එක්සත් ජනරාජ්‍ය පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක
විදුලි මාෆියාවේ රැකවා එයාලාගේම වෘත්තීය සමිති
CIA ගැන බිල්ලො මවපු අය අද එහි නියෝජිතයෝ වෙලා
පසුගියදා රට පුරා විදුලි බිඳවැටීමක් සිදුවිය. විෂය භාර ඇමැතිවරයා වඳුරෙකු නිසා එය සිදුවූ බව කීවේය. වඳුරෙකුට එච්චර දෙයක් කරන්න පුළුවන්ද? යන ප්‍රශ්නය රට පුරා සාකච්ඡාවට බඳුන් වෙද්දී බොහෝ දෙනකු මෙම ප්‍රකාශය උසුළු විසුලුවට ගත්තේ ආණ්ඩුව උපහාසයට ලක් කරමිනි. ඇත්තටම වඳුරෙකුට එය කළ හැකිද ? මේ පිටුපස කුමන්ත්‍රණයක් තිබේද ? අප මේ සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා හිටපු විදුලි බල හා බලශක්ති ඇමැති එක්සත් ජනරාජ්‍ය පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාව මුණ ගැසුණෙමු.
ප්‍රශ්නය – පසුගියදා (09 දා) රට පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවුණා. විෂය භාර ඇමැතිවරයා සඳහන් කළේ වඳුරෙකු නිසා එය සිදුවූ බව. හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයකු ලෙසත්, විදුලි ඉංජිනේරුවරයකු ලෙසත් එවැනි දෙයක් වෙන්න පුළුවන් යැයි ඔබ විශ්වාස කරනවද?
පිළිතුර – එහෙම දෙයක් කොහොමත්ම වෙන්න බැහැ. වඳුරෙකුට පුළුවන්ද එච්චර දෙයක් කරන්න. මෙතන තියෙන්නේ පද්ධති කළමනාකරණයේ ගැටලුවක්. පොඩි දෙයක් කියන්නද, මේ වගේ සිදුවීමක් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී සිදුවුණා නම් අද ඔවුන් මොනවද නොකියන්නේ? ආණ්ඩුවේ නොහැකියාව කියාවි. කරන්ට් යනවා නම් ආණ්ඩු මොකටද කියාවි. ඇමැතිට ඉල්ලා අස්වෙන්න කියාවි. කොච්චර දේවල් කියාවිද. මේකත් ඉතින් දිට්ටධම්මවේදනීය කර්මය ඵල දීමක්. ඇත්තටම තමන්ට දැනුමක් නැත්නම් දැනුම තියෙන මිනිස්සු ලවා කරවගන්න ඕනා. නැත්තං දන්නැති දේවල් නොකියා ඉන්න ඕනා.
මෙය සිදුවූ දිනයේ හවස්වරුවේ ලංවිම කිව්වේ පද්ධතියේ අසමතුලිතතාවයක් කියලා. හේතුව කිව්වේ සූර්ය බලයෙන් ලැබෙන විදුලිය ඉහළ යෑම කියලයි. වෙන රටක් නම් පුනර්ජනනීය බලයෙන් ලැබෙන විදුලිය සම්බන්ධයෙන් ආඩම්බර වෙන්න ඕන. නමුත් අපේ අය ඒ ගැන දුක් වෙනවා, වද වෙනවා. ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළ වසර දෙදහස් තිහ වන විට පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනය සියයට හැත්තෑවක් කළ යුතු බවට ඉලක්ක ලබා දී තිබුණා. ඒ කාලයේ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා ලෙස කටයුතු කළ රොහාන් සෙනෙවිරත්න මහතා කිවුවේ මෙගාවෝට් දෙදහස් හයසීයක් බලශක්ති ජාතික පද්ධතියට එකතු කරන්න පුළුවන් කියලයි. හැබැයි දැන් මණ්ඩලය කියන්නේ ඒ ධාරිතාව ගන්න බැහැ කියලා. එදා තමන්ගේ නායකයා එපමණ ගාණක් ගන්න පුළුවන් කියලා කියද්දී කවුරුත් බැහැ කිව්වේ නැහැ. ඒක ගන්න පුළුවන් ගාණක්. දැන් ප්‍රශ්නය වෙන එකක්.
දැන් නොරොච්චෝලේ බලාගාරයත් බිඳවැටිලා තිබෙනවා. යම් අඩුපාඩුවක් තිබෙනවා නම් එය හදාගන්න ඕන තරම් කාලය තිබුණා. ලක්විජය බලාගාරයේ යන්ත්‍ර තුනම අඩපණ වුණේ ඇයි. ඒකට වගකියන්න ඕනේ වඳුරවක්වත් සූර්ය බලයවත් නෙමෙයි. ලක්විජය බලාගාරයේ පාලනය කරපු අයයි.
මේ සිදුවීම් දාමයේ තියෙන අනෙක් කතාව වන්නේ විසඳුමක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති කරුණුවලයි. එහි ප්‍රධාන කාරණය සූර්ය බලය ඇතුළු හරිත බලශක්තිය නතර කිරීම. අනෙක් ප්‍රධානම කාරණය ධාරා කළමනාකරණයට ඊටී සෙවන් කියන ඩීසල් යන්ත්‍රය ක්‍රියාත්මක කරවීම. දැන් තේරෙනවා නේද මොකද වෙන්නේ කියලා. විදුලි බල මණ්ඩලය තුළ කොයි කාලෙත් මාෆියාවක් ක්‍රියාත්මක වුණා. හරි සභාපතිවරයකුට මේක කරන්න දුන්නේ නැහැ. විදුලි මාෆියාවේ ප්‍රධාන රැකවලා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති.
කංචන විජේසේකර හිටපු ඇමැතිවරයා ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය කරන්න යද්දි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති එම යෝජනාවලට ගිනි තිබ්බා. නමුත් දැන් ආණ්ඩුව තියෙන්නේ ඔවුන් සතුව. එදා ගිනි තියපු උදවිය අද කංචනගේ ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ඒ විදිහටම ඉදිරියට ගෙන යනවා.
ප්‍රශ්නය – මේ ප්‍රතිව්‍යුහගතකරණය තුළින් විදුලි මාෆියාවට තිත තියන්න පුළුවන් වේවිද?
පිළිතුර – මම නම් හිතන්නෙ නැහැ ඔය මාෆියාවට මේකෙන් උත්තරයක් ලැබේවි කියලා. බෙදාහැරීම් ආයතන හතරක් හැදීම නම් කමක් නැහැ. මගේ මතය ලංවිම කෑලි දොළහකට නෙවේ කෑලි ලක්ෂ දෙකකට කඩන්න ඕන කියලයි. ඉහළම ගනයේ විදුලි පාරිභෝගිකයෝ දෙලක්ෂ හතළිස් පන්දහසක් ඉන්නවා. ඒ අයට තමන්ගේ විදුලිය තමන් නිපදවාගෙන දුවන්න පුළුවන් තත්ත්වයක් හදන්න ඕනා.
ප්‍රශ්නය – ඒ කියන්නේ පුනර්ජනනීය බලශක්තියද ?
පිළිතුර – ඔව්. එතකොට ඒවා කවුරු පාලනය කළත් මාෆියා කාරයන්ට නටන්න තැනක් නැහැ.
ප්‍රශ්නය – දැන් රජයේ ඉලක්කය වසර 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනය සියයට හැත්තෑවක ප්‍රමාණයක්. දැන් මේ යන විදිහට එය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව නැහැ නේද?
පිළිතුර – ඇත්තටම එහෙම හැකියාවක් නැහැ. එය යථාර්ථවාදී ඉලක්කයක් නෙවෙයි.
ප්‍රශ්නය – මේ වන විට මෙරටට පසුගිය සමයේ ලැබී ඇති ඇමෙරිකානු ආධාර සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. සමරිසි ප්‍රජාව වෙනුවෙන්, ඔවුන් ප්‍රවර්ධනය වෙනුවෙන් මුදල් සැපයූ බවටත් චෝදනා එල්ල වෙනවා.
පිළිතුර – දැන් මේ සම්බන්ධයෙන් සමාජය තුළ ලොකු කතාබහක් ඇතිවෙලා. මේ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීම කරන්න ඕනේ මෙරට ඇමෙරිකානු තානාපතිවරිය. ඇයට නිසි තොරතුරු සමාජයට දීමේ ලොකු වගකීමක් තිබෙනවා. ඒ වගේම ගත්තයි කියන අයත් දැනගන්න ඕනේ අපි මේවා ගත්තා කියලා කියන්න.
ඔය ආධාර කියන එක ඇමෙරිකානු ආධාර ද, චීන ආධාර ද කියන එක නෙවෙයි ප්‍රශ්නය. ඒවා කිනම් කරුණක් සඳහා වැය වුණාද කියන එකයි. මිනිසුන්ට ඒ ආධාරවලින් කන්න දීලා තියෙනවා නම්, ගොවීන්ට පොහොර දීලා තිබෙනවා නම් එහි ගැටලුවක් නැහැ. ඔය ඉස්සර පාසල්වලට ඇදිහැස කියලා බිස්කට් ලබා දුන්නේ ඇමෙරිකානු ආධාර යටතේ. ඒවා වැරදියි කියන්න බැහැනේ. ප්‍රශ්නය තියෙන්නේ සමහර නම් කියන ඇත්තෝ ජාති ආගම ගැන උඩුබුරන අය, ඇමෙරිකානු බිල්ලෝ මැවූ අයත්, ඇමරිකානු ආධාර අරගෙන තිබීමයි. චෝදනා කරපු අයම ආධාර අරන්.
එදා සීඅයිඒ කුමන්ත්‍රණ කියලා චෝදනා කරපු අය අද ඇමෙරිකානු ආධාර අරගෙන ඒගොල්ලම සී.අයි.ඒ. ඒජන්තවරු වෙලා. හැබැයි මොනවා වුණත් ආධාර දුන්න අයට වගකීමක් තියෙනවා කාටද දුන්නේ මොනවටද දුන්නේ? කුමක් සඳහා ද දුන්නේ කියන කාරණය හෙළි කිරීමට.
ප්‍රශ්නය – මේ දවස්වල දේශපාලන කටයුතු කොහොමද?
පිළිතුර – අපේ පක්ෂය සංවිධාන කටයුතු හොඳින් කරගෙන යනවා.
ප්‍රශ්නය – ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවද?
පිළිතුර – ඔව්. අපේ පක්ෂය එයට ඉදිරිපත් වෙනවා.
ප්‍රශ්නය – සන්ධානගත වීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?
පිළිතුර – නැහැ.
ප්‍රශ්නය – පසුගිය මැතිවරණයේදී ඔබ පක්ෂය සමගි ජන බලවේගය සමග එකතු වුණා. නමුත් එහි අවසානය හොඳ එකක් වුණේ නැහැ. දැන් ඒ ගැන මොකද හිතන්නේ?
පිළිතුර – දේශපාලනය කියන්නේ ඒකට. සමගි ජනබලවේගයට ඉදිරි කිසිදු මැතිවරණයක ජයග්‍රහණයක් ලබා ගන්න වෙන්නේ නැහැ. සජිත් කියන්නේ දක්ෂ නායකයෙක් නෙවෙයි.
සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර