ජනාධිපතිතුමාගෙන්  වරක් නොව දෙවරක්ම  අප කරන ඉල්ලීම…

1147

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ඉදිකිරීම් ආයතනය ලෙස ඉතිහාසයට එකතු වී තිබෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කොපමණ නන්නත්තාරවී ඇද්ද යත් සේවක වැටුප් පවා ගෙවා දැමීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. මේ පිළිබඳ පුවතක් ඊයේ දිවයින පුවත්පතේ පළව තිබේ. මේ ආයතනය කා දමන ලද්දේ මේ රටේ දේශපාලන ක්‍රියාවලිය සහ උද්ධමනය විසිනි. ඒ ගැන ඉදිරි ඡේදවලදී විස්තර කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ඉතා දරුණු ලෙස ඉහළ ගොස් ඇත. රුපියල් අනූහත්දාහට තිබූ යකඩ ටොන් එකක වර්තමාන මිල රුපියල් ලක්‍ෂ පහක් නැත්නම් හයකි. අබලි යකඩ උණුකර සාදන යකඩ ටොන් එකක් රුපියල් ලක්‍ෂ පහකි. කෙළින්ම යකඩ ආකරවලින් නිපදවන යකඩ ටොන් එකක් රුපියල් ලක්‍ෂ හයකි. ඒ අතර මීට අවුරුදු විසිපහකට පෙර රුපියල් සීයට තිබූ සිමෙන්ති කොට්ටය අද වනවිට හාඩ්වෙයාර් එකේ මුදලාලිගේත් උන්දෑගේ හාමිනේගේත් අභිමතය පරිදි රුපියල් තුන්දහස් අටසියයට හෝ හාරදහසට විකුණනු ලැබේ. මීට අමතරව ගෙබිම අතුරන ටයිල්, වැසිකිළි උපාංග, සරනේරු, වයර්, මේන් ස්විච්, ටි්‍රප් ස්විච් යන සියල්ලම කලින් පැවැති මිල මෙන් දහ ගුණයකටත් වඩා මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා කවුරුවත් අලුතෙන් බිල්ඩින් ගහන්නේ නැත. හදන බිල්ඩින් ද නැවතී ඇත. මේ සියලු විපත් සිදුවන්නේ කොරෝනාවෙන් පසු ලෝකයේ හටගත් දරුණු ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ද ඉදිකිරීම් භාණ්ඩවල මිල ඉහළ නැග තිබේ. ඒ මිලට බඩු ගැනීමට ලංකාවට මුදල් නැත. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ 2400 ක් සේවය කරන අතර ඔවුහු කිරීමට වැඩ නැතිව අසරණව බලා සිටිති. ඒ මිනිසුන් නිකන් හිටියා යැයි කියා පඩි ගෙවීම මඟහැරීමට බැරිය. මන්දයත් දවස අවසානයේදී සියලු දෙනා සියල්ල කරන්නේ බත් වේලක් කනු පිණිසය. ඉංජිනේරු සංස්ථාවට පඩි ගෙවීමට මසකට රුපියල් දසලක්‍ෂ එකසිය හතළිස් අටක් අවශ්‍ය ය. වෙනකක් තබා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන  ගොඩනැඟිල්ල උකස් කර ලබාගත් රුපියල් මිලියන 500 ක ණය ද ගෙවා දැමීමට නොහැක.

 රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට කෙළවුණේ ඇයි? එය ඉතා ශෝකජනක කතාවකි. ඊට පෙර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අතීතය ගැන සොයා බලමු. මේ දේශීය ආයතනය පිහිටුවනු ලද්දේ 1962 දීය. මෙහි ආරම්භක සභාපතිවරයා වූ කලී කොන්ක්‍රීට් පිළිබඳව ආසියාවේ සිටි හොඳම විශේෂඥයා වූ ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ ය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් තාක්‍ෂණයට අලුත් මානයන් හඳුන්වාදීමට ආචාර්ය කුලසිංහට හැකි විය. කොන්ක්‍රීට් පිළිබඳව ඔහුගේ පර්යේෂණාත්මක දැනුම කෙසේද යත් යකඩ කූරු නොමැතිව කොන්ක්‍රීට් ස්ලැබ් දැමීමට ඔහු දැන සිටියේය. මෙහිදී ඔහු විසින් යකඩ වෙනුවට ආදේශ කරන ලද්දේ නයිලෝන් ලණුවලින් සාදන ලද දැලකි. එහෙත් යකඩකාරයාට එමගින් පාඩු සිදුවන නිසා එම පර්යේෂණ අත්හැර දැමීමට ආචාර්ය කුලසිංහට සිදු විය. මේ හා සමාන කතාවක් යුරෝපයේ ද තිබේ. විදුලිය පිළිබඳ සුවිශාල දැනුමක් තිබූ යුරෝපීය විiාඥයකු වන නිකෝලා ටෙස්ලා, වයර් නොමැතිව විදුලිය ගමන් කරවීම සඳහා පර්යේෂණයක් කළේය. අවිවාහකයකු වූ ටෙස්ලා මුළු ජීවිතයම ගත කළේ හෝටල් කාමරයක ය. වයර් නැතිව කරන්ට් යවන හැටි සොයමින් සිටි මේ අද්විතීය විiාඥයා දිනක් හෝටල් කාමරය තුළ මැරී සිටියේය. ඔහු මරා දමන ලද්දේ වයර් බිස්නස්කාරයන් විසිනි. ඔහුගේ පර්යේෂණය සාර්ථක වී නම් ලෝක වයර් බිස්නස් එක සම්පූර්ණයෙන්ම වැසී යන්නේය. ආචාර්ය කුලසිංහට සිදුවුණේ ද මේ හා සමාන කතන්දරයකි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මස්තකප්‍රාප්ත වන්නේ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව පැවැති කාලයේදී ය. ඒ කාලයේදී ආණ්ඩුවේ සියලු ඉදිකිරීම් භාරවුණේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ය. චීනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සාදන විට එහි උප කොන්ත්‍රාත්කරු වූයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ය. තුල්හිරියේ රෙදි මෝල සෑදුවෝ ද ඔවුහුය. එසේම කොළඹ  ග්‍රහලෝකාගාරය ද ඔවුන්ගේ නිර්මාණයකි. මෙය තනිකරම කොන්ක්‍රීට්වලින් සෑදූ ගොඩනැඟිල්ලකි. කළුතර බෝධියේ කොන්ක්‍රීට් චෛත්‍යය ද ඔවුන්ගේ වැඩකි. මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කිරීමේදී ඉංජිනේරු සංස්ථාව දැක්වූ දායකත්වය කිසිසේත්ම ලඝුකොට තැකිය යුතු නොවේ. දළදා මාලිගාවේ ස්වර්ණමය පියස්ස ද ඔවුහු ඉදි කළෝය. විවෘත ආර්ථිකය 1977 දී මෙරටට පැමිණීමෙන් පසු සෙසු ජාතික කර්මාන්ත හාන්සිවූ පරිද්දෙන් ඉංජිනේරු සංස්ථාව ද හාන්සිවීමට පටන් ගත්තේය. 2005 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පැමිණීමෙන් පසු රජයේ ඉදිකිරීම් සියල්ල චීනයට භාරවිය. එතැන් සිට ඉදිකිරීම් පිළිබඳව කප් ගැසූ ඉංජිනේරු සංස්ථාවට ලැබුණේ හාල්කෑලි වැනි ආණ්ඩුවේ පොඩි පොඩි ප්‍රොජෙක්ට් පමණි. කොරෝනාව හැදෙන තුරුත් මේ රටේ ප්‍රමුඛ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලෙස චීනය වැඩ කළේය. ඉංජිනේරු සංස්ථාවට ආණ්ඩුවේ වැඩ නොලැබීමට එක හේතුවක් විය හැක්කේ දේශපාලනඥයන්ට කොමිස් ගෙවීම සඳහා එම ආයතනයට බලතල නොතිබීම බව අපගේ වැටහීමය. රාජ්‍ය ආයතනවලින් විවිධ කණ්ඩායම්වලට අත යටින් කොමිස් දීම සඳහා වැඩපිළිවෙළක් ඇති කළ යුතු බව අපි යෝජනා කරමු.

 ජාතික ආයතනයක් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැසීයෑමට ඉඩනොදෙන ලෙස අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු. මේ රට නැවත  ගොඩනැගීම සඳහා ඉදිරිපත්ව සිටින මේ පළපුරුදු දේශපාලනඥයාට එය කළ හැකි බව අපගේ  අදහස වේ. වෙනත් රටවල සමාගම්වලට ඉදිකිරීම් අවස්ථා දුන්විට රාජ්‍ය තාන්ත්‍රික අර්බුදවලදී පවා එම ඉදිකිරීම් නවත්වා ගම් රටවල් බලා යෑමට එම විදේශික ඉදිකරන්නන්ට පුළුවන. එහෙත් මේ රටේ එකාට එසේ කළ නොහැකිය. ඒකා පටන් ගත් වැඩය කෙසේ හෝ නිම කිරීමට බැඳී සිටින්නේය. ඒ අනුව අප දෙවන වරටත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බේරාගන්නා ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment