ලිගේ ගණන් හිලව් අතිශයෝක්තියක් සහිත බව පෙනෙයි. නමුත් වෙළෙන්දාට සාධාරණ ලාභාංශයක් තිබිය යුතු බව පිළිගත යුතුයි.

වී කර්මාන්තයක් වශයෙන් පවත්වා ගැනීමට කවදා හෝ කළ යුතුය. වාමාංශික දේශපාලන විරෝධතාකරුවන් දශක ගණනාක් පුරා රටේ වෙළෙඳුන්ට වෛරයක් ඇතිවන දුෂ්ට ප්‍රචාරණයන් දිගින් දිගටම කරගෙන යෑමේ ප්‍රතිඵලයට අද මේ රජයට දරාගත නොහැකිය. හාල් අඩු මිලට දිය යුතුය යන මතය දැඩිවම මහජනයාට කාවැද්දීම මගින් සත්‍ය වශයෙන්ම ඉතිහාසය පුරා එකී වගකීම් විරහිත වාමවාදී දේශපාලකයන් මිලියන එකහමාරක් වන ගොවි පවුල්වලට එරෙහි වී ඇත. නමුත් ග්‍රාමීය ගොවීන් එකී වාමවාදී දේශපාලන ප්‍රවාහයේ නිත්‍ය සාමාජිකයන් ලෙස වාමවාදය පෝෂණය කළේය. අද විවේචකයාට දඬුවම ලෙස සියල්ල කරදීමට සම්පූර්ණ දේශපාලන බලය ලබාදී ඇත. ජනාධිපතිතුමනි, වාමවාදියාට උත්තර නැති ‘වී-සහල්’ අර්බුදයට මා සතුව ඇති පිළියම දැන් ඉදිරිපත් කරමි. මේ සඳහා වෙළෙඳපොළ සඳහා නිර්දේශ සහ ආයතනික නිර්දේශ වශයෙන් දෙයාකාර නිර්දේශ ඉදිරිපත් කරමි.

වෙළෙඳපොළ සදහා නිර්දේශ, මූලික පියවර ලෙස, වී කිලෝ එකක මිල රු. 200ක නිශ්චිත උපරිමයක් කළ යුතුය

■ එවිට හාල් කිලෝ එකකට වී මිල වැය වන්නේ රු. 300

■ මෝල් වියදම හා ලාභය රු. 50කි.

■ සිල්ලර වෙළෙඳුන්ගේ වියදම හා ලාභය රු. 10කි.

එවිට හාල් කිලෝවක සිල්ලර මිල රු. 360කට විකිණීමට යෝජනා කරමි. ජනතාව ඊට හුරු වෙයි. ආසන්න වශයෙන් කන්නයකට අක්කරයට වී කිලෝ 1500ක් නෙළා ගන්නා ගොවියකුට, 1500 × රු. 200 ලෙස 300,000 (ලක්ෂ තුනක්) ලැබෙයි. ගොවිතැන සඳහා වන සියලු වියහියදම් ද ඊට අයත්ය. මේ තත්ත්වය මත ස්ථාවර ලෙස හාල් මිල වසර 10ක්වත් පවත්වාගත හැකිය.

ආයතනික නිර්දේශ, ගොවිතැන ප්‍රතිසංවිධානය නොකර උපරිම ඵලදාව ලබාගත නොහැකිය. දැනට ඇති කුඩා කුඹුරු ඉඩම් එකතුව හෙක්ටයාර 3, 5, 10 වශයෙන් කාණ්ඩ කර වගා ඒකක ලෙස ඒකාබද්ධ කළ යුතුය. එම ඒකාබද්ධ වගා ඒකක පාලනයට ගොවීන්ට සමාගමක් ලෙස ලියාපදිංචි කරවා එම ගොවි සමාගම්වලට පොහොර, වල් නාශක, කෘමි නාශක සහ ජලය ලබාදිය යුතුයි. එවිට පොහොර, වල් නාශක, කෘමි නාශක සහ ජලය ලබාදීම ගණනය කිරීම සහ දත්ත පද්ධති යවත්කාලීන කිරීම පහසු වෙයි. නාස්තිය අඩු වෙයි. සියලුම සහනාධාර කන්න දෙකකින් පසුව රජයෙන් 2/3ක් හා සමාගමෙන් 1/3ක් ලෙස ලබා දීමෙන් වගකීම්, රජය හා සමාගම් අතර බෙදා ගත යුතුයි. හෙක්ටයාර

3, 5, 10 සමාගම් කීපයක් ඒකාබද්ධ කර වී ගබඩා කිරීම, කෙටීම හා ප්‍රවාහනය කිරීමට තවත් සමාගම් ඇති කළ හැකියි. එවිට මෙහෙයුම් කටයතුවල ලාභාංශ තවදුරටත් ගොවීන් අතර බෙදී යයි. මහා පරිමාණ සහල්හිමියන්ගේ මාෆියාව නැති කිරීමට ඒ පියවර දක්වා ගමන් කළ යුතුයි.

අනෙක් අතට තාක්ෂණයේ ඇති කළ යුතු වෙනස්කම් ගැන සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුයි. යල කන්නය පටන් ගන්නේ පෙබරවාරි නම් එකී ග්‍රීස්ම සෘතුවේ සී සෑම කරන්නේ නැත. අප්‍රේල් මැද සී සෑම පටන් ගන.’ එවිට ඊසානදිග මෝසම මහ වැසි වස්සවයි. වැස්සට දියලු පස සේදී ගොස් පස නිසරු වෙයි. මේ නිසා පාරම්පරික කන්න ක්‍රමයට ගොවිතැන අනුගත කළ යුතුයි. උසස් පොහොර සහ රසායනික ද්‍රව්‍ය ලබාදිය යුතුයි.

වගා ඒකක (යෝජිත හෙක්ටයාර් 3, 5, 10 ගොවි සමාගම්) වල වගා කළ වී වර්ග, අස්වැන්න, ගබඩාවල ධාර්තාව, නිකුක් කරන ප්‍රමාණ ආදිය මහජනයාට විවෘත දත්ත පද්ධතියකින් ඒකාබද්ධ කළ යුතුයි. රටේ වාර්ෂික නාඩු වශයෙන්, කැකුළු හාල් වශයෙන් සහ සම්බා වශයෙන් පරිභෝජනය කරන ප්‍රමාණයන් ගණනය කර, ගොවීන්ට ඒ ඒ වර්ගවලින් වගා කළ යුතු වී ප්‍රභේද හා ප්‍රමාණයන් බෙදා දිය යුතුයි.

www.numbeo.com වෙබ් අඩවියේ සහල් නිෂ්පාදනය කරන රටවල් 96ක් අතරින්, ලෝකයේ වැඩිම සහල් මිල එක්සත් ජනපදයේ සහල් කිලෝවක සිල්ලර මිල රු. 1200 (4.59 $) කට ආසන්නය. එය ඩොලර් 05කට ආසන්නයි. ප්‍රංශයේ සහල් මිල රු. 600 (2.40’$) ට ආසන්නය. අඩුම සහල් මිල ඇති රටවල් පහ පිළිවෙළින් බංග්ලාදේශය, ඊජීත්තුව, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පකිස්තානය බව ඔබ දන්නවාද? 2024 නොවැම්බර් මාසය වන විට තත්ත්වය එසේය. බංග්ලාදේශයේ සහල් කිලෝවක සිල්ලර මිල රු. 150 (0.59$)කි. එවිට ලංකාවේ සහල් කිලෝව රු. 360 නියම කිරීම ලෝක තත්ත්වයට නිසිලෙස ගැළපෙනවා නොවේද? ඩොලරය රු. 290 වන විට පවා සහල් කිලෝ එකක මිල ඩොලර් 1.24කි. ඒ මිල පවා ගෝලීය සහල් සැපයුමකදී පහළ මිලකි.

මේ තත්ත්වය වෙනස් කළ යුත්තේ සහල් තවදුරටත් ශුද්ධ වූ දේශීය නිෂ්පාදනයක් නොවන බව පිළිගනිමින්ය. බංග්ලාදේශ් තකා 119කට ඩොලරය පවතිද්දී එරට ලබා ගත් ජයග්‍රහණය ඩොලරයට රැපියල් 290ක් ගෙවන ලංකාවට ලබා ගත නොහැක. අපට පොහොර, වල්-කෘමි නාශක, ඇසුරුම් සහ ඛනිජ තෙල් ආදී සාධක බොහෝමයක් තීරණ වන්නේ ඩොලරය මතයි. රටේ සමස්ථ ආර්ථිකය දියුණු වන්නේ නම් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වීමටත් වඩා නිෂ්පාදන පිරිවැය අඩු කළ හැකිය. වෙනත් කිසිවක් වෙනස් කළ නොහැකිය. කළහොත් පවත්වාගත හැක්කේ අර්බුදයකි.

ජනාධිපතිතුමනි, රනිල් වික්‍රමසිංහ ඇති කළ දූනහග සහල් වෙන්දේසිය අහෝසි කිරීමේ ප්‍රතිඵලය ද මෙකී සහල් මාෆියාව යට ඇති බව ඔහු විසින් පවසන හැටි මම වීඩියෝවකින් බලා සිටියෙමි. මේ නිසා අඩු-වැඩි වශයෙන් කාගෙ කාගෙත් වරදින් මේ අර්බුදය ඇතිවී තිබෙන බව නිහතමානීව පිළිගැනීමට සිදු වෙයි. දැන් කළ යුත්තේ ඔබගේ පැරණි සටන් පාඨ ගැන විවෘතව කතා කර, ඔබ ප්‍රතික්ෂේප කළ යථාර්ථය නොබියව ක්‍රියාත්මක කිරීමයි. මුලින්ම වී මිල වැඩි කරන්න. වී කිලෝව රු. 200 කරන්න. මෝල් වියදම හා ලාභය රු. 50 කරන්න. සිල්ලර වෙළෙඳුන්ගේ වියදම හා ලාභය රු. 10 කරන්න.

එවිට දුගීන්ට දැනට ලබා දෙන සමෘද්ධි ආදී සහනාධාරවලින් හාල් ලබාදීමට නිශ්චිත මුදලක් වෙන් කරන්න. හාල් ගන්න බැරිව කෙඳිරිගාන පවුල්වලින් අතිබහුතරයක් තම දෛනික ආදායමෙන් වැඩි පංගුවක් වැය කරන්නේ එක්කෝ දරුවන්ගේ ටියුෂන් ගාස්තුවලටය. අරක්කු හෝ කසිප්පුවලටය. පාසලේ සතියට දවස් පහක් උගන්වන දේ නැවත ඉගෙනීමට ටියුෂන් යයි නම් පවුලේ කෑම වියදම ගැන එම දරුවන්ට කිසිත් හැඟීමක් ඇත්ද? දවල් උපයන ලද මුදල හවස මත් වතුරේ දිය කරයි නම් ඔවුන්ගේ දරු දුක කුමක්ද? රජයේ සහනාධාර සෑම නිවසකම බිරිඳගේ ගිණුමට ලැබීමට ක්‍රමයක් සංවිධානය කළ යුතුය. නැති නම් ටියුෂන් හෝ මත්පැන්වලට බැර වන ආධාර මුදල් ආහාර සඳහා යෙදවෙන්නේ නැත.

සෑම කෙනකුටම ආමාශය බැගින් සවිකර ඇති බැවින් සහල් ප්‍රශ්නය විසඳා දීමෙන් තොරව බේරුමක් කරගත නොහැකිය. බේරුමක් කරගත නොහැකි වුවහොත්, ජවිපෙ දශක ගණනාවක් පුරා පුරුදුපුහුණු කළ උදේඝෝෂක බළකාය ජවිපෙටම මුණගැසීමට නියමිතය. ඊට පෙර ජනාධිපතිවරයා මතුපිට වෙනස්කම් කරමින් බැනුම් අසන්නකු නොවී, සමස්ත ආකෘතියේ වෙනස්කම් කර අවුරුදු 10ක්වත් ඉදිරිගාමී තැනකට ගෙන ආ යුතුය.

ලලීන්ද්‍ර සන්නස්ගම


advertistmentadvertistment