ඩයලොග් ආසීආටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙය වනු ලබන “ජනාධිපති අභියෝග කුසලාන” ප්රමුඛ පෙළ පාසල් අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බී පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන පූර්ව වටය සෙනසුරාදා (07) සහ ඉරිදා (08) පැවැත්වේ.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ අතර කොළඹ වෙස්ලි විදුහල අතර පළමු අවසන් පූර්ව තරගය සෙනසුරාදා (07) ප.ව. 4.00 ට ද කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර දෙවන අවසන් පූර්ව තරගය ඉරිදා (08) ප.ව.04.00 ට ද කොළඹ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැත්වේ.
මෙහි ජයග්‍රාහී දෙපිල අවසාන මහා තරගයට සුදුසුකම් ලබන අතර එම සටන සැප්තැම්බර් 15 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සැළසුම් කර තිබේ.
මෙවර තරගාවලියේ අර්ධ අවසාන පූර්ව වටයේ තරග අගෝස්තු 30 සහ 31 දින ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ජයග්‍රහණ අත්කර ගැනීමට වෙස්ලි විදුහල සහ ශාන්ත තෝමස් විදුහල සමත් විය. අර්ධ අවසාන පූර්ව වටයේ දී වෙස්ලි විදුහල හමුවේ ලකුණු 27 – 20 ක් ලෙස ඩී. එස්. සේනානායක විදුහල ද ශාන්ත තෝමස් විදුහල හමුවේ ලකුණු 27 – 20ක් ලෙස සහිරා විදුහල ද පරාජය ලැබීය.
“ජනාධිපති අභියෝග කුසලාන” ප්රදානය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි පාපන්දු තරගාවලිය මෙය වන අතර ඒ සඳහා මෙවර ඉදිරිපත් වූ පාසල් සංඛ්‍යාව 06 කි.
ලීග් ශූරයන් වන ශාන්ත පීතර විදුහල, ලීග් අනු ශූරයන් වන ඉසිපතන විදුහල මෙන්ම ශාන්ත තෝමස් විදුහල, වෙස්ලි විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ කොළඹ සහිරා විදුහල අතර මෙවර තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.
මේ අතර වාරයේ දී “අගමැති අභියෝග කුසලාන” වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන අවසන් පූර්ව වටය ද සෙනසුරාදා සහ ඉරිදා (07 සහ 08) රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැත්වේ. මෙම තරග ද්විත්වයම ප.ව. 02.00 ට ආරම්භ කෙරේ.
කොළඹ මහානාම විදුහල සහ පිළියන්දල මධ්‍ය මහා විදුහල අතර තරගය සෙනසුරාදා (07) දිනයේ දී ද කොළඹ ආනන්ද විදුහල සහ මොරටුව වේල්ස් කුමාර විදුහල අතර තරගය ඉරිදා (08) දිනයේදී ද තරග බිමට අවතීර්ණ වීමට නියමිතය.
“අගමැති කුසලාන” අර්ධ අවසන් පූර්ව වටයේ දී වේල්ස් කුමාර විදුහල හමුවේ කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහල ලකුණු 13 – 12 ක් ලෙස පිළියන්දල මධ්‍ය මහා විදුහල හමුවේ කොළඹ ලුම්බිණි විදුහල ලකුණු 25 – 21ක් ලෙසද පරාජය ලැබීය.
නුගවෙල මධ්‍ය මහා විදුහලට එරෙහිව මොරටුව මහා විදුහල සෙනසුරාදා (07) දින ද පාදුක්ක සිරි පියරතන විදුහලට එරෙහිව ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල ඉරිදා (08) දිනයේ දී ද තරග බිමට එක් වෙති. ඒ “සභාපති අභියෝග කුසලාන” අවසන් පූර්ව වටය ජය ගැනීමේ අපේක්ෂා ඇතිවය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර