ජපුර රෝහලට නව බස් සේවයක්

105

කොච්චර වැටුණත් සෞඛ්‍ය නැගිටිනවා – ඇමැති රමේෂ් කියයි

“සුව සැරිය රෝහල් සේවාව” නමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට විශේෂ බස්රථ සේවාවක් ඊයේ ඇරඹිණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ‘සුව සැරිය රෝහල් සේවා’ විශේෂ බස්රථ සේවාව ඊයේ (05දා) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙන් ආරම්භ කරන ලදී.

මීට පෙර සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිලධාරීහු සහ කාර්ය මණ්ඩලය සමග රෝහලේ ප්‍රගතිය පිළිබඳව සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී රෝහල් කාර්යමණ්ඩලය සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව මුහණදෙන ප්‍රධාන ගැටලුවක් ලෙස ප්‍රවාහන දුෂ්කරතාවය පෙන්වා දෙන ලදී.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රවාහන, මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස කඩිනමින් මෙම විශේෂ බස්රථ සේවාව ආරම්භ කිරීමට පියවර ගනුණි.

මහරගම, තලවතුගොඩ, බොරැල්ල, කොටුව (138/212/174) නගර ආවරණය වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා – “කුමන අර්බුද පැමිණියත් ඉතාම කෙටි කාලයකින් පෙර පුරුදු තත්ත්වයට පැමිණීමේ විශිෂ්ටතාවයක් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පවතින බව කීවේය.

ජපුර රෝහලට නව බස් සේවයක්

ජපන් රජය විසින් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට උපහාරයක් ලෙස ලබාදුන් මෙම රෝහලට වසර 40ක කාලයක් ගත වුවත් එය ඉතා විශිෂ්ට නිර්මාණයක් බවද පැවසූ ඇමැතිවරයා රෝහල තිබෙන තත්ත්වයට වඩා විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදෙන තත්ත්වයට පත් කිරීමට සියලුදෙනාගේ සහාය අපේක්‍ෂා කරන බවද පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද කතා කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්ම මහත්මීහු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.


advertistmentadvertistment