ජල විදුලි නිෂ්පාදනය වැඩිවෙලා ලංවිම කෝටි ගණන් ලාභ ලබද්දී ලක්‍ෂ 50 කට රතු බිල් යවලා

116

ලංවිම කොපමණ ලාභ ලැබුවාද මැතිසබය දැනුවත් කළ යුතුයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වසන නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය ඇතුළු නිවාස ලක්‍ෂ 50ක විදුලිය විසන්ධි කිරීමට රතු නිවේදන යවා තිබීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) අදහස් දැක්වීය.

එහිදී විපක්‍ෂ නායකවරයා මෙසේ පැවැසීය.

මේ වන විට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. එමගින් විදුලි බල මණ්ඩලය අධික ලාභයක් ලැබුවා. ඒ නිසා අපි විදුලි බිල වැඩිකරනවාටත් විරුද්ධ වුණා. දැන් වාර්තා වෙනවා විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ පනහකට අධික පිරිසකට විදුලිය කප්පාදු කරනවා කියලා රතු නිවේදන යවා ඇති බව.

මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානය වන අභයාරාමයේ අනීතිකව විදුලිය කපන්න ඇවිත් තිබෙනවා. මේ රටේ ලක්‍ෂ 50 කගේ පමණ විදුලිය කප්පාදු කරන්නට යන විට අපි මොකද කරන්නේ? දැන් ජල විදුලිය නිපදවීම වැඩිවෙලා. විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබද්දී විදුලි බිල අනවශ්‍ය ලෙස වැඩිකරන්නේ ඇයි?

දැනට ලක්‍ෂ 50 කට රතු නිවේදන යවලා. මේක සාධාරණද? මේ ගැන මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඇහුවා. මේ තරම් ජල විදුලි නිෂ්පාදනයක් සිදුවෙන විටත් ඇයි මේ රටේ ජනතාවගේ විදුලි බිල විශාල ලෙස වැඩි කළේ ඇයි කියා. මේ ගැන අපිට කට වහගෙන ඉන්නද කියන්නේ?

ජල විදුලිය නිෂ්පාදනය නිසා ලංවිම කොතරම් ලාභයක් ලැබුවද කියන කාරණය මේ සභාව දැනුවත් කළ යුතුයි. එහෙම ලාභයක් ලැබුවා නම් ඇයි විදුලි බිල අඩු කරන්න බැරි?

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා

අපි මේ ගැන විදුලිබල ඇමැතිතුමාව දැනුවත් කරලා උත්තරයක් දෙන්නම්.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා

විදුලිබල මණ්ඩලය විශාල ආදායමක් ලබනවා. ඒක ආණ්ඩුවේ වෙනත් කටයුතුවලට පාවිච්චි කරන්න බෑ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment