ජම්බුද්දීපවාදීන් ගෙන යන මිථ්‍යාවේ ඇතුළු පැත්ත

2390

බුදුහිමි උපන් ස්ථානය, බුද්ධත්වයට පත්වූ ස්ථානය, ප්‍රථම ධර්මදේශනා පැවැත්වූ ස්ථානය ඇතුළු සමස්ත සිද්ධාර්ථ කුමාර සහ බුදුහිමිගේ අසූ වසරක කාලයම කණපිට පෙරළා ඉන්දීය ඉතිහාසය සහ ශ්‍රී ලංකා ඉතිහාසය කණපිට පෙරළීමට තරම් වසර 2600ක් පමණ පසු බිහි වූ මේ පිරිසට මෙම විපර්යාසය සිදුකිරීමට සිත් පහළ වූයේ ඇයි? එය ඔවුන් විසින්ම සොයාගත් සාක්ෂි සහ සැබෑ කරුණු ඇසුරින් කරන දෙයක්ද? එසේ නැති නම් බාහිර බලවේගයක අතකොලු බවට පත්ව සිදුකරන මිථ්‍යා ප්‍රකාශයන් ද යන්න මෙරට වැසියන්ට සහ ලෝකයේ බුදුදහම ගැන උනන්දු වන හැමෝටම සත්‍ය දැන ගැනීමේ අයිතිය ඇත. ඔවුන් විසින් ගෙන යන මේ මිථ්‍යා මතය බුදුහිමිගේ සැබෑ නිජ බිම ගැන පමණක් නොව උන්වහන්සේ දේශනා කළ උතුම් ධර්මය පවා විකෘති කරගෙන යන මහා විනාශකාරි වැඩපිළිවෙළකි. මෙම මතය ඉදිරිපත් කරන පිරිස සැබෑ බෞද්ධයන් නම් බුදු හිමි දේශනා කරන ධර්මයට අනුව කටයුතු කරන පිරිස් නම් මෙවැනි මතයක් ඉදිරිපත් කිරීමට පෙර මෙම පිරිස අවබෝධ කළ යුතු සිහි තබාගත යුතු කරුණු ගණනාවක් ඇත. බුදුහිමිගේ දේශනාවන්ට අනුව උන්වහන්සේ පෙන්වා දුන්නේ මේ දුක් සහිත සංසාර ගමන නවත්වන්නේ කෙසේද නැවත උපතක් නැති ඒ උතුම් නිවන සාක්ෂාත් කරගන්නේ කෙසේද? ලෞකික වශයෙන් කිසිවෙකුට කරදරයක් නොමැතිව යහපත් ජීවිතයක් ගත කරන්නේ කෙසේද? යන්න ප්‍රඥ්ඥාවෙන් සිතා ජීවත්වන ලෙසයි. එසේ නොමැතිව බුදුහිමි උපන්නේ කොහේද? ජීවත්වූයේ කොහේද? යන්න දහමට කිසිසේත් සම්බන්ධ නැත. බුදුහිමි පෙන්වා දුන්නේ මා සොයාගත් ධර්මය දේශනා කරනවා. ඒ මඟ යෑමට කැමති අය මාගේ ධර්මය අනුව තමාම හොඳින් සිතා එය නිවැරදි යයි අවබෝධ වන්නේ නම් ඒ මඟ ගොස් සසර දුකින් මිදීමට මාර්ගය සාදාගන්නා ලෙසයි. ඒ නිසා අපට සිතා ගැනීමට ඇති මූලිකම දේ මේ පිරිස සැබෑ බෞද්ධයන් නොවන බවයි. බෞද්ධ වේශයෙන් පෙනී සිට දහම විකෘතිකර බෞද්ධයන් කෙටවීමට කාගේ හෝ වුවමනාවකට වැඩකරන පිරිසක් බවයි. ඒ නිසාම ඔවුනගේ අරමුණ වෙන දෙයක් බවයි. ඒ නිසාම මේ පිරිස කාගේ හෝ වුවමනාවකට වේතනයකට වැඩකරන පිරිසක් බවයි.

මොවුන් විසින් ඉදිරිපත් කරන ලොකුම මිථ්‍යාව බලන්න. සිදුහත් කුමරුගේ මෑණියන් වන මහමායා දේවිය සිදුහත් උපතින් සත් දවසකට පසු පිරිමියෙක් බවට පත්වූ බවත් සුද්ධෝදන රජු වන ඇගේ සැමියා විසින් ඇයව ගල්ගුහාවක සැඟවූ බවත් වශයෙන් දක්වන මහා මිථ්‍යාව දෙස බලන්න. ඇය දින හතකට පසු මියගිය බව බෞද්ධ ඉතිහාසය පෙන්වා දී ඇත. එය සිදුවිය හැකි දෙයකි. එහෙත් මේ මිථ්‍යාදෘෂ්ඨිකයන්ගේ මතය කොතරම් විකෘතියක්ද? එසේම ඔවුන් කියන තවත් දෙයක් නම් සිද්ධාර්ථ ගෞතම යනුවෙන් බුදුවරයෙක් ලොවේ පහළ නොවූ බවයි. ඒ වෙනුවට ගෝතම යනුවෙන් බුදුවරයෙක් ලංකාවේ ජම්බුද්ධවීපයේ උපන් බවයි. ගෞතම සහ ගෝතම යනු එකම අර්ථය ගෙන දෙයි. සිද්ධාර්ථ සිදුහත් වූවා සේම ගෞතම ගෝතම යනුවෙන් කෙටිකර ලිවිය හැක.

ඉන්දීය ඉතිහාසයේ හැටියට බුදුහිමි පහළ වූ යුගයේ විවිධ දෘෂ්ටීන් සහ ඒ අනුව කටයුතු කරන ශ්‍රමණ බ්‍රාහ්මන පිරිසක් වාසය කර ඇත. ඒ බව ඉන්දීය ඉතිහාසඥයෝ සඳහන් කර ඇත. ඒ අය අතර ආලාර කාලාම, උද්දකරාම, ෂඩ් ශාස්තෘන්, නිගණ්ටනාථපුත්ත, උද්කාරාම පුත්ත, කාල දේවල, පකුධ කච්චායන සහ අසිත වැනි විවිධ පරිබ්‍රාජක නිකායන් සහ ශ්‍රමණ, බ්‍රාහ්මණ, භික්ෂු, සන්නාසි ආදී නම්වලින් ආගමික නිකායන් සහ නායකයන් බහුලව සිට ඇත. ඊනියා මත ඉදිරිපත් කරන අයට අනුව නම් මෙම පිරිස් ද ලංකාවේ එවකට සිටින්නට ඇත. එහෙත් මේ කිසිවෙක් ගැන ඔවුන් සඳහන් නොකරයි. බුදුවරයෙකු උපදින්නේ විවිධ මිථ්‍යා දෘෂ්ටික අදහස්වලින් ඔද්දල් වූ සමාජයක එවැනි මත දරන්නන්ට සත්‍ය පහදා දීමටයි. එයයි සත්‍ය.

බෞද්ධ ඉතිහාසය දෙස බැලීමේදී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයේ සිදුවූ සිද්ධීන් ඒ සිද්ධීන්ට සම්බන්ධ වූ රජවරු සහ ආගමික නායකයන් විවිධ පඬිවරුන් ඉන්දියාවේ සංචාරය කළ සංචාරකයන් සහ බුදුදහමට බලපෑ වෙනත් ආගමික මත ඉන්දීය ඉතිහාසය ලියූ ලේඛකයෝ පෙන්වා දී ඇත. එවැනි අවස්ථා කීපයක් මෙසේ දක්වමි. ක්‍රි.පූ. 390 සිට 365 දක්වා කාලය ඇතුළත රජ වූ කාලාශෝක රජුගේ කාලයේදී භික්ෂු ශාසනයේ ඇති නිකාය භේදයට අනුව වජ්ජිපුත්තක යනුවෙන් භික්ෂුන් පිරිසක්ද, සර්වාස්ථවාදීන් වශයෙන් තවත් පිරිසක්ද ඇති වූ බවත් මේ අයට පක්ෂපාතීව කාලාශෝක රජ ක්‍රියා කළ බව දක්වා ඇත. මෙම රජතුමා ධර්ම සංගායනාවක්ද පවත්වා ඇත. එසේ නම් මේවා සිදු වූයෙත් ලංකාවේමද? ඉන්පසු නන්ද සහ මහා පද්ම රජ පෙළපත ගැන ඉන්දීය ඉතිහාසය සඳහන් කරයි. එසේම මේ යුගයේ ඉන්දියාවේ උපන් වසුමිත්‍ර නම් පඬිවරයා රචිත භින්න නිකාය ධම්මචක්‍ර යන තන්ත්‍ර ග්‍රන්ථයේ මෙකල ඇති වූ නිකාය භේදයට හේතු පෙන්වා දී ඇත. එම කරුණු අරභයා ප්‍රංශ මහාචාර්යවරයෙකු වන පුෂින් නම් පඬිවරයා බුදුහිමි සහ ඇති වූ නිකාය භේදයන් ගැන කරුණු රචනා කර ඇත. ඉන්පසු සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500-400 අතර නිකාය භේදය උග්‍ර වූ සැටිත් චීන සහ ටිබෙට් වාර්තාවල සඳහන්ව ඇත. නන්ද රජවරුන්ගේ කාලයෙන් පසු චන්ද්‍රගුප්ත, මෞර්ය රජ ඔහුගේ පුත් බින්දුසාර ඔහු පුත් අශෝක ගැන සඳහන් කරයි. ඊනියා ජම්බුද්ධීප වාදීන්ට අනුව අශෝක රජු ශ්‍රී ලාංකිකයෙකි. එනම් ශ්‍රී ලංකා දිවයිනේ ජම්බුද්ධීප කොටසේ රජ කළ මුළු ඉන්දියාව යටත් කරගෙන සිටි ලාංකිකයෙකි. ඉන්දීය ඉතිහාසය අශෝක රජු මහත් ඉහළින් සඳහන් කර ඇත. මෙම මත ඉදිරිපත් කරන පිරිස් ඉන්දීය ඉතිහාසය පවා වෙනස්කර ඇත. එදා අශෝක රජු විසින් සිදුකළ ශාසනික සේවයන් අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218ට පසු පැලලුප් නුවර අශෝකාරාමයේ සිදුකළ ධර්ම සංගායනාව සහ ඔහු විසින් සිදුකළ ධර්ම දූත මෙහෙවරද ඒ යටතේ බුරුමය, තායිලන්තය, ජපානය, ලංකාව වැනි රටවල යැවූ ධර්ම දූත කණ්ඩායම් දැක්විය හැක. මෙම කරුණු ලංකාවේ වංශ කතාවන්හි එන සමන්ත පාසාදිකා විනය අටුවාවේද, ටිබෙට් සහ චීන වාර්තාවල ද සඳහන්ව ඇත. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ රචිත කථාවත්තු ප්‍රකරණය මේ බව සඳහන් වෙයි. එසේම මහින්දාගමනයද ඉන්දියාවේ සිට මෙරටට සිදුවූ සිද්ධියකි. මහින්දාගමනයෙන් පසු මෙරට සිදුවූ සමාජ ආර්ථික ප්‍රබෝධය මෙම ජම්බුද්ධීපවාදීන්ට මිථ්‍යාවකි. එසේම අශෝක රජතුමා බුදුහිමි වැඩ සිටි සෑම ස්ථානයන්ටම ගොස් ඒ ඒ තැන්වල යෝධ ගල්කණු සිටුවා එම කණුවල බුදුහිමි සම්බන්ධ එම ස්ථානයේ ඓතිහාසික තත්ත්වය එම ටැම් ලිපිවල සඳහන් කර ඇත.

ක්‍රි.ව. 120 සිට 162 කාලයේ ඉන්දියාවේ රජ වූ කනිෂ්ක සර්වාස්තවාදී බෞද්ධයෙකු වූ මේ රජු සහ එතුමාගේ රාජ්‍ය සභාවේ සිටි සුප්‍රසිද්ධ පඬිවරු වන අශ්වගෝෂ, නාගර්ජුන, වසුමිත්‍ර, පාර්ෂව වැනි මහායාන අදහස් ඇති මහා පඬිවරු මේ අයගේ සහභාගිත්වයෙන් කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේ පැවති මහා සංගායනාව පැවතියේ ලංකාවේ ජම්බුද්ධවීපයේද? මේ පඬිවරු ගැනවත් ඉන්දියා ඉතිහාසය ගැනවත් ඔවුන් දන්නේ නැත. මේ පඬිවරු පවා සිද්ධාර්ථ ගෞතම බුදුහිමි ඉන්දියානු ජාතිකයෙක් බව පිළිගෙන ඇත. මේ සියල්ල සිදුවූයේ බුදුහිමි උපන් දඹදිවයි. එනම් ඉන්දියාවේදිය. මෙයට අමතරව ක්‍රි.ව. 399දී සිදුවූ පාහියන් හිමිගේ ඉන්දීය සංචාරය සහ ක්‍රි.ව. 635-640 කාලයේදී සිදුවූ හියුන්සාන් හිමිගේ ඉන්දීය සංචාරය. මේ සංචාරවලදී ඔවුන් සිසැසින් දුටු ඉන්දියාවේ බෞද්ධ ස්ථාන සඳහන් කර ඇත. එසේම ක්‍රි.ව. 1234දී ටිබෙට් ජාතික දේශගවේෂක ධර්මන් ස්වාමී වාර්තාවලට අනුව එතුමා ඉන්දියාවේ දුටු බෞද්ධ ස්ථාන ගැන සඳහන් කර ඇත. එසේම ක්‍රි.ව. 1833 ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥ ඇලැක්සැන්ඩර් කනින්හැම්ගේ වාර්තා, එසේම ඉංග්‍රීසි ජාතික ලේඛක එඩ්වින් අර්නෝඩි රචිත light of Asia ග්‍රන්ථය තුළින් ඔහු දුටු බුදුහිමි, මේ සියලු පුරාවිද්‍යාවන් ප්‍රතික්ෂේප කිරීමට ජම්බුද්ධීප වාදීන්ට ඇති සාක්ෂි මොනවාද? ඔවුනගේ මතය මේ මතය නිර්මාණය කළ සිරිසේන හපුතන්ත්‍රි නොහොත් භික්ෂු ශාසනයෙන් නෙරපූ මීවලපලානේ සිරිධම්මාලංකාර රහතුන් වහන්සේ මේවා සිය ඍධි බලයෙන් සොයාගත් බවයි. මේ මිථ්‍යා දෘෂ්ටියන්ගේ මතයේ හැටියට මේ චීවරධාරියා රහත් නමකි. ඒ අනුව බුදුහිමි ධර්මානු සමයේ සිට මේ දක්වා ලොව බිහිවූ කිසිදු රහතුන් වහන්සේ නමක් මේ බව සොයාගෙන නැත. තවත් වැදගත්ම සාක්ෂිය හින්දු ආගමේ මතයේ හැටියට බුදුහිමි යනු මිනිස් වේශයෙන් ඉන්දියාවේ පහළ වූ විෂ්ණු දෙවියන්ගේ අවතාරය බවයි.

එසේම දඹදිව ස්ථාපිත සියලුම බෞද්ධ සිද්ධස්ථානවල නීත්‍යනුකූල අයිතිය හිමිවන්නේ ඉන්දීය පුරාවිiා ආයතන හරහා ලෝක බෞද්ධයන්ටයි. බුද්ධ ශාසනයටයි. එම අයිතිය ඉන්දීය අධිකරණය විසින් ඔවුන්ගේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව වෙන් කරදී ඇත. හොඳම නිදර්ශනය අනාගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරා ගැනීමේ සටන සඳහන් කළ හැක. එවකට බුද්ධගයාව අල්ලාගෙන සිටි මහන්තා නම් ඉන්දීය ජාතිකයාට විරුද්ධව ධර්මපාලතුමා පැවරූ නඩුවෙන් ධර්මපාලතුමා ජයගත් බවත් ඒ අනුව බුද්ධගයාව නීත්‍යනුකූලවම බුදුහිමි උපන් ස්ථානය බවත් ලොවම දැන ගත්තේය. අනෙක් බෞද්ධ ස්ථානවල අයිතිය පවා අද බුද්ධ ශාසනයට හිමි වී ඇති අතර ඒ සියලුම ස්ථාන බුදුහිමි වැඩ සිටි ධර්ම දේශනා කළ ස්ථාන බව ඉන්දීය රජය පිළිගෙන ඇත.

අද වනවිට බටහිර රටවල් ප්‍රධාන ලෝකයේ බොහෝ රටවල බුදුදහම පිළිබඳ ප්‍රබෝධයක් සහ සත්‍ය දහම සෙවීමේ ප්‍රවණතාවයක් මතු වී ඇති යුගයක එම තත්ත්වයන් නොයිවසන යම් විනාශකාරී අන්ධ පිරිසකගේ මේ උපක්‍රමවලට හසු නොවේවා. බුදු දහම ලොව පුරා තව තවත් බැබැලේවා.

වග නිමල් කරුණරත්න
ධර්මචාර්ය/ ලේඛක

advertistmentadvertistment
advertistmentadvertistment