ජන බලය සහ බොන ජලය (01)

1027

ජන බලය සහ බොන ජලය යන දෙකම ඉතා භයානක ලෙස හැසිරවීමට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදය අල වූ තැන්වලදී ජනබලය ඇවිස්සී ආණ්ඩු පෙරළි සිදුකරයි. එවැනි ආණ්ඩු පෙරළියක් පාලනය කරගැනීමට බැරි වුණොත් හත් අට දාහක් නැත්නම් විසි තිස්දාහක්වත් ඝාතනය වීමට ඉඩ තිබේ. බොන ජලය සහිත වතුර ටැංකියකට වස දැමුවත් සිදුවන්නේ මේ ටිකමය. එවිට ආණ්ඩු පෙරළියක් නැතුවම වස මිශ්‍ර ජලය බොන හත් අට දහසක් මියයති. දැනට මිහිමත පවත්නා දේශපාලනය දෙවදෑරුම්ය. ඉන් පළමුවැන්න ධනවාදයයි. දෙවැන්න සමාජවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන්ද බලවේගයක් ඇති නමුත් එයද ධනවාදයේම මුහුණුවරක් නිසා වෙනම සාකච්ඡා කළ යුතු ඒකකයක් නොවේ. එහෙත් හුදී ජනයාගේ පහසුව පිණිස දැනට මිහිමත ඇත්තේ සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන දේශපාලන ක්‍රම දෙක පමණක් යැයි උපකල්පනය කරමින් අද අපි මේ වැකිය අරඹමු.

පසුගිය ශතවර්ෂය මුලදී රුසියාවේ වී. අයි. ලෙනින් ස්වකීය රතු හමුදාව යොදවා රුසියාවේ සාර් රජ පරම්පරාව බිමට සමතලා කර සමාජවාදයේ ලේ පැල්ලම් සහිත කොඩිය නැගෙනහිර යුරෝපයේ සිටුවන ලද්දේය. එතැන් පටන් ලෝකයේ වඩාත්ම බලගතු දේශපාලන විලාසිතාව වූයේ සමාජවාදයයි. සමාජවාදය යනු ජන මූලික දේශපාලනයකි. එහෙත් එම ක්‍රමය දිගින් දිගටම පවතින විට ජන මූලික දේශපාලනය කුණුවී නිලධාරිවාදී දේශපාලනය හිස ඔසවන්නට පටන් ගනී. මෙසේ කල්ගත වත්ම එකී නිලධාරිවාදී දේශපාලනයටද තමන් නඩත්තු කරගත නොහී විනාශය කරා යෑමට සිදුවේ. මේ නිලධාරිවාදය Bureaucracy යනුවෙන් හඳුන්වනු ලැබේ. පසුගිය ශතවර්ෂයේදී ලෝකය සිතාගෙන සිටියේ සමාජවාදය යනු මාරාන්තික දේශපාලන ආයුධයක් බවය. එහෙත් දැනට තිබෙන අත්දැකීමට අනුව මේ ලෝකයේ තිබෙන භයානකම දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වේ.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් ජනතාව උදෙසා ජනතාව සමග දේශපාලනය කිරීමය. සමාජවාදය තුළ කිසියම් සීමාවන් ඇත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ කිසිදු සීමාවක් නැත. සමාජවාදය යනු යකඩ අතකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු නිකම් අතකි. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නිකම් අත් කෝටි ගණනක් එකවර එකතු කිරීමට පුළුවන. මෙය සමාජවාදයේ යකඩ අතට වඩා බෙහෙවින්ම ශක්ති සම්පන්නය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් පළවාහරිනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ‘නිකම් අත්’ විසිනි. මේ නිකම් අත්වල අනවර්ථ නාමය ලෙස ‘අරගලය’ යන්න යොදන ලදී. මේ රටේ දැනට පවත්නා අරගලය තනිකරම පුරවැසි අරගලයකි. එයට ප්ලග් ගැසීමට ගිය දේශපාලනඥයන්ට ටොකු දී පළවාහරින ලදී. අප මේ කියන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති වූද මේ රටේ වඩාත්ම පළපුරුදු දේශපාලනඥයකු වූද රාජිත සේනාරත්න පසුගියදා කළු කමිසයක් ඇඳගෙන අරගලකරුවන් මැද්දට ගොස් කරගන්නා ලද වින්නැහිය ගැනය. පුරවැසි අරගලයකට දේශපාලනයක් නැත. පුරවැසි අරගලයක අවශ්‍යතාව වන්නේ ස්වකීය අරමුණ කරා යෑම පමණි. මෙහිදී යූ එන් පී, ශ්‍රී ලංකා, කොමියුනිස්ට්, සමසමාජ, සජබ, ජවිපෙ, පෙරටුගාමී යන දේශපාලන පක්ෂවල මතිමතාන්තර දරන සියලු දෙනා එක්වී පොදු න්‍යාය පත්‍රයකට අනුව එක අරමුණකට ළඟා වෙති. මේ දිනවල පවතින ජන අරගලයේ පොදු අරමුණ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීමය. අරගලකරුවන්ගේ දෙවන අරමුණ රනිල් ගෙදර යැවීමය. ඔවුන්ගේ තුන්වන අරමුණ මීළඟ ආණ්ඩුවේදී රාජ්‍ය පාලනය සඳහා තම සහභාගිත්වය ද ලබා දීමය. මේ අරමුණු සියල්ල හරියටම හරියනවාද නැද්ද යන කාරණය තවමත් කීමට නොහැක. කෙසේ හෝ අවසන් ඵලයේදී කීමට ඇති එකම දෙය නම් සමාජවාදයට බැරි දේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් තුළින් කළ හැකි බවය.

පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය නිර්මාණය කරන ලද්දේ බැසිල් රාජපක්ෂ විසිනි. ඔහු විසින් එක පොහොට්ටුවක් නිර්මාණය කරන ලද කල්හි එම පොහොට්ටුව දිහා බලාගෙන දේශපාලන අනුගාමීත්වයක් සිතට නඟා ගත් 69 ලක්ෂයක් දෙනා ගෝඨාභය රාජපක්ෂට මේ රටේ ජනාධිපතිකම ලබා දුන්හ. හැබැයි මේ සියලු ජයග්‍රහණ පසුපස සිටි Technical Power හෙවත් තාක්ෂණික බලවතා වූයේ බැසිල් රාජපක්ෂය. මේ කියන බැසිල් රාජපක්ෂ 2005 සිට ක්‍රමයෙන් ස්වකීය දේශපාලන බල කඳවුරේ කළුගල් තාප්ප තමන් විසින්ම ගොඩනඟාගත් බලවතෙකි. ජනාධිපති ප්‍රේමදාස ද තමා බලයේ සිටි කාලයේදී ද මෙවැනිම බල කඳවුරක් ගොඩනඟාගෙන සිටියේය. ඒ අනුව, කිසියම් වරදක් සිදුවූ අමාත්‍යාංශයකට ප්‍රේමදාස එන ආරංචිය ඇසූ නිලධාරීන්ට චූ ගියේය. 2005 න් පසු බැසිල් රාජපක්ෂ ගොඩනඟා ගත්තේද එවැනිම බලයකි. ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් තැනීම සඳහා ඔහුට පුදුම හැකියාවක් විය. එහෙත් අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඔහු සලකනු ලබන්නේ සතුරකු ලෙසය.

මීට පැය 48 කට පෙර රටින් පිටවීම සඳහා බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළට ගියේය. එවිට ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීහු වහාම සේවයෙන් ඉවත් වී බැසිල්ගේ ගමනට හරස් වූහ. මේ නිසා බැසිල් රාජපක්ෂට රට යෑමට නොහැකි වූ අතර ආපසු ගෙදර යෑමට සිදුවිය. වලංගු ගමන් බලපත්‍රයක් සහ ගුවන් ගමන් ටිකට්පතක් අතේ ඇති කෙනකුට තමන් සතු වීසා පතෙහි නියම කර තිබෙන ගමනාන්තයට යෑමේ අයිතිය තිබේ. ඒ අයිතිය කිසිවකු විසින් උල්ලංඝනය කරත් නම් එය අදාළ ගමන් බලපත සහ ගුවන් ටිකට්පත දරන්නාගේ මූලික අයිතිය උල්ලංඝනය කරන්නක් බවට පත්වෙයි. එහෙත් ජනප්‍රිය ජන අරගලයක් තිබෙන (Popular Mass Struggle) මෙවැනි මොහොතක පෙරකී වර්ගයේ මූලික අයිතිවාසිකම්වලට තැනක් හිමිවන්නේ නැත. ඒ අනුව අදාළ පුද්ගලයා පිට රට යෑම වැළැක්විය යුතු බව ආගමන විගමන නිලධාරීන් සිතන්නේ නම් එම සිතිවිල්ල ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බවට පත්ව ක්‍රියාත්මක වෙයි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යුගයේදී මෙවැන්නක් වී නම් තමන්ගේ බෙල්ල කටුනායක තබා කඳ ගෙදර යැවීමට ආගමන විගමන නිලධාරීන්ට සිදුවේ. ප්‍රේමදාස යුගයේදී මෙවැන්නක් සිදුවී නම් සිද්ධියට අදාළ නිලධාරීන්ගේ බෙල්ලත් කඳත් යන දෙකම නැත. එහෙත් අද ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් දියුණු සහ වඩාත් ශක්තිමත්ව ඇති මෙවැනි මොහොතක බෙල්ල සහ කඳ යන දෙකම රැගෙන රට යනවා වෙනුවට ආපසු ලංකාවේ ගෙදර යෑමට බැසිල් රාජපක්ෂට සිදුව ඇත. සමාජවාදයේ බලයට සීමාවක් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදයේ බලයට සීමාවක් නැත. මේ තත්ත්වය ප්‍රවේශමෙන් පරිහරණය නොකළොත් ඇතිවිය හැකි ප්‍රතිඵලය ඉතා භයානක විය හැකිය.

ඉතිරි කොටස හෙට

advertistmentadvertistment
advertistmentadvertistment