ජපන්නු ඇතුළට… සියවසක සටහන්

107
  • 42 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ ජපාන ආක‍්‍රමණය ආරම්භ වූ ආකාරය ගැනයි.

ෂං-හයි නගරයේ රැඳිලා හිටිය පක්‍ෂ නායකයන්ගේ ආරක්‍ෂාව භාරවත් රහසිගත තොරතුරු රැස්කිරීම භාරවත් හිටිය කූ ෂුන්-චං හතුරාගේ පැත්තට හැරීමෙන් පස්සේ කරපු පාවාදීම් හින්දා සිද්දවුණේ මහා විනාශයක්. පක්‍ෂයේ මහ ලේකම් ශියං චුං-ෆා පවා හතුරන්ගේ ග‍්‍රහණයට ලක්වුණා. අත්අඩංගුවට ඇරගෙන දවස් දෙකක් ඇතුළත ඔහුව මරලා දැම්මත් ඒ කෙටි කාලය තුළ ඔහුත් හතුරන්ගේ පැත්තට හැරුණා. ඉතින් මේ කාරණය පක්‍ෂ ඉතිහාසයට එකතුවෙච්ච මහා කළු පැල්ලමක් බවට පත්වෙලා තියෙනවා.

පක්‍ෂයේ ආරම්භක මහ ලේකම්වරයා වුණේ ඡන් ත-ශ්‍යු මහාචාර්යතුමා. ඒත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් ඔහුට ඒ තනතුර අහිමි කළා. 1929 නොවැම්බර් මාසයේ දී ඔහුව පක්‍ෂයෙන් නෙරපා හැරියා. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මේ බලහත්කාරකම්වලට විරුද්ධ වෙච්ච ඔහු ට්‍රොට්ස්කිවාදියෙක් බවට පත්වුණා. ඔහු සහ ලියොන් ට්‍රොට්ස්කි අතර ඉතාමත් ළඟ සම්බන්ධයක් තිබුණු බවත් කියනවා. කොහොම වුණත් මේ සිදුවීම්වලින් පස්සේ ඔහුගේ දේශපාලන කටයුතු ඉතාමත් සුළු පිරිසක් අතරට සීමාවුණා. ”ජාතික – පොදු හවුල’’ බිඳවැටුණාට පස්සේ චියං කායි-ෂෙක් ප‍්‍රධාන කු ඕ-මින්-තං පාර්ශ්වය විසින් දියත් කරපු ධවල භීෂණයට ඡන් ත-ශ්‍යු මහාචාර්යතුමාගේ පුත්තු දෙන්නත් ගොදුරුවුණා. ඒ නිසා ඇතිවෙච්ච චිත්තපීඩාවලිනුත් ඔහු දුක් වින්දා.

පක්‍ෂයේ මහ ලේකම් තනතුරට ශියං චුං-ෆා පත් කෙරුණේ 1928 සෝවියට් දේශයේ පවත්වපු පක්‍ෂ සම්මේලනයේ දී. (මේ ලිපි මාලාවේ 31 වැනි කොටසින් ඒ රැස්වීම ගැනත් ශියං චුං-ෆා ගැනත් කියලා තියෙනවා). ඔහුට මහ ලේකම් තනතුර ලැබුණේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (සෝවියට් දේශයේ) මැදිහත්වීමෙන්. පක්‍ෂය තුළ කම්කරු බලය තහවුරු කරන්න ඕන කියන මතයේ පිහිටලා තමයි ඒ අය එහෙම කළේ. ශියං චුං-ෆා කියන්නේ කම්කරු නායකයෙක්. වැඩි උගත්කමක් නොතිබුණු ඔහු පක්‍ෂයේ නායකත්වයට සුදුසු කෙනෙක් නෙවෙයි. ඒත් සෝවියට් දේශයේ බලපෑමට එකඟවෙනවා ඇරෙන්න කළ යුතු වෙන දෙයක් පොදු නිෂ්පාදන පක්‍ෂයේ අයට තිබුණේ නෑ.

කූ ෂුන්-චංගේ පාවාදීම හින්දා පක්‍ෂයේ ක‍්‍රියාකරීන් විශාල ප‍්‍රමාණයක් හතුරාගේ ගොදුරු බවට පත්වුණා. කලින් ලිපියෙන් කියපු හැටියට හතුරා විසින් ත්සැයි හ-සන්ගේ මරාදැම්මෙත් මේ පාවාදීමේ උදව්වෙන්. ඔහු මා ඕ ත්ස-තුං සමඟ එකට පාසල් ගිය කෙනෙක්. ඒ වගේම, පාසල් ජීවිතය අවසානයේ දී මා ඕ ත්ස-තුං සමඟ එකතුවෙලා ”නව ජනතා අධ්‍යයන කවය’’ හදන්නත් ඔහු මුල්වුණා. ”වැඩ – පාඩම් ක‍්‍රමය’’ යටතේ ප‍්‍රංශයට ගිය ත්සැයි හ-සන් ශිෂ්‍ය අරගල මෙහෙයවන නායකයෙක් බවටත් පත්වුණා. ප‍්‍රංශයෙන් පිටුවහල් කිරීමෙන් පස්සේ ආපහු චීනයට ඇවිල්ලා පක්‍ෂයේ ඉතාමත් ක‍්‍රියාකාරී නායකයෙක් විදිහට කටයුතු කරන්න ඔහුට පුළුවන් වුණා. 1931 අගෝස්තු 4 වැනිදා හතුරන් විසින් ඔහුව මරා දමද්දි ඔහුගේ වයස අවුරුදු තිස් හයක්.

ජපන්නු ඇතුළට... සියවසක සටහන්
පෝ කූ

නන්-චිං නගරයේ පිහිටි කු ඕ-මින්-තං රහසිගත තොරතුරු මධ්‍යස්ථානයේ වැඩ කරපු ඡියැන් චුවං-ෆෙයි විසින් කූ ෂුන්-චංගේ පාවාදීම හෙළි කරගත්ත හින්දා චෝ අන්-ලයි ඇතුළු පක්‍ෂ නායකයන් සෑහෙන ප‍්‍රමාණයකට පණ බේරගන්න පුළුවන් වුණා. පදිංචිය සහ රැුස්වීමේ ස්ථාන වෙනස් කළත් ඒ අයගේ ජීවිත ඉතාමත් අවදානම් තත්ත්වයකට පත්වෙලයි තිබුණේ. මේ නායකයෝ අතරින් සෑහෙන ප‍්‍රමාණයක් ෂං-හයි නගරය අත් ඇරලා චියං-ශි මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයට සංක‍්‍රමණය වෙන්න පටන්ගත්තා. ඒ ප‍්‍රදේශය පාලනය වුණේ රතු හමුදාවේ පළමු පෙරමුණු සේනාව (චූ – මා ඕ රතු හමුදාව) යටතේ.

සෝවියට් දේශයේත් කොමියුනිස්ට් ජාත්‍යන්තරයේත් උදව්වෙන් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වෙච්ච වං මිං දේශපාලන මණ්ඩලයේ නායකයෙක් බවටත් පත්වුණා. (වං මිං ගැනත් ඔහු නායකත්වය දීපු ”බොල්ෂෙවික්වරු විසි අට දෙනා සහ භාගය’’ ගැනත් මේ ලිපි මාලාවේ 38 වැනි කොටසින් කියලා තියෙනවා). පක්‍ෂයේ මහ ලේකම් විදිහට වැඩ කරපු ශියං චුං-ෆා පවා වං මිංට අවනත වෙලා හිටියේ.

හතුරා විසින් ශියං චුං-ෆා මරාදැමීමෙන් පස්සේ පක්‍ෂයේ මහ ලේකම් තනතුරට පත්කෙරුණෙත් වං මිං. ස්ටාලින්ගේ උපදෙස් පිට කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් කරපු මේ පත්කිරීම පක්‍ෂයේ නියෝජිත මහා සම්මේලනයක දී අනුමත කරපු එකක් නෙවෙයි. ඒ කොහොම වුණත් චීන පොදු නිෂ්පාදන පක්‍ෂය ක‍්‍රියාත්මක වුණේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ශාඛාවක් විදිහට හින්දා ඒ පත්කිරීම පිළිගන්න හැමෝම බැඳිලා හිටියා. මේ දවස්වලම විවාහවුණු වං මිං (ඔහුගේ බිරිඳ බවට පත්වුනේ ”බොල්ෂෙවික්වරු විසි අට දෙනා සහ භාගය’’ නියෝජනය කරපු කෙනෙක්) වැඩි ආරක්‍ෂාව වෙනුවෙන් ආපහු සෝවියට් දේශයට යන්න තීරණය කළා.

1931 සැප්තැම්බර් මාසයේ දී වං මිං තමන්ගේ බිරිඳත් එක්ක සෝවියට් දේශයට ගියේ පෝ කූ (ඡින් පං-ශියැන්) කියන තමන්ගේ සගයාට පක්‍ෂයේ මහ ලේකම් තනතුර භාරදීලා. මේ පැවැරීම කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් අනුමත කළා. පෝ කූ කියන්නෙත් ”බොල්ෂෙවික්වරු විසි අට දෙනා සහ භාගය’’ නියෝජනය කරපු කෙනෙක්. පක්‍ෂයේ මහ ලේකම් තනතුරේ වැඩ බැලීම පැවරෙද්දි ඔහුගේ වයස අවුරුදු විසි හතරයි. ආපහු සෝවියට් දේශයට ගිය වං මිං කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ චීනය පිළිබඳ අංශයේ ප‍්‍රධානියා බවට පත්වුණා. ඉතින් පක්‍ෂයේ කටයුතු තවදුරටත් වං මිංගේ අධිකාරය යටතේම පාලනය වුණා. ඒ වගේම, කිසිම දේශපාලන අත්දැකීමක් නැති පෝ කූ තරුණයා යටතේ වැඩ කරන්න චෝ අන්-ලයි ප‍්‍රමුඛ පළපුරුදු නායකයන්ට සිද්දවුණා.

චියං-ශි සෝවියට් ප‍්‍රදේශය විනාශකිරීමේ අදහසින් චියං කායි-ෂෙක් ක‍්‍රියාත්මක කරපු දෙවැනි වටලෑම 1931 මැයි 31 වැනිදා අවසන් වුණේ විශාල පරාජයකින්. මේ ගැන මෙයට පෙර ලිපියෙන් කිව්වා. තමන් ලබපු මේ පරාජයෙන් සති තුනක් ගතවෙද්දි (1931 ජුනි 21 වැනිදා) චියං කායි-ෂෙක් නන්-ඡුං නගරයට (චියං-ශි පළාතේ ප‍්‍රධාන නගරයට) ගියේ තමන්ගේ බි‍්‍රතාන්‍යය, ජර්මානු සහ ජපාන යුද උපදේශකයනුත් පිරිවරාගෙන. ඉතාමත් ඉක්මනින් තුන්වැනි වටලෑම ක‍්‍රියාත්මක කරන්න ඔහුට ඕන වුණා. ඒ වෙනුවෙන් සේනාංක විසි හතරක් යොදවන්න ඔහු තීරණය කළා. ලක්‍ෂ තුනකට වැඩි පිරිස් බලයක් සහිතව කරපු මේ මහා සටනේ ප‍්‍රධාන අණදෙන්නා විදිහට චියං කායි-ෂෙක් ම කටයුතු කළා.

ජපන්නු ඇතුළට... සියවසක සටහන්
ෂන්-යං නගරයට ඇතුළුවන ජපන් හමුදාව

පළමුවැනි සහ දෙවැනි වටලෑම් හමුවේ ලබපු ජයග‍්‍රහණ හින්දා මා ඕ ත්ස-තුංගේ උපක‍්‍රමය සාර්ථක බව මේ වෙද්දි රතු හමුදාවේ හැම කෙනෙක්ම තේරුම් ඇරගෙනයි හිටියේ. ඉතින් ශියං යිං ඇතුළු වං මිංගේ ගෝලයන්ටත් ඒ ඇත්ත පිළිගන්න සිද්දවුණා. ඒ හින්දා මේ තුන්වැනි වටලෑමට එරෙහි සැලසුම්වලට බාධාකරන්න ඕනකමක් ඒ අයට තිබුණේ නෑ. ඉතින් කලින් විදිහටම තමන්ගේ බල ප‍්‍රදේශයට ඇතුළටම හතුරාට එන්න ඉඩදීලා පහරදීමට මා ඕ ත්ස-තුං විසින් රතු හමුදා සේනාංක සූදානම් කෙරුවා.

චියං කායි-ෂෙක් තමන්ගේ සේනාංක විසි හතර සංවිධානය කළේ පෙරමුණු දෙකකින් පහරදෙන විදිහට. එක පෙරමුණකට පැවරුණේ උතුරේ ඉඳලා දකුණට හමුදා මෙහෙයවන වගකීම. අනිත් පෙරමුණට පැවරුණේ නැගෙනහිර ඉඳලා බටහිරට හමුදා මෙහෙයවන වගකීම. මේ උපක‍්‍රමයෙන් රතු හමුදාව කං ගංගාවේ නැගෙනහිර පැත්තට හිර කරගන්න පුළුවන් කියලා ඔහු හිතුවා. මෙහෙම හිතපු ඔහු ජුලි 1 වැනි දා තමන්ගේ ප‍්‍රහාර ආරම්භ කළා.

හතුරු පාර්ශ්වයේ උපක‍්‍රමය හඳුනාගන්න මා ඕ ත්ස-තුංට පුළුවන් වුණා. ඉතින් හතුරා රවට්ටන වැඩපිළිවෙළක් ඔහු සංවිධානය කළා. තමන්ගේ පාර්ශ්වයේ ප‍්‍රධාන සේනාව විදිහට රඟපෑමේ වගකීම ඔහු පැවරුවේ රතු හමුදාවේ 12 වැනි සේනාංකයට. ඉතින් චියං කායි-ෂෙක් අපේක්‍ෂා කරපු ගමන ගියේ ඒ සේනාංකය. ඒ අයගේ පණිවිඩ හුවමාරු කේත, පාවිච්චි කරපු කොඩි, හැසිරිච්ච විදිහ කියන මේ හැම දෙයකින්ම අදාළ රැුවටීම කරන්න ඒ සේනාංකයට පුළුවන් වුණා. ඒ අතර ඉතාමත් රහසිගතව හතුරු පෙරමුණ දෙකක් මැද්දෙන් රතු හමුදාවේ ප‍්‍රධාන සේනාව මෙහෙයවන්න මා ඕ ත්ස-තුං ඇතුළු නායකයන්ට පුළුවන් වුණා. කිලෝ මීටර් විස්සකට අඩු පරතරයක් ඇතුළේ 1931 අගොස්තු 4 වැනිදා ගිය ඒ ගමන හතුරා විසින් අපේක්‍ෂා කරපු එකක් නෙවෙයි.

අගෝස්තු 9 වැනිදා තවත් ඒ වගේ ම ගමනක් යන්න රතු හමුදාවේ ප‍්‍රධාන සේනාවට පුළුවන් වුණා. ඒ වතාවේ රතු හමුදාව ගියේ කිලෝ මීටර් දහයකටත් අඩු පරතරයකින් රැුකවල් ලාගෙන හිටිය හතුරු පෙරමුණු දෙකක් මැද්දෙන්. රතු හමුදාව මෙහෙම දෙයක් කරයි කියලා හතුරු පාර්ශ්වයට හිතුණේ නෑ. ඒ අය තවදුරටත් තමන් හඳුනාගත්ත ”ප‍්‍රධාන සේනාව’’ පස්සේ ලූහුබඳිමින් හිටියා. තමන් වැරැුදි ඉලක්කයක් හඹාගෙන යන බව ඒ අය තේරුම්ගත්තේ සති දෙකක් ගතවුණාට පස්සේ. ඒ වෙද්දි හතුරාව තමන්ගේ බල ප‍්‍රදේශය ඇතුළටම ගෙනැල්ලා හිර කරගන්නත්, ඒ අයගේ සැපයුම් මාර්ග අවහිර කරන්නත් රතු හමුදාව කටයුතු කරලා ඉවරයි.

ඉතින් 1931 සැප්තැම්බර් 15 වැනිදා වෙද්ද හතුරු පාර්ශ්වයේ පරාජය සහතික කරන්න රතු හමුදාවට පුළුවන් වුණා. රතු හමුදාවේ ප‍්‍රහාරවලින් තුන්වැනි වටලෑමට සම්බන්ධ වෙච්ච හතුරු සේනාංක සෑහෙන ප‍්‍රමාණයක් විනාශ වුණා. මේ සටනේ දී හතුරු පාර්ශ්වයේ තිස් දාහකට විතර ජීවිත අහිමිවුණා. හමුදා නායකයන් ඇතුළු සෑහෙන ප‍්‍රමාණයක් තමන්ගේ ග‍්‍රහණයට ගන්නත් රතු හමුදාට පුළුවන් වුණා. මේ විදිහට රතු හමුදාවේ අත්අඩංගුවට පත්වෙච්ච අය අතර කු ඕ-මින්-තං 52 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා විදිහට කටයුතු කරපු හන් ත-ඡිං සෙනෙවියා පවා හිටියා. රයිෆල් විසිදාහකට වැඩි ප‍්‍රමාණයක් ඇතුළුව ආයුධ තොගයකුත් රතු හමුදාව සන්තක වුණා.

1931 සැප්තැම්බර් 18 වැනිදා වාර්තා වෙච්ච සිදුවීමක් හින්දා තුන්වැනි වටලෑම නිල වශයෙන් නැවැත්වීමේ අවස්ථාවක් චියං කායි-ෂෙක්ට ලැබුණා. ඒ දවසේ තමයි ජපන් හමුදා ආක‍්‍රමණයේ මුල් ම දවස සනිටුහන් වුණේ. මේ කාරණය ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ ”සැප්තැම්බර් 18 සිදුවීම’’ කියලා. ඒ සිදුවීමට අදාළ පසුබිම් කතාවත් සිදුවීමත් මෙහෙමයි.

1904 – 1905 අවුරුදු දෙකේ ඇවිලිච්ච රුසියානු – ජපන් යුද්ධයෙන් දිනුවේ ජපන්නු. රුසියාවේ මේ පරාජයට හේතුවුණේ ඒ රටේ තිබුණු අභ්‍යන්තර ආරවුල්. මේ පරාජය හින්දා චීනයේ ඊසානදිග ප‍්‍රදේශයේ තිබුණු දකුණු මංචූරියානු දුම්රිය මාර්ගයේ බදු අයිතිය ජපානයට පවරන්න රුසියාවට සිද්දවුණා. 1894 – 1895 අවුරුදු දෙකේ ඇවිලිච්ච පළමුවැනි ජපන් – චීන යුද්ධයෙන් පස්සේ ජපානය විසින් පවරගත්ත කුවං-තුං බදු භූමිය පිහිටලා තිබුණෙත් මේ දුම්රිය මාර්ගයේ දකුණු කෙළවරේ. ඉතින් ඒ ප‍්‍රදේශයත් දුම්රිය මාර්ගයත් එකට පාලනය කරන්න ජපන්නුන්ට පුළුවන් වුණා. මේ පවරාගැනීම් රකගන්න හමුදාවකුත් යොදවලා තිබුණා. ඒ සන්නද්ධ බලයට කිව්වේ කුවං-තුං හමුදාව කියලා.

1931 සැප්තැම්බර් 18 වැනි දා ? 10:20 ට ෂන්-යං නගරය කිට්ටු තැනක දී දකුණු මංචූරියානු දුම්රිය මාර්ගයේ පුංචි බෝම්බයක් පුපුරවන්න ජපන්නුන්ගේ කුවං-තුං හමුදාවේ පිරිසක් කටයුතු කළා. තරමක් දුරින් මේ පිපිරවීම කරපු හින්දා දුම්රිය මාර්ගයට සැළකිය යුතු හානියක් සිද්දවුණේ නෑ. ඊට විනාඩි කීපයකට පස්සේ එක දුම්රියක් කිසිම අපහසුවක් නැතුව ඒ පිපිරවීම කරපු තැන පහුකරලා ෂන්-යං නගරයට ගියා.

තමන්ගේම ආරක්‍ෂාව යටතේ තිබුණු තමන්ගේම දුම්රිය මාර්ගයට ජපන් කුවං-තුං හමුදාව පහරදුන්නේ වෙනත් අරමුණකින්. මේ පුපුරුවා හැරීමේ වගකීම චීන බලධාරීන්ට පවරන්න ජපන්නු කටයුතු කළා. ඒ වෙද්දි චීනයේ ඊසානදිග පළාත් තුන (මංචූරියාව) පාලනය කළේ චං ශුවේ-ලියං විසින්. (මේ ලිපි මාලාවේ 33 වැනි කොටසින් ඔහු ගැන කියලා තියෙනවා). දුම්රිය මාර්ගයට පහරදීම පදනම් කරගෙන 1931 සැප්තැම්බර් 19 වැනිදා උදේම ජපන් හමුදාව චීන පාර්ශ්වයට පහරදෙන්න පටන්ගත්තා. ඒ පුපුරුවා හැරීමට කිසිම සම්බන්ධයක් නැති චං ශුවේ-ලියං මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. ඒත් ඒ ගැන හිතන්නත් කලින් ජපන්නු මහා වේගයකින් පහර එල්ලකරන්න පටන්ගත්තා. මේ ප‍්‍රහාරවලින් චං ශුවේ-ලියංගේ කුඩා ගුවන් හමුදාවත් මුළුමනින්ම විනාශවුණා. එදා හවස් වෙද්දිම ෂන්-යං නගරය තමන්ගේ පාලනයට නතු කරගන්න ජපන්නුන්ට පුළුවන් වුණා. මේ අනපේක්‍ෂිත ප‍්‍රහාරයෙන් චීන පාර්ශ්වයේ පන්සීයකට විතර ජීවිත අහිමිවුණා. ඒත් ජපන් පාර්ශ්වයෙන් මියගියේ දෙන්නෙක් විතරයි.

ෂන්-යං නගරය අල්ලාගැනීමෙන් ජපන්නු නැවතුණේ නෑ. දකුණු මංචූරියානු දුම්රිය මාර්ගය දිගේ ම තමන්ගේ ප‍්‍රහාර මෙහෙයවන්න ජපන්නු කටයුතු කළා. ඉතින් කිලෝ මීටර් එක්දාස් එකසීයකට වඩා දිග ඒ දුම්රිය මාර්ගය දිගේ පිහිටි හැම නගරයක්ම දවස් කීපයක් ඇතුළත තමන්ගේ ග‍්‍රහණයට ගන්න ජපන්නුන්ට පුළුවන් වුණා. ඒත් එක්කම චීන ඉතිහාසයේ අලූත් පිටුවක් දිගහැරුණා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment