ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි… ඒක ජනතාවගේ මතය…

497

පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් නෑ…

රටේ මිනිසුන්ගේ ආවේගය පාලනය කළේ අපි…

ණයක් අරන් ගෙවා ගන්න බෑ කියන්නේ
බංකොළොත් කියන එක තමයි….

ඒ ආණ්ඩුවේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර
මත දෙකක් තිබුණා. එය නරක ලෙස බලපෑවා…

රට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තේය. එම අර්බුදය සම්බන්ධයෙන් විමසීමට ප‍්‍රථම සමගි ජන බලවේගය පසුගියදා කොළඹදී පැවැත් වූ උද්ඝෝෂණ පාගමන පිළිබඳ විමසීමට අමතක නොකළෙමු. පහතින් පෙළගැසෙන්නේ ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – රට හමුවේ ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට බලපෑම් කිරීම සඳහා සමගි ජන බලවේගය පසුගියදා කොළඹදී උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබුණා. එහිදී ඇතැම් උද්ඝෝෂකයන්ගේ හැසිරීම් පිළිබඳව රට කතාබහට ලක්වනවා. ඇතැම් උද්ඝෝෂකයන්ට ඔවුන් පැමිණි කාරණය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ නේද?

පිළිතුර – රටේ මිනිස්සුන් වත්මන් රජය සමග විශාල තරහකින් ඉන්නේ. අපි ඔවුන්ව පාලනය කළා. එසේ නොවුනා නම් මීට වඩා වෙනස් තත්ත්වයක් ඇතිවෙන්න තිබුණා. අපි හිතුවටත් වඩා උද්ඝෝෂණය සඳහා සෙනඟ ආවා.

ප‍්‍රශ්නය – සෙනඟ පැමිණි බව ඇත්ත. නමුත් මේ පැමිණ සිටි ඇතැම් උද්ඝෝෂකයන් හැසුරුණු ආකාරය අනුව රට තුළ ආර්ථික අර්බුදයක් තිබෙන බවක් නම් පෙනුනේ නැහැ. ඔවුන් නටමින් ගයමින් බොහෝ විනෝදයෙන් තමයි කටයුතු කළේ. අපි දැක්කෙ සෙනඟ මඟුල් ගෙදරක ගියා වගේ තත්ත්වයක්.

පිළිතුර – මෙහෙමයි.. එතැන මිනිස්සු විශාල සංඛ්‍යාවක් හිටියා. එක එක අය හැසිරෙන විදිහ වෙනස්. සමහරු කාවඩි නැටුවා. සමහරු මුහුණු ආවරණ පැළඳ උද්ඝෝෂණයේ යෙදුණා. ඇත්තටම සමාජය විවිධයි. එය තමයි එතැන නිරූපණය වුණේ.

ප‍්‍රශ්නය – එම උද්ඝෝෂණ පාගමන සාර්ථක යැයි ඔබ සිතනවාද?

පිළිතුර – අතිශය සාර්ථකයි. අපි හිතුවටත් වඩා සාර්ථකයි.

ප‍්‍රශ්නය – ඔබ සාර්ථක යැයි කියන්නේ සෙනඟ පැමිණීමද ? එසේ නොමැති නම් ආණ්ඩුව ගත් පණිවිඩය ද?

පිළිතුර – අපි මෙම උද්ඝෝෂණය කළේ ‘‘ගෝඨා ගෝ හෝම්” කියන උදෘතය සමඟ. එය සාර්ථකයි. ඒ වගේම විශාල ජන සමූහයක් ඒ සඳහා පැමිණ සිටියා. සෑම අතින්ම ගත් කළ උද්ඝෝෂණය සාර්ථකයි.

ප‍්‍රශ්නය – අප ඉහත කතාකළ ජනතා හැසිරීම උද්ඝෝෂණය සාර්ථකත්වයට අවාසියක් නොවේද?

පිළිතුර – ඔය කියන පිරිස් දෙක තුනකට වඩා හිටියේ නැහැ. මාධ්‍යයත් කැමති ඉතින් ඔය වගේ දේවල් උලූප්පලා පෙන්නන්න නේ. විවිධ පුද්ගලයෝ සමාජය තුළ ඉන්නවා. ඒක තමයි ඇත්ත. අපට අවශ්‍ය වුණේ ජෝගි නටන්න නෙවෙයි. ගිනි ගොඩවල් ගහන්න නෙවෙයි. කුඩා පිරිසකගේ හැසිරීම් කිහිපයක් සමස්තයට ලඝු කරන්න එපා.

ප‍්‍රශ්නය – ඇත්තටම ඒ වගේ සතුටින් හිටපු මිනිස්සු පිරිසක් දුටුවහම ආණ්ඩුවට වුණත් හිතෙන්න පුළුවන් මිනිස්සුන්ට ඇත්තටම ප‍්‍රශ්න නැහැ නේද කියලා.

පිළිතුර – නැහැ නැහැ.. ආණ්ඩුවට එහෙම හිතන්න බැහැ. දෙයන්තයක සිටින සීමිත ජන පිරිසකගේ හැසිරීම් ගැන සිතා මැද සිටින අති විශාල ජන සමූහය අමතක කළොත් ආණ්ඩුවට වරදිනවා. ඇත්ත ජනතාව තේරුම් ගත යුතුයි.

ප‍්‍රශ්නය – සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා උද්ඝෝෂණ පාගමන අවසානයේ පැමිණ සිටි ජනතාව ආමන්ත‍්‍රණය කළා. එහිදී ඔහු ජනාධිපතිවරණයක් වහා අවශ්‍ය බව සඳහන් කළා. ඇත්තටම මේ වෙලාවේ ජනාධිපතිවරණයක්..

පිළිතුර – මිනිස්සු කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලනෙ.. ජනතාවගේ පැත්තෙන් බැලූවත් ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි.

ප‍්‍රශ්නය – ඔබ පුද්ගලිකව මේ අවස්ථාවේ ජනාධිපතිවරණයට එකඟද?

පිළිතුර – අපිට මිනිස්සු විඳින දුක ගැන බලන්න වෙනවා. ජනාධිපතිවරණයට ලොකු ගාණක් වියදම් වෙනවා වෙන්න පුළුවන්. නමුත් වත්මන් රජය නිසා කොතරම් මුදලක් මේ වන විට විනාශ වෙලා තියෙනවද. විනාශවෙමින් තිබෙනවාද. ඒ නිසා අපිට සාපේක්ෂව තමයි වියදම බලන්න වෙන්නේ.

ප‍්‍රශ්නය – ලොකු ගාණක් වියදම් කර ගෙනෙන ජනාධිපතිවරයා කවුද?

පිළිතුර – මම හිතන්නේ නායකතුමා ජනාධිපතිවරණයක් ගැන කතා කළේ ඒ අවස්ථාවේ පැවැති තත්ත්වය අනුවයි. උද්ඝෝෂණයේ තේමාව වුණේ දැන් ඇති ගෙදර යන්න කියන එක. එතැන ලොජිකල් කන්ක්ලූශන් (තාර්කික නිගමනය) එයයි . පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් ඕන වෙලාවක ආණ්ඩු බලය වෙනස් කරන්න පුළුවන්.

ප‍්‍රශ්නය – එහෙම හැකියාවක් තිබිය දී ජනාධිපතිවරණයක් ඉල්ලීම නිසයි මම ඔබගෙන් එම ප‍්‍රශ්නය විමසුවේ. අන්තිමට ජනතාවට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙයිද?

පිළිතුර – එහෙම නෙවෙයි. කවුද ඉඟුරු.. කවුද මිරිස්.. නිකං මතයක් නේ.. දැන් වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතාව දක්වන ප‍්‍රතිචාර කොහොමද. ඇත්තටම ඒ වචන මම මෙතන පාවිච්චි කරන්න කැමති නැහැ. ඇත්තටම ජනතාවට එතුමාව එපා වෙලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය – උද්ඝෝෂණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා පමණක් අදහස් දැක්වුවේ ඇයි?

පිළිතුර – එතන තත්ත්වය අනුවයි එහෙම වුණේ.

ප‍්‍රශ්නය – නමුත් ඇතැමුන් කියන්නේ නම් අභ්‍යන්තර අර්බුදයක් කියලා.

පිළිතුර – නැහැ නැහැ.. එහෙම එකක් නෙමෙයි. එතන පැවැති තත්ත්වයයි එය තීරණය කළේ.

ප‍්‍රශ්නය – සජිත් පේ‍්‍රමදාස මහතාගේ කතාවේදී සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ රටවල් තුනක් අපට ඉන්ධන ලබා දීමට එකඟතාවක් පැමිණි ඇති බව සඳහන් කළා. ඒ රටවල් මොනවද ?

පිළිතුර – ඔය සම්බන්ධයෙන් එතුමා මා සමඟ කතා කළා. නමුත් ඒ ගැන වැඩිපුර විමසීමක් මම කළේ නැහැ.

ප‍්‍රශ්නය – ඇත්තටම එම රටවලින් තෙල් ගන්න සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා. මේ වන විට රට තුළ ඉන්ධන නොමැතිව ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින්නේ. රට තුළ බරපතළ අර්බුදයක් තිබිය දී අවශ්‍ය නම් සජිත් පේ‍්‍රමදාස මහතාට එම රටවල් සමඟ කතාකර තෙල් මෙරටට අරන් දෙන්න බැරිකමක් නැහැ.

පිළිතුර – පුළුවන්. ගැටලූවක් නැහැ. කවුරු මොනවා කිව්වත් අපගේ නායකතුමා ජනතාවට සේවය කරනවා. කොරෝනා සමය තුළ එතුමා විශාල සේවයක් ජනතාව වෙනුවෙන් සිදු කළා. ඔහු ලකුණු දාගන්න වැඩ කරන්නේ නැහැ. විදේශ රටවලින් ආධාර ලබාගන්න එතුමාට විශේෂ හැකියාවක් තිබෙනවා.

ප‍්‍රශ්නය – එහෙනම් එතුමාට දැන් රටට උදව් කරන්න පුළුවන්නේ.

පිළිතුර – රජය අපට අවස්ථාවක් දෙන්නේ නැහැ. ජනාධිපතිවරයා අගමැතිවරයා මුදල් ඇමැතිවරයා කිසිවෙක් අපට සාකච්ඡාවකට ආරාධනා කර නැහැ.

ප‍්‍රශ්නය – හොඳයි මන්ත‍්‍රීතුමා, අප දැන් ඔබතුමාගේ විෂය වෙත ප‍්‍රවිශ්ඨ වෙමු. ඇත්තටම දැන් රට බංකොලොත්ද ?

පිළිතුර – ඔව්.

ප‍්‍රශ්නය – නමුත් රජය කියන්නේ එහෙම තත්ත්වයක් නැති බව. බංකොලොත් යැයි ඔබ සඳහන් කරන්නේ කෙසේද?

පිළිතුර – ණයක් අරන් ගෙවා ගන්න බැහැ කියන්නේ ඉතින් බංකොලොත් තමයි.

ප‍්‍රශ්නය – නමුත් රජය ණය ගෙව්වා. ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ණය වාරිකයක් වත්මන් රජය ගෙවා දැමුවා. ඒ වගේම ලබන ජුලි මාසයේ ගෙවීමට ඇති ඩොලර් බිලියනයක ණය වාරිකයක් ගෙවන බව රජය සඳහන් කරනවා.

පිළිතුර – ගෙවනවා කියලා කියනවා තමයි. අප සතු සබ්බ සකලමනාවම ගෙවූ පසු ඉතුරු වෙන්නේ මොනවාද.

ඇත්තටම රට නෙමෙයි බංකොලොත්, ආණ්ඩුවයි බංකොලොත්. ඔබ මීට පෙර රට බංකොලොත් ද යන්න අහපු ප‍්‍රශ්නෙට මම ‘‘ඔව්” කියලා කිව්වට ඇත්තටම රට නෙමෙයි ආණ්ඩුවයි බංකොලොත්. ආණ්ඩුව තමයි ණය අරන් තියෙන්නේ. මහ බැංකුව බංකොලොත්ද කියලා ඔබ ඇහුවොත් උත්තරේ ‘‘ඔව්” තමයි. මහ බැංකුවේ විදේශ වත්කම්වලට වඩා විදේශ වගකීම් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන තුනහමාරක් පමණ වැඩියි. එතකොට තාක්ෂණිකව බංකොලොත්. ණය අරන් ගෙවන්න බැරි නම් බංකොලොත් තමයි.

ප‍්‍රශ්නය – ඔබ නිතරම සඳහන් කළ කාරණයක් තමයි ණය ප‍්‍රතිව්‍යහගතකරණය. නමුත් රජය එසේ නොකර පසුගියදා ඩොලර් මිලියන 500ක ණය වාරිකයක් ගෙවා දැම්මා. එය පවතින ආර්ථික අර්බුදයට කෙතරම් බලපෑමක් කළාද?

පිළිතුර – ඒ නිසා තමයි රටේ තෙල්, ගෑස්, ආහාර, බෙහෙත් නැත්තේ. අපට පෙට‍්‍රල් ටික ගන්න ඩොලර් මිලියන තිස් එකක් නැහැ. ඒවා දැන් ගන්නෙ එක එක රටවලින් අතමාරු අරගෙන. අපි කියන ඒවා අහන්නැතුව ඩොලර් මිලියන 500 ක් ගෙව්වා. දැන් ජුලි මාසේ තවත් ඩොලර් මිලියන දාහක් ගෙවනවලූ.

ප‍්‍රශ්නය – ඒ සඳහා රජයට මුදල් තිබෙනවා ද?

පිළිතුර – ගෙවන්න සල්ලි රජයට නැහැ. ගෙවන්න බැහැ.

ප‍්‍රශ්නය – ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ?

පිළිතුර – ගෙවන්න බැරිවුණොත් ණය පැහැර හරින්නෙක් වෙනවා. එතකොට තවත් මෙතනින් පහළට වැටෙනවා. මෙහෙම තත්ත්වයක් එන බව අපි එකින් එක පැහැදිලි කළා. වත්මන් රජයේ පළමු අය වැයේදී පිළිතුරු කතාව කරමින් මම පැයක් කතා කළා. මේ යන විදිහට යන්න බැරි බව මම කරුණු කාරණා ඇතිව සඳහන් කළා. අපි කිව්වේ දැන්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතාකර ප‍්‍රශ්නය විසඳාගන්න කියලා. එහෙම නැත්නම් ණය ප‍්‍රතිව්‍යහගතකරණය කරන්න කියලා අපි කිව්වා. ඇත්තටම එදා මම කිව්වේ එසේ නොකළහොත් තව වසරකින් විශාල කඩා වැටීමකට යන්න වෙන බවයි. අපි ඒ බව කිව්වේ 2020 දී. එතකොටත් ප‍්‍රශ්නය ව්‍යාප්ත වෙලා තිබුණේ.

ප‍්‍රශ්නය – ඩොලර් මිලියන 500 ණය වාරිකය නොගෙවා ඉන්න අවස්ථාවක් තිබුණද?

පිළිතුර – මෙහෙමයි. අපට ණය ප‍්‍රතිව්‍යහගතකරණය කරන එකට යන්න තිබුණා. එහෙම වුණත් තාක්ෂණික ගැටලූවක් තිබෙනවා. ඒත් එය සැලසුම්සහගත එකක්. එසේ නොමැතිව සැලසුම්සහගත නොවන එකක් නෙමෙයි. නමුත් ඒ කිසි දෙයකට වත්මන් රජය ගියේ නැහැ. එසේ නොකර වැඩ කිරීමෙන් ප‍්‍රශ්න ගණනාවකට රට ලක් වුණා.

ප‍්‍රශ්නය – ඔබතුමන්ලා ආණ්ඩු කළා. හරිනම් ඔබතුමන්ලාත් මේ අර්බුදය කලින් දකින්න ඕන. මෙම ආර්ථික අර්බුදය ඔබතුමන්ලාට විසඳන්න බැරි වුණේ ඇයි?

පිළිතුර – අපි කැබිනට් මණ්ඩලය නියෝජනය කළේ නැහැ. අපට තැනක් ලැබුණේ නැහැ. අපට බොහෝ දේවල් බලාගෙන ඉන්න වුණා. ඒ ආණ්ඩුවේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර මත දෙකක් තිබුණා. එය නරක ලෙස බලපෑවා. එම කඹ ඇදිල්ල නිසා ප‍්‍රශ්න ඇතිවූ බව මම පිළිගන්නවා. හැබැයි මංගල සමරවීර මහත්මයා මුදල් ඇමැති කාලෙ අපගේ ප‍්‍රාථමික ගිණුමේ ශේෂයක් තිබුණා. අවුරුදු පනස් ගණනකට පසුව තමයි මංගල ඇමැතිතුමාට එහෙම දෙයක් කරන්න පුළුවන් වුණේ. මිනිස්සු බැන්නට මංගල සමරවීර මහත්මයා කළ යුතු දේ කළා.

ප‍්‍රශ්නය – වත්මන් රජයේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කරන්න නොහැකිද?

පිළිතුර – පුළුවන්නම් දැන් කරන්න එපැයි. රට දැන් පුදුම වැටිල්ලක් වැටිලා තිබෙන්නේ. ඉතිහාසයේ කවදාවත් මෙහෙම වැටිලා නැහැ. රුපියලට කුඩුපට්ටම් වෙන්න වැදිලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය – රුපියල පා කරපු වෙලාව හරිද?

පිළිතුර – එය මීට ගොඩක් කලින් කරන්න තිබුණු වැඩක්. එහෙම කළානම් රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 220 ට 225ට තබාගන්න තිබුණා. එතකොට මිනිස්සුන්ට දැනෙන්නෙත් නැහැ.

ප‍්‍රශ්නය – දැන් යන විදියට රුපියල කෙතරම් අවප‍්‍රමාණය වේවිද ?

පිළිතුර – කොතනින් නවතියිද කියලා මම නම් දන්නේ නැහැ. ආණ්ඩුව කරලා තියෙන්නේ සපත්තු දාලා මේස් එක දානවා වගේ වැඩක්. සේරටම කලින් කරන්න ඕනේ ණය ප‍්‍රතිව්‍යහගතකරන එකයි. ඇත්තටම අපි රුපියලට සපෝට් එකක් දෙන්න ඕනා. ඒ කියන්නේ පොලී අනුපාතය ඉහළ දාන්න ඕනෑ. අද රුපියල තනිවෙලා. පව් වැඬේ. රුපියලට තනිවම සටන් කරන්න බැහැ. සපෝට් එක කියන්නේ පොලිය වැඩි කරන එක. එය සියයට එකකින් වැඩි කරල හරියන්නෙ නැහැ. එය සියයට හයකින් හතකින් ඒ වෙලාවේ වැඩි කරන්න තිබුණා.

ප‍්‍රශ්නය – දැන් පොලී අනුපාතය ඉහළ නැංවුවහොත් ඔය කියන ප‍්‍රශ්නෙට විසඳුමක් ලැබේවිද?

පිළිතුර – කොහොමත් පොලී අනුපාතය වැඩි කරන්න ඕන. එහෙම නැතුව ප‍්‍රශ්නය විසඳගන්න බැහැ. රුපියල වැටෙන වෙලාවේ ඩොලර් ටිකක් පොම්ප කරන්න මහබැංකුවට හැකියාවක් තියෙන්න ඕනෑ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව මේ වන විට ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවලින් පොඩි පොඩි අතමාරු ගන්නවා. මෙම කුඩා අතමාරුවලට ප‍්‍රශ්නය විසඳිය හැකිද?

පිළිතුර – බැහැ බැහැ.. මම දිගින් දිගටම කිව්වා වගේ ණය ප‍්‍රතිව්‍යහගතකරණය කිරීමට සාකච්ඡා ආරම්භ කළ යුතුයි. එම සාකච්ඡා ආරම්භ කර හුස්ම ගන්න කාලයක් ගත යුතුයි. මම ඕක දිගින් දිගටම කිව්වා. ඔබගේ ‘දිවයින’ පුවත්පතෙන් ඒවා පළ වී තිබෙනවා.

ප‍්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණා. ඇත්තටම අයි එම් එෆ් ගිහින් ප‍්‍රශ්නය විසඳාගන්න පුළුවන් ද?

පිළිතුර – බැහැ. අපි අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් කරන්න සූදානම් නැත්නම් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නෙමෙයි කොහේ ගියත් වැඩක් නැහැ. අපි නරකම තැනට වැටිලා ඉන්නේ. ඔවුන්ටත් අපිව බේරගන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට ප‍්‍රමාද ඇයි?

පිළිතුර – මම හිතන්නේ ඔවුන් මතවාදී තැනක හිරවෙලා ඉන්නේ.

ප‍්‍රශ්නය – ඔබතුමන්ලාගේ රජයක් තුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන්න හැකිද?

පිළිතුර – අනිවාර්යයෙන්ම. ඒ සඳහා අප දැනටමත් සැලසුම් සකසා අවසන්. මාස ගණනාවක් තිස්සේ අප ඒ සඳහා වෙහෙසෙනව. අපට සියයට සියයක් විශ්වාසය තිබෙනවා රට ගොඩගන්න පුළුවන් කියලා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment