ජයදේව සොයුරු සොයුරියෝ ජය ගනිති

358

මැලේසියාවේ කුසානෝ කරාතේ ශූරතාවලිය

මැලේසියාවේ දී පැවති කුසානෝ හා ආරාධිත කරාතේ ශූරතාවලියට සහභාගි වෙමින් පදක්කම් දිනා ගැනීමට නෙතුකි දුලංසා ජයදේව, ජනුෂී ආකර්ෂා ජයදේව සහ දුලාන් සනුක ජයදේව යන සහෝදර සහෝදරියෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වූ නෙතුකි දුලංසා ජයදේව අවුරුදු 15 න් පහළ කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පන්තියේ කුමිතේ රන් පදක්කම සහ කාතා රන් පදක්කම දිනා ගනිමින් කැපී පෙනුණු අතර අවුරුදු 14 න් පහළ කිලෝ ග්‍රෑම් 40 ට අඩු බර පන්තිය යටතේ තරග වැදුණු ජනුෂි ආකර්ෂා ජයදේව කාතා රන් පදක්කම සහ කුමිතේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. කරාතේ ක්‍රීඩාවෙන් අනාගතයක් දකින මෙම සොහොයුරියන් මේ වන විට සමස්ත ලංකා මට්ටමේ පදක්කම් රැසකට හිමිකම් කියති. මෙම සොහොයුරියන් දෙපළ කොළඹ විශාඛා විද්‍යාලයීය කනිෂ්ඨ හොකී කණ්ඩායමේ සාමාජිකාවන් වීම ද විශේෂත්වයකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දුලාන් සනුක ජයදේව මෙවර තරගාවලියේ අවුරුදු 19 න් පහළ කිලෝ ග්‍රෑම් 68 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් කුමිතේ ලෝකඩ පදක්කම තහවුරු කර ගැනීමට සමත් විය. එමෙන්ම, කාතා කණ්ඩායම් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ද දායක විය.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාම කරාතේ කළුපටි ධාරී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment