ජනාධිපතිවරණය කල් දමන්න ඉඩ දෙන්නේ නැහැ

90

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හම්බන්තොට සජබ රණවිරු සමුළුව අමතමින් කියයි
රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක්

අද මේ රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක් සහ පිටරට යන ජනාධිපති කෙනෙක් බවත් ආණ්ඩුව වෙනම කටයුතු කරන විට ජනාධිපතිවරයා තමන්ගේ න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (10දා) හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග රණවිරු සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

ආණ්ඩුව යම් යම් තැන්වල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බව පැවසුවත් එය අහෝසි කළ යුත්තේ ජනතාව අපේක්ෂා කරන ජනාධිපතිවරණයකට සහ මහමැතිවරණයකට ඡන්දය ලබාදීමෙන් පසුවයි. වත්මන් ජනාධිපතිවරයා 134 දෙනාගෙන් බලයෙන් ජනාධිපති පුටුවට පත්වන විට ජනාධිපති ධුරය අහෝසි කරන බවට පැවසුවා නම් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට තිබුණා. නමුත් මොවුන්ට ජනාධිපතිවරණය අහෝසි කිරීමට අවශ්‍ය වී ඇත්තේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පෙනි පෙනීය. මොවුන් විසින් ගෞරව නාම ලබාදුන් අතකොලු‍වන් උපයෝගී කරගෙන ජනාධිපතිවරණය අහෝසි කළ යුතු බවට මතවාද ගෙන යනවා. ජනාධිපතිවරණය අහෝසි කරන ප්‍රතිපත්තියේ සිටින සමගි ජන බලවේගය ආණ්ඩුවට අනතුරු අඟවා සිටින්නේ වහාම නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවය. ඉන් අනතුරුව එම වරම තුළින් ජනාධිපතිවරණය අහෝසි කළ යුතුය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරන රණවිරුවන් සියල්ලම ඇස් ඉස් මස් ලේ දන් දී තමන්ගේ දූදරුවන් හා පවුලේ සාමාජිකයන්ට පෙර රට මුල් තැනට ගෙන කටයුතු කිරීම නිසා 30 වසරක කුරිරු කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් සැබවින්ම මේ රටට නිදහසක් උදා කරන්නට ජීවිත, රුධිරය, දහඩිය මහන්සිය කැප කළා. අප හැමෝම අපේක්ෂා කළ සෞභාග්‍ය, ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් නිර්මාණය වූ සාමය හරහා බිහි වූයේ නැහැ. එය මහා අවාසනාවන්ත ජාතික ඛේදවාචකයකි. මෙරට පහළ වූ හැම නායකයෙකුටම යුද ජයග්‍රහණයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න නොහැකි වුණා. එය නොහැකියාවද අකාර්යක්ෂමතාවද යන්න ජනතාව තීන්දු කළ යුතුයි. කොටි ත්‍රස්තවාදය තුරන් කළාට අප රට ආර්ථික ත්‍රස්තවාදීන්ගේ කුමන්ත්‍රණ තුළ හොරකම දූෂණය වංචාව පගා ගැහිල්ල කොමිස් ගැහිල්ල තුළ ආර්ථික ත්‍රස්තවාදීන් අප රට ආර්ථික බංකොලොත්භාවයට සහ යටත්විජිතවාදයකට පත් කර තිබෙනවා.

මෙවන් තත්ත්වයක් තුළ ආර්ථික ත්‍රස්තවාදීන් විනාශ කළ අප රට නැවත ගොඩගෙන ආර්ථික ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙනවිත් රටට අහිමි කළ දේපල සම්පත රට වෙනුවෙන් නැවත වරක් ලබාගැනීමේ මහා ජනහිතකාමී ජනතාවාදී මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරන්න කාලය එළඹ තිබේ. රණවිරුවන් කැපකිරීම් කළාට අගනුවර වායුසමීකරණවල සිටි නායකයෝ යුද ජයග්‍රහණයේ ගෞරවය ලබා ගෙන මුදල් වියදම් කර ප්‍රචාරණය හරහා ප්‍රතිරූප ගොඩනගන්න කටයුතු කළා. රණවිරුවන් පෙරට ගෙන ජනාධිපති පුටුවට ගිය රණවිරුවා කියන ජනාධිපතිවරයා රණවිරුවන්ට එකදු සහනයක්වත් ලබා දුන්නේ නැහැ. ඔවුන් අද ආබාධිත රණවිරුවන්ට හිමි සියලු‍ සහන කප්පාදු කිරීමේ මහමොලකරුවන් බවට පත්ව ඇත. හිටපු රජයන් සහ වත්මන් රජය රණවිරුවන් අමතක කළාට සමගි ජන බලවේගය කිසිදා රණවිරුවන් අමතක කරන්නේ නැහැ.

රජය රටේ රණවිරු කප්පාදුවක් කිරීමේ සූදානමක් ඇත. ලක්ෂ 30ක වන්දියක් ලබාදී සිවිල් ආරක්ෂක නිලධාරීන් පවා කප්පාදු කිරීමට කටයුතු කරනවා. ඔවුන්ගේ අනාගතය ගැන රජය සිතන්නේ නැහැ. ඔවුන් ඉලක්කම් ගැන පමණක් සිතා කටයුතු කරනවා. රජයට මනුෂ්‍යකමක් නැහැ. රජයේ අකටයුතුකම් නිසා මේ වන විට රටේ දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇත.

මේ වන විට රටේ දැවැන්ත නාට්‍ය රැසක් ක්‍රියාත්මක වෙනවා. අධිරාජ්‍යවාදී රටවල්, ව්‍යාප්තවාදයට විරුද්ධ වීම වැනි දේවල කර ගෙන රටේ භීෂණයක් ඇති කර තුන්ඩුවෙන් ආයතන වැසුණු යුගයක් තිබුණා. මරණයක් පවා දණහිසෙන් ඉහළට එසවීමට නොදුන් යුගයක් පැවතියා. රාජ්‍ය නොවන සිවිල් ත්‍රස්තවාදී කණ්ඩායම් ඇඳිරි නීතිය පනවා විද්වතුන් මහා සංඝරත්නය කලාකරුවන් මරා දැමූ මිනීමරු යුගයක් තිබුණා. එම යුගය අමතක කරන්න එපා.

advertistmentadvertistment
advertistmentadvertistment