ජයග්‍රාහී සියලු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් කොළඹ නගරාධිපති තෝරා ගන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

2411

කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීම සඳහා ජයග්‍රහණය කළ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එහි නගරාධිපති ඇතුළු අනෙකුත් තනතුරු තෝරා පත් කරගැනීම සඳහා සජබය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (08 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට ලැබි තිබෙන ඡන්දවල විශාල පසුබැස්මක් පෙනෙන්න තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට බහුතර බලයක් ගැනීමට නොහැකි වුණ පළාත් පාලන ආයතන ඉදිරියට ගෙන යෑම සඳහා සමගි ජනබලවේගය කටයුතු කරනවා. කොළඹ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබාගෙන සභාව පිහිටුවන්න ජාතික ජනබලවේගය විශාල උත්සාහයක නිරත වෙනවා. ජාතික ජනබලවේගයේ දෙබිඩි ප්‍රතිපත්තිය පිළිබඳව කොළඹ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් තේරුම්ගත යුතුයි. ඡන්දයට පෙර ස්වාධින කණ්ඩායම් පිළිබඳව ආණ්ඩුව දරපු මතය සහ ඡන්දයට පසු ආණ්ඩුව දරපු මතය පිළිබඳව ස්වාධින කණ්ඩායම් වටහා ගත යුතුව තිබෙනවා. ඒ වගේම කොළඹ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවට තරග කර ජයග්‍රහනය කළ සියලු දෙනා සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඒ සාකච්ඡා සාර්ථක වී තිබෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න මන්ත්‍රීවරු 59 ක් හෝ 60 ක් තිබිය යුතුයි. නමුත් ඔවුන්ට මන්ත්‍රී ආසන 48ක් පමණයි ලැබී තිබෙන්නේ. එම නිසා සමගි ජනබලවේගය අනෙකුත් තරග කර ජයග්‍රහනය කළ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම නගරාධිපතිවරයා ඡන්දයකින් තෝරාගැනිමට සිදුවි තිබෙනවා. ඒ නිසා ඡන්දයකින් තොරාගන්න නගරාධිපති තරගයට සමගි ජනබලවේගය ඉදිරිපත් වෙනවා.

ඒ වගේම පළාත් පාලන ආයතනවල පක්ෂ විපක්ෂ කියලා භේදයක් නෑ. ඒ වගේම ආණ්ඩු පක්ෂය විපක්ෂය වශයෙන් බෙදිල්ලකුත් පළාත් පාලන පනතේ ඇතුලත් වෙන්නේ නෑ. පළාත් පාලන ආයතනවල කාර්යය වන්නේ අදාළ ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කර සංවර්ධනය කිරීම. ඒ වගේම ජාතික ජන බලවේගයේ කණ්ඩායමට වඩා සමගි ජනබලවේගයේ කණ්ඩායමට අත්දැකීම් තිබෙන, දක්ෂ, කොළඹ නගරය පිළිබඳව, එහි ජනතාව පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා අනෙකුත් කණ්ඩායම්වල සහායත් ලබාගෙන සමගි ජනබලවේගයේ නගරාධිපතිවරයෙක් කොළඹ නගර සභාවට පත් කරගන්න කටයුතු කරනවා යැයි පැවසීය.

අකිත පෙරේරා


advertistmentadvertistment