ඉකුත් ඉරිදා (15දා) කොළඹ සුගතදාස ක්රීඩාංගණයේ දී නිමාව දුටු ප්රමුඛ පෙළ පාසල් අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද “ජනාධිපති අභියෝග කුසලාන” හිමි කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල නියෝජනය කළ ක්රීඩකයෝ සමත් වූහ.
කොළඹ ඉසිපතන විදුහල පිළිමළුන් පිටුදැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලද 12 වැනි වාර්තාගත වර්ෂය මෙයවීම විශේෂත්වයක් ගත්තේය. මෙවර තරගාවලියේ අනුශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සතු විය.
ඉකුත් වසරේ ශූරයින් වූ ශාන්ත පීතර විදුහල පිට පිට දෙවන වතාවට ද “ජනාධිපති අභියෝග කුසලාන” බම්බලපිටියට රැගෙන යෑමට ගත් උත්සාහය ප්රතිවාදී ඉසිපතන විදුහල හමුවේ මෙවර අසාර්ථක විය.
ඩයලොග් ආසිආටා සමාගමේ සංවිධාන ශක්තිය ඇතිව ශ්රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද “ජනාධිපති කුසලාන” තරගාවලිය ඉසිපතන, ශාන්ත පීතර, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ වෙස්ලි, කොළඹ ඩී. එස්. සේනානායක සහ කොළඹ සහිරා යන විදුහල් අතරේ ක්රියාත්මක කෙරුණි. අවසන් පූර්ව වටයේදී ශාන්ත පීතර විදුහල හමුවේ කොළඹ වෙස්ලි විදුහල ලකුණු 23 – 20 ක් ලෙස පරාජය ලැබූ අතර ඉසිපතන විදුහල හමුවේ ලකුණු 25 – 20 ක් ලෙස පරාජය ලැබීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට සිදු විය.
ඉසිපතන සහ ශාන්ත පීතර යන දෙවිදුහල් අතර පෙරේදා (15දා) සවස කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී ක්රියාත්මක කෙරුණු මෙවර අවසාන මහා තරගය අපේක්ෂා කළ පරිදිම අතිශය තියුණු හා උණුසුම් ස්වරූපයක් ඉසිලීම කැපී පෙණුනි. සමබර දක්ෂතා සපිරි ක්රීඩකයින් දෙපිල නියෝජනය කිරීම හේතුවෙන් තරගයේ උණුසුම වඩාත් තීව්ර වන ආකාරය ප්රදර්ශනය විය. මෙවර ලීග් ශූරතාව අපරාජිතව තහවුරු කර ගත් ශාන්ත පීතර විදුහලට එරෙහිව දියත් කළ උපක්රමශිලී ආක්රමණය හේතුවෙන් පිළිමළුන් පිටුදැකීමේ ශූරතාව තහවුරු කර ගැනීමට ඉසිපතන විදුහලට හැකියාව ලැබිණි. ඒ අනුව ශාන්ත පීතර විදුහල පරදා ලකුණු 06 ක තියුණු ජයග්රහණයක මිහිරි රස පානය කිරීමට ඉසිපතන ක්රීඩකයින්හට හැකියාව ලැබිණි.
ගෝල් දිනුම් 01 ක් උත්සාහක දිනුම් 03 ක් සහ දඬුවම් පහර 04 ක් ආශ්රිතව ලකුණු 34 ක් සටහන් කර ගැනීමට ඉසිපතන විදුහල සමත් වන අතර වාරයේ දී ශාන්ත පීතර විදුහලට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 29 ක් පමණි. ඒ, ගෝල් දිනුම් 03 ක් උත්සාහක දිනුම් 01 ක් සහ දඬුවම් පහර 01 ක් ආශ්රිතවය.
තරගයේ ප්රථම භාගය නිමා වන විට ලකුණු 20 – 12 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර