බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය භුමියේ තත්ත්වය ඇතිකිරීමට ජාතිකවාදී දේශපාලනය කළ දායකත්වය නොවන්නට කොටි සංවිධානය තවමත් උතුරු-නැගෙනහිර ප්‍රදේශවල තම අණසක පතුරුවාගෙන සිටින බවට සැකයක් නොමැත. ත්‍රස්තවාදය පරාජය කර වසර 15කට පසුව ‘අරගලය‘ පසුබිමේ ජාතිකවාදී දේශපාලනය මුහුණ දෙන නිශ්චිත මෙන්ම සංවේදී අභියෝගය විමසා බලමු.

මිට පෙර කිසිදු ජාතික මැතිවරණයක් ඉදිරියේ මුහුණ නොදුන් අතිශය තීරණාත්මක අභියෝගයක් ජාතිකවාදී කඳවුර මුහුණ දී ඇත. ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 16, 2024 අතර දිනයකදී පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම මැයි 09 දින කළ ප්‍රකාශයෙන් සතියකට පසුවත් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ජාතිකවාදී කඳවුරට නොහැකි වීම කනගාටුදායක තත්ත්වයකි.

ගෝඨාභය රාජපක්ෂ රජයේ අසමත්වීම හේතුවෙන් 2022 දී රටේ ඇතිවූ අසාමාන්‍ය දේශපාලන පෙරළිය තුල ජාතිකවාදී කඳවුර එක්තරා ආකාරයකට හුදෙකලා වී ඇති බව සත්‍යයකි. එම තත්ත්වය කිසිසේත්ම ප්‍රතික්ෂේප කළ නොහැක.

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය ඉතාමත් තියුණු තර්ජනයක් රටේ ඒකීයභාවයට එල්ල කර තිබූ අවස්ථාවක 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේදී ජාතිකවාදී කණ්ඩායම පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ (එවකට අග්‍රාමාත්‍ය) සමඟ විය. එදා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ පෙරමුණේ සිටියේ ජනතා විමුක්ති පෙරමුණය. (ජවිපෙ). ජාතික හෙළ උරුමයද (ජාහෙඋ) රාජපක්ෂ කඳවුරේ විය. එවකට ජාහෙඋ මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි පක්ෂයේ තීරණය නොතකා මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටියේය.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ පසුව 2010 පැවැත්වූ පළමුවැනි ජනාධිපතිවරණයේදී ජාතිකවාදී කඳවුරේ ප්‍රබල පක්ෂයක් වූ ජවිපෙ පෙනී සිටියේ පොදු අපේක්ෂක විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙනි. එය දේශපාලන තීරණයකි. එහි කිසිදු වරදක් නැත. නමුත් ජවිපෙ ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට කිසිදු හිරිකිතයක් නොමැතිව ප්‍රකාශ කළ/පිළිගත් එජාපය සමඟ එකතු වී ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම මෙම ලියුම්කරුට තවමත් අභිරහසකි. ෆොන්සේකා එම කණ්ඩායම සමඟ එකතු වීමද අභිරහසකි. එලෙසෙම ද්‍රවිඩ ජාතික සන්ධානය කොපමණ ඇමෙරිකානු බලපෑමක් තිබුණත් ෆොන්සේකා පිළිගැනීම ද අභිරහසකි.

මෛත්‍රිපාල සිරිසේන 2015 බලයට පත් කළ යහපාලන මෙහෙයුම ද එජාපය, ජවිපෙ, ද්‍රවිඩ ජාතික සන්ධානය ක්‍රියාත්මක කළ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. ජාහෙඋ ද එම මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටියේය.

ඊට පසුව 2019 පැවැත්වූ ජනාධිපතිවරණයේදී ජවිපෙ ඒ අපිරිසිදු සන්ධානයෙන් ඉවත් විය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජන්ද 418,553 (3.16%) ලබා තුන්වන ස්ථානයට පත්විය. දෙවන ස්ථානය එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ට හිමි විය. ඔහු ලබාගත් ජන්ද සංඛ්‍යාව 5,564,239 (41.99%). මෙහිදී දැඩිව අවධාරණය කළ යුතු කරුණක් වන්නේ 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණ තුනේදීම එජාපය නායකත්වය දුන් සන්ධානය තරග කළේ හංසයා ලාංජනය හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (National Democratic Front ) හරහා බවයි. එම සන්ධානයේ සභාපති ශලිල මුණසිංහ ලිට්රෝ සමාගමේ සභාපති ධුරයට යහපාලනය පත් කළේය. ඔහු බ්‍රිතාන්‍ය ජාතික ගුවන් බලපත්‍රයක හිමිකරුවෙකු බවට රටට හෙළිදරව් වූයේ 2017 මැද භාගයේදී තායිවානයේ ප්‍රධාන පෙළේ බැංකුවකින් ( Far Eastern International Bank of Taiwan) නීති විරෝධී ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1 තමන්ගේ කොළඹ පිහිටි ලංකා බැංකුවේ ගිණුමකට ලබා ගැනීම නිසා බව අපට අමතක නැත. එය වෙනමම විමසා බැලිය යුතුය.

ජාහෙඋ සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වය වෙනුවෙන් පෙනී සිටියේය. අද වනවිට එම පක්ෂය එක්සත් ජනරජ පෙරමුණ බවට පරිවර්තනය වී ඇත. එහි නායක පාඨලී චම්පික රණවකය. පාර්ලිමේන්තුවට සමගි ජන බලවේගයෙන් පත්වූ හිටපු අමාත්‍ය රණවක ද ජනාධිපති සිහිනය දකින බව රහසක් නොවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂයේ ) ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂ ජන්ද 6,924,255 ලබා (52.25%) ජන්දය ජයග්‍රහණය කළේය. එම ජයග්‍රහණයට ජාතිකවාදී කඳවුර ඉහළ දායකත්වයක් ලබාදුන් බව අමුතුවෙන් කිවයුතු නැත.

ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙකුවත් වූයේ නැත. ඔහුට එම පක්ෂයේ වගකිවයුතු විශේෂ තනතුරක් ලබාදිය යුතු බවට එවකට විරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයට එරෙහිව පොහොට්ටු නායකත්වය ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. අවසානයේදී යුගදනවී බලාගාරයේ සැලකිය යුතු කොටසක් ඇමෙරිකානු සමාගමකට අයථා ආකාරයට පැවරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය තුළ සහ එයින් පිටත විරවංශ, ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරු කළ සටන අවසන් වූයේ ජනාධිපතිවරයා විරවංශ සහ ගම්මන්පිල කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙනි. ඒ 2022 මාර්තු 3 දිනයේදීය. විරවංශ, ගම්මන්පිල සහ නානායක්කාර අමාත්‍යවරු තිදෙනා අතිශය ආන්දෝලණාත්මක යුගදනවී ගිවිසුමට එරෙහිව රටේ ඉහළම අධිකරණයේ මැදිහත්වීම පැතුවේය. ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව කඩාවැටුණේ එදාය. ඒ එතුමාගේ මිරිහානේ පැඟිරිවත්තේ පිහිටි පෞද්ගලික නිවාසය ආසන්නයේ බුර බුරා නැගෙන ජනතා විරෝධය 2022 මාර්තු 31දින රාත්‍රියේ පුපුරා යෑමට මාස කීපයකට පෙරය.

මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද විරවංශ,ගම්මන්පිල සහ නානායක්කාරට පොහොට්ටුව සමඟ එක්විය නොහැක.

ගෝඨාභය රාජපක්ෂ පක්ෂ යාන්ත්‍රණය තුළ නොමැති වූවාට පොහොට්ටුව වෙනස් වී නැත. විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආරක්ෂා කරන තුරු ජාතිකවාදී කඳවුරට එම පක්ෂය සමඟ දේශපාලන ගනුදෙනුවක් තිබිය නොහැක.

දේශප්‍රේමී අපේක්ෂකයෙක්

වර්තමානයේ ජාතිකවාදී බලවේග උත්තර ලංකා සභාගය සමඟ එක්වී ඇත. මෙවර මැයි දිනයේදී පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක ගම්මන්පිල ජාතිකවාදී කඳවුරට අත්වූ ඉරණම සහ අනාගත බලාපොරොත්තුව නැතහොත් අභියෝගය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේය. ඒ විරවංශ ද සිටි කිරුලපන දී “77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය” යන තේමාව යටතේ පැවති රැලියේදීය.

හිටපු අමාත්‍යවරයා මෙලෙස පැවසිය. “අපි අමාරුවෙන් හදපු බස්එක කොටඋඩ යවලා ගෝඨාභය රියදුරා පැනලා ගියා. පැනල ගියත් කමක් නැහැ එයා බස්එක භාරදුන්නේ ඊට කලින් දෙතුන් වතාවක්ම බස් එක භාර අරගෙන කොටඋඩ යවපු, පෙරළලා දාපු රනිල් කියන රියදුරාට. බස් එකේ රියදුරා රනිල් කියලා දැක්කා විතරයි රනිල්ගේ එලවිල්ල ගැන දන්න ලක්ෂ හැට නවයෙන් බහුතර ජනතාවක් දඩිබිඩි ගාලා බස් එකෙන් බිමට බැස්සා. දැන් ඔන්න හැට නම ලක්ෂයක් ජනතාවගෙන් බහුතරයක් පාර අයිනේ බස් එකක් නැතුව ඉන්නවා. මෙන්න බොලේ ඒ අතරේ එනවා රතුපාට නගර සභාවේ කුණු ලොරිය. ගමන යන්න හදිසි කාරයෝ ඉවසීමක් නැති උදවිය තියෙන පිළිකුල අමතක කරලා නහය වහගෙන රතු පාට කුණු ලොරියට දැන් නැගලා ඉන්නවා. හැබැයි මිත්‍රවරුනි, ඉවසීමෙන් බලාගෙන ඉන්න, ලියල තියාගන්න අපි දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමඟ දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගනවා. ඒ කියන්නේ මේ පාරට දේශප්‍රේමී ඒ සී බස් එක අපි දානවා. එතකොට අර පාරේ බස් එකක් නැතුව ඉන්න බහුතර ජනතාව විතරක් නෙමෙයි රතු පාට කුණු ලොරියට නැගපු අයත් ඒකෙන් බැහැලා නැවතත් මේ බස් එකට නගින බව අපට විශ්වාසයි.”

නීතිඥ ගම්මන්පිල ඉදිරිපත් කළ මෙම අදහස භුමියේ යථාර්තයද? නැතහොත් සිහිනයක්ද? දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමඟ දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාධාරණ බලාපොරොත්තුවක් තබා ගත හැකිද? ජාතිකවාදී කඳවුර මුහුණ දෙන අභියෝගයේ දිග සහ පළල පිළිබඳව නිවැරදි කියැවීමක් උත්තර ලංකා සභාගයට තිබෙනවාද? යහපාලන සමයේදී එකම කණ්ඩායමක සාමාජිකයන් වූ එවකට අග්‍රාමාත්‍ය සහ එජාප නායක වූ රනිල් වික්‍රමසිංහ, එජාප උප නායක සහ නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස යහපාලනයේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියා වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට තරඟ කිරීමට නියමිතය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසන් මොහොතේ තරගයට ඉදිරිපත් නොවන බවට යම් අදහස් පළවූවත්, එතුමා අනිවාර්යෙන්ම තරග කරන බව ලියුම්කරුගේ විශ්වාසයයි. පොහොට්ටු පක්ෂයේ නිල සහයෝගය සමඟ හෝ නොමැතිව වර්තමාන ජනාධිපතිවරයාට තරග කිරීමට සිදුවෙනු ඇත. පාර්ලිමේන්තු තනි ජාතික ලැයිස්තු අසුනකට සිමාවී ඇති එජාපය ගොඩගත හැක්කේ වික්‍රමසිංහ ජයග්‍රහණයකින් පමණක් බව කවුරු කවුරුත් තේරුම් ගෙන ඇත.

භූ දේශපාලනය සමඟ එකට ගැටගැසී ඇති වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන, ආර්ථික, සමාජීය උපාය මාර්ගය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ශක්තිය ඇත්තේ ඔහුටම පමණය. එවැනි තත්ත්වයක් තුළ හිටපු අමාත්‍ය විරවංශ ළඟ එන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උත්තර ලංකා සභාගය සංවිධානය කළ මැයි දිනයේදී ඉදිරිපත් කළ මෙම අදහස් කාගේත් අවධානයට යොමු විය යුතුය. එම ප්‍රකාශය එක්තරා ආකාරයකට ජාතිකවාදී කඳවුර මුහුණු දී ඇති ‘හිමාලිය‘ අභියෝගය අවධාරණය කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක උත්තර ලංකා සභාගයේ සභාපති විරවංශ මෙලෙස පැවසිය. “ජනාධිපති සිහින දකිනවා විනා කිසිදු විරුද්ධ පක්ෂ වේදිකාවකවත් මේ වික්‍රමසිංහ පාලනයේ පරගැති සැලැස්මට අභියෝග කරන්නේ නැහැ. ඊට එරෙහිව සිහින් කෙඳිරියක්වත් නඟන්නේ නැත. අද අප මේ පරගැති සැලැස්ම පිළිබඳව දිගින් දිගටම ජනතාව දැනුවත් කරමින්, ඊට එරෙහිව ජනතාව පෙළගස්වමින් සිටින එකම දේශපාලන වේදිකාව බවට පත්ව තිබේ. ඒ බව ද සිහිපත් කරමින්, මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේ දී වික්‍රමසිංහ පාලනයේ පරගැති සැලැස්මට එරෙහිව සටන්වැදීම සඳහාත් ඊට අවශ්‍ය කරන පුළුල්තම සමගිය නිර්මාණය කිරීම සඳහාත් මෙරට වැඩකරන ජනතාවට මෙන්ම “ජාතිකවාදී, ප්‍රගතිශීලී, දේශමාමක සියලු බලවේගවලට ඇරයුම් කර සිටින්නෙමු.”

උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ අනුශාසක විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, සම සමාජ පක්ෂයේ ලේකම් ඩබ්ලිව්. අබේසේන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති, නීතිඥ නිමල් ආර්. රණවක යන දේශපාලන පක්ෂ නායකයෝ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එච්. ඩී. ආර්. අතුල, එක්සත් වතු කම්කරු සමිතියේ සභාපති ඒ. මුත්තුලිංගම්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී. එච්. එස්. ශාන්තප්‍රිය යන අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයෝ ද මෙම එක්සත් මැයි රැලිය අමතා අදහස් දැක්වූහ.

ජාතිකවාදී කඳවුර මුහුණ දෙන අභියෝගය නිසි ලෙස තේරුම් ගත යුතුය. ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු නොමැති වීම දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකර ඇත. නමුත් ඊට එහා ගැටලුවක් ඇත. එය ප්‍රධාන ගැටලුවය. කිසිසේත් විසඳිය හැකි ගැටලුවක් ද නොවේ. ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එක් එක් පක්ෂ මුහුණ දෙන ආකාරය අමතක කර ජාතිකවාදී කඳවුර මුහුණ දෙන අභියෝගය සාකච්ජා කළ නොහැක. ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණය කරා මෙහෙයවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) 2020 අගෝස්තුවේ පැවැත්වූ මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසන 17ක් සමග ආසන 150 (තුනෙන් දෙකක අද්විතීය බලයක්) ලබා ගත්තේය. ජාතිකවාදී කඳවුර පොහොට්ටු පක්ෂය පෝෂණය කළේය. එළෙසම පොහොට්ටු පක්ෂය ජාතිකවාදී කඳවුරට අවශ්‍ය ඉඩකඩ ලබා දුන්නේය. අරගලයෙන් පසුව තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇත. ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා රනිල් වික්‍රමසිංහය.

මත්ස්‍යයන්ට ජලය මෙන්ම කුඩා දේශපාලන පක්ෂවලට ප්‍රධාන බලවේග සමග කටයුතු කිරීමට සිදු වේ. අවසන් මහා මැතිවරණයේදී ජාතිකවාදී කඳවුර නියෝජනය කරන සියලුම පක්ෂ පාර්ලිමේන්තුවට පිවිසියේ පොහොට්ටු පක්ෂය හරහාය. නමුත් ජාතිකවාදී කඳවුර නියෝජනය කරන අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට පත්වූයේ අපේ ජනබල පක්ෂය නියෝජනය කරන එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙසය. වර්තමාන පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් හිමි පක්ෂ නාමයක් ඇත. අපුරු පාර්ලිමේන්තුවකි. ‘ඩීල්‘ තෝතැන්නකි.

දෙලොවක් අතර

මෑතකදී පොහොට්ටු පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂ ඔහුගේම පක්ෂය විසින් 2022 ජූලි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි කාලය සම්පුර්ණ කිරීමට පාර්ලිමේන්තුව තුළ ජන්දයෙන් පත්කර ගත් රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කර ඇති ආර්ථික උපායමාර්ගය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය එම පක්ෂය පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වය හෙළිදරව් කළේය.

පොහොට්ටු පක්ෂයට රට බංකොලොත් වූ ආකාරය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා අමතක වී ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ රටේ ඉහළම අධිකරණය රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් දුන් තීන්දුව පොහොට්ටු පක්ෂය මෙන්ම ජාතිකවාදී කඳවුර ද අවධානයෙන් අධ්‍යනය කළ යුතුය. පටු දේශපාලන බලාපොරොත්තු, කෙටිකාලීන වාසී ප්‍රයෝජන පසෙකලා කටයුතු කිරීමට මෙම අතිශය අවදානම් තත්ත්වය තුළදීවත් රටට හිතැති මහජන නියෝජිතයන් සුදානම් විය යුතුය.

රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ සභාපතිවරයා ලෙස පසුගිය 12වැනිදා නිකුත්කළ නිවේදනය හුදු ඇස්බැන්දුමක් පමණද? වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කර ඇති රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීමේ මෙහෙයුම මෙතුවක් කල් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාදායකයේ බලය එතුමාට නොඅඩුව සපයා ඇත්තේ පොහොට්ටු පක්ෂයයි.

එවැනි පසුබිමක් තුළ ජාතිකවාදී කඳවුරට පොහොට්ටුව සමඟ නැවත එක්වීමක් හිනයකින්වත් ප්‍රාර්ථනා කළ නොහැකිය. පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඉදිරියටත් දේශපාලනය කිරීමට සුදානම් බව ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළ උත්තර ලංකා සභාගය බලාපොරොත්තු වන දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමඟ දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනැගීම හුදෙක් දේශපාලන ප්‍රකාශයක් පමණද?

වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය ගුණදාස අමරසේකර නායකත්වය යටතේ ක්‍රියාත්මක ජාතික සංවිධාන වල ස්ථාවරය කුමක්ද. එදා ගෝඨාභය රාජපක්ෂ ඉහළට ඔසවා තැබීමට ජාතික සංවිධාන සහ මෑතකදී අපෙන් වෙන්වූ මහාචාර්ය නලින් ද සිල්වා කළ කාර්යභාරය කිසිදා අමතක කළ නොහැකිය. ජාතිකවාදීන් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් වූයේ පොහොට්ටු පක්ෂය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් කටයුතු කළ කාලයකදීය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද පොහොට්ටු පක්ෂය දැඩි දෙගිඩියාවකින් කටයුතු කරන බව කිව යුතුය. පොහොට්ටුව නොසලකා කටයුතු කරනවානම් පාර්ලිමේන්තුව තුළ සහයෝගය දීමෙන් වැළකිය හැකිය. ජනාධිපතිවරණයේදී සහයෝගය නොදෙන බව ප්‍රකාශ කළ හැකිය. නමුත් අවිනිශ්චිත දේශපාලන මාර්ගයක අතරමන් වී සිටින පොහොට්ටුව උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් නොගෙන කපටි ප්‍රකාශයක් කර ඇත.

අදාළ කොටස පහත සඳහන් වේ. වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළකි. මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්ව වලට පවා අවබෝධ විය යුතුය. එපමණක්ද නොව මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයක් පමණි. එබැවින් රජයේ දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවයි. එවිට, ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක. ”

මැතිවරණ කොමිසම පොහොට්ටු ‘පක්ෂය පිළිගත්තේ 2016 අවසන් කාලයේදීය. එම පක්ෂය මුහුණ දුන් පළමුවන ජන්දය වූයේ 2018 පෙබරවාරි පැවැත්වූ පළාත් පාලන ජන්දයයි. මැතිවරණ ඉතිහාසයේ පළමුවන වරට බලයේ සිටි පක්ෂය/සන්ධානය පළාත් පාලන ජන්දයක් පරාජය වූයේ 2018 දීය.

පොහොට්ටු පක්ෂය 2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය ජයගත්තේ තරගයක් නොමැතිවය. තව මාස කීපයකින් දින නියම කිරීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තවමත් ඒකමතික තීරණයක් ගැනීමට නොහැකි වීම අවධාරණය කරන්නේ පක්ෂය තුළ තවදුරටත් වර්ධනය වෙමින් පවතින ව්‍යකුලත්වයයි.

පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය කාංචන විජේසේකර ඇතුළු සැලකිය යුතු මැති ඇමති කණ්ඩායමක් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසය පළකර ඇත. වර්ධනය වෙමින් පවතින ගැටලු සහගත තත්ත්වය තුළ පොහොට්ටුවට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණය තවමත් ස්ථිර නැත. ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය කැඳවීමට පොහොට්ටු පක්ෂය ජනාධිපතිවරයාට බල කරන්නේ එබැවිනි. දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සිහින මවන වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතිකවාදී කඳවුරේ මන්ත්‍රීවරු මහ මැතිවරණයේදී තරග කරන්නේ කුමන ලාංජනය යටතේද?

පොහොට්ටු ලාංජනය යටතේ නැවත මහ මැතිවරණයකට තරඟ කිරීමට එම කඳවුරේ කිසිවෙකුට කිසිදු අවස්ථාවක් නොමැත.

ඊට අමතරව පොහොට්ටු පක්ෂයෙන් තරග කර සහ එම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට 2020 පත්වූ නමුත් 2022 දේශපාලන අවුල මධ්‍යයේ ආණ්ඩු පක්ෂයෙන් වෙන්වුණු අනාගත දේශපාලන මාර්ගය අවහිර වූ තවත් කණ්ඩායමක් සිටිති. ඩලස් අලහප්පෙරුම එම අභියෝගයට මුහුණ දී ඇති එක මන්ත්‍රීවරයෙකි. මිට වසර දෙකකට පෙර ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීමට විපක්ෂය සුදුසු යැයි තීරණය කළ මන්ත්‍රීවරයාට අදටත් අනාගත දේශපාලනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට නොහැකි වීම අවධාරණය කරන්නේ තවදුරටත් වර්ධනය වෙමින් පවතින ව්‍යකුලත්වයයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment