ජන බලය සහ බොන ජලය (2) – (ඇතිදා සීනි – නැතිදා ගෝනි)

1082

ජන බලය සහ බොන ජලය යන සාධක දෙක කොතරම් භයානක ලෙස හැසිරවිය හැකිද යන්න අපි ඊයේ මේ තීරුව ඔස්සේ සාකච්ඡා කළෙමු. ජන බලය යනු අහිංසක ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්මිතයකි. එහෙත් ජනබලය කුලප්පු කරගතහොත් එය හතර වටේටම අනින්නට පටන් ගනී. එවිට මිනිස්සු දහස් ගණන් මැරෙති. බොන ජලය ද ඉතා අහිංසකය. එහෙත් එයට වස දැමුවොත් ඒවා පානය කරන දහස් ගණන් මැරෙති. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ බලය ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් වඩා බලවත් බව පසුගිය දිනවලදී පසක් විය. ත්‍රිවිධ හමුදාව පවතින්නේ සේනාධිනායකයා වූ ජනාධිපති යටතේය. ඉල්ලා අස්වී ගෙදර යන ලෙස ජනාධිපතිට බල කිරීමට ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට බැරිවිය. එහෙත් ජනාධිපති ගෙදර යැවීමට ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයට හැකිවිය. ඉකුත් දිනවලදී මේ රට පුරා පැතිර ගිය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණ පරපුර සහභාගි වූයේ දර කෝටුවක්වත් අතින් අරගෙන නොවේ. එහෙත් ජනාධිපතිවරයා රහසිගත ස්ථානයකට පලවාහැර ඔහු වෙතින් ඉල්ලා අස්වීමේ පොරොන්දුවක් ලබාගෙන අලුත් ආණ්ඩුවක් හදන තැනකට රට තල්ලු කිරීමට අරගලකරුවන්ට හැකිවිය. මෙය ටී පනස් හය තුවක්කු ලක්ෂ ගණනක් අතේ තිබුණත් මේ රටේ ත්‍රිවිධ හමුදාවට කරන්නට බැරිවන දෙයකි. ශ්‍රී ලංකාව වැනි රටවල හමුදා කුමන්ත්‍රණවලට ඉඩ නැත. එය දූපත් රාජ්‍ය කොයිකටත් බලපාන පොදු සාධකයකි. ඒ නිසා මෙවැනි රටවලට වඩාත්ම සුදුසු අරගලය වන්නේ නිරාගමික නිර්ජාතික නිර්දේශපාලන ජනතා සටන් බව පැහැදිලිය. මෙය ඉතා වාසිදායක තත්ත්වයකි. සන්නද්ධ අරගලයකින් ආණ්ඩුවක් ගැනීමට කරන උත්සාහයකදී ලක්ෂ ගණන් මැරෙති. එහෙත් නිර්දේශපාලනික ජන අරගලවලදී මිය යෑමට සිදුවන්නේ ගිනිය නොහැකි තරම් ස්වල්පයක් වූ පිරිසකටය.

 නූතන ජන අරගලය පටන් ගන්නේ ගෑස් හිඟය සහ විදුලි කප්පාදුව සමගය. එය වර්ධනය වන්නේ තෙල් පෝලිම සහ ජීවන වියදම සමගය. එය පුපුරා යන්නේ ශ්‍රී ලංකාවට තෙල් නැව් සහ ගෑස් නැව් කිසිසේත්ම නොඑන මොහොතකය. මේ වෙලාවේදී මේ රටේ ජනතාව දිළිඳුකමින් සහ මානසික අසහනයෙන් තනිකරම පරිපීඩනයට ලක්ව සිටිති. මෙවැනි විටක ලක්ෂ එකහමාරක පමණ ජනගහනයක් එකතුව ස්වකීය විරෝධය මුදා හැරීමට පටන්ගත් විට එකී ස්පෝටන බලය සමාන වන්නේ විසුවියස් ගිනිකන්ද දෙවරක් පුපුරා යෑමට හෝ පරමාණු බෝම්බ එකහමාරක් පිපිරවූ විට මුදාහැරෙන ශක්තියටය. එහෙත් අරගලකරුවෝ ඒ ස්පෝටන ශක්තිය බෙහෙවින් අඩුකරගත් බව අපි මහත් සතුටින් සඳහන් කරමු. ආණ්ඩුව පිස්සු කෙළින්නට පටන් ගත්තොත් නියම ස්පෝටන බලය මුදාහැරීමට මේ තරුණ පිරිස පෙළඹීමට ඉඩ තිබේ. ජනාධිපති මන්දිරය ආක්‍රමණය කළ තරුණ පිරිස එය ස්වකීය අත්අඩංගුවට ගෙන ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්කළේය. ජනාධිපති මන්දිරය දැකබලා ගැනීමට පැමිණෙන අය එයට හානි කිරීමෙන් වැළකිය යුතු බව අරගලකරුවන්ගේ නිරන්තර ඉල්ලීම විය. එහෙත් එම ඉල්ලීම ඉටුවී නැත. අරගලයෙන් පසු ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා, මෙයට අවුරුදු 50 ට පෙර ගම්මඩු බැලීමට සහ වෙසක් බැලීමට පැමිණි අය සේ දහස් ගණනින් පැමිණි අය මේ වන විට පාලනය කරගැනීමට නොහැකි තරම් නාස්තිකාර කාලකණ්ණින් බවට පත්ව සිටිති. ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට මුත්‍රා කළ ඔවුහු මේ වනවිට එය බැක්ටීරියා තටාකයක් බවට පත්කර ඇත. එසේම ජනාධිපති මන්දිරයේ දේපළද අපහරණය කර ඇත. මෙය පන්ති දෙකක මානසිකත්වය විදහා දක්වයි. සැබෑ අරගලකාරී පන්තිය තුළ වෙනස් කිරීමේ මානසිකත්වය මිස විනාශයේ මානසිකත්වයක් නැත. එය එකී අරගල පන්තියේ සුවිශේෂ ස්වරූපය ලෙස හැඳින්වීමට පුළුවන. එහෙත් පසුව ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි ‘නරඹන පංතිය’ එතන පිස්සු කෙළීමට පටන් ගත්හ. මේ අතර ජනාධිපති මන්දිරයේ ඒ සී කළ කාමරයක් බෙදාගැනීමට නොහැකිව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක කණ්ඩායම් දෙකක් ගුටි කෙළගත් අයුරු අපට අසන්නට ලැබිණ. සාමාන්‍යයෙන් ලෙනින් ද කියූ පරිදි, ලෙනින් කියුවේ යැයි කියා රාජිත සේනාරත්න ද නිතර කියන පරිදි අරගලය යනු අශුද්ධ මෙහෙයුමකි. මිනී මැරුම්, කොල්ලකෑම්, විනාශ කිරීම්, කඩා බිඳ දැමීම්, ස්ත්‍රී දූෂණ යන සියල්ල අරගලය තුළ ඇත. එහෙත් අරගලයේ අවසන් අරමුණ පාරිශුද්ධය. අරගලයකට විවිධ මානසික මට්ටම් ඇති විවිධ පිරිස් සහභාගි වෙති. එය අශුද්ධ වන්නේ එකී මානසික විවිධත්වය අනුවය. අරගලය අවසානයේදී බිහිවන්නේ සර්ව සාධාරණ වූ යහපත් ලෝකයකි. එවැන්නක් බිහිවුණත් නැතත් අරගලයක් සිදුකරන්නේ එකී අවසාන අරමුණ වෙනුවෙනි. එහෙත් ලංකාවේ තත්ත්වය වෙනස්ය. පසුගිය දිනවල පැවති අරගලය අශුද්ධ නැත. එය පාරිශුද්ධය. එය තුළ තිබුණේ කැපවීම පමණි. එහෙත් අරගලයේ අවසන් කොටසට එළඹ ඇති මේ මොහොතේදී ප්‍රතිඵලය අශුද්ධය. ජාතික දේපළ විනාශ කිරීම බෙහෙවින් අශුද්ධ ක්‍රියාවකි. අරලියගහ මන්දිරය රනිල් වික්‍රමසිංහට හෝ මහින්ද රාජපක්ෂට අයත් වූ පුද්ගලික දේපළක් නොවේ. ජනාධිපති මන්දිරය මැදමුලන පිහිටි රාජපක්ෂවරුන්ගේ දේපළක් නොවේ. හැබැයි මේ වනවිට එහි රැඳී සිටින අරගලකාරීන් නොවන හිඟන හැතිකරය සිතා සිටින්නේ එය මැදමුලන දේපළක් බවත් ඒ නිසා එය විනාශ කළ යුතු බවත්ය. අරගලය නිසා විනාශයට පත්වන ජාතික දේපළ සුරක්ෂිත කර දීමත් ඉදිරි විනාශයන් වැළැක්වීමත් මේ අරගලයට නායකත්වය දුන් තරුණ ප්‍රජාවගේ වගකීම බව අපි තරයේ සඳහන් කරමු.

 අරගලයේ අවසන් කොටසේදී ප්‍රජාතන්ත්‍රවාදය ඉතා කනගාටුදායක ලෙස ගිනිගත් බව පෙනෙන්නට තිබේ. රනිල් වික්‍රමසිංහගේ පුස්තකාලයට ගිනි තැබීම ශිෂ්ටාචාරයට ගිනි තැබීම හා සමානය. රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ නිවසම පුස්තකාලයකි. එසේම කලාගාරයකි. අවුරුදු 400 ට පෙර මුද්‍රණය කරන ලද ඇතැම් පොත්වල මුල් පිටපත් එම පුස්තකාලයේ විය. අනුකම්පා විරහිතව ඒවාට ගිනි තැබීම හිඟන වැඩකි. එසේ ගිනි තැබුවන් අල්ලා එම ගිනි ගොඩටම හෙළීමට හැකි වූයේ නම් යහපත්ය. මෙබඳු දෙයක් නවත්වා ගැනීමට පොලිසියට නොහැකි වූයේ ඇයි? රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස අරගලකරුවන්ගේ ඉලක්කයක් වූයේ නැත. ඔවුන් විසින් ඉලක්ක කරගන්නා ලද්දේ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය වැනි පොදු දේපළ පමණි. ‘ඇති දා සීනි නැතිදා ගෝනි’ යනුවෙන් එතරම් ප්‍රචලිත නැති කියමනක් තිබේ. සීනි පිරී තිබෙන විට ගෝනියේ අගය ඉමහත්ය. සීනි ඉවර වූ පසු ගෝනියට ඇත්තේ ගෝනියේ වටිනාකම පමණි. පොත් පත් ගිනි තබන, පොදු දේපළ විනාශ කරන කාලකණ්ණි ජාතියකට එම ජාතියට අයිති මිනිසුන්ගේ පංචස්කන්ධයේ මස්වල සහ කටුවල බර හැරුණු කොට වෙන කිසිම බරක් නැත. අප අරගලකරුවන්ගෙන් ඉල්ලන්නේ ජාතික දේපළ විනාශ කරන හැතිකරය මැඬලීම සඳහා වහාම සන්නද්ධ වන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment