රට හදන හරි වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇත්තේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ පමණයි
හොරු අල්ලන ෆයිල්වල කොපි ගත්තේ මගෙන්
අයි.එම්.එෆ්. කොන්දේසි කවුරු ආවත් ඉදිරියට ගෙන යා යුතුයි
මාලිමාව මම නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නැතිව නිශ්ශබ්දයි මම ලෑස්තියි ඕන වෙලාවක මේවා ගැන කථා කරන්න
අයවැය පියවන්නේ හොරු අල්ලලා ගන්න සල්ලිවලින්ද?
විධායක ජනාධිපති ක්‍රමය, 13 වැනි සංශෝධනය වැනි ප්‍රශ්න අල්ලාගෙන වාද කිරීමට වඩා රටේ ඇත්ත ප්‍රශ්නය වන ආර්ථික ප්‍රශ්නයෙන් රට මුදාගන්නේ කෙසේද යන ප්‍රශ්නයට ජනාධිපති ප්‍රධාන අපේක්‍ෂකයන් පිළිතුරු සැපයිය යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය සඳහා සිදු කරන සියලු ප්‍රචාරක කටයුතු අද (18දා) මාධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතව තිබියදී තමා රට භාරගෙන වසර දෙකක් තුළ රටේ ආර්ථිකය කළමනාකරණය කළ ආකාරය පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කරමින් ඊයේ (17දා) සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී පළ කළ අදහස් මෙහි දැක්වේ.
ප්‍රශ්නය :- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ අනෙකුත් ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාත් ඉදිරියට ගෙනයන බව කියා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස.
පිළිතුර :– මට තියෙන්නේ මේ ගෙනයන ක්‍රමවේදය ඉදිරියට ගෙන යෑමයි. ආණ්ඩුවක් ආවාම කරගෙන යන ටික කරගෙන යන්න ඕන. ඇතැමුන් හොරු අල්ලන එක ගැන කතා කළාට වැඩසටහන දීලා තියෙන්නේ රට හදන, හරි වැඩපිළිවෙළ ඉදිරිපත් කරල තියෙන්නේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පමණයි. හැබැයි අනිත් අය ජාත්‍යන්තර අරමුදල සමග දැනට තියෙන ආකාරයෙන්ම ඉදිරියට යනවද නැද්ද කියලා කියන්න ඕන. ඒකෙන් පිට වැඩ කරන්න ගියොත් ආයිත් 2022 තත්ත්වයට රට පත්වෙයි.
ප්‍රශ්නය :- විපක්‍ෂය විසින් හොරු අල්ලලා සොරාගත් දේවල් නැවත ලබාගන්නවා කියනවා. ඔබ ඒ ගැන දරන අදහස කුමක්ද?
පිළිතුර :- හොරු අල්ලනවයි කියන ෆයිල් 400 මංගාව තියෙනවා. මගෙන්නෙ කොපිය ගත්තෙ. 400 පෙන්නන්න පුළුවන්. හැබැයි ඇරල පෙන්නන්න බැහැ. මොකද 15යි නඩු දැම්මේ. අනිත් ෆයිල්වල මිනිස්සුන්ගේ නම් විතරයි තියෙන්නේ. මට තියෙන්නේ කරගෙන යන වැඩ ටික කරගෙන යන්න විතරයි. ජාතිවාදී, ආගම්වාදී, ජනවාර්ගික ප්‍රශ්න නැහැ. මට තියෙන්නේ ආර්ථික ප්‍රශ්නය විසඳන එක විතරයි.
ප්‍රශ්නය :- අය-වැයට අලුත් යෝජනා ඉදිරිපත් කරද්දී (IMF) එකඟතා එක්ක ද ඉදිරිපත් කරන්නේ.
පිළිතුර :- මම IMF එකඟතා අනුවයි වැඩකටයුතු කරල තියෙන්නේ. ඒ අනුව තමයි අය-වැය සකස් කරල තියෙන්නේ. අපේ අය-වැය ආදායම් වියදම් අනුව බැලුවම බිලියන 1000යි. ඒ 1000 ණය හැටියට වෙළෙඳපොළෙන් ගන්න පුළුවන්. මොකද අපිට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහ වෙනකම් ණය ගන්න පුළුවන්. මේක ඇත්තටම තියෙන්නේ පහයි දශම එකක් විතර. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ තාම කියන්නේ නැහැ බජට් එක කුමක්ද කියලා. අපි හැදුව ඒගොල්ලෝ කියන එක අනුව එහෙනම් ආදායම් වියදම් පරතරය බිලියන හතරයි. මේක ඇත්තටම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට එකොළහයි දශම හතරයි. මේක IMF කොන්දේසි කැඩීමක්. එහෙම කළොත් අඩුගානේ ආණ්ඩුව මුදල් ගන්න ගියොත් පොලිය සියයට 25ක් වෙනවා. එතකොට ඩොලර් එක රුපියල් 500ක් වෙනවා. එච්චරයි වෙන්නේ.
මේ ගැන කිව්වාම ඒ අය මට විවාදයකට ආරාධනා කළා. නමුත් තාම ඒක නැහැ. මම දන්නේ නැහැ ඒ තැපෑලෙන් එව්වද? ෆෝන් එකෙන් එව්වද? නැත්නම් ඉබ්බෙක්ගේ උඩ දාලා එව්වද කියලා තාම දන්නේ නැහැ. දැනට ඕන මේවා ගැන වාද කරන්න. මේ අය පැනල යනවා. ඒකයි ප්‍රශ්නය. IMF එක කොන්දේසි දාලා ඉවරයි. ඒ අය කියන්නේ කවුරු ආවත් මේක කරන්න ඕන කියලයි. දැන් ලබාගත් ජයග්‍රහණය ආරක්‍ෂා කරන්න කියනවා. අපි සියලු දෙනා මේක ආරක්‍ෂා කරගමු කියනවා. මේ අය කියනවා ඒක ජයග්‍රහණයක් නෙමේ කියලා.
විශේෂයෙන් මාලිමාව නිශ්ශබ්දයි. බඩු අඩුකිරීම ගැන ඒ අය කියනවානේ. පිටු අංක 103ක් තියෙනවා ඒ ගැන. පුද්ගලයන් සඳහා වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව රුපියල් ලක්‍ෂ 12 සිට ලක්‍ෂ 24 දක්වා වැඩි කිරීම ගැන කතා කරනවා. මේවා කරන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. නිශ්ශබ්දව ඉන්නවා. යන්ත්‍ර සූත්‍ර සඳහා ප්‍රාග්ධන වියදම් සමාගම් සඳහා අඩුකරන බව කියනවා. වැට් බද්දට අදාළ භාණ්ඩ වර්ගීකරණය කර වෙනත් බදු හඳුන්වා දෙනවා කියනවා. මේවා ක්‍රියාත්මක කරනවාද? නැද්ද? කියන්න ඕන. මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. පිළිතුරු දෙන්නේ නැතිව දැන් නිශ්ශබ්දයි. මම ලැහැස්තියි ඕන වෙලාවක මේවා ගැන කතා කරන්න. මම IMF එකෙන් ඇහුවා මේ අය කතා කළාද කියලා. තාම මේ අය කතා කරල නැහැ. මේවා වෙනස් කරන්න ගියොත් අපි ආයේ 2022 තත්ත්වයට යනවා. දැන් ඉඳලා පෙට්‍රල් අරන් ගෙදර තියාගන්න. ගෑස් සිලින්ඩරයකුත් අරන් තියාගන්න.
ප්‍රශ්නය :- සජිත් ප්‍රේමදාස මහත්තය කියනවා IMF එකට එයා කතා කරා IMF ගිවිසුම සංශෝධනය කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස.
පිළිතුර :- කතා කරලා නැහැ. ඒ අයගේ බ්ලූ ප්‍රින්ට් එකේ ඒක තියෙනවා කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ IMF දෙන දිරිගැන්වීම් වෙනස් කරන්න ඕන කියලා. අපිට බොරු කියලා වැඩක් නැහැනේ. මේකෙන් අපිට පිට පනින්න බැහැ. එහෙම වුණාත් අපි ආපහු වැටෙනවා. IMF එක්ක පමණක් නොවෙයි රටවල් 18ක් එක්ක අත්සන් කරලා තියෙනවා. ඊළඟට ලෝක බැංකුවයි, ආසියානු සංවර්ධන බැංකුවයි සමග සාකච්ඡා කරන්න ඕන. ඡන්දය ඉවර වෙලා සති දෙකකින් IMF එක එනවයි කියලා තියෙනවා. එතකොට කියන්න ඕන ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා.
ප්‍රශ්නය :- ඉදිරියේදී දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ අයට දඬුවම් දෙන්න මොනවද කරලා තියෙන්නේ.
පිළිතුර :- දූෂණ විරෝධී නීතිය ගෙනත් තියෙනවා. අපරාධයකින් අත්පත් කරගත් දේපළ නැවත අත්පත් කරගන්න තියෙනවා. සමාගම් නීතියට අමතරව මනි ලොන්ඩි්‍ර නීති සකස් කරන්න ඕන. මේවා කරන්න ඕන විදිහ IMF එක හදලා දීලා තියෙනවා. ඒවා ලබන වසරේ ක්‍රියාත්මක කරන්න ඕන. ඒ සඳහා නිලධාරීන්ට විදෙස් පුහුණුව දෙන්න ඕන. ඒකටත් මාස හයක් විතර යයි. මේ පක්‍ෂ දෙකම කතා කරන්නේ දඬුවම් කරන්න විතරයි. හොරු අල්ලනවා කියනවා. හොරු අල්ලනවා කියනවා එච්චරයි.
එතකොට ඒ අය කියන්නේ අයවැයට අවශ්‍ය මුදල් හොරු අල්ලලා හොයාගන්නවා කියලා. දැනට කවුරුවත් නැහැ කියනවා. 2025 දී හරි කවුරු හරි අල්ලනවා කියමු. ඒ අයට එරෙහිව නඩු දාලා ඇපිල් නඩු අහලා ඉවර වෙනකොට අවුරුදු 05ක්, 06ක්, 07ක් කොච්චර කල් යනවද? ඊට පස්සේ අපරාධයෙන් අත්පත් කරගත් දේපළ අත්පත් කරගන්න තව නඩුවක් දාන්න ඕන. ඒකත් ඇපිල් උසාවිය ඇතුළු කාර්යයන් කරන කොට වසර 10කට වඩා යයි. එතකොට 2025 ට හොරු අල්ල ගත්ත සල්ලි ඒ අය ගාව නැහැ. 26ටත්, 27ටත්, 28ටත්, 29ටත් නැහැ. කොහොමද අයවැය හදන්නේ.
ප්‍රශ්නය :- ඉන්දියාවේ අදානි සමාගම සමග ඇති බලශක්ති ගිවිසුම අහෝසි කරන බවට විපක්‍ෂය කියනවා. ඔබ ඒ ගැන දරන මතය කුමක්ද?
පිළිතුර :- ඒවා කරන්න ඉන්දියාව සමග ප්‍රශ්න ඇතිවෙයි. හොඳ වෙලාවට මේගොල්ලො එන්නේ නැහැ. අඩුපාඩු තියෙනවා නම් හදන්න පුළුවන්. ඕවා කඩන්න ගිහින් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජපානයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කැන්සල් කරානේ. ඒවා කරාම ඇතිවෙච්ච ප්‍රතිඵලය මේවා කරන්න ගියාමත් ඇතිවෙයි. ඉන්දියාවේ, චීනයේ හෝ වෙනත් ඕනෑම එකක් නවත්වන්න ගියාම අපිටනේ හානිය වෙන්නේ.
ප්‍රශ්නය :- 2025 අයවැය සකස් කිරීමේදී කොපමණ ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙනවද?
පිළිතුර :- දැන් මේ වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය හතරයි දශම හතක් වෙනවා. ඡන්දය නිසා මේ කාර්තුවේ ටිකක් අඩුවෙයි. සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. ඊළඟ කාර්තුවේ හරියයි. මම බලන්නේ 2025 දී සියයට 5ක ආර්ථික වර්ධනයක් පසු කරලා යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
ප්‍රශ්නය :- ඉදිරි අවුරුදු පහේදී ඔබතුමා ජනාධිපති වුණොත් මොනවගේ ආයෝජන ද රටට ගේන්නේ?
පිළිතුර :- කෘෂිකර්මය නවීකරණය කරන්න ඕන. සංචාරක කර්මාන්තය තව දියුණු කරන්න ඕන. සූර්ය බලය වැඩි කරන්න ඕන. අලුත් ආයෝජන කලාප ඇති කරන්න ඕන. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කරා වගේ විශාල ව්‍යාපෘති කරන්න ඕන. අවුරුදු 30න් කරන්න තිබ්බ ව්‍යාපෘතිය අවුරුදු 06න් කළේ. ඒ වගේ අමාත්‍යාංශ 10කට 15කට විතර කඩිනම් ව්‍යාපෘති කරන්න අවස්ථාව ලබාදෙනවා.
ප්‍රශ්නය :- වාහන ආනයනය කරන්න කටයුතු කරන බව රජය ප්‍රකාශ කර තිබෙනවා. එහෙම වුණොත් විදෙස් සංචිත නැවත හිඟවීමක් වෙනවා නේද?
පිළිතුර :- අපිට තියෙන විදෙස් සංචිත මට්ටම් අනුව මේ දේ කරන්න පුළුවන් බව පෙනීගොස් තිබෙනවා. එහෙම නැතිව මේක කරන්න ගියොත් ආයෙත් බදු වැඩි කරන්න යනවා කියලා අපිට බනිනවා. අපි බංකොලොත් භාවයෙන් මිදුන කියල ගිවිසුම් අත්සන් කරන කොට අපිට නැවත පෙබරවාරි, මාර්තු වන විට විදේශ ණය ගන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ වගේම ආණ්ඩුවක් හැටියට දළ ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීමටත් අපි කටයුතු කරනවා.
ප්‍රශ්නය :- මේ වනවිට මේ වසරේ ආදායම් වැඩිකර ගැනීම සඳහා රේගුව, දේශීය ආදායම්, සුරාබදු ආදායම් ඉලක්ක සපුරා ගන්න පුළුවන් ද?
පිළිතුර :- ඔව්. ඒ අය ආදායම් ඉලක්ක සපුරාගන්න පුළුවන් කියලා තියෙනවා. IMF කොන්දේසි අනුව එම දෙපාර්තමේන්තු නවීකරණය කරන්නත් වෙනවා.
ප්‍රශ්නය :- ඉදිරි වසර පහ තුළ විදෙස් රටවල් සමග නව අලුත් ගිවිසුම්වලට එළැඹීමට තීරණය කර තිබෙනවා ද?
පිළිතුර :- ඇමෙරිකාව සමග නැහැ. ඉන්දියාව සමග කරනවා. චීනය එක්ක, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සමග නව ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රශ්නය :- චීනය සහ ඉන්දියාව අතර ගැටුම්කාරී තත්ත්වයක් තියෙනවා. එය අපේ රටට කෙසේ බලපායිද?
පිළිතුර :- අපේ මුහුදු සීමාව ඇතුළේ එහෙම දෙයක් වෙන්න වැඩ කටයුතු කරන්නේ නැහැ. ඒ අය අතර බල තරගයක් තියෙනවා. ඒත් ගැටුම් නැහැ.
ප්‍රශ්නය :- රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ගැන කතා කරනවා. ඒ සඳහා මුදල් සොයාගන්න පුළුවන්ද?
පිළිතුර :- 2025 අයවැයට අවශ්‍ය බිලියන 1000 අපිට හොයාගන්න පුළුවන්. අපේ ආදායම වැඩි වෙමින් පවතිනවා.
ප්‍රශ්නය :- ණය තිරසර කරගන්න අනික් අය යෝජනා කරනවා. මෙහි තිබෙන අවදානම ඔබ කොහොමද දකින්නේ?
පිළිතුර :- විපක්‍ෂයේ ප්‍රධාන අපේක්‍ෂක අනුර කියලා තියෙනවා IMF යෝජනා නැවත සමාලෝචනය කරන්න ඒ අය සමග සාකච්ඡා කරනවා කියලා. ඒ අය ඡන්දය තියලා සති දෙකකින් රටට ආවාම අපි IMF ගිවිසුමෙන් ඉවත් වෙනවා කිව්වාම ඒ අය යයි. හැබැයි අනුර කතා කරලා තියෙන දේ අපේ රටට බලපාන්නේ නැහැ. ඔහු කතා කරලා තියෙන්නේ අඩු ආදායම් ලාභීන් සඳහායි. මට පේන්නේ ඔවුන් නැඟල තියෙන්නේ වැරදි බස් එකකට කියලයි. බැරි වෙලාවත් ගිවිසුමෙන් ඉවත් වුණොත් නැවත ඔවුන් සමග සාකච්ඡා කරන්න වසර දෙකක් විතර යයි. ඊට පස්සේ තවත් රටවල් 18ක් එක්ක කතා කරන්න ඕන. එතකොට 2022 තත්ත්වයට රට ගිහින් තියේවි. ඩොලරය 500 පනී.
ප්‍රශ්නය :- මෑතකදී ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ලංකාවට ඇවිත් ගියා. ඔහුගේ පැමිණීම මැතිවරණයට යම් බලපෑමක් කළාද?
පිළිතුර :- ඉන්දියාවෙන් ලංකාවේ මැතිවරණයට බලපෑමක් කරන්නේ නැහැ. ඔවුන් මැතිවරණය දිහා බලාගෙන ඉන්නවා. බංග්ලාදේශයට ඇතිවූ තත්ත්වය මෙරට ඇති නොවෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය :- ජනාධිපතිවරණයෙන් පසු කල්ගිය පළාත් පාලන මැතිවරණය පවත්වනවාද? පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවාද?
පිළිතුර :- හුඟක් අය කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න. පක්‍ෂ නායකයන් ඒ ගැන කතා කරල තීරණයක් ගන්න ඕන.
ප්‍රශ්නය :- ඔබ ආදායම් වැඩි කරගන්න කථා කරනවා. ඒ කියන්නේ නැවත බදු වැඩි කරනවාද?
පිළිතුර :- ආදායම වැඩි කරගන්න අපි මෙතෙක් බදු දැලට අහුවෙලා නැති අය එකතු කරගන්න ඕන. ඒක අවුරුද්දක් දෙකක් යාවි දෙවැන්න දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙන්න, වැඩි වෙන්න ආදායම වැඩි වෙනවා.
ප්‍රශ්නය :- විපක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල විධායක ජනාධිපති කම අහෝසි කරනවා කියලා තියෙනවා. ඒ ගැන ඔබේ අදහස.
පිළිතුර :- විධායක ජනාධිපතිකම නෙමෙයිනේ ප්‍රශ්නය. ඕක වෙනස් කරනවයි කියලා අපි වාද කරලා රටේ ආර්ථිකය හදන්න පුළුවන්ද? අපි අනිත් ප්‍රශ්න අමතක කරමු. අපි රටේ ආර්ථිකය හදන්න ඕන කියන එක මුලට ගමු. විධායක ජනාධිපති ක්‍රමය, 13 වැනි සංශෝධනය මේවා බොරුවට කථා කරල ඇදගෙන යන්නේ ඇත්ත ප්‍රශ්න වහගන්න. මුලින්ම ජනතාව ජීවත් කරන එක ගැන කථා කරමු. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අරන් කරන්න පුළුවන්නේ. මේවා කියලා ඇත්ත ප්‍රශ්න මග හරිනවා.
චමින්ද සිල්වා