ජලවිදුලියෙන් සිරිලක එළිය කළ ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍ර සූරීන්

390

1874 සැප්තැම්බර් මස 17 වැනි දින ගාල්ලේ ගල්වඩුගොඩ මුහම්දිරම්ගේවත්ත නමැති ග‍්‍රාමයේදී විමලසුරේන්ද්‍ර උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නම දේවපුර ජයසේන විමලසුරේන්ද්‍රයි. පියා ගාල්ලේ විසූ දොන් ජුවන් විමලසුරේන්ද්‍ර ජයසිංහ මුහම්දිරම්ය. මව දෝන ක‍්‍රිෂ්ටිනා ජයසිංහයි. විමලසුරේන්ද්‍රගේ පියා ඇත්දත් කැටයම් ශිල්පයේ හා ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පයේ සම්ප‍්‍රදායික තාක්ෂණයේ උසස් දැනුමක් ලබා සිටියේය. ඔහු ශේෂ්ඨ ගණයේ කලාකරුවෙක්ද විය. එදා එංගලන්තයේ වික්ටෝරියා මහා රාජිනියගේ රාජ්‍ය සමයේදී විමලසුරේන්ද්‍ර මහතාගේ පියාට මුහම්දිරම් යන ගෞරව නාමය හිමි වී තිබිණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විමලසුරේන්ද්‍ර, දක්ෂතා රැුසකින් පිරි දීප්තිමත් ශිෂ්‍යයකු විය. ඔහු විද්‍යාව හා ගණිතය යන විෂයයන්ගෙන් විශිෂ්ට සම්මාන සහිතව නව කේම්බි‍්‍රජ් සීනියර් විභාගයෙන් උසස් ලෙස සමත් විය. 1890 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයයේ පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී එයට සහභාගි වූ ප‍්‍රධාන ආරාධිතයා වූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා අතින් පාසලේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද දිනාගැනීමට විමලසුරේන්ද්‍ර සමත් විය.

ඉන් පසුව රජයේ කර්මාන්ත ශාලාවට බැඳී ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු විවිධ යන්ත‍්‍ර සූත‍්‍ර ආදර්ශයන් නිර්මාණය කොට ස්වකීය සහජ කුසලතාවන් දියුණු කරගත්තේය. ඉන් අනතුරුව රජයේ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත් වී ඉගෙනුම ලබා 1892 වර්ෂයේදී පැවැති විභාගයෙන් ඉංජිනේරු අංශයේ ප‍්‍රථමයා ලෙසින් සමත් වූයේද මේ විමලසුරේන්ද්‍ර තරුණයාය.

ඊට පසු කලෙක ඉන්දියාවේදී පැවැති ඒ. එම්. අයි. සී. ඊ. විභාගයෙන් ද මොහු සමත් විය. ඉන් පසුව ඔහුට දියතලාවේ කනිෂ්ඨ සහායක ඉංජිනේරුවරයකු ලෙසින් සේවය කිරීමට අවස්ථාව ලැබිණි.

1901 වර්ෂයේදී එවකට පැවැති රජයේ ඉංග‍්‍රීසි පාලකයන් විසින් ඔහුට පවරන ලද විශේෂ රාජකාරිය වූයේ මහා ගන වනාන්තරයෙන් වැසීගිය අධික ශීතලෙන් යුත් මධ්‍යම කඳුකරයේ භූමිය තුළ රත්තරන්, මැණික් වැනි ඛණිජ සම්පත් තිබේදැයි පරීක්ෂා කර බලා රජයට වාර්තා කිරීමයි.

මෙම ගවේෂණ කටයුතු සඳහා ඔහුගේ සහායට ලබාදුන්නේ අප‍්‍රිකාවේ බෝයර් යුද්ධයෙන් පසුව ඉංගී‍්‍රසින් විසින් ශ‍්‍රී ලංකාවට අල්ලාගෙන ආ ඉංජිනේරු දැනුමක් ඇතිව සිටි සිරකරුවෙකි.

සිරකරුවා සමග කැලණි ගංගා නිම්නයේ රත්තරන් ආදී ඛනිජ සම්පත් සොයමින් ගවේෂණයේ යෙදුන විමලසුරේන්ද්‍රට හමුවූයේ ස්වභාවධර්මයේ අපූර්වත්ව නිර්මාණයක් වූ ඇබර්ඩීන් හෙවත් කෙහෙල්ගමුව දියඇල්ලයි. ඊට පසු දිනෙක ඔහුගේ නෙත ගැටුණේ එවැනිම සුන්දර දායාදයක් වූ ලක්ෂපාන හෙවත් වැඩිහිටි දියඇල්ලයි. මේ දියඇලි රිදී කඳන් සේ පහළට ඇදහැලෙන ආකාරය ඔවූහු පැය ගණන් බලා සිටියහ. මේ පොළොවේ රත්රන් කෙසේ වෙතත් මේ දියඇල්ලේ නම් රත්රන් තිබෙනවාමයි කියමින් විමලසුරේන්ද්‍ර දුරදර්ශීව සතුටින් තෙපලන්නට විය.

ගලා හැලෙන ජලයේ බලයෙන් ජලරෝද භ‍්‍රමණය කළොත් විදුලිය බලය උපදවා ගත හැකි බැව් විමලසුරේන්ද්‍රයාණන්ට අවබෝධ විය. 1924 වර්ෂයේදී විමලසුරේන්ද්‍රගේ ජලවිදුලිබල යෝජනා ක‍්‍රමය එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙන්ද සම්මත වී එහි වැඩ ආරම්භ විය.

එවකට දිවයිනේ සිටි විදේශීය ඉංජිනේරුවන්ගේ හා පාලකයන්ගේ අදූරදර්ශී ක‍්‍රියාවන් හේතු කොට ගෙන මේ ජලවිදුලි යෝජනාක‍්‍රමය කඩින් කඩ නවතා දැමීමට සිදු විය. මෙය හරියාකාරව කරගෙන යෑමට නම් රටේ පවත්නා දේශපාලන ව්‍යුහයට තමන්ද ඒකාබද්ධ විය යුතු බැව් විමසුරේන්ද්‍රට අවබෝධ විය.

එහි ප‍්‍රතිඵලයක් වහයෙන් ඔහු 1931 වර්ෂයේදී රත්නපුර මන්ත‍්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත්විය. 1950 වර්ෂයේදී කෙහෙල්ගමු ඔය නෝර්ටන් ප‍්‍රදේශයේදී කඳු දෙකක් අතර වේල්ලක් බැඳීමෙන් හරස් කරන ලදී. මහා ජලකඳ අඩි 9400 ක් තරම් දිග උමගයක් තුළින් ඩබල් කටින් නමැති ස්ථානයට යටින් ගොස් එතැන් සිට විශාල නළ මාර්ග 4 ක් තුළින් තවත් අඩි 5000 ක් තරම් පහළට ගමන් කොට මස්කෙළි ඔයේ දකුණු ඉවුරේ ඇති ජල විදුලි බලාගාරය ක‍්‍රියාත්මක වෙයි. ඵය ලක්ෂපාන ජලවිදුලිබල ව්‍යාපෘතියේ පළමු පියවරයි. ජලවිදුලිබලය ලබාගැනීමට හැකිවූ අවස්ථාවේදී විමලසුරේන්ද්‍ර මහතාට ඇතිවූ චිත්ත සංතෘෂ්ටිය වචනයෙන් කියා නිමකළ නොහැකි වූ බැව් එතුමා ප‍්‍රකාශ කර ඇත.

ඒ මෙසේය. ‘මා විසින් සැලසුම් කර ආරම්භ කරන ලද ජලවිදුලිබල යෝජනාක‍්‍රමයේ ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වීමේ වාසනාව මට නොලැබුණත් මාගේ රටේ ජනතාව විසින් මෙහි නිසි ප‍්‍රතිඵල නෙළා ගැනීම දැකගැනීමට ජීවතුන් අතර සිටීමට තරම් මා වාසනාවන්ත වීම පිළිබඳව මම උද්දාමයට පත්වෙමි. ප‍්‍රීති වෙමි. සතුටු වෙමි. මා විසින් මීට වසර 50 කට තරම් පෙර අවලෝකනය කළ එම කර්තව්‍යය මාගේ ජීවිතයේ මේ සැඳෑ සමයේදී හෝ දැකබලා ගැනීමට හැකිවීම ගැන මම ඉතාමත් උදම් වෙමි. අමිල වූ සතුටක් මම ලබන්නෙමි.‘

මීට වසර 100 කට පමණ පෙර සිහිනයක්ව පැවැති ජලවිදුලි බලය පිළිබඳ විමලසුරේන්ද්‍රයාණෝ අනාගතය දෙස බලා සැලසුම් සකස් කළහ. ලක්ෂපාන, නව ලක්ෂපාන, විදුලිපුර, පොල්පිටිය, කැණියොන්, පොල්ගොල්ල, බෝවතැන්න, රන්ටැඹේ, රන්දෙණිගල, වික්ටෝරියා, කොත්මලේ. බලංගොඩ, කුකුලේගඟ හා ඉහළ කොත්මලේ ආදී ජලවිදුලි බලාගාරද, අනිකුත් කුඩා පරිමාණයේ ජලවිදුලි බලාගාරද විමලසුරේන්ද්‍ර සූරීන්ගේ චින්තනයේ ප‍්‍රතිඵල වන්නේය.

අධික වියදමක් දැරිය යුතු ගල් අඟුරු, ඩීසල් තෙල් ආදී ඉන්ධන නොයොදා ස්වභාවික සම්පතක් වූ ජලයේ බලය යොදාගෙන ජලවිදුලි බලය නිපදවීමේ ගෞරවය හිමිවන්නේද විමලසුරේන්ද්‍ර සූරීන්ටයි. උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආශ්චර්යවත් කොම්බු හැඩයේ වක් දුම්රිය මාර්ගය සැලසුම් කිරීමත්, ගාලූ නගරයට ප‍්‍රථම වරට විදුලිය ලබාදීමත්, ශ‍්‍රී ලංකාව තුළ පිඟන් මැටියෙන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනයට රත්නපුරයේ කටයුතු කිරීමත්, රබර් ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට ම`ගපෙන්වා දීමත්, විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීමත් විමලසුරේන්ද්‍ර සූරීන්ගේ දක්ෂතාවලින් කීපයක් පමණි. බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් බඳු වූ අනුරාධපුරයේ ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන්ගේ කොත්කැරැල්ල නිර්මාණය කිරීමේ ඉංජිනේරු තාක්ෂණයද විමලසුරේන්ද්‍ර මහතාගේ ඥානයේ බලමහිමයන්ය.

චූඩාමාණික්‍ය සහිත අඩි විසිහතරක් (24) උස් වූ මෙම දර්ශනීය රන් ආලේපිත කොත්වහන්සේ චෛත්‍ය මුදුනෙහි පැළඳවීමේ උතුම් වූ මහෝත්සවයටද විමලසුරේන්ද්‍රයාණෝ සහභාගි වූහ.

රටට ජාතියට අමිල සේවයක් කළ විමලසුරේන්ද්‍ර සූරීහු 1953 වර්ෂයේදී අප අතරින් සදහටම සමුගත්තේය. ඒ වනවිට ඔහු 79 වැනි වියේ පසුවිය. විමලසුරේන්ද්‍ර ශූරීන්ට උපහාරයක් වශයෙන් නෝර්ටන් විදුලිපුර ජලාශය එහා කෙළවරේ ඉදිකර ඇති ජල විදුලි බලාගාරය ‘විමලසුරේන්ද්‍ර ජල විදුලිබලාගාරය’ නමින් නම් කර තිබේ. එහි විදුලිබල ධාරිතාවය මෙගා වොට් 50 කි.

ශේන් වීරසිංහ – ගිනිගත්හේන

advertistmentadvertistment
advertistmentadvertistment