සුනාමි ව්‍යසනයට වසර 20 ක් පිරුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දීය. ඒසා කාලයක් ගතවූ පසුද භෞතිකවත්, මානසිකවත් බොහෝ දෙනකුට ඒ බියකරු අත්දැකීමෙන් ගොඩ එන්නට හැකියාවක් නොලැබුණු බව කිව යුතුය. මේ කියන කතාව එසේ අසරණ වූ මිනිසුන් සමූහයකට නැවත නැගී සිටින්නට අතහිත දුන් මිනිසත් බවින් පිරිපුන් පිරිසක් ගැනය.
වසර 20ක් ආපස්සට දෙසැම්බරයේ, නත්තල් උණුසුම සමස්ත රටම ප්‍රමෝදයට පත්කරගෙන සිටී හෝරාවක, 26 වැනිදා, හිමිදිරි උදෑසන ම මහ සයුරේ එක් කොණක හටගත් ඝට්ඨනය, ලක් දිවයිනට නැඟෙනහිරින් ඇතුළු වී, බටහිර තෙක් මුහුදු තීරයේ ප්‍රදේශ කිහිපයකට ම අමිහිරි අත්දැකීමක් ලබාදුණි. දෑසක්, සවනක් දැකිය ඇසිය නොයුතුම බියකරු දර්ශන, විලාපයේ හඬවල්, මිනිස් මනසට දැරිය නොහැකි තරමේ විපත් අලාභ හානි සහ පාඩු මහා පරිමාණයෙන් දායාද කරන්නට ඒ උදම්රළ ගත්තේ විනාඩි කිහිපයකි. ඒවා පිළිසකර කරන්නට, නැවත ජීවය දෙන්නට සති මාස වසර ගණනක් වැයකරන්නට සිදුවුණි. දුවිල්ලට පත් අසරණයා වෙත යළි ජීවය දීමේ සද්කාර්යය, රජයේ සිට දෙස් විදෙස් සමාජ සහ ආගමීක සංවිධාන සිය දෙවුරට ගත්හ. තරාතිරම නොබලා අසරණ වූ ජීවිත ගොඩනැංවීමෙහිලා කරිටාස් . සෙඩෙක් ශ්‍රී ලංකා ආයතනය ද සිය මානව දයාවේ දෑත් උපරිමව දිගු කළේය.
සිංහල උච්චාරණයට අලුත් වචනයක්
“සුනාමි” වචනය ශ්‍රී ලාංකිකයින්ගේ ශබ්දකෝෂයට එක්වූයේ ද ඇසි පිය ගසන නිමේෂයකින් 2004 දෙසැම්බර් 26 වැනිදා හිමිදිරි උදෑසනය. උතුරු සුමාත්‍රාවේ බටහිර මුහුදේ බලපෑ රික්ටර් මාපක 9.1 ක දැවැන්ත භූ චලනය, ඉන්දුනීසියාවේ සිට සෝමාලියාව දක්වා රටවල් 14කට දැක්වූ විනාශකාරි විනාශයේ සෙනෙහස මිල කළ නොහැකි තරම්ය. රුදුරුය. “මුහුද මොකද මෙච්චර ආපස්සට ගියේ කියලා අපි බැලුවා.” සුනාමියට මුහුණ දුන් නමුත් අනතුරකට ලක්නොවූ ඇතැම් දෙනා කී පොදු කථාවකි.
පළමුව මීටර් 1කින් හා දෙවනුව මීටර් 10 තෙක් උස්ව ආ උදම් රළ, දිවයිනේ නැගෙනහිර, දකුණ මෙන් ම නිරිතදිග වෙරළ තීරය අකාරුණික ලෙස විනාශ කළේය. දහස් ගණනක් අහිංසක මිනිස් මෙන්ම සත්ව ජීවිතවල හුස්ම අවසන් කළේය. යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර හා කොළඹ යන වෙරළබඩ දිස්ත්‍රික්කවල බහුතරය ධීවර පවුල් සුනාමිය විසින් විනාශකර දැමූයේ සිය ජීවනෝපායන් වූ ඔරු බෝට්ටු උපකරණ සියල්ල ද සුණුවිසුණු කර දමමිණි. වෙරළබඩ ධීවරයාගේ සමස්ත ජීවිතය බිඳවැටුණා සේ ම එකී පළාත්වල සංචාරක කර්මාන්තයට ද එනිසාම දේශීය ආර්ථිකයට ද මරු පහරක් එල්ල විය.
සත්කාරයේ ඉහළ ම වාසිය
චණ්ඩ උදම්රළ දිව ගොස් වගා කරන ලද ඉඩම් අක්කර 23,449ක්, වී අක්කර 9,000ක්, අනෙකුත් ක්‍ෂේත්‍ර බෝග අක්කර 645ක්, ගෙවතු වගා 12,928ක්, එළවළු ගොවිපළ අක්කර 559ක්, පලතුරු ගස් අක්කර 317ක් ද අපට අහිමි කළ බව, OCHA . මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය උපුටා දක්වමින් ලෝක ආහාර සංවිධානය හා කෘෂිකර්ම අමාත්‍යංශය සිය වෙබ් අඩවියෙහි දක්වා ඇත.
දිස්ත්‍රික්ක 25න් 12කට අති දැවැන්ත අලාබ හානියක් හිමිකරදුන් සුනාමි තෑග්ග පිළිබඳව සිද්ධියට ආසන්නම දත්ත ලෙස, 2004 දෙසැම්බර් 31 වෙනි දා රජය වාර්තා කළේ, 27,589ක් ජීවිත අහිමි කළ බවත්, 889,175ක් ජීවිත අවතැන් කළ බවත් 79,100කට වැඩි නිවාස ප්‍රමාණයක් විනාශකර ඇති බවත් ය.
යුනෙස්කෝ දත්තවලට අනුව ඉන්දුනීසියාවේ 167,000ක් ද ශ්‍රී ලාංකාවේ 35,322ක් ද අසල්වැසි ඉන්දියාවේ 16,269 දෙනෙකුගේ ද ජීවිත සුනාමිය අහිමි කළෝය. ආසියානු ආපදා අවම කිරිමේ මධ්‍යස්ථානය විසින් පළ කර ඇති අවසන් (2005.06.16) දත්ත විග්‍රහයට අනුව පුද්ගලයින් 31,229ක් ජීවිතක්‍ෂයට පත්ව, පුද්ගලයින් 4,100ක් අතුරුදන්ව, 516,150 පුද්ගලයින් අවතැන්වී සුබසාධන මධ්‍යස්ථානවල හෝ මිතුරන් හා ඥාතීන් සමග නවාතැන්ගෙන සිටින බව ලියාපදිංචි වී ඇති බව දක්වයි.
හදවතේ සාක්‍ෂිය
මඩකලපුව කාත්තන්කුඩි.06, ඩීන් පාරේ ජීවත්වන 42 වියැති තාජුඩීන් ජෙන්සියා අද උස් මහත් වූ පිරිමි දරුවන් දෙදෙනෙකුගේ සහ ගැහැනු දරුවකුගේ මවකි. ඇගේ සැමියා නූර්හාන් සලීල්ඩීන්ය. වෙරළේ සිට මීටර් 800ක් පමණ දුරින් නිවස පිහිටා තිබුණ ද, අපේක්‍ෂා නොකළ ආකාරයෙන් සුනාමියේ ජල රළට යටවී නිවසත් බඩු භාණ්ඩත් සියල්ල වෙරළේ සිට ගසාගෙන පැමිණි ඔරු බෝට්ටු සුන්බුන් කුණු මඩ යනාදියෙන් විනාශ වී ගොස් තිබුණේ ඔවුන්ගේ දෑස් අදහාගත නොහැකි අයුරිණි. ජෙන්සියාගේ නිවස පමණක් නොව ඒ ප්‍රදේශයේ ජීවත් වූ බහුතරය මුස්ලිම් වූ සමස්ත මිනිසුන්ගේ උන් හිටි තැන් එසේ විය.
“එදා 26 වැනි දා උදේම ගෙදරින් ටිකක් ඈත තැනක ඇඳුම් මහන තැනකට ගියා, නමුත් කරන්ට් එක නැති නිසා හැරිලා ගෙදර ආවා. ඒත් අපේ ගෙවල් පැත්තේ ඉඳලා “මුහුද ගොඩ ගලනවා” කියලා කෑ ගහමින් මිනිස්සු ඒ මේ අත දුවනවා. කිළිටි වතුරපාර සැරට ම ගලාගෙන එනවා. ඒත් මම ජල කඳ අස්සෙන් අමාරුවෙන් අපේ ගෙදරට යාගත්තා, වතුර බැසයාවි යන සිතුවිල්ලෙන් තාත්තාත් නංගීත් වතුර පිරුණු නිවසෙහි ඉන්නැද්දි මමත් අම්මාත් අක්කාත් අනෙක් මිනිස්සු එක්ක ආරක්‍ෂිත ස්ථානයක් හොයාගෙන ගියා. නමුත් අපේ පල්ලි කෝවිල් අනාථ වෙච්ච මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා තිබුණා. ඒ නිසා අපි අක්කාගේ නැන්දම්මාගේ නිවසෙහි සරණ පැතුවා.”
“පසුවදා අපි කැඩුණු බිඳුණු නිවස පවිත්‍ර කර ගෙන කොහොම හරි අපේම ගෙදර නැවතුණා හැබැයි කොහොමද මේ ගේ හදාගන්නේ කියන දැඩි කම්පනයෙන්! සෑමදේම අහිමිව සිටි අසරණ මිනිස්සුන්ට කෑම වතුර සනීපාරක්‍ෂක සැපයීම් ඇඳුම් යනාදිය විවිධ ආයතන පුද්ගලයෝ ගෙනවිත් දුන්නා. දින තුනකට පස්සේ මඩකලපු කරිටාස් EHED ආයතනය ක්‍ෂණික සහන රැසක් අරගෙන අපේ ගමට ආවා. ග්‍රාමසේවා වසම් කිහිපයකම ව්‍යසනයට මුහුණදුන්න අයගේ දත්ත රැස්කරන්න පටන් ගත්තා. මාවත් කරිටාස් සමාජ සජීවිකරණ සාමාජිකයකු වශයෙන් බඳවාගෙන කඩිනම් පුහුණුවක් ලබාදුන්නා. එවැනි සජීවීකරණ සාමාජිකයින් 15දෙනෙකු සුනාමියෙන් පීඩාවට පත් කාත්තන්කුඩි ප්‍රජාව ගොඩනැංවීමෙහිලා විශාල වැඩකොටසක් ඉටුකළා.
ජාති භේද නොබලා නැගෙනහිර පළාතේ සුනාමි වින්දිතයින් වෙත කරිටාස් EHED ආයතනය දැක්වූ මහඟු දයාවේ හිමිකරුවකු වන්නට ජෙන්සියාගේ පවුලේ උදවිය වාසනාවන්ත වූ අතර, ලද අනෙක් සහනවලට අමතරව, අද ඉතා සතුටින් ජීවත්වන්නේ කරිටාස් වෙතින් පිරිනැමූ ඒ නිවසෙහිය.
වඩාත් යහපත් වූ පෙරළිය
සුනාමි ව්‍යසනයෙන් ලද පීඩාව තුළින් කරිටාස් සෙඩෙක් ආයතනයෙන් ලද සියලු දීමනා සහයයන් මගපෙන්වීම් හරහා සුභදායී ජීවිත පෙරළි ඇතිකරගත් පවුල් ගණනාවක් ද සුනාමිය ගලාගිය සියලු දිස්ත්‍රික්ක පුරා වත්මන් කරිටාස් සමග අත්වැල් බැඳගෙන සිටිති.
“අද මගේ එක පුතෙක් කොරියාවේ හොඳ රැකියාවක් කරනවා. කිසිමදාක අපි නිකමටවත් හිතලා තිබුණේ නැහැ පිටරට රස්සාවකට යනවා කියලා. සුනාමි ඇවිත් අපි ගමෙන් මෙහාට නාවා නම් අපේ පුතාගේ රැකියාව වෙන්නේ මූදු යෑම තමයි. ඉතිං අපිට සතුටුයි මහා විපතක් තුළින් වුණත් මුල සිටම කරිටාස් සෙඩ්ගෝල් ආයතනයෙන් දැක්වූ නොමසුරු උදව් නිසා අද අපේ පවුල්වල ජීවිත ගොඩාක් වෙනස්වෙලා.
එදා වෙරළයි මුහුදයි අතර ජීවිත ගතකරපු අපි අද ජීවිත ජයගෙන සමාජ මෙහෙවරවලත් යෙදෙනවා.” සෝ සුසුම් මැද සිය ජීවිත දෙස නිහතමානීව බලා කරිටාස් සෙඩෙක් අත්වැල අල්ලාගෙන ජීවත්වන දකුණේ තංගල්ල රුවින් ගමෙහි ජීවත්වන ශක්තිමත් කාන්තාවක් වූ ඩී. වී. දීපානි කීවේය.
සුනාමිය පැමිණෙන විට ජීවත් වූ මාතර නිල්වැල්ලේ සිට රුවින් ගමින් ලද නිවසට පැමිණ කරිටාස් සෙඩ්ගෝල් ආයතනය හා දිගින් දිගටම සම්බන්ධ වෙමින් ජීවිත ජයගත් පවුල් අතරින්, කාන්තාවන් 11දෙනකු විසින් පවත්වාගෙන යන කාන්තා කණ්ඩායමක් වන “මිණිමුතු” සුළු ව්‍යාපාර සමිතියේ වත්මන් ලේකම් ධුරය දරන්නේ දීපානි ය.
යටවුණු ජීවිත ගොඩගත්තා
ඥාණශීලන් දේවිදන්, උතුරේ මරුතන්කර්නි කොට්ඨාසයේ කුඩත්තනෛයි, මනල්කාඩු දකුණේ ජීවත්වන සුනාමියෙන් විපතට පත්ව යළි ජීවිතය ගොඩනගා ගත් තවත් එක් ධෛර්යවන්ත පියෙකි. යාපනය පදවියට අයත් කරිටාස් HUDEC ආයතනය විසින් උතුරේ සුනාමි වින්දිතයින් වෙනුවෙන් දිගුකළ සෙනෙහසේ දෑත්වල සවිය ලබාගනිමින් ඥාණශීලන් ඇතුළු පවුලේ සාමාජීකයින් යළි හුස්ම ගන්නට විය.
“2009.2010 කාලේදී මගේ පවුලේ අයට වගේම තවත් සුනාමියෙන් පීඩාවට පත්වෙච්ච පවුල් ගණනාවකට කරිටාස් HUDEC ආයතනයෙන් නිවාස ලැබුණා. තවත් අයට ඔරු බෝට්ටු වගේ රැකියා උපකරණ භාණ්ඩ ලැබුණා. සුනාමියෙන් යටවුණු අපේ ජීවිත යළි ගොඩගන්න පල්ලියේ ආයතනයක් විධියට කරිටාස් ආයතනය අපිට ලොකු ශක්තියක් වුණා” යැයි ඥාණශීලන් පැවසීය.
“ආයතනයෙන් දුන් මූල්‍ය ශක්තියෙන් කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන යන ඥාණශීලන් සිය පාසල් යන දරු දෙදෙනාගේ අධ්‍යාපන අවශ්‍යතා මෙන් ම පවුලේ සමස්ත ආර්ථිකය ද පවත්වාගෙන යන්නේ මෙම සිල්ලර කඩයෙන් උපයාගන්නා රුපියල් ශතවලිනි.
ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර මෙන් ම, තරුණ බලගැන්වීමේ වැඩසටහන්, මනෝ සමාජීය සහයෝග, සුවය ලැබීමේ ක්‍රියාකාරකම්, උපදේශන වැනි වැඩසටහන්, ක්‍රියාකාරකම් මගින් කරිටාස් සෙඩෙක් ආයතන සුනාමි වින්දිතයින්ගේ ජීවිත ගොඩනැංවීමෙහි උතුම් සද්කාර්යයක් සිදුකළ බව ඥාණශීලන් දේවිදන්ගේ පැසසුමේ අදහසයි.
සුනාමිය අභියෝගයක්
කතෝලික සභාව යටතේ පවතින කරිටාස් සෙඩෙක් ආයතනය ක්‍රිස්තියානි ඉගැන්වීමට අනුව ජාති ආගම් භාෂා ලොකු පොඩි කිසිදු භේදයකින් තොරව එකී වෙනස්කම් නිර්දය ලෙස නොව මානුෂීයව සැලකිල්ලට ගෙන, සුනාමි ව්‍යසනයේ සමස්ත වින්දිතයින් හට සත්කාර කරනු ලැබුවේ එකම දයාවේ හදවතිනි යැයි එවකට කරිටාස් ශ්‍රී ලංකා සෙඩෙක් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක වූ ඩේමියන් ප්‍රනාන්දු පියතුමා පැවසීය.
“මේ අති දැවැන්ත ක්‍රියාවලිය තුළ මාහට හොඳ නරක මෙන්ම කනස්සලට පත්වුණු අවස්ථා තිබුණා. නමුත් මා සමග උරෙන් උර ගැටී වැඩ කරන්න කාර්යාලයෙත් පදවි කරිටාස් මධ්‍යස්ථානවලත් ඉතාම හොඳ කණ්ඩායමක්, කාර්යාල නිලධාරින් පිරිසක් හිටියා. පදවි රදගුරුවරු සමග අධ්‍යක්‍ෂ පියතුමන්ලා ඉතාම හොඳ සහයක් අපට ලබාදුන්නා”යැයි පියතුමා සිහිපත් කළේය.
“විදේශීය කරිටාස් හවුල්කාර සංවිධාන, පරිත්‍යාගශීලින් අප කෙරෙහි විශ්වාසය තබමින් විවිධ අයුරින් මහා පරිමාණයෙන් අප වෙත සහන ලබානොදුන්නා නම් සුනාමි අභියෝගය ජයගන්නට කරිටාස් ශ්‍රී ලංකා සෙඩෙක් ආයතනයට අතිශයින් ම අසීරුවනවා. වසර 20ක් ගතවුවත් ඒ සියලුම දෙනාව අපි ගෞරවනීයව සිහිපත් කරනවා” යැයි කී ඩේමියන් පියතුමා, කරිටාස් සෙඩෙක් ආයතනය සිදුකළ ඒ දැවැන්ත මෙහෙය ගැන සතුටින් ආපසු හැරී බලා අපගේ ජයග්‍රහණ ගැන පුදුමයට පත් විය හැකි යැයි” ප්‍රකාශ කළේ මහත්වූ ප්‍රීතියෙණි.
ව්‍යසනයෙන් පැසසුම දක්වා
“දෙසැම්බර් 26 වැනිදා අපේ රට තුළ මොනවගේ තත්ත්වයක් ක්‍ෂණිකව ඇතිවුණා ද කියලා හැමදෙනාම දැනගත්තේ ටිකෙන් ටික. ඇතැම් අය හිතුවේ මුහුද ගොඩ ගලලා විතරයි කියලා. දවල් වෙද්දි දැනගත්තා සුනාමියක් ය. ලංකාවට බරපතල විදියේ අලාභ හානි, ජීවිත හානි සිදුවෙලාය කියලා. ඒ අති දැවැන්ත ව්‍යසනය හමුවේ මුනිවත රකින්නට නොහැකි වූ කතෝලික සභාව කරිටාස් ආයතනය ඉදිරිපත් වෙලා අන්තර්ජාතික කරිටාස් සංවිධාන සහ රටවල් සමග එකතුවෙලා සුනාමියේ විනාශයට පිළිතුරු දෙන්න මහා මෙහෙයක් දියත් කළා. මානසිකවත් ශාරීරිකවත් තුවාල වූ මිනිස් ජීවිත, අලාභ හානි වූ නිවාස, ජීවනෝපායන් නැවත නඟා සිටුවන්නට කරිටාස් සෙඩෙක් ආයතනය අප්‍රමාණ දායකත්වයක් ලබාදුන්නා”යැයි වත්මන් කරිටාස් සෙඩෙක් අධ්‍යක්‍ෂක ලූක් නෙල්සන් පියතුමා ප්‍රකාශ කළේය.
අනපේක්‍ෂිත ලෙස ලංකාවට පහරදුන් දැවැන්ත සුනාමි ව්‍යසනයේදී, සියලු ජනවාර්ගික හා ආගමික පසුබිම්වල ජනතාව වැලඳගනිමින් බිලියන ගණනාවක් වටිනා තාවකාලික නිවාස, ස්ථිර නිවාස, ධීවර, කෘෂිකාර්මික ජීවනෝපාය ආධාර, පෙර පාසල් සිට විශ්වවිද්‍යාල දක්වා ගොඩනැඟිලි සහ අධ්‍යාපනික ආධාර වැනි සහනාධාර මෙන්ම මානසික හා ශාරීරික සුවය ලබාදීමේ පුනරුත්ථාපන වැඩසටහන් රාශියක් නිර්ලෝභීව වින්දිතයින්ගේ ජීවිත ශක්තිමත් කළ බව ලූක් නෙල්සන් පියතුමා පෙන්වා දුණි.
එසේ ගෙවුණු වසර 20 දෙස ආපසු හැරී බැලීමේදී දෘෂ්‍යමාන ජයග්‍රහණ පිළිබඳව දෙවිඳුන් පැසසීමක් සියලුම පාර්ශ්වකරුවන්, හවුල්කරුවන් ආධාර ලබාදුන් අය සමගින් පෙබරවාරි 19 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී “Memories of an Empowering Journey of Resilience” තේමාව ඔස්සේ සමරුනු ලබන බව ද නෙල්සන් පියතුමා ප්‍රකාශ කළේය.
මෙලනි මානෙල් පෙරේරා
[email protected]