ජන ක්‍රීඩා මතකයකට පමණක් එක් වේවිද?

197

අතීතයේ දී සිංහල අලූත් අවුරුදු උදාව ගම්මුන් හැඳින්වූයේ වසන්තයේ උදානය ලෙසයි. බක් මාසය ලංවන විට සංචාරයේ යෙදෙන පක්ෂියෙක් වන කොහා ගේ හඬ ගම්මුන්ට සිංහල අලූත් අවුරුද්ද මතක් කර දීමක් වූවා. ලොකු – කුඩා කොයි කවුරුත් පාහේ තම තමන් වසරක් පුරා එක් රැස් කළ භවබෝගවලින් තම ගෙවල් දොරවල් පුරවා ගනිමින් මවුපියන් සහ දූ දරුවන් සමඟ සමරන අවුරුද්ද මුළු පරිසරයටම වසන්තය රැගෙන එනවා.

මේ කාලසීමාව දුප්පත් – පොහොසත් සෑම කෙනාගේම සිත්වලට ගෙන එන්නේ පුදුමාකාර සතුටක්. මේ කාල සීමාවේ ගම්මුන්ගේ කි‍්‍රයාකාරකම්, ඇවතුම් – පැවතුම් වාගේම පරිසරය ද අමුතුම වෙනසක් ගන්නවා. බොහෝ විට අලූත් අවුරුදු උදාවත් සමඟ කරනු ලබන කී‍්‍රඩාවන් ද වෙනස්ම ආරක් ගන්නවා. කාලයකට පමණක් මතු වන මෙවන් ජන කී‍්‍රඩා බොහෝ දුරට වර්තමාන ජන සමාජයෙන් ගිලිහී යන සලකුණු මතුව ඇතැයි කීවොත් නිවැරදි යි. මෙසේ ගිලිහී යන ජන කී‍්‍රඩා අතර ඔළිඳ කෙළිය, පොරපොල් ගැසීම වැනි ජන කී‍්‍රඩාවන් සඳහන් කරන්න පුළුවන්.

වසර මුළුල්ලේම වෙහෙස මහන්සියෙන් කටයුතු කරන ගම්මුන් වෙහෙස මහන්සිය නිවාගෙන මානසික නිදහසක් භුක්ති විඳින මේ අවුරුදු උදාව ප‍්‍රයෝජනයට ගන්නවා. මුළු පවුලම පාහේ එකමුතු වී අසල්වැසියන් සමඟ එකතු වී දෙදෙනා බැගින් හා කණ්ඩායම් වශයෙන් එකතු වී කරනු ලබන මෙම ජන කී‍්‍රඩාවන් බොහෝ විට එකිනෙකා අතර ඇති බැඳීම වර්ධනය කරවන මෙවන් ජන කී‍්‍රඩාවන් බොහෝමයක්ම තිබෙනවා. ඒවා කාණ්ඩ කිහිපයකට වෙන් කර පෙන්වන්න පුළුවන්. එනම්, ගෘහ කී‍්‍රඩා, එළිමහන් කී‍්‍රඩා, ආගමික සහ දේව සංකල්ප සමඟ බැඳුණු කී‍්‍රඩා වගේම සාමූහික කී‍්‍රඩා ලෙස පෙන්විය හැකි ය.

පංච කෙළිය, ඔලිඳ කෙළිය, රබන් ගැසීම, ඔන්චිල්ලා පැදීම, චග්ගුඩු පැනීම, අං කෙළිය, පොරපොල් ගැසීම, ඉනි වැට පෙරළීම, එළුවන් කෑම, පනා හැංගීම මෙම කී‍්‍රඩා බොහෝමයක් අද සමාජයෙන් ඈත් වෙමින් පවතින ජන කී‍්‍රඩා ලෙස පෙන්විය හැකි ය. මීට අමතරව, ගෝනි පැනීම, අවුරුදු කුමරිය තේරීම, කොට්ටාපොර ගැසීම, බනිස් කෑම, කනා මුට්ටිය බිඳීම, පොල් අතු විවීම, අලියට ඇස තැබීම, පොල් ගෑම, බාධක දිවීම, පාපැදි තරග, සංගීත පුටු තරග, බැලූන් පිපිරවීම, ගම හරහා දිවීම, ගී‍්‍රස් ගහේ නැගීම, තිරික්කල් තරග වැනි කී‍්‍රඩා අවුරුදු උදාවත් සමඟම කරලියට එන කී‍්‍රඩාවන් ය.

අද වන විට මෙම ජන කී‍්‍රඩා බොහෝමයක් අප කොයි කවුරුත් දන්නා හඳුනන අතර, සමහරක් ජන කී‍්‍රඩා සිදු කරන ආකාරය පවා නොදැන සිටිනා පිරිස් ද සිටින්නට පිලිවන. එහෙයින් සමාජයෙන් ඈත්ව යන ජන කී‍්‍රඩා කිහිපයක් පවතින ආකාරයක් පිළිබඳ සටහනක් තැබීමට වැදගත් යැයි හැඟී ගිය හෙයින් මෙලෙස ඉදිරිපත් කරන්නෙමි.

මෙම ජන කී‍්‍රඩා තුළින් එදා පැරණි සමාජයේ මනුෂ්‍යත්වය සහ එකිනෙකා අතර සුහදතාවය වර්ධනය වීම බොහෝ දුරට හේතු වී තිබිණ. මෙසේ ගිලිහී යන ජන කී‍්‍රඩා කිහිපයක් පිළිබඳ විස්තරය.

01 මේවර කෙළිය :

සිංහල අවුරුදු කාලයේ එවකට ග‍්‍රාමීය සමාජයේ බෙහෙවින් ජනපි‍්‍රය කී‍්‍රඩාවක් වන මේවර කෙළිය කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබන කී‍්‍රඩාවකි. මේ පිළිබඳව විවිධ අදහස් ඇති අතර එයින් ප‍්‍රකට වන්නේ මේවර යනු වළල්ලකි. එක් ස්ති‍්‍රයක් තමන්ට වළල්ල සෙවීම මෙහි කතා පුවතයි. තමන්ගේ වළල්ල වෙනකකු දුටුවා දැයි ඇය ප‍්‍රශ්න කරයි. තමන් එය නුදුටු බවට මිතුරියක් දිවුරුම් දෙයි. නමුත් එම වළල්ල සඟවා ගෙන සිටින්නේ ද ඇයගේම මිතුරියෙකි.

තවත් අදහසක් නම් මේවරයා යනු, ඇයගේ මෙහෙකරුවා ය. තමන්ගේ මෙහෙකරුවා සොයා දෙන්නේ දැයි ඇය ඇයගේ මිතුරියකගෙන් විමසයි. එය මේවර කෙළියේ එන එක් ගීත කණ්ඩයකින් තහවුරු වෙයි. එනම්, ”වල ගියදෝ මගෙ මේවරයා’’ යන්නෙන් එම අදහස ද ඉස්මතු වෙයි. මෙම කී‍්‍රඩාවේ දී ඉදිරිපත් කරන සමූහ ගීතය රසවත් සංවාද ස්වරූපයක් ගනී.

එනම්, සාර සදිසි පෙති පේර නෙළන කල
වළ ගිය දෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවාන් පල්
අප දුටුවේ නැත මේවරයා..
මුං වතු කන්දේ මුං නෙළනා කල
වළ ගිය දෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවාන් පල්
අප දුටුවේ නැත මේවරයා..

ජන ක්‍රීඩා මතකයකට පමණක් එක් වේවිද?

මෙසේ ගායනා කරමින් වටේ යන කාන්තාව ගීතය අවසානයේ ඔට්ටුයි කියමින් සඟවන ලද වළල්ල ගැනීමට මෙම පිරිස අතර පොර බැදීමක් සිදු වේ. වළල්ල සොයා ගත් අය ජයග‍්‍රහණය කරයි. මෙය මේවර කෙළිය ලෙස හඳුන්වන ජන කී‍්‍රඩාවකි.

එලෙසම වත්මන් සමාජයෙන් ඈත්ව යන තවත් ජන කී‍්‍රඩාවකි. පොර පොල් ගැසීමේ කී‍්‍රඩාව. පොරපොල් කී‍්‍රඩාව යනු, පිල් දෙකකට බෙදී එකිනෙකා දෙපසේ සිට එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට ඉහළින් එවනු ලබන පොල් ගෙඩිය අනෙක් පාර්ශ්වය විසින් තම අත වූ පොල් ගෙඩිය ඒ මත වද්දවා බිඳවීමයි. අවසානයේ පොල් ගෙඩිය ඉතිරි වූ කණ්ඩායම ජයග‍්‍රාහකයන් වේ.

පොරපොල් කී‍්‍රඩාව ආගමික සහ දෙවියන් ආශී‍්‍රතව සිදු කරනු ලබන කී‍්‍රඩා ඝනයට අයත් වේ. මෙම කී‍්‍රඩාව තුළින් පැරණි ගම්මුන් බලාපොරොත්තු වී ඇත්තේ වැස්ස සහ සශී‍්‍රකත්වය වාගේම උණ රෝගය, ගව සහ කුකුළු වසංගතය, නියඟ වැනි අවස්ථාවන්ගෙන් ගැමි සමාජය බේරා ගැනීම ය. පත්තිනි දෙවියන් සහ පුලඟ කුමරු සම්බන්ධව ගොඩනැඟී ඇති මෙම කි‍්‍රයාව බොහෝ දුරට ශාන්තිකර්ම ගනයට අයිති ස්වරූපයක් ගති.

අතීතයේ දී පොරපොල් ක‍්‍රීඩාවට යොදා ගත්තේ ගෘහස්ථව ඉබේ වැවෙන තැඹිලි පොල් ය. ඒ වගේ ම එම කී‍්‍රඩාවට යොදා ගත් භූමිය අවියක් අරක් ගෙන ඇති යැයි සිතා තෝරා ගන්නා එම භූමියේ හෝ නුග හෝ නාගයෙක් තිබීම අනිවර්ය විය. කී‍්‍රඩාවට භාවිත කරන පොල් යවන පොල් සහ ගහන පොල් ලෙස කොටස් දෙකකි. යවන පොල් අතර සමහරක් පොල් විදින්නට ඉතා අපහසු ඇට පුහු පොල් ලෙස හඳුන්වන ලදී. ගැසීමට යොදා ගන්නා ගෙඩිය අත්ගෙඩිය ලෙස හඳුන්වයි. තැනිතලා භූමියක අවැසි සීමාවන් සිනිටුහන් කොට දෙපස එකිනෙකට මුහුණ ලා ඇති පරිදි ගොක් පැල අත්තක් ඉන්දවා දෙවියන්ට භාර කර මෙම කී‍්‍රඩාව ආරම්භ කරයි. මෙම කී‍්‍රඩාවට ගනු ලබන පොල් හේ කොට ගන්නා අතර පොල් පේ කිරීමේ ගායනා ලෙස මෙලෙස ගායනා කරයි. (පොල් පේ කිරීමේ ගීතය)

වැඳ දෙවියන් හට වරම් ලැබෙනවා
උඩු පිලයේ පොල් බිඳී තිබෙනවා
තෙදමිනි සලඹින් සමා ලැබෙනවා
පොල් කෙළියට වස් නැත දුරු වෙනවා

මෙම කී‍්‍රඩාව මෑත කාලීන සමාජයේ දුරස්ථව යන කී‍්‍රඩාවක් ලෙස පෙන්විය හැකි ය. එවන් දුරස් වන කී‍්‍රඩාවන් අතර තවත් එක් කී‍්‍රඩාවකි. අංකෙළි කී‍්‍රඩාව.

අංකෙළිය

මෙය දෙවියන් ආශී‍්‍රතව සිදු කරනු ලබන කී‍්‍රඩාවකි. පත්තිනි දේවිය මුල් කරගත් කී‍්‍රඩාවන් දොළහක් ඇති අතර එයින් මුල්ම කී‍්‍රඩාව අංකෙළියයි. සොළී වංශයේ මායා රජුට සිටි පාලඟ නම් කුමරු පත්තිනි දේවිය සමඟ විවාහ වී දිනක් මේ දෙදෙනා උයනට ගිය විට සපුමල් සුවඳක් දැනෙන්නට විය. අවාරයේ දැනෙන සපුමල් සුවඳ ඔස්සේ ගිය ඔවුන් මල් පිපී තිබූ ඉසව්ව සොයා ගන්නා ලදී. බිම සිට කඩන්නට බැරි ඉසව්වක තිබෙන මල් කඩා ගැනීම සඳහා කෙකි දෙකක් කපා ගත් අතර, එකක් පත්තිනි දේවිය සමඟ සිටි පිරිසද අනෙක් කෙක්ක කුමරුන් සමඟ සිටි පිරිස අතටද ලැබුණි. මෙම කෙකි දෙක පැටලී අවසානයේ පිරිමින් අතර වූ කෙක්ක බිඳී ගියෙන් මෙම සිද්ධිය සිහිපත් කරන්නට අං කෙළිය බිහි වූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. මෙම කී‍්‍රඩාව කරන විට උඩු පිළ සහ යටි පිළ ලෙසින් කොටස් දෙකකි. අං ඇදීමට දෙපිරිස මහත් හරසර සහිත පෙරහැරකින් පිට්ටනියකට පැමිණෙන අතර සියල්ලන්ම පිරිමින් වීම විශේෂත්වයකි. කී‍්‍රඩකයන් මස් මාංශයන්ගෙන් වැළකී සිටින අතර කී‍්‍රඩාව ආරම්භ කිරීමට නැකතකට කප් සිටුවීමක් ද සිදු කරයි. මෙම කී‍්‍රඩාවද වර්තමාන සමාජයෙන් දුරස්ව ගිය කී‍්‍රඩාවක් ලෙස පෙන්වා දිය හැකි ය.

අවුරුදු කාලයේ දී ජන කාන්තාවන් එකතු වී රබන් වැයීම සිදු කරනු ලබන අතර, මෙයට ගම්මුන් තුළ රසාස්වාදය වැඩි කරන කි‍්‍රයාවක් ලෙස පෙන්වා දිය හැකිය.

මේ ආකාරයේ ඉතාමත් සුන්දර කී‍්‍රඩාවන් රැසක් අප සංස්කෘතිය තුළ මුල් බැස ගෙන ඇති අතර, වර්තමානය වන විට මේවා ජන ඇසුරෙන් බැහැරට යන අයුරුත් දක්නට ලැබේ. අවුරුදු අසිරියත් සමඟ මිනිස් සිත තුළ ඇති වන මෙම ජන කී‍්‍රඩාව නැවතත් දොළොස්මසක් ගත වූ විට කරලියට එනු ඇත. මේ සියල්ලන්ගෙන්ම මතුවන සංස්කෘතිකමය ආභාෂය වසර ගණනාවක් රැඳී තිබෙනු ඇතැයි අපගේ ප‍්‍රාර්ථනාවයි.

අනුර ජයසේන
ඇහැලියගොඩ.
ඡායාරූප : චතුලා පුංචිහේවා

advertistmentadvertistment
advertistmentadvertistment