ජාත්‍යන්තරය දිනූ යුපුන් සහ තෙල් පෝලිමේදීත් පරදින ‘යුපුන්’

1016

අපේ ධෛර්යය සම්පන්න දරුවකු වූ අබේකෝන් මුදියන්සේලාගේ යුපුන් ප්‍රියදර්ශන හෙවත් යුපුන් අබේකෝන් ලෝකයේ වේගවත්ම තරුණයන්ගෙන් එක් අයෙකු වීම ගැස්සී ගියේ අනූ නවයෙනි. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී තව ටිකක් සිය දෙපා වේගවත් කිරීමට තරම් ශක්තියක් ඔහුට තිබුණේ නම් ඔහු තව සෑහෙන කාලයකට පෘතුවියේ වේගවත්ම මිනිසා බවට පත්වන්නේය. අප දන්නා පරිදි මේ තරුණයා එදා සිටම දිව්වේ හරියාකාර sponsor කෙනකු නැතිවය. මෙය මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව හැරුනුකොට අනෙක් හැම ක්‍රීඩාවකටම හිමිවන අවාසනාවන්ත සන්තෑසියකි.

ක්‍රිකට් යනු තරු හතේ ක්‍රීඩාවකි. ක්‍රිකට් ගහන ඇතැම් බැට් එකක් රුපියල් ලක්ෂයකි. ක්‍රිකට් වලින් ලැබෙන ආදායම කෝටි ගාණකි. ඒ නිසා මේ රටේ හැම දෙමාපියකුගේම සිහිනය වන්නේ ස්වකීය පුත්‍රයා කුමාර් සංගක්කාර හෝ මහේල ජයවර්ධන බවට පත්වී Porsche රියක හෝ V8 එකක නැගී ගමන් කරනු දැකීමය. මෙය පෘතග්ජනයන්ගේ අහිංසක බලාපොරොත්තුවකි. හැම අම්මකුමත් හැම තාත්තකුමත් කැමති වන්නේ සිය දරුවා ලෝකයේ ඉහළම දරුවා වනු දැක්මටය.

එහෙත් යුපුන් අබේකෝන්ලාගේ දුවන පරම්පරාවට එවැනි chance නැත. එක්තරා කාලයක මේ රටේ ජය කෙහෙළි නැංවූ මලල ක්‍රීඩිකාවක් අනුරාධපුරයේ පැත්තේ සිට කොළඹ ජාතික ක්‍රීඩා තරගාවලියට එන්නේ දිවීමේදී පළඳින spikes සපත්තු ජෝඩුවක් තබා රබර් සෙරෙප්පු දෙකක්වත් නැතිවය. ඇය මලල ක්‍රීඩා තරග පැවැත්වෙන Tarmac එකක් හෙවත් කෘත්‍රිම ධාවන පථයක් ඇසින් දැක තිබුණේ නැත. Tarmac සහ spikes යන දෙකම ඇය දැක තිබුණේ පිටරට සඟරාවල තිබූ පින්තූර වලින් පමණි. ඇගේ කාලයේදී smart phone තබා දැනට රුපියල් 2.50 ටවත් විකුණා ගැනීමට නොහැකි ඇනලොග් ෆෝන් වත් නැත. ඒ නිසා ඉන්ටර්නෙට් හෝ ෆේස්බුක්, යූ ටියුබ් වැනි digital platform තිබුණේද නැත. පිට රට දේවල් දැන ගැනීම සඳහා එකල තිබූ ලොකුම මාධ්‍ය වූයේ පිට රටින් එන සඟරා කෑල්ලක පළවූ පින්තූරය. අවසානයේදී අනුරාධපුරයේ සිට පැමිණි ඉහත සඳහන් ක්‍රීඩිකාව ජාත්‍යන්තර ක්‍රීඩා තරග කිහිපයක්ම නියෝජනය කිරීම සඳහා පිට රටවලට ගියාය. බොහෝවිට ඇය ස්වකීය තරගකාරියන් අතර ප්‍රශස්ත මට්ටමක සිටියත් ජයග්‍රහණ වාර්තා කර ගැනීමට බැරිවීමේ ඛේදවාචකයට ඇද වැටුනාය. මේ දරුවන් ගමේ පාසලේ දුවන්නේ කුසට අහරක් නැතිවය.

උදේට කහට එකක් බී කිලෝ මීටර් හය හතක අලි බලමින් කැලේ මැදින් පයින්ම පාසල් ගිය මෙවැනි දරුවෝ හවස තුන හතර වනවිට ආපසු ගෙදර ගොස් තැම්බූ කොස් හෝ මඤ්ඤොක්කා අනුභව කළහ. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අසූ ගණන්වල ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දෛනික ආහාරය දහ නවවන සියවසේ එංගලන්තයේ කම්කරු පන්තියේ ආහාරය හා සමවිය. එකල එම කම්කරු පන්තිය උදේටත් දවල්ටත් රෑටත් අනුභව කළේ තම්බපු අර්තාපල්ය. ඒ හා සමව යමින් ඊට අවුරුදු දෙසීයකට පමණ පසුත් වියළි කලාපයේ ගැමි දරුවෝ උදේටත් දවල්ටත් රෑටත් කොස් හෝ මඤ්ඤොක්කා අනුභව කළහ. සුසන්තිකා ජයසිංහ සිය ගමන පටන් ගන්නේද මේ ආකාරයෙනි. ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී දිවීම සඳහා අයට මහෝපකාරී වූ ඇගේ දෙපාවල වැඩි හරියක් තිබෙන්නට ඇත්තේ කොස් සහ අල බතලය. පිෂ්ඨය යනු ශරීරයට අවශ්‍ය එකම එක දෙයක් පමණි. ඊට අමතරව විටමින් සහ ඛනිජ ලවණ වර්ග ශරීරයට අත්‍යවශ්‍යය. මලල ක්‍රීඩකයකුට නම් තවත් බොහෝ දේ වුවමනා වේ. හොඳ sponsor කෙනෙක් අහුවුණොත් ලංකාවේ මලල ක්‍රීඩකයකුට ගොඩ ඒමට හැකිය. එහෙත් මෙකල සිටින sponsor ලාට කෑමට සිදුවී ඇත්තේද අල බතල සහ කොස්ය.

යුපුන් වැනි ජවසම්පන්න තරුණයන් ඕනෑ තරම් මේ දිනවල ත්‍රීවීලර් තුළ දිග ඇදී තෙල් පෝලිම්වල ඈනුම් අරිමින් සිටිති. සමහරවිට එසේ ඈනුම් අරින අය අතර උසේන් බෝල්ට්ලාද සිටිය හැකිය. ශ්‍රී ලංකාවට පළවෙනි ඔලිම්පික් පදක්කම ගෙනා ඩන්කන් වයිට් වැනි අයද මෙහි සිටීමට ඉඩ තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වේදී රිදී පදක්කමක් දිනූ පාලිත බණ්ඩාර ගැනද අප තුළ ඇත්තේ මහත් අභිමානයකි. ශ්‍රී ලංකාව මෙතෙක් කල් ඉදිරියට ගියේ ක්‍රිකට් වලින් පමණි. සෙසු ක්‍රීඩා ඉසව් වලින්ද මේ රට ජාත්‍යන්තරය දිනිය යුතුය යන්න මේ පුවත්පතේ හෘදයාංගම ප්‍රාර්ථනය වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment