ජලය පිළිබඳව ලංකාවේ මුළුදෙන ජගත් සමුළුව ජාත්‍යන්තර ජල සම්මේලනයෙන් අපට ගොඩක් දේවල් ගන්න පුළුවන් -ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

208

වර්ෂ 2022 ජාත්‍යන්තර ජල සම්මේලනයේ තෝතැන්න ශ්‍රී ලංකාවයි. එය අපට ආඩම්බරයකි. ලොව නන් දෙසින් ජාත්‍යන්තර නියෝජිතයෝ සහ සාමාජිකයෝ ඊට සහභාගී වීම සඳහා මෙරටට පැමිණෙති. එය අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයට හොඳ පණිවිඩයකි. එමතු නොව ජාත්‍යන්තර ජල සම්මේලනයට සමගාමීව සනීපාරක්ෂාව සඳහා වූ මධ්‍යස්ථානය ද (CEWAS) මෙරටදී විවෘත වේ. ලොව බොහෝ රටවල මෙවැනි මධ්‍යස්ථාන වේ. එහෙත් අපේ රටට ජාත්‍යන්තර ජල සම්මේලනය මෙන්ම සනීපාරක්ෂාව සඳහා වූ මෙම මධ්‍යස්ථානය ද අලුත්ය. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපි සම්බන්ධ කර ගත්තෙමු. මේ එහිදී අමාත්‍යවරයා අප හා දැක්වූ අදහස්ය.

ප්‍රශ්නය – ජාත්‍යන්තර ජල සම්මේලනය මෙම මස 14 වැනිදා සිට ලබන 16 වැනිදා දක්වා දින 3ක් පුරා අපේ රටේ දී පැවැත්වෙනවා. පළමුව ඒ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කළොත්….

පිළිතුර – අන්තර් කලාපීය ජල සහයෝගිතාව, තිරසර සංවර්ධනය සහ නව තාක්ෂණය හඳුනාගැනීමට මෙම ජාත්‍යන්තර සම්මේලනය ඉවහල් වෙනවා. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට අවශ්‍ය දැනුම මේ සම්මේලනය මගින් අපට ලබාගන්න පුළුවන්. ජල කර්මාන්තයේ ඉදිරි නව්‍ය දියුණුව සඳහා වන කතිකාව මේ හරහා ගොඩනැගෙනවා. ඒ අනුව අපට තිබෙන ගැටලු සහ ඇතිවීමට ඇති සියලු ගැටලු නිරාකරණය කර කරගැනීමටත් කඩිනම් සහ නිවැරදි පිළිතුරු සැපයීමටත් ජල සම්මේලනය ඉවහල් වෙනවා. ඒ සඳහා ලොව විවිධ රටවල නියෝජිතයෝ සහ සාමාජිකයන් අපේ රටට පැමිණෙනවා. රට මෙවන් ආර්ථික අපහසුතාවකට පත්ව සිටින අවස්ථාවක මෙවැනි ජාත්‍යන්තර සම්මේලනයක් අප රට තුළ පවත්වන්නට කටයුතු සැලසීම රටක් ලෙස අපට බොහෝ වාසි ගෙන දෙන්නක්.

ජලය පිළිබඳව ලංකාවේ මුළුදෙන ජගත් සමුළුව ජාත්‍යන්තර ජල සම්මේලනයෙන් අපට ගොඩක් දේවල් ගන්න පුළුවන් -ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

ප්‍රශ්නය – ශ්‍රී ලංකාව රටක් ලෙස අත්විඳින ප්‍රශ්නයක් මෙන්ම සමස්ත ලෝකයටම බලපා ඇති ප්‍රශ්නයක් තමයි පානීය ජලය ප්‍රමාණවත් නොවීම. මිහිතලයේ වැඩි ප්‍රමාණයක් ජලයෙන් යුක්ත වුවද පානීය ජලය සඳහා අපට ඇත්තේ සීමිත ජල සම්පතක් පමණයි. ඇතැම් ප්‍රදේශවල මේ ප්‍රශ්නය දරුණුවට තිබෙනවා. ජල සම්පාදන අමාත්‍යාංශය ලෙස පානීය ජලය පිළිබඳ මෙම ගැටලුව සම්බන්ධයෙන් අරගෙන තිබෙන පියවර මොනවාද?

පිළිතුර – රටේ සමස්ත ජනගහනයෙන් සියයට 52කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට රජය යටතේ පානීය ජලය සපයා ගනිමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වන විට ඔහුගේ ඉලක්කයක් තිබුණා 2032 වසර වන විට රටේ සැමට ජලය සැපයීමට. ඒ වෙනුවෙන් විධිමත් වැඩ සටහනක් සම්පාදනය කළා. එය රුපියල් ටි්‍රලියනයක පමණ ආයෝජනයක් සහිත වැඩසටහනක්. ඒ වගේම ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2020 වසරේ සහ 2021 වසරේ අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ජල සම්පාදනය වෙනුවෙන් වෙන් කළා. ඒ අනුව අපි වැඩකටයුතු ක්‍රියාත්මක කළා. ප්‍රජා ජල ව්‍යාපෘති ඊට අමතරව ඇති කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් ජනාධිපති ධුරයේ නැතත් පානීය ජල පහසුකම් ජනතාව වෙනුවෙන් ලබා දීමට එතුමා ගත්ත ක්‍රියාමාර්ග අපි දිගටම කරගෙන යනවා. බොන්න නැති මිනිසුන්ට වතුර ටිකක් දෙනවා කියන්නේ ලොකු පිංකමක්. ඒ පිංකමට අපි නොමසුරුව දායක වෙනවා. ඒ වගේම රටේ සියයට 100ක් ජලය සැපයීමේ අවශ්‍යතාවක් නැහැ. මොකද සුළුතරයක පිරිසක් ඉන්නවා ඒ අය තමන් විසින් ජලය සපයා ගන්නා ක්‍රමයට කැමැතියි. ඔවුන් ඒවා අත්හැර ජල සම්පාදන මණ්ඩලයෙන් දෙන වතුර භාවිත කිරීමට කැමැති නැහැ.

ප්‍රශ්නය – ඔබ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සමස්ත රටටම පොදුයි ද? රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයෙන් පීඩා විඳිනවා.

පිළිතුර – රටේ සාමාන්‍ය ප්‍රතිශතය එය වුවත් ඇත්තටම ජලය බෙදී යෑමේ විෂමතාවක් රට පුරා තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ සියයට 70කට වතුර දීලා නැහැ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියයට 70ට වතුර දීලා නැහැ. කෑගල්ලෙ සියයට 45 කට වතුර නැහැ. ඔබ හිතන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට වතුර තිබෙනවා කියලානේ. ඇත්තටම නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් සියයට 45කට වතුර නැහැ. විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාවටම ජල මූලාශ්‍රවල හිඟයක් තිබෙනවා. ඒ අනුව මහනුවර සිට ජලධාරාවක් ගෙනැවිත් කුරුණෑගලට ජලය ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නුවරඑළිය වැනි කඳුහෙල් ආශ්‍රිත ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබා දෙන්න අපහසුයි. එවැනි ස්ථාන සඳහා ප්‍රජා ජල දෙපාර්තමේන්තුවෙන් ජලය ලබා දෙන්න අපිත් සමග වෘත්තීය සමිති 4372ක් එකතුව වැඩ කරනවා.

ඒ වගේම මොණරාගල දිස්ත්‍රික්කය තුළ ජල සම්පාදන මණ්ඩලය සහ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යන දෙකම වැඩ කරගෙන යනවා. එතකොට එම දිස්ත්‍රික්කවල ජල පහසුකම් ඉක්මනින් සපුරා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් දිස්ත්‍රික්කවල අපි සාධනීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.

ප්‍රශ්නය – ජල කළමනාකරණය සහ ජල සම්පාදනයේදී ලොව දියුණු රටවල් නවීන තාක්ෂණ ක්‍රම භාවිතා කරනවා. අපේ රට එවැනි තාක්ෂණයන් යොදා ගන්නවාද?

පිළිතුර – අපිට කොරියානු රජයෙන් තාක්ෂණය සහ ආධාර උපකාර ලැබෙනවා. ඒ වගේම ස්පාඤ්ඤය, ප්‍රංශය මේ ආදී රටවල් අපත් සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. ඔවුන්ගේ දියුණු තාක්ෂණය අපි ප්‍රයෝජනයට ගන්නවා. ඒ රටවල නවීන තාක්ෂණයෙන් අපට ගත ගත හැකි ප්‍රයෝජන බොහොමයි. විශේෂයෙන් තව නොබෝ දිනකින් පැවැත්වෙන ජාත්‍යන්තර ජල සම්මේලනයේ දීත් අපට ජාත්‍යන්තරයෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙයි.

ප්‍රශ්නය – රටේ සංවර්ධනයේ අහිතකර ඵලයක් ලෙස ගංගා ඇළ දොළ අපවිත්‍ර වීම හඳුන්වන්න පුළුවන්. නාගරීකරණය ද මෙයට අදාළයි. ඒත් අවසානයේ සිදු වෙන්නේ අපේ ගංගා ඇළ දොළවල ජලය දූෂණය වීම. එය ඇතැම් විට විවිධ ආකාරයෙන් ජනජීවිතයට බලපෑම් එල්ල කරනවා. මොනවද මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර?

පිළිතුර – සුරකිමු ගංගා වැඩසටහන යටතේ අපි මේ ප්‍රශ්නයට විසඳුම් ගෙනවිත් තිබෙනවා. ඇත්තටම ගංගා ඇළ දොළවල තියෙන ජලය කියන්නේ අපට සම්පතක්. අපි එය රැක ගත යුතුමයි.ඒ වගේම පහුගිය කාලය පුරාම මේ ජලය සම්බන්ධයෙන් තිබුණු තවත් ප්‍රශ්නයක් තමයි පානීය ජලය ද කෘෂි ජලය ද කියන ගැටලුව. ඒ කියන්නේ වඩා වටින්නේ බොන්න වතුර ටික ද? නැතිනම් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම ද කියන එක. අවසානයේදී ඒ ප්‍රශ්නයට විසඳුමක් ලෙස චමල් රාජපක්ෂ ඇමැතිවරයා මෙහෙම දෙයක් කිව්වා. “මොනව කරන්නත් කාල බීල ඉන්න ඕන කිව්වා.” ඒ කියන්නේ කෘෂිකර්මාන්තයට වඩා පානීය ජලයට වැදගත්කමක් දිය යුතු බව එතුමා ඒ ගැටලුවට විසඳුමක් ලබා දෙමින් පැවසුවා.

ප්‍රශ්නය – ඒ වගේම ජනතාව මුහුණ දෙන ගැටලුවක් තමයි කිවුල් ජලය. උදාහරණයක් ලෙස උතුරු මැද එමෙන්ම නැගෙනහිර පළාත්වල ජනතාවද මේ ප්‍රශ්නයට තදින් මුහුණ දෙනවා. එම පළාත්වල ජනතාවට වැඩි වශයෙන් වැළඳෙන වකුගඩු රෝගයටත් හේතුවක් ලෙස මේ කිවුල් ජලය සැලකෙනවා. වටිනා ජීවිත අකාලයේ අහිමි වීමත් මේ හරහා සිදු වෙන්න පුළුවන්. ජල සම්පාදන අමාත්‍යාංශය ලෙස මොනවද මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර?

පිළිතුර – කඩිනම්, මධ්‍යකාලීන සහ දීර්ඝ කාලීන ලෙස වැඩසටහන් 3ක් යටතේ අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. විශේෂයෙන් වකුගඩු ප්‍රශ්නයට ඒ පළාත්වල මුලින් ක්‍රියාත්මක කළ ජල යෝජනා ක්‍රමයක් තමයි ආරෝ ප්ලාන්ට් හෙවත් ෆිල්ටර් කරන ලද ජලය සැපයීම. මෙමගින් ජලයේ තිබෙන හොඳ නරක සියල්ලම විනාශ වෙනවා. පිපාසය නිවෙනවා විතරයි. ඒ ජලයේ ගුණයක් නැහැ. හැබැයි වකුගඩු රෝග හැදෙන්නෙත් නැහැ. ඒත් අපි දැන් ඒ වෙනුවට නැනෝ පිරිපහදුව හඳුන්වා දී තිබෙනවා. එහිදී ජලයේ තිබෙන අගුණ ඉවත් වෙලා හොඳ ඉතිරි වෙනවා. ගුණාත්මක බවින් ඉහළ වතුර ජනතාවට ලබා දෙන්න පුළුවන්.

ප්‍රශ්නය – රටේ ජලය අවශ්‍ය ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා මොනවද අනුගමනය කරන ක්‍රියාමාර්ග?

පිළිතුර – අතීතයේ සිට විවිධ ක්‍රියාමාර්ග ඒ සඳහා ගත්තා. ඒ වගේම මෑත කාලයේ සිට ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332කට එක් උපාධිධාරියෙකු බැගින් මේ වන විට අප යොදා ගෙන තිබෙනවා. රජයට පසුගියදා බඳවාගත් උපාධිධාරීන් 50000 අතරින් අපි ඒ අයව තෝරා ගත්තා. ඔවුන්ට තිබෙන රාජකාරිය තමයි තමන්ට අයත් ප්‍රදේශය තුළ ජලය හිඟ ප්‍රදේශ හඳුනා ගැනීම. ඒ සඳහා ඔවුන් ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස කටයුතු කරනවා. ඔවුන් කාර්යාලයේ රැදෙන්නෙ නැහැ. ග්‍රාමසේවා මන්ත්‍රී කොට්ඨාසය එක් ඒකකයක් ලෙසත් භාවිත කර මෙම ක්‍රියාව සිදුකරන්න පුළුවන්.

සාකච්ඡා කළේ – සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment