ජලාශ සිඳෙයි විදුලිය කැපෙයි… වැහි වලාහක දෙවියෝද පිටුපාති

58

විදුලි අර්බුදයට ඊසාන දිග මෝසමේ පිහිට…

මුළු රටම පෝලිම් යුගයකට ඇද වැටෙමින් තිබේ. ඉතිහාසය දන්න මිනිසුන් කියන්නේ නිදසින් පසු මෙහෙව් යුගයක් නොතිබුණාය කියාය. තෙල් පෝලිමය. ගෑස් පෝලිම්ය. ගමනා ගමන වියදම හීසරයක වේගයෙන් ඉහළට ගොස්ය. ලූණු කැටයේ සිට ගෙදරට ගෙනෙන සිල්ලර බඩුවල මිල ඉහළ ගොසින්ය. ලෙඩ වූ ආර්ථිකය හෙට දවසේ ජීවත්වීම පිළිබඳ ඇතිකර තිබෙන්නේ අවිනිශ්චිත තාවකි. ඒ අතරට එක්වෙමින් පවතින අලූත්ම අභියෝගය වැසි නොලැබී ජලාශ සිඳී යෑමේ අවදානමයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගියදා මෙකී අවදානම ගැන අනාවැකියක් පළකර තිබුණේය.

‘‘ජලවිදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට තද වැසි ඇතිවීමේ හැකියාව තිබෙන්නේ මැයි මාසය අවසාන සතියේ. මාර්තු දෙවන සතියේ සිට වැසි ඇතිවුණත් එම වැසි ජලාශ පිරීමට තරම් ප‍්‍රමාණවත් නෑ.’’

අනාවැකියේ කියැවුණේ එහෙමය. එයින් කියවෙන්නේ අවසන් වෙමින් පවතින ඊසාන දිග මෝසමෙන් රටේ තැනින් තැනට ලැබෙන වර්ෂාවෙන් පසු වර්ෂාවක් ගැන බලාපොරොත්තු තබාගැනීමක් කළ නොහැකිය කියාය. රටටම පාන් කියාගන්නවත් බැරිව සිටියදී වැස්සක් ගැන කතා කිරීම මොන විහිළුවක් දැයි දැන් ඔබට සිතෙනු ඇත. ඒත් රුපියල් හැත්තෑවේ සිට එකසිය දහයට ඉහළ ගිය පාන් ගෙඩියෙන් මිනිස්සු මත පැටවෙන ආර්ථික බරට වඩා වැසි නොලැබීමෙන් ඇතිකරන ආර්ථික බර ජනතාවට බර වැඩිය. මේ කරුණ ගැන වැඩි බර තබා අවධානය යොමු කළ යුතුව ඇත්තේ හේතු කිහිපයක් නිසාය. සූර්ය තාපය වැඩියෙන් ලැබෙන කාලය අපේ රටට උදා වීමට මේ පටන් ගත්තා පමණය. නමුත් වෙනදා මාර්තු අපේ‍්‍රල් මාසවලදී සූර්ය රශ්මියේ තීව‍්‍ර තරමට වඩා දැන් දහවල් කාලයේ දැනෙන රශ්මිය වැඩිය. එම වැඩි වීම පොළව මතුපිට ඇති ජලය සිඳී යෑම වෙනදාට වඩා වේගවත් කරන්නේය. ගහ කොළ මැලවී යන්නේය. එහි අහිතකර ප‍්‍රතිවිපාක වන්නේ භූගත ජලය සිඳී යෑමේ අවදානමක් ඇති වීමය. මෙකී කරුණ නිසා සමකය ආසන්නයේ පිහිටි රටක් වන මේ රටේ ජනතාවට ඉර මුදුන් වන කාලය පැමිණේද්දි වෙනදා නොතිබුණු බියක් හටගෙන ඇත. එකී බිය සාධරණීකරණය කරවන පුවතක් පසුගියදා පුවත්පත්වල වාර්තා කර තිබුණේ මෙපරිදිය.

‘‘මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් පවතින වියළි කාලගුණය නිසා කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහළ බසිමින් ඇත. පෙබරවාරි පළමු වැනිදා වන විට කාසල්රී ජලාශයේ පිටාර මට්ටම වන අඩි 155 සිට අඩි 84 දක්වා ජල මට්ටම පහළ බැස ඇති බව ජලාශය භාර ඉංජිනේරුවරයා ප‍්‍රකාශ කර තිබුණේය. වික්ටෝරියා ජලාශයේද ජල මට්ටම ලෙසෙ ශීඝ‍්‍රව පහළ බැසීම නිසා එම ජලාශ ඉදිකිරීමේදී ජලයට යට වී ගිය ප‍්‍රදේශවල නටබුන්ද මතුවෙමින් තිබිණ.’’

ජල විදුලි උත්පාදනයට ප‍්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් ශීඝ‍්‍රයෙන් පහළ බසිමින් ඇත.

මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 135 වන අතර 09 දා අලූයම වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 55 කින් පහළ බැස ඇති බවත්, කාසල්රී ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 වන අතර එම ජලාශයේ ජල මට්ටම එදින අලූයම වන විට අඩි 40 කින් පහළ බැස ඇතැයි ජලාශ භාර ඉංජිනේරුවරු කියති.

මවුස්සාකැලේ ජලාශය ඉදි කිරීමේදී ජලාශයට යට වූ පැරණි මස්කෙලිය නගරයේ පන්සල, කෝවිල් සහ මුස්ලිම් පල්ලියේ නටබුන් ජලාශයේ ජල මට්ටම අඩු වීමත් සමග මේ වන විට පැහැදිලිව කාටත් දැකගත හැකිය.

කාසල්රී ජලාශයේද ජල මට්ටම අඩුවීම නිසා එම ජලාශය ඉදිකිරීමේදී යට වූ හින්දු කෝවිලක නටබුන් මතු වී ඇති අතර ජලාශයේ දූපත් රැසකට මේ නිසා පාගමනින් ගමන් කිරීමට හැකියාව ලැබී ඇත.

ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරන්නේ එම ජලාශ දෙකෙන්ම ලබා ගන්නා ජලයෙන්ය.

පසුගිය මාසය පුරා විටින් විට ප‍්‍රධාන ධාරාවේ පුවත්පත්වල ජලාශවල ජලය සිඳී යෑමේ වේගය ගැන මෙවැනි පුවත් වාර්තා කර තිබුණේ ඡායාරූපද සහිතවය. මෙයින් නොකී කතාව වන්නේ මැයි මාසයේදී ඇරඹෙන නිරිත දිග මෝසම් වැසි වැටෙන තෙක් ප‍්‍රමාණවත් වැසි නොලැබුණොත් ඉදිරි මාස තුනක කාලය තුළ ආර්ථික අර්බුදයට අමතරව නොසිතූ අර්බුදයකට අපව ඇද දමන බවය. එය ජල විදුලිය නිපදවීමට නොහැකි වීමේ සිට ගොවීන්ට ප‍්‍රමාණවත් ජලය ලබා දීමට නොහැකි වීම සහ ඇතැම් විට සුළු නියං තත්ත්වයක්ද වීමට බැරි නැත. මේ අනපේක්ෂිත අනාගතයේ තරම කෙබඳුදැයි දැනගැනීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනාවැකි මෙරිල් මෙන්ඩිස් මහතා පළ කරන මෙම අනාවැකිය වැදගත්ය.

‘‘දැන් අවසන් වූ ඊසානදිග මෝසමෙන් අපි මාරු වෙන්නෙ අන්තර් මෝසමට. අන්තර් මෝසම් වර්ෂාව කියන්නෙ සවස් කාලයේ ලැබෙන වැසිවලට. රට අභ්‍යන්තරයේ හැදෙන වලාකුළු වලින් ලැබෙන මේ වර්ෂාවටයි සංවහන වැසි කියලත් කියන්නෙ. මේ වර්ෂාවෙන් රට පුරා තැනින් තැනටයි වැසි ලැබෙන්නෙ. ඒක පැතිරිච්ච වැස්සක් නෙවෙයි. ඒ නිසා සැලකිය යුතු වර්ෂාවක් එකෙන් ලැබෙනවා කියල කියන්න අමාරුයි. විශේෂයෙන් ජලාශ ආශ‍්‍රිත මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට අන්තර් මෝසමෙන් යහපත් වැසි තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. කාසල්රි, නෝට්න්, මාවුස්සකැලේ, කැනියොන්, ලක්ෂපාන වගේ බටහිර බෑවුම්වල ඇති ජලාශ පිරෙන්න වැසි බලාපොරොත්තු විය හැකිවන්නෙ මැයි මාසයේ ආරම්භ වන නිරිත දිග මෝසම් වර්ෂාවෙන්.

වැසි ලැබීමේ යම් යම් ප‍්‍රමාදවීම් පෙන්නුම් කළාට ලංකාවේ කාලගුණ තත්ත්වයේ විශාල වෙනසක් දකින්න ලැබෙන්නෙ නෑ. නමුත් සමහර ගෝලීය සාධක නිසා වැසි ලැබීම ප‍්‍රමාද වීම හේ කලින් ලැබීමේ ප‍්‍රවණතාවක් ඇතැම් අවස්ථාවලදී පෙන්නුම් කරනවා. ෆැසිපික් සාගරයේ ඇතිවෙන එල්නිනෝ ලානිනෝ වගේ තත්ත්වයක් මේ සඳහා හේතු වෙනවා. සාගර උෂ්ණත්වය මේ නිසා වෙනස්වීම අන්තර් සුළං සංසරණ රටාවට බලපෑම් කිරීමයි මේ වෙනස් වීමට හේතුවක් වෙන්නෙ. නමුත් ඒක දීර්ඝ කාලීන දේශගුණ වෙනස් වීමකට බලපෑමක් ඇති කරන්නෙ නෑ.’‘ ඔහු එලෙස ස්ථිරවම සඳහන් කරන්නේය.

ලංකාවේ පිහිටීම අනුව අප දැක තිබෙන්නේ සංවහන වැසි සමයේ ලැබෙන සාමාන්‍ය වර්ෂාව හිටි හැටියේම වර්ධනය වීමය. වායුගෝලයේ අවපීඩන කලාප වර්ධනය වී ලැබෙන වැසි සෑම වසරකම එක් වරක් හෝ සිදුව ඇති අපට හුරු දෙයක්ය. වායුගෝලයේ ඇතිවන එවැනි අනපේක්ෂිත වෙනසක් නිසා වර්ෂාවේ වැඩි වීමක් ඉදිරි තෙමස තුළ ඇතිවේ යැයි කලින් අනාවැකි පළ කිරීමද අසීරුය. නමුත් අපේ රට සමකයට ආසන්නව පිහිටීම මත එවැනි වෙනස්කම් ඇතිවීමේ සම්භාවිතාව වැඩිය.

නිරිත දිග මෝසමෙන් සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන තෙක් අපට ඇති ගැටලූව වන්නේ ජල විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ජලාශවල ජල ධාරිතාව ශීඝ‍්‍රයෙන් අඩු වෙමින් යෑමය. සාමාන්‍යයෙන් වර්ෂාවෙන් අප රඳවාගන්නා ජල ධාරිතාවයෙන් ජල විදුලිය උත්පාදනය සඳහා වසරකට මුදාහරින්නේ සමස්ත ප‍්‍රමාණයෙන් සියයට තිස්පහක තරම් ප‍්‍රතිශතයකි. නමුත් පසුගිය වසරේ නිරිතදිග මෝසමෙන් ලැබුණු වැස්සෙන් ජලාශ පිරී ඉතිරී පිටාර ගලා ගියේය. ඒ නිසා වෙනදා සියයට තිස්පහක් වූ ජල විදුලිය සඳහා ජලය මුදාහැරීමේ ප‍්‍රතිශතය පසුගිය වසරේ සියයට හැත්තෑ පහක් දක්වා වැඩි කර තිබූ බව වාර්තා වන්නේය. ජල විදුලිය නිෂ්පාදනය සඳහා මෙලෙස ජලය මුදා හැරීම සෟජුවම ජල විදුලිය සඳහාම යොදාගන්නා ජලාශවල ජල මට්ටම පහළ යෑමට බලපෑවේය.

ජලාශවල ජල මට්ටම පහළ බැස ඇත්නම් දැන් පවතින ගැටලූව වන්නේ නිරිතදිග මෝසම එන තෙක් පානීය ජල අවශ්‍යතාව සහ කෘෂිකර්මාන්තය සඳහා ප‍්‍රමාණවත් ජලය ජලාශවල පවතීද යන්නය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ටී. අබේසිරිවර්ධන මහතා සඳහන් කරන අන්දමට කෘෂිකර්ම සහ පානීය ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය තරමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශවල ජලය පවතින්නේය.

‘‘ අපේ රටේ ප‍්‍රධාන සහ මධ්‍යම ප‍්‍රමාණයේ ජලාශ 415 තියෙනවා. එයින් වැඩි ප‍්‍රමාණයක් 244 අයිති වාර්මාර්ග දෙපාර්තමේන්තුවට. මේවයේ ජලය නිකුත් කිරීමේදී ප‍්‍රමුඛත්වය ලැබෙන්නෙ කෘෂිකර්මාන්තයට. ඊට අමතරව පානීය ජලයට. වාරිමාර්ග ජලාශවලත් කිසියම් ප‍්‍රමාණයක් තියෙනවා විදුලිබලය නිපදවීමට ජලය මුදාහරින. විදුලිබලය නිෂ්පාදනය සඳහා මහවැලි ගංගා ආශ‍්‍රිත ජලාශවල ජලය නිකුත් කීරීම පිළිබඳ තීරණ ගන්නෙ ජාතික ජල පාලන කමිටුව. මේ කමිටුව සතිපතා රැස්වන කමිටුවක්. ජාතික විදුලිබල නිෂ්පාදනයෙන් සියයට තිස් පහයි ජල විදුලියේ දායතත්වය වෙන්නෙ. පසුගිය දෙවසරක කාලයේදී අපට ප‍්‍රමාණවත් වැසි ලැබුණ නිසාත් රටේ ආර්ථික අර්බුදයක් හමුවට පැමිණි නිසාත් ජාතික ජල පාලන තාක්ෂණික කමිටුව පසුගිය වසරේ අවසන් කාලයේදී ජල විදුලිය නිපදවීමේ ධාරිතාව සියයට හැත්තෑව දක්වා වැඩි කළා. ඒක කවදාවත් කරපු නැති දෙයක්. ජල විදුලියට ජලය නිකුත් කරනවා කියන්නෙ කෘෂිකර්මාන්තයට නිකුත් කරනවාට වඩා දෙගුණයක් ජලය නිකුත් කරන්න වෙනවා. හැබැයි ඉදිරි මාස තුනට ඇස්තමේන්තු කළ ගාන දක්වා එද්දි විදුලිය සඳහා ජලය නිකුත් කිරීම නැවැත්තුවා. ඒ නිසා අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා ප‍්‍රමාණවත් ජලය මේ මොහොතේ අපට තිබෙනවා.’’ යැයි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ටී. අබේසිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේය.

කාරණය එසේ නම් නිරිත දිග මෝසම් වැසි ලැබෙන තෙක් ජල විදුලිය නිෂ්පාදනය සියයට 30 සීමාවට වඩා වැඩි වන්නේ නැත. මෝසම් වර්ෂාවෙන් වැසි ලැබුණද ජාතික විදුලි බල නිෂ්පාදනය සඳහා සාමාන්‍ය දායකත්වය වන සියයට 30 ඉක්මවා යා හැකි වන්නේ එම වර්ෂාව ජලාශ පිරී ඉතිරී යන්නට ලැබුණොත් පමණය. එතෙක් විදුලි බලය නිපදවීම රඳා පවතින්නේ ඞීසල් වැනි බලශක්තියක් පදනම් කරගෙනය. දැන් මහා භාණ්ඩාගාරයේ ඩොලර් හිඟය විදුලිබලයට පමණක් නොව බස් රථවලටත් අවශ්‍ය ඉන්ධන හිඟයක් ඇතිකර තිබෙන්නේය. මේ නිසා පැය තුන හතරක විදුලිය කැපිල්ල තවත් කොපමණ කාලයක් පවතීද යන්න අපට අනාවැකි කියන්නට බැරිය. යන්තම් හෝ ඒ ගැන අනාවැකියක් කිව හැක්කේ වැසි වලාහක දෙවියන්ටමය.

තිස්ස ගුණතිලක
ඡායාරූප – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment