ජනාධිපතිවරණ කටේ ගහන්න ගිය ගැටේ!

521

2024 මැතිවරණ වසරකැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නැති වුවද මේ වසරේදී ජනාධිපතිවරණය හෝ මහමැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි දේශපාලන පක්‍ෂ පමණක් නොව සිවිල් සංවිධාන ඇතුළු බහුතර ජනතාවගේද විශ්වාසය වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා අවස්ථා කීපයකදීම මැතිවරණ පිළිබඳව සඳහන් කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේත් පළමුව ජනාධිපතිවරණයත් දෙවනුව, එනම් 2025 දී මහමැතිවරණයත් පැවැත්වෙන බවය. එහෙත් මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් පවසන්නේ මැතිවරණ පිළිබඳ ප්‍රකාශ කළ හැක්කේත්, කළ යුත්තේත් මැතිවරණ කොමිසම විනා ආණ්ඩුව නොවන බවය. එය සත්‍යයකි. ජනාධිපති මාධ්‍ය අංශය යනු ජනාධිපතිවරයා වෙනුවෙන් තිබෙන, ඔහුගේ අභිමතය අනුව කටයුතු කරන ආයතනයක්ද වේ. එසේ වුවද ජනතාවගේ අවධානයට යොමුව තිබෙන සමාජ දේශපාලන ආදී හැම කරුණක් පිළිබඳවම එම මාධ්‍ය අංශය විසින් අදහස් පළ කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. කුමක් වුවත් මේ වනවිට ජනාධිපතිවරණය වෙනුවෙන් සන්ධානගතවෙමින්ද දේශපාලන ප්‍රචාරක කටයුතු දියත් වෙමින් තිබෙන ආකාරය රටම දන්නා, රටටම පෙනෙන තත්ත්වයකි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් පිළිබඳව ද පුවත් ඇසෙයි. ස.ජ.බ හා ජා.ජ.බ පක්‍ෂවල අපේක්‍ෂකයන් ලෙස සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බව නිල වශයෙන්ද ප්‍රකාශයට පත්ව තිබේ. එහෙත් ආණ්ඩුව හා පොහොට්ටුව තම ජනාධිපති අපේක්‍ෂකයා කවරෙක්දැයි නිවේදනය කර නොතිබීමද විශේෂත්වයකි. එසේ වුවද පොහොට්ටුව හා ජනාධිපති රනිල් අතර ඒ සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවිය හැකි බව දේශපාලන අංශවල අදහසය. එ.ජා.පය ඒ බව තහවුරු කර තිබෙනු පමණක් නොව ප්‍රචාරක කටයුතුද සැලසුම් කර තිබෙන බවද පෙනේ. එහෙත් ජනාධිපති රනිල් ඒ බව ප්‍රකාශ කර නැත. ඔහුට සහාය දෙන පොහොට්ටුව තවමත් පවසන්නේ තම අපේක්‍ෂකයා නියම වෙලාවට ඉදිරිපත් කරන බවය. පොහොට්ටුවේ එම කල්මැරීම අද එම පක්‍ෂය තුළ තිබෙන දේශපාලන අවුලක්ද විය හැකිය. අනෙක් අතට පොහොට්ටුවේ ඇතැම් ප්‍රබලයන් පවසන්නේ මේ අවස්ථාවේ වඩාත් උචිත හා කැපී පෙනෙන අපේක්‍ෂකයා ලෙස ජනාධිපති රනිල් පිළිගත හැකි බවය.

කෙසේ වුවද ආණ්ඩුවත් පොහොට්ටුවත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳ එබඳු අවිනිශ්චිත ප්‍රතිචාර දැක්වුවත් සමාජ දේශපාලන අංශවල ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා උද්ගතවී තිබෙන සංවාදයයි. මෙය 1994 ටත් වඩා ඈතට දිව යන සංවාදයකි. එදා සිට මෙරටේ මැතිවරණ පැවැත්වූ හැම අවස්ථාවකදීම විධායක ක්‍රමය හා මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතුය යන්න ඉදිරිපත් වී තිබෙන අතර ඒ සඳහා ජනවරමක් ලබාදී ඇති බවද අපට මතකය. එහෙත් එය ජනතාවගේ සැබෑ අත්දැකීමක් බවට පත්වූයේ නැත. ඒ වෙනුවට දේශපාලන පක්‍ෂවල අභිමතය පරිදි විධායක බලතල වැනි වූ බව නම් රහසක් නොවේ. 1978 ව්‍යවස්ථාව ඉදිරිපත් කළ ජේ. ආර්. ජයවර්ධන එය තම පක්‍ෂයට වාසි වන ආකාරයට සැකසූ බව ප්‍රබල විවේචනයක් තිබෙන අතරම රාජපක්‍ෂවරුන් එය තම පවුලේ අභිමතය පරිදි සංශෝධන කළ බවටද චෝදනාවක් ඇත.

මෙහිදී අපට පැහැදිලිව පෙනෙන එක් දෙයක් ඇත. එනම් මෙරටේ දේශපාලන බලය හිමිකරගත් ප්‍රධාන පක්‍ෂ දෙකම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිය පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් අලජ්ජී ලෙස භාවිත කර ඇති බවය. ජයවර්ධන විසින් හඳුන්වාදෙන ලද ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි හා අබරණ පැළඳගත් ඒකාධිපති ක්‍රමයක් බව එවක ජයවර්ධනට සමකාලීනව සිටි වමේ ප්‍රබල නායකයන්වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා දැඩිව අවධාරණය කළහ. කුමක් වුවත් විධායක බලය අතට ගත් ජයවර්ධන වමේ දේශපාලනය පමණක් නොව එවකට ප්‍රබල දේශපාලන පක්‍ෂයක් වූ ශ්‍රී.ල.නි.පයද දුබල කර, එම පක්‍ෂයද දිය කිරීමට කූට උපක්‍රම යෙදූ ආකාරයද රහසක් නොවේ. ජයවර්ධනට දාහත් වසරක්ම යෙහෙන් වැජඹීමට හැකි වූයේද එම විධායක බලය විනා අන් දෙයක් නොවේ. විධායක බලය මෙන්ම ඒ හා බැඳුණු මනාප ඡන්ද ක්‍රමයත් ජාතික ලැයිස්තු නියෝජනයත් අරබයා පැන නැගුණු සමාජ දේශපාලන කතිකාව වේදිකාවේ හා මාධ්‍ය සංවාද වලින් ඔබ්බට නොගිය පුස් වෙඩිල්ලක් විය. දැන් යළිත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ පැරණි මාතෘකාව කරළියට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් කෙරන විවේචන, විශ්ලේෂණ මෙන්ම චෝදනා නොතකා ක්‍රියාකළ නොහැකි වාතාවරණයක් දැන් උද්ගත වී තිබේ.

ආණ්ඩුවත් එහි ප්‍රමුඛ පක්‍ෂය වන පොදු ජන එක්සත් පෙරමුණත් විසින් මෙම විධායක ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සමාජ ගත කරන ලද්දේ ජනාධිපතිවරණ කල්දමා ගැනීමේ උපක්‍රමයක් ලෙස බවට ප්‍රබල චෝදනාවක් තිබේ. මෙය දේශපාලන කුමන්ත්‍රණයකැයි විපක්‍ෂවල මතය වී ඇත. ආණ්ඩුව හා එහි ප්‍රමුඛ පාර්ශවය වන පොහොට්ටුව තම කඳවුරට අත්විය හැකි පරාජය මගහැර යාමට නීතියේ සිදුරු සොයමින් සිටින බව ජනතාවගේද පිළිගැනීමය. රජයේ බුද්ධි අංශ පමණක් නොව මේ ආසන්න කාලය තුළ සිදුකරන ලද ජනමත සමීක්‍ෂණ වලින්ද තහවුරු වී ඇත්තේ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව අප්‍රසාදයට පත්ව තිබෙන බවය. මහජනයාගේ යහපත වෙනුවෙන් ක්‍රියාකිරීම පසෙක තබා ආණ්ඩුව සිය දේශපාලන පැවැත්මට උචිත අණපනත් සම්මත කරගනිමින් හිතුවක්කාර ගමනක නිරතව සිටින බව බොහෝ දෙනෙකුගේ විවේචනයයි. ඔවුන් මර්දනකාරී පනත් සම්මත කර ගැනීමටත් පොලිසිය යොදා ගනිමින් සාධාරණ ජනතා විරෝධතා මැඬපවත්වන බවටත් විපක්‍ෂ සිවිල් සංවිධාන හා බහුතර ජනතාවගේද චෝදනාවය. ජනතා අප්‍රසාදය නිසා ජනමතයට බියෙන් පසුවන ආණ්ඩුව අද මොන ආකාරයක හෝ ජනතා විනිශ්චයකට මුහුණදීමට සූදානම් නැති බවද සක්සුදක් සේ පැහැදිලිය.

මේ වන විට පළාත් සභා, පළාත් පාලන ආයතන සියල්ල මහජන නියෝජනයක් නැති නිලධාරි පාලනයකට යටත් කරනු ලැබ ඇත. පළාත් පාලන ඡන්දයට බියවූ ආණ්ඩුව එහිදී ක්‍රියාකළ ආකාරය දැඩි විවාදයට මෙන්ම ජුගුප්සාවටද ලක්විය. පළාත් පාලන ඡන්දය කල් දැමීමේ දුෂ්ට අරමුණ සඟවා ආණ්ඩුව ක්‍රියාකළ වංචනිකභාවය ඉතා පැහැදිලි විය. ඒ ගර්හිත මෙහෙයුමට ජනාධිපති රනිල් ද සෘජුවම මැදිහත් විය. පොහොට්ටුව මැතිවරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවට කළ ව්‍යාජ රංගනය බහුතර ජනතාව වටහාගත්තකි. දැන් පළාත් පාලනයටත් වඩා අතිශය තීරණාත්මක අභියෝගයක් වන ජනාධිපතිවරණය මඟහැරීම සඳහා රාජපක්‍ෂ කඳුවුරට නිසැක අභිලාෂයක් තිබිය හැකිය. එහෙත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් මහින්දගෙන් කරන ලද විමසුමකදී ලබාදී ඇත්තේ මෙවැනි පිළිතුරුය.

“මං බුක්ති විඳපු එකනෙ. අහෝසි කරන එක හොඳයි.”

අනතුරුව මාධ්‍යවේදියා විමසා සිටියේ මෙය ජනාධිපතිවරණය කල්දැමීමේ උප්පරවැට්ටියක්ද යන්නයි.

“ඒවා කියන්න බෑ. අපි අඳුරනවනෙ රනිල්….”

මේ පිළිතුරු කෙබඳු දේශපාලන ඇන්දවීමක්ද? ප්‍රශ්නයට සෘජු හා අවංක පිළිතුරක් දීම වෙනුවට ලබාදෙන ලද වංක දේශපාලන පිළිතුරක් නොවේද මේ? මේ සටකපට පිළිතුරේ ඇඟවීම කුමක්ද? එසේ කිරීමට ජනාධිපති රනිල්ට බැරිකමක් නොමැත යන්න නොවේද? කුමක් වුවත් කරු ජයසූරිය විසින් කරන ලද මෙම විධායකය අහෝසි කිරීමේ යෝජනාව සාම්ප්‍රදායික දේශපාලන නායකයන්ට එල්ලී සිටීමට හැකි පිදුරු ගහක් වී තිබෙන බවද පැහැදිලිය. එසේ වුවද කරු ජයසූරිය නියෝජනය කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විධායක ජනාධිපතික්‍රමය සංශෝධනය විය යුතුය යන ස්ථාවරයෙහි දිගු කලක සිට පිහිටා සිටින ඒ සඳහා දේශපාලන මැදිහත්වීම්ද කර තිබෙන්නකි. කුමක් වුවත් මේ දේශපාලන තේමාව යළිත් කරළියට ඒම නිසා ජනතාව තුළ වුවද කුකුසක් ඇතිව තිබෙන බව කරු ජයසූරිය ඇතුළු පිරිස වටහා ගෙන ඇත. පසුගියදා ඔවුන් කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී ඉතා පැහැදිලිවම සඳහන් කළේ තම ව්‍යාපාරය කිසිසේත් මැතිවරණ කල්දැමීම වෙනුවෙන් පෙනී නොසිටින බවය. ඇත්තටම මෙම විධායක ක්‍රමය වෙනස් කිරීම සඳහා ප්‍රතිඥා දුන් කිසිවෙක් ඒ සඳහා අවංක උත්සාහයක් නොගත්හ. එ.ජා.පයේ ජයවර්ධන හා ප්‍රේමදාස හැරුණු විට මේ දක්වා එම ධුරය හෙබවූ කිසිවෙකු ඒ සඳහා පොළඹවා ගැනීමට කරු ජයසූරිය වුවද අසමත් විය. මෙම ව්‍යාපාරය නිර්මාණය කළ මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූයේද මේ අපේක්‍ෂාව ඉටුකර ගැනීමට නොහැකිවූ කනස්සල්ලද සමඟය. කුමක් වුවත් විධායක ක්‍රමය අහෝසි කිරීමට ආණ්ඩුව හා පොහොට්ටුව උනන්දුවීම දේශපාලනිකව විමසා බැලිය යුත්තකි. ජනාධිපතිවරණයක් පෙනෙන මානයක තිබියදී එබඳු ක්‍රියාන්විතයක් දියත් කළ නොහැකි බව ආණ්ඩුව මෙන්ම එහි නායකයෝද දනිති. විපක්‍ෂ හා සිවිල් සංවිධාන වූවද ඒ යෝජනාව දෙස බැලුවේ සැක සංකා සහිතවය.

ජනාධිපතිවරණ කටේ ගහන්න ගිය ගැටේ!

මෙම ජනාධිපතිවරණය මෙන්ම ඉන්පසු එළඹෙන මහමැතිවරණය වුවද මෙතෙක් මෙරටේ පැවැති සමාජ දේශපාලනයට වඩා ඉඳුරා වෙනස් පසුබිමක් පැවැත්වෙන්නකි. ආණ්ඩුව හා එයට බලශක්තිය සපයන පොහොට්ටුව දේශපාලන වශයෙන් එකම කඳවුරකට අයත් වේ. ඔවුන්ට එරෙහිව ඉදිරියෙන් සිටින ප්‍රමුඛ බලවේග දෙක ස.ජ.බ. හා ජා.ජ.බ බව පැහැදිලිය. මේ පක්‍ෂ දෙකේ නායකයන් වන සජිත්ට හා අනුරට මේ අවස්ථාව වෙද්දී ලැබී තිබෙන ජනතා ප්‍රතිචාර කෙබඳුදැයි ආණ්ඩුව හා පොහොට්ටුවද දනී. මෙතෙක් දේශපාලන පිටියේ වෙන වෙනම සිටි රනිල් හා මහින්ද දෙදෙනාම දැන් සිය පසමිතුරුකම් අමතක කර සිටිති. ඔවුහු දැන් එක කඳවුරක සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය සුරැකීමේ අතිශය තීරණාත්මක අවස්ථාවකට එළඹ සිටින්නෝය. ඒ සටන මොන ආකාරයකින් හෝ ජයගත යුතු බවද ඔව්හු දනිති. වසර 75 ක් පුරා ඒ ප්‍රභූ දේශපාලනය නිරුපද්‍රිත පන්තිමය ගනුදෙනුවක් සේ පැවතුණි. එහෙත් මෙවර සිදුවිය හැකි දේශපාලන පරාජය ඔවුන්ට කෙසේවත් දරාගත නොහැකිය. එක්කෝ මොන ක්‍රමයකින් හෝ සටන වැළැක්විය යුතුය. නැතහොත් සටන් පෙරමුණේ ප්‍රබලයා ඉවත් කළ යුතුය. මැතිවරණ කල්දැමීමේ සුපුරුදු ක්‍රියාදාමය ජනාධිපතිවරණයකදී බලාත්මක කළ නොහැකිය. නීති ක්‍ෂේත්‍රවල සියලු දෙනාගේම අදහස වී ඇත්තේද මොනම ආකාරයකින්වත් ජනාධිපතිවරණයක් කල් දැමීමට නොහැකි බවය.

මේ වනවිට අධිපති දේශපාලන පක්‍ෂ කිසිවක් කෙරෙහි ජනතා ප්‍රසාදයක්ද නැත. ඒවා ගැන මෙන්ම බහුතර මන්ත්‍රීවරුන් ගැනද ජනතාවට විශ්වාසයක් නැත. ජනාධිපතිවරණ සටන ප්‍රභූවරුන්ගේ පිලත් එයට එරෙහි නිර්ප්‍රභූ පිල් දෙකකුත් යන පාර්ශව තුනක සටනකි. සජිත්ට සාම්ප්‍රදායි ප්‍රභූ දේශපාලන සබඳතාවක් තිබුණත් අනුර කුමාරට ඒ බැඳීම් කිසිවක් නැත. සජිත්ගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස සාමාන්‍ය පන්තියට අයත් වුවත් ඔහු දේශපාලනිකව බැඳී සිටියේ පරම ධනවාදී එ.ජා.පය සමඟය. ඔහුගේ පුත් සජිත් ද ඒ පන්තිය සමඟ සමීපව සිටි එංගලන්තයෙන් අධ්‍යාපනය ලද්දෙකි. එහෙත් අනුර කුමාර අනුරාධපුරයට නුදුරු තඹුත්තේගම ඈත ගමක පාසලක ඉගෙන ගෙන පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තෙකි. ගමෙන් නගරයට පැමිණි ඔහුගේ මුල්ගම හා බැඳුණු අව්‍යාජ ඒවායි. ඔහුගේ පක්‍ෂයද එබඳුම ගැමි තරුණයෙකු වූ රෝහණ විජේවීරට අයත් වූවකි. විජේවීර රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා මෙරටට පැමිණ දේශපාලනයේ නිරත වූවෙකි. එසේම ඔහු මෙරටේ කීර්තිමත් වාමාංශිකයකු වූ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහගේ අනුග්‍රහයෙන් උසස් අධ්‍යාපනයට යොමු වූ බවද කියති. (ඔහුගේ දේශපාලන භූමිකාව වෙනම සාකච්ඡා කළ යුත්තකි.)

විජේවීර සාමාන්‍ය පවුලක ඉපිද ධනවාදයට එරෙහිව අරගල කිරීමට දේශපාලන පක්‍ෂයක් ගොඩනගා ඒ නිසාම ඉහළ පන්තියේ දේශපාලනය නියෝජනය කළ පාර්ශවයන්ගේ අනෝරවලටද ලක්ව ඒ නිසාම කුරිරු මරණයකින් ජීවිතය අවසන් කළ විවාදාත්මක චරිතයකි. අද අනුර කුමාර ඔහු විසින් ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දෙයි. අද එම දේශපාලන ව්‍යාපාරය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගෙන ඒ අනුව ජනතා ප්‍රසාදයක්ද ලබාගෙන සිටින ප්‍රධාන මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයක්ද වේ. එ.ජා.ප යට මෙන්ම පොදු ජන පෙරමුණ ශ්‍රී.ල.නි.ප ය වැනි පක්‍ෂවලටද ඔහු මෙම ජනාධිපතිවරණයේදී ඉදිරියට පැමිණීම නොඉවසුම් දෙන්නක් වීම පුදුමයක් නොවේ. එහෙත් ඔහුගේ පක්‍ෂය මීට පෙර ඒ පක්‍ෂවල ආණ්ඩු සමඟද කටයුතු කර ඇත. කුමක් වුවත් මේ නිර්ප්‍රභූ දේශපාලනය අතට රාජ්‍ය බලය හිමිවීම යනු අලුත්ම පෙරළියකි. එපෙමණක් නොව එය මෙරටේ ප්‍රභූ දේශපාලන ආඥාව බිඳ වැටීමකි. ගමෙන් ආපු අනුර කුමාරටත් ඔහුගේ පක්‍ෂයටත් ජයග්‍රහණය හිමිවීම නිසැකයෙන්ම ප්‍රභූවරුන්ට අත්වන ඛේදනීය පරාජයකි. එනිසා සියුම් නීතිමය ආවරණයකට හෝ මුවා වී ඒ ජයග්‍රහණය වළක්වාලීමට ඔවුහු හැකි හැම ප්‍රයත්නයක්ම දරති.

මේ වර්ගයේ දේශපාලන අභියෝග වළක්වාලීමට එදා ජයවර්ධන පාලනයද ක්‍රියාකළ අයුරු ඉතිහාසය පෙන්වා දෙයි. විජේවීරට මෙන්ම විජයකුමාරතුංගටද ඒ ප්‍රභූ දේශපාලනයේ අනෝර විඳගැනීමට සිදුවිය. විජය කුමාරතුංග ඝාතනයට ලක්වන්නේ විජේවීරගේ පක්‍ෂයෙන් වීමද තවත් ඛේදවාචකයකි. මේ සිදුවීම් විමසා බලන විට මෙරටේ ප්‍රභූ දේශපාලන උරුමයට අභියෝග කිරීම ජීවිතය ඔට්ටුවට තබා කෙළින සූදුවකි. එහෙත් අද දේශපාලන භූමිය වෙනස්ය. එහිදී ජා.ජ.බය විසින් අත්කරගන්නා ලද සමාජ ආකර්ෂණය ප්‍රභූ පාලකයන්ට නැත. මානවවාදීව ඔවුන්ට මුහුණ දිය හැකි දේශපාලන පරිචයක් සහිත කොටස්ද අද ඒ ප්‍රභූ පන්තියෙන් දුරස්වී සිටිති.

මේ අතර ප්‍රභූ දේශපාලන උරුමය බැහැර කරමින් ජනතාවාදී දේශපාලනයකට අවතීර්ණවී සිටින සජිත් හා ස.ජ.බ යද පවතින ක්‍රමයට අභියෝග කරන අයුරු පෙනේ. ස.ජ.බයත් එ.ජා.පයෙන් බිඳී පීඩිතයන් දිනා ගැනීමේ දේශපාලන මෙහෙයුමක නිරතව සිටියි. එහෙත් ඔව්හුද ජා.ජ.බයේ පසමිතුරෝය. මේ පසමිතුරුකම ප්‍රභූවරුන්ට නම් අස්වැසිල්ලකි. සජිත් හා අනුර එක් විටෙක පවතින දේශපාලනයට අභියෝග කරන අතරම තවත් විටෙක ඔවුහුද පිළිමල් සංග්‍රාමයක නිරත වන්නාහුය. කුමක් වුවත් ඒ සංග්‍රාමය පවතින ප්‍රභූ දේශපාලන රාමුවට එල්ල වන අභියෝගය ලිහිල් කරන්නක්ද වේ.

මේ සියලු ප්‍රතිචාර දෙස බලද්දී එළඹෙන ජනාධිපතිවරණ සටන් බිම ප්‍රධාන කඳවුරු දෙක විය යුතුව තිබුණු ප්‍රභූ පැලැන්තිය හා නිර්ප්‍රභූ නායකත්වයද තුන්කොන් සටනක් ලෙස සිදුවනු ඇතැයි කල්පනා කළ හැකිය. ඒ සටන් බිම තමන්ට වාසිදායක ලෙස සකසා ගැනීමට ජනාධිපති රනිල්ට හෝ පොහොට්ටුවේ නායක මහින්දට හෝ හැකියාවක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක. ඒ නිසා විධායකය අහෝසි කළ යුතුය යන පැරණි තේමාව අද පවතින දේශපාලනයට අදාළව භාවිත කළ නොහැක. එය කිසිසේත් ප්‍රභූ දේශපාලන සටකපට ක්‍රියාදාමයට භාවිත කළ හැකි අවියක්ද නොවේ. මොට්ට අවියකි.

සාධාරණ සමාජයේ නායක කරු ජයසූරිය පවා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර එබඳු සංශෝධනයක් කළ නොහැකි බවය. එනිසා රනිල් – මහින්ද හවුලට ඒ මොට්ට අවිය යොදා ගැනීමට කිසිසේත් ඉඩක් නැති බවද සඳහන් කළ යුතුය. එහෙත් ඔවුහු ඒ සටන ලේසියෙන් අත්හරිත් දැයි පැවසීමද අසීරුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment