දුම්රිය වර්ජනය එහෙම වර්ජනයක්ද කියලා සැකයක් අපට තිබෙනවා
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත
පොදු ජනතාව බෙදන වැඩ වර්ජනවලට යෑම ද්‍රෝහී පාලකයන් වෙත ජනතාව තල්ලුකිරීමක්
මේ වෙලාවේ වැඩවර්ජන කියන්නේ ජනතාව ද්‍රෝහී පාලකයන් වෙත තල්ලුකර හැරීමක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පුනරුදයේ සම්ප්‍රාප්තිය වැඩපිළිවෙළ ජනගත කිරීම වෙනුවෙන් පසුගියදා පැවති හමුවේදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්ෂේත්‍රයේ වගේම විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට උත්තර සොයන්නේ කොහොමද කියන එක සලකා බලන්න ඕනෑ මේ පවතින තත්වය යටතේයි. එයින් වියුක්ත වී තීරණ ගන්න ප්‍රගතිශීලී කිසිකෙනෙකුට හැකියාවක් නැහැ. වැටුප් විෂමතා ප්‍රශ්නයක් සහ තවත් කරුණු පදනම් කරගෙන දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකයි. රුපියල් 25,000ක් දක්වා දීමනාවක් ලබාගැනීම වෙනුවෙන් තවත් අරගලයක් යනවා. ඊට කලින් වෛද්‍යවරුන්ට රුපියල් 35,000ක් වූ දීමනාව 70,000 දක්වා වැඩි කළා. එය වැඩිකරන්න ඕනෑ. ඒ සම්බන්ධයෙක් කිසි ගැටලුවක් නැහැ. මාණ්ඩලික තලයේ අයටත් වැඩි කළා. ඒ එක්කම අනිත් අයට වැඩිකරන්න ඕනෑ කියන සටනත් හරියටම හරි. සියලු වෘත්තිය සමිති එකතු වී ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් ඔක්කෝම සාධාරණයි.
මේ තත්වය තුළ වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාවගේ විරෝධයක් පවතිනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නය බරපතළයි. කොරෝනා ප්‍රශ්නයේ ඉඳලාම ආර්ථික අර්බුදය දක්වා දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා තිබෙන්නේ. මේ වගේ වටපිටාවක ගුරුවරු වැඩවර්ජනයක් කළාම දෙමාපියන්ට සහ දරුවන්ට රිදෙනවා. මේ පාලකයන් පලවා හැරලා නව පාලනයක් පිහිටුවා ගැනීමේ අරගලයේදී ගුරුවරු, දෙමාපියන්, දරුවන්, සියලු දෙනාම ඉන්නේ එක පැත්තේ. වැඩවර්ජනයකදී සිදුවන්නේ ඒක දෙකට බෙදීමයි. දෙමව්පියන් සහ දරුවන් එක පැත්තක හිටගෙන ගුරු විදුහල්පතිවරු අනෙක් පැත්තේ හිටගන්නවා. එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලක කල්ලිය දෙමව්පියන් සහ දරුවන්ගේ පැත්තේ හිට ගන්නවා. පොදු ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පිදුරු ගහක හරි එල්ලෙන්න පාලක කල්ලිය උත්සාහ කරනවා. ගුරු විදුහල්පතිවරුන්ගේ වර්ජනය රනිල් වික්‍රමසිංහලා එල්ලෙන්න වැලක් බවට පත්කර ගන්නවා. ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ දැක්ම අනුව මේ වෙලාවේ ගුරුවරුන්ගේ වැඩවර්ජනය පාලකයන්ට එල්ලෙන්න අවස්ථාවකුත් පොදු අරගලයට අවාසියකුත් නිර්මාණය වෙනවා. අපි කියන්නේ ගුරු විදුහල්පතිවරුන්ට මේ පාලනය පන්නන්න අරගල කරමු කියලා. ඔව්, මේ පාලකයන්ගෙන් 2/3ක වැටුප් වැඩිවීම දිනා ගන්නත් බැහැ.
අපි වැඩවර්ජනය නොකර, වෙනත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල යෙදීමට යෝජනා කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉල්ලීම් දිනා ගන්න වැඩවර්ජනයකට යා යුතු බව යෝජනා කළ අවස්ථාවේ අපි එය නුසුදුසු බව ප්‍රකාශ කළා. අපි සියලුම දෙනා එකතු වී ‘ඉල්ලීම් ලබාදෙන්න බැරි පාලකයන් පලවා හරිමු’ කියන සටන් පාඨය ඉදිරියට ගන්න ඕනෑ. දුම්රිය වැඩවර්ජනයක් කරනවා නම් දින කිහිපයකට පෙර එය ප්‍රකාශයට පත්කරන ලෙස බොහෝ කාලයක සිට අපි ඒ සහෝදරවරුන්ට පෙන්වා දී තිබෙනවා. වැඩ ඇරිලා සවස ගෙදර යන්න එනවිට වැඩවර්ජනය කරලා නම් පොදු ජනතාව අසීමිත පීඩාවකට පත්වෙනවා. වෘත්තිය සමිති ව්‍යාපාරය මේ කරුණු ගැන වැඩිදුරටත් අවධාරණය කරන්න ඕනෑ.
මේ දක්වා විවිධ සටන් භූමිවල වෘත්තිය ක්‍රියාමාර්ග යෙදී තිබුණත් පොදු ජනතාවට මැතිවරණ සටන් භූමියේ දිනන්න හැකි වී නැහැ. එක්කෝ බලවේග මර්දනය කළා. පක්ෂ තහනම් කළා. නමුත් ලංකාවේ පළමුවැනි වතාවට ඔවුන්ගේ සටන් භූමියක් වූ මැතිවරණ භූමියට ඉතාම සංවිධානාත්මකව පොදු ජනතාව කඩා වැදී තිබෙනවා. ඒ නිසා පාලකයන් නිතරම උත්සාහ කරනවා, වෘත්තිය සමිති සහ ජනතාව අතර බෙදීමක් ඇති කරන්න.
ජනාධිපති කාර්ය මණ්ඩලයේ වැටුප් ලබන වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා අය ජනතාව පීඩාවට පත්කරන වෘත්තිය සමිති අරගල එළියට දාන්න නොයෙක් උත්සාහ කරනවා. දුම්රිය වර්ජනය එහෙම වර්ජනයක්ද කියලා සැකයක් අපට මතුවෙනවා.
කළ යුත්තේ පුනරුද යුගය ලබා ගැනීමට අලුත් තත්වයන් සමග වෙනස් වීමයි. මෙතැනින් ඉදිරියට ජනතාවාදී පාලනයක් පිහිටුවා ගන්නා වටපිටාවක වෘත්තිය අරගල සටන්, සියල්ල කරන අතරේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවීම ස්ථිරයි. අනෙකුත් වෘත්තිය සමිතිවලට අපි යෝජනා කරන්නේ හැමදෙනාම එක්වී මේ පාලකයන් පන්නා දමමු කියලයි. ලෝක ඉතිහාසය පුරාම පැවති සටන් සියල්ලම ප්‍රගතිශීලී නැහැ. ප්‍රතිගාමී සටන් තිබිලා තියෙනවා. ප්‍රගතිශීලී කොටස් අතර ප්‍රතිගාමිත්වයේ කොටස් සටන් කරනවා. සටනක් නොකළ යුතු වෙලාවක වැඩිපුරම සටන් ඉල්ලන්නේ ප්‍රතිගාමී කණ්ඩායම්. මේ තත්වයන් හඳුනාගන්න අපට හැකි වෙන්න ඕනෑ. රනිල් රාජපක්ෂලා මුළුමනින්ම පලවා හැරීමට වැඩවර්ජනයක් කැඳවූවොත් හැර ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය වෙනත් ඉල්ලීම් පදනම් කර ගත් වැඩවර්ජන කරන්නේ නැහැ.
ගුරුවරුන්ගේ දරුවන්ගේ වුවමනාවන් වෙනුවෙන් පාරට එන්න දෙමාපියන්ට පුළුවන්. විශේෂයෙන් මේ වෙලාවේ වැඩවර්ජන කියන්නේ ජනතාව ද්‍රෝහී පාලකයන් වෙත තල්ලු කර හැරීමක්. ඒ කියන්නේ පාලකයන් වෙනුවෙන් කරන සටනක්. නමුත් අපි ඉල්ලීම් දෙන්න බැරි පාලකයන් පන්නා හැරීමට පොදු අරගලයක් කරමු. අවුරුදු 76ක පාලනය පලවා හරින්න නිවැරදිව ක්‍රියා නොකළහොත් ගෝල්ෆේස් අරගලය වගේම මේ අවස්ථාවත් ගබ්සා විය හැකියි. අපි එයට ඉඩ නොදිය යුතුයි.
මැතිවරණ සටන් බිමේදී පීඩිත ජනතාව නැවත ඔසවා තිබෙන ජයග්‍රහණයේ කොඩිය එසවීම අනුවණ වැඩවර්ජනවලින් නැවත අඩපණ විය හැකියි. අනුවණ කියන්නේ පොදු ජනතාව බෙදන ක්‍රියාමාර්ගවලටයි. ගෝල්ෆේස් අරගලය ගබ්සා වුණා වගේ මේ අරගලයත් ගබ්සා වුණොත් ඒක අපරාධයක්. දැන් වෘත්තිය සමිති අරගලයේ ඉන්න ප්‍රතිගාමීන් තරම් සටන්කාමී නැහැ වෙන කවුරුවත්. මැතිවරණ බිමේ අරගලය අඩපණ කරන්න වෘත්තිය සමිති ප්‍රතිගාමිත්වය එනවා නම් වැඩබිමේ යහළු මිත්‍රකම් අත්හැර ඒ ප්‍රතිගාමිත්වය පරාජය කළ යුතුයි.