ජනාධිපති ලේකම් කාර්යාලයෙ තිබුණේ පුස්තකාලයක්: ලැජ්ජයි සර්

440

අපේ මූණු ෆොටෝ ගහන්න… අරගලකරුවෝ දිගටම ‘ලයිව්’ එති

ගාලුමුවදොරදි ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්වූ අරගලකරුවෝ විවිධ විරෝධතා පාඨ කියමින් ආරක්‍ෂක අංශවලට සිය අප්‍රසාදය පළ කර සිටියහ. අරගලකරුවන් ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මෙම සිදුවීම ජංගම දුරකථන හරහා සජීවීව විකාශය කිරීමටද කටයුතු කළහ.

ගෝල්ෆේස් අරගල භූමියම වටකරලයි තියෙන්නේ. අරගල භූමිය තනි කරන්න එපා යැයි අරගලකරුවෙක් තම ජංගම දුරකථනය හරහා සජීවීව අන්තර්ජාලයට මුදා හැරීය.

ඒ වනවිටත් යුද හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය දහසකට අධික පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය, එම පරිශ්‍රය අරගල භූමිය අත්පත් කරගෙන තිබිණි.

ඇයි ඔය ආබාධිත රණවිරුවන් ඉන්න හට් එකට ගහන්නේ. අපි මේ අරගලය කළේ රට වෙනුවෙන් යැයි අරගලකරුවන් පවසද්දී ආරක්‍ෂක සාමාජිකයෝ අරගල භූමියේ ටෙන්ට් ඉවත් කරන්නට වූහ.

අරගලකරුවන් කීපදෙනෙකු ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රැගෙන යනු දක්නට ලැබිණි.

හමුදාව, පොලිසිය, විශේෂකාර්ය බලකාය, කැරලි මර්දන ඒකකවලින් මේ ස්ථානයේ සාමකාමීව කරගෙන ගිය අරගලයට අමානුෂික විදිහට පහරදුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු අරගල භූමියෙන් අද (22දා) ඉවත් වන බවට නිවේදනය කරලා තියෙද්දීත් මේ ස්ථානවල ඉන්න ආරක්‍ෂක අංශ දැනගෙන තියෙද්දීත් රනිල් වික්‍රමසිංහ සාමකාමී අරගලයට හමුදාව ලවා ප්‍රහාරයක් එල්ල කළා. මෙතන තිබුණු හට්, සියලු බඩුමුට්ටු, ඒ හට් ඇතුලේ හිටිය මිනිසුන්ට කුඩු වෙන්න ගැහුවා. හට් ඇතුලේ තියෙන බඩුටික ගන්න යන්න දෙන්න කියද්දීත් අරගලකරුවන්ට ගැහුවා. ජනාධිපති ලේකම් කාර්යාලය තුළ තිබුණේ පුස්තකාලයක්. ඒකෙ අවි ආයුධ තිබුණේ නැහැ. එතනට ආපු මිනිසුන්ට පොතපත කියවන්න පුරුදු කරමින් සිටියේ.

ගාලු මුවදොරට පිවිසෙන සියලු මාර්ග අවහිර කරමින් ආරක්‍ෂක අංශ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.

සර්ලා ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජා නැද්ද සර් අපි පොත් පරිස්සම් කළේ. අපි ඔක්කොමලාගේ මුහුණු ටික පොටෝ ගහගන්න. යැයි අරගල භූමියේ තරුණියක් යකඩ මාර්ග බාධකවලට පසුපසින් සිටි ආරක්‍ෂක අංශවෙත පවසන්නට වූවාය.

මේ තිරිසන්නු අඳ ගොළු බිහිරි දරුවන්ට හා ආබාධිත රණවිරුවන්ට පයහරදුන්නා යැයි අරගලකරුවෝ පවසන්නට වූහ.

ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment